Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විවාදයට තුඩු දුන් දැරණියගලගේ හොටඋලා

ශාන්තිකර සාගරයෙන් හමු වූ අලුත් ම අමුත්තෙක් ගැන පසු ගිය දිනෙක අපි කතාබහ කළා. මේ ලිපිය එවැනි අලුත් අමුත්තෙක් ගැන නම් නෙමෙයි. බොහෝ කලකට පෙර ශ්‍රී ලාංකික සත්ත්ව විද්‍යාඥයෙකු විසින් නව තල්මස් විශේෂයක් ලෙස හඳුනා ගත් එහෙත් ජාත්‍යන්තර සත්ත්වවේදීන් වෙතින් නිසි පිළිගැනීමක් වෙනුවට විවේචනයක් පමණක් ලද දැරණියගලගේ හොටඋලා ගැන යි මේ සටහන.

රත්මලාන වෙරළේ අලුත් තල්මසෙක්

1963 වර්ෂයේ දී කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ධූරය දැරුවේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා යි.  සත්ත්ව විද්‍යාව ගැන මහත් උනන්දුවක් දැක් වූ එතුමාට ජනවාරි 6 වැනි දින රත්මලාන වෙරළට ගැහැණු තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා ඇති බව දැන ගැනීමට ලැබුණා. ඒ වන විටත් අලුත් සත්ත්ව විශේෂ ගණනාවක් එතුමා විසින් ලොව හඳුන්වා දී තිබුණු අතර ලක්දිව වෙරළ තීරයට ගොඩ ගසන තල්මස් සහ ඩොල්ෆින් සිරුරු ගැන ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළ අයෙක් ලෙස එතුමා නමක් දිනාගෙන සිටියා.

(archaeology.lk) ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා

ආරංචිය ලද විගස රත්මලාන වෙරළට ළඟා වූ දැරණියගල මහතාට දැක ගැනීමට ලැබුණේ මීටර් 4.5 ක පමණ දිගකින් යුතු, දිගු හොටයක් සහිත නිල්-අළු මිශ්‍රිත තල්මසෙක්. හොඳින් නිරීක්ෂණය කර බැලීමේ දී වෙරළට ගොඩ ගසා ඇති තල්මසා මෙයට පෙර සත්ත්ව ලෝකයේ දත්ත අතර සටහන් නොවුණු අලුත් ම තල්මසෙකු බව එතුමාට හඳුනා ගැනීමට ලැබුණා. ඒ අනුව රත්මලාන වෙරළට ගොඩ ගැසූ මේ අලුත් තල්මසා දත් සහිත තල්මසුන්ගෙන් සමන්විත මෙසොප්ලෝඩන් ගණයට (mesoplodon) අයත් විශේෂයක් බව තීරණය කළ එතුමා, අලුත් තල්මසාට Mesoplodon hotaula යන නාමය ලබා දුන්නා.

නමුත් අලුතෙන් හඳුනා ගත් Mesoplodon hotaula, මෙසොප්ලෝඩන් ගණයේ අනෙකුත් තල්මසුන්ගේ වෙනස් වන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමක් දැරණියගල මහතා විසින් සිදු කළේ නැහැ. ඔහුගේ වාර්තාවේ සඳහන් වුණේ Mesoplodon hotaula තල්මසාගේ දත්වල පිහිටීම, මