Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියාවේ දී හමු වන භයානක ම සතුන්

අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම්, සුදුසුකමට රැකියා, ඉහළ වැටුප්, නැවුම් ආහාර පාන සහ මනා ව නඩත්තු කරන යටිතල පහසුකම් යන කාරණා සලකා බැලුව ම ඕස්ට්‍රේලියාව කියන්නේ ජීවත් වෙන්න ඉතාමත් සුදුසු රටක්. නමුත් ප්‍රශ්නය තිබෙන්නෙ එතන නෙමෙයි; මිනිස්සුන්ට මරණය ගෙන දෙන භයානක සතුන් බහුල ව වසන රටක් විදියට ඕස්ට්‍රේලියාවට නරක නාමයක් හිමි වී තිබෙනවා.

(pinterest.com)

මේ හේතුවෙන් ම ඕස්ට්‍රේලියාවේ පැරණිත ම කෞතුකාගාරය ලෙස සැලකෙන සිඩ්නි හි ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ පර්යේෂකයන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී හමු වන විසකුරු සතුන්ගේ නම් ඇතුළත් කළ ලේඛනයක් සකස් කර තිබෙන අතර එහි දී ඔවුන් යොදා ගෙන ඇති නිර්ණායක වන්නේ මිනිසුන්ට එම සතුන් නිසා අනතුරු අැති වීමට අැති සම්භාවිතාව සහ මිනිසෙකුට එවැනි සත්ත්වයෙකු මුණ ගැසීම සඳහා ඇති සම්භාවිතාවය යි.

මේ ලිපිය ඕස්ට්‍රේලියාවේ දී හමු වන භයානක ම සතුන් දස දෙනා ගැන යි. ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේ අරමුණක් ඇති හෝ නිවාඩුවකට ඕස්ට්‍රේලියාවේ සංචාරයක යන්න කැමති කෙනෙක්ට මෙය වැදගත් වන බවට සැකයක් නැහැ.

1. Box Jellyfish

අනතුරුදායක බව : 10/10

විද්‍යාත්මක නාමය : Chironex fleckeri

(thevacationtimes.com)

වැඩි වශයෙන් උතුරු ඕස්ට්‍රේලියාවේ දී හමු වන මොවුන් වැඩි වශයෙන් ම දක්නට ලැබෙන්නේ උණුසුම් කාලගුණයක් සහිත මාසවල දී යි. ඒ නිසා රස්නය ඉවසා ගන්න බැරු ව මුහුදට පනින්න කලින් දෙපාරක් හිතන්න. මොවුන්ගේ හිස තරමක් දුරට පෙට්ටියක ස්වභාවයෙන් යුක්ත වන අතර ග්‍රාහිකාවන් මීටර් 2 ක පමණ ප්‍රමාණයක් දක්වා විහිදුවා හැරීමේ හැකියාව තිබෙනවා.

මොවුන් විසින් සිදු කරන දෂ්ටනයන් ඉතාමත් වේදනාකාරී වන අතර අනෙකුත් මසුන් ව අඩපණ කිරීම සඳහා සැකසුනු විෂ මගින් මිනිසුන්ගේ වුවත් ස්නායුවල ක්‍රියාකාරීත්වය නතර කිරීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරනවා. ඇතැම් අවස්ථාවල දී ප්‍රහාරයට දායක වන මසුන් සංඛ්‍යාව අනුව හෘදයාබාධයක් ඇති වී මිනිත්තු කිහිපයක් තුළ මරණය සිදු වීමට හැකි යි.

2. European Dark Bee

අනතුරුදායක බව : 9/10

විද්‍යාත්මක නාමය : Apis mellifera

(en.wikipedia.org)

සාමාන්‍ය මී මැසි ප්‍රහාරයක් මරණීය නොවූවත් මෙම මී මැසි විශේෂය ඕස්ට්‍රේලියාවේ දී මරණීය සත්ත්වයෙකු ලෙස නම් කර ඇත්තේ එකවර මී මැස්සන් විශාල ප්‍රමාණයක් ප්‍රහාරයට එක් වීම නිසාවෙන්. එසේ ම මී මැස්සන්ට අසාත්මිකතාවන් දක්වන අයෙකුට එක් මී මැසි විදීමක් පවා මරණීය විය හැකි යි.

අසාත්මිකතාවන් නොමැති පුද්ගලයෙකුට මී මැසි ප්‍රහාරයක් පසු ව තියුණු සහ දැවෙන වේදනාවන් ද සිරුරේ සුළු ඉදිමීම් ද ඇති විය හැකි අතර මෙම ලක්ෂණවලට අමතර ව අසාත්මිකතාවයෙන් පෙළෙන අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතා ද ඇති විය හැකි යි.

3. Irukandji Jellyfish

අනතුරුදායක බව : 9/10

විද්‍යාත්මක නාමය : Carukia barnesi

(en.wikipedia.org)

ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කුඩා එහෙත් අතිශය විසකුරු ජල්ලි මසුන් විශේෂයක් වන මොවුන් සාමාන්‍යයෙන් නියපොත්තක ප්‍රමාණයෙන් යුතු වුව ද පහර දීමක දී ඔවුන්ගේ ග්‍රාහිකාවන් මීටරයක පමණ ප්‍රමාණයක් දක්වා විහිදුවා හැරීමේ හැකියාව තිබෙනවා. මොවුන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ ව නිශ්චිත තොරතුරු නොමැති වුව ද ඕස්ට්‍රේලියානු වෙරළ තීරය වටා බොහෝ ප්‍රදේශවලින් (විශේෂයෙන් ම තරමක් ගැඹුරු මුහුදේ දී) ප්‍රහාරයන් වාර්තා වී ඇති බව යි විද්‍යාඥයින් පවසන්නේ.

මොවුන්ගේ දෂ්ටනයෙන් මිනිත්තු 30 කට පමණ පසු අරූකන්ජි සින්ඩ්‍රෝමයේ ලක්ෂණ පෙනීම ආරම්භ වන අතර පිට කොන්දේ තදබල වේදනාවන්, කෙණ්ඩා පෙරළීම, අධික ලෙස දහඩිය දැමීම සහ ඔක්කාරය ඒ අතරින් ප්‍රධාන යි.

4. Bull Shark

අනතුරුදායක බව : 8/10

විද්‍යාත්මක නාමය : Carcharhinus leucas

(theartbo.com)

බොහෝමයක් මුහුද තීරයන් හි වාසය කරන මෙම මෝරුන් වැඩි වශයෙන් මිනිසුන්ට හමු වන්නේ වරායන්, ගංගා සහ ගං මෝයවල් ආශ්‍රිත ප්‍රදේශවල දී වන අතර උණුසුම් සහ නොගැඹුරු ජලයේ පිහිනීමට කැමති මොවුන් ස්වභාවයෙන් ම ආක්‍රමණශීලි යි.

5. Eastern Brown Snake

අනතුරුදායක බව : 8/10

විද්‍යාත්මක නාමය : Pseudonaja textilis

(en.wikipedia.org)

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සර්ප විෂ හේතුවෙන් මරණය සිදු වූ අවස්ථාවන්ගෙන් වැඩි ම ප්‍රමාණයකට වග කිව යුතු මොවුන් රට පුරා ම ව්‍යාප්ත වී ඇති සර්ප විශේෂයක්. සාමාන්‍යයෙන් මීටරයක පමණ දිගකින් යුත් වන මොවුන් මධ්‍යයන මාරාන්තික මාත්‍රා (median lethal dose) අගය අනුව දැනට ලෝකයේ සිටින දෙවැනි විෂඝෝර ම සර්ප විශේෂය ලෙස සැලකෙනවා.

පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට මොවුන්ගේ දෂ්ටනයන් වේදනාවකින් රහිත වන අතර හඳුනා ගැනීමට ඉතාමත් අපහසු යි. එසේ ම දිවි ගලවා ගැනීම සඳහා දෂ්ටනය කළ වහා ම ප්‍රතිකාර කළ යුතු වෙනවා. එසේ නොකළහොත් ක්‍රමයෙන් සිරුර අඩපණ වීම සහ පාලනය කළ නොහැකි ලෙස ලේ ගලා යාම සිදු විය හැකි යි.

6. Saltwater Crocodile

අනතුරුදායක බව : 8/10

විද්‍යාත්මක නාමය : Crocodylus porosus

(en.wikipedia.org)

වැඩි වශයෙන් ම උතුරු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මෙම කිඹුල් විශේෂය මුහුදේ දී දක්නට ලැබෙන අතර ඇතැම් අවස්ථාවල දී ගං මෝයන් ආශ්‍රිත ව ද මිරිදිය වැව්වල දී ද දක්නට හැකි යි. ප්‍රමාණයෙන් අඩි 20 ක් පමණ වන මොවුන් සැඟ වී සිට තම ගොදුරට පහර දීමට ඉතාමත් දක්ෂ බව යි සැලකෙන්නේ.

7. Sydney Funnel-web Spider

අනතුරුදායක බව : 8/10

විද්‍යාත්මක නාමය : Atrax robustus

(en.wikipedia.org)

ප්‍රමාණයෙන් අඟල් 2 ක් පමණ වන මොවුන් වැඩි වශයෙන් ම හමු වන්නේ සිඩ්නි හි උතුරු වෙරළ තීරණ වටා පිහිටි කුඩා උප නගරවල දී යි. දහවල් කාලයේ දී අඳුරු ස්ථානයක සැඟ වී සිටීමට ප්‍රිය කරන මෙම මකුළු විශේෂය ඒ සඳහා තෝරා ගන්නේ සපත්තුවල ඇතුළත වන අතර මොවුන් ගොඩ ගසා ඇති ගඩොල් කුට්ටි හෝ ලී කොට ආශ්‍රිත ව මකුළු දැල් නිර්මාණය කිරීම සිදු කරනවා.

පිරිමි මකුළුවා විසින් සිදු කරන දෂ්ටනයන් ඉතාමත් වේදනාකාරී මෙන් ම මරණීය ද වන්නේ එය ඍජු ව ම ස්නායු පද්ධතිය අඩපණ කිරීම හේතුවෙන්. මකුළු දෂ්ටනයක ලක්ෂණ ලෙස අධික ලෙස දහඩිය දැමීම, සම පොපියන බවක් දැනීම සහ මස්පිඩු ගැස්සෙන බව හැඳින්විය හැකි යි.

8. Blue-ringed Octopus

අනතුරුදායක බව : 7/10

විද්‍යාත්මක නාමය : Genus hapalochlaena

(animalspot.net)

ඕස්ට්‍රේලියානු මුහුදු තීරය ආශ්‍රිත මෙම බූවල්ලන් විශේෂ 4 ක් පමණ හමු වන අතර සාමාන්‍යයෙන් දුඹුරු පැහැ සමක් හිමි අහිංසක සත්ත්වයෙකු ලෙස යි පෙනී යන්නේ. නමුත් ආක්‍රමණයක දී සම මත දේදුනු පැහැ දාරයක් සහිත නිල් ඉරි සහ වෘත්ත මතු වෙනවා. දැනට වාර්තා වී ඇති සියලු ම දෂ්ටනයන් සිදු වී ඇත්තේ බූවල්ලා ව වතුරෙන් පිටතට ගැනීමෙන් පසු ව යි.

මොවුන්ගේ සපා කෑමෙන් ද ඍජු ව ම ස්නායු පද්ධතියට බලපාන අතර එය අඩපණ වීම සිදු වන්නේ ඉතාමත් සෙමින්. අවසානයේ දී සපා කෑමට ලක් වූ පුද්ගලයා හුස්ම හිර වීම නිසා මිය යාම සිදු වෙනවා.

9. Coastal Taipan

අනතුරුදායක බව : 7/10

විද්‍යාත්මක නාමය : Oxyuranus scutellatus

(en.wikipedia.org)

ස්වභාවයෙන් ආක්‍රමණශීලි සර්පයන් නොවන මොවුන් මීටර් 2 ක පමණ දිගකින් යුතු වන අතර කරදරයක දී තම ආරක්ෂාව සඳහා ඉතාමත් වේගවත් ව සහ ඉලක්කයකට ම පහර දීම සිදු කරනවා. ගොඩබිම තුළ සිටින සර්පයින් වෙරළ තීරයේ සිටින සර්පයින්ට වඩා විෂඝෝර වුව ද ඔවුන් ව මිනිසුන්ට හමු වන්නේ ඉතාමත් කලාතුරකින්.

ක්ෂීරපායීන් ව අඩපණ කිරීම සඳහා නිර්මාණය වූ විෂ සහිත මෙම සර්පයෙකුගේ දෂ්ටනයක් ඍජු ව ම ස්නායු පද්ධතියට සහ රුධිර සංසරණයට බලපාන අතර සිරුරේ අභ්‍යන්තර රුධිර වහනයන්, ඔක්කාරය සහ දරුණු හිස රුදා ඇති වීම සාමාන්‍ය රෝග ලක්ෂණ යි.

10. Common Death Adder

අනතුරුදායක බව : 7/10

විද්‍යාත්මක නාමය : Acanthophis antarcticus

(en.wikipedia.org)

වැඩි වශයෙන් ම සිඩ්නි නගරයේ ඇති පඳුරු අතරින් හමු වන මොවුන් වෙස් මාරු කිරීම සඳහා ඉතා දක්ෂයින් ලෙස සැලකෙනවා. අනතුරක දී අනෙකුත් සර්පයින් මෙන් ලිස්සා නොගොස් සැඟ වී සිට පහර දෙන මොවුන්ගේ විෂ දළ දිගු වන අතර සම ඇතුළට ම කා වදිනවා.

කවරයේ පින්තූරය: ManSpace Magazine

මුලාශ්‍ර:

  1. mashable.com
  2. australianmuseum.net.au
  3. australiangeographic.com.au
  4. en.wikipedia.org
  5. planetdeadly.com

Related Articles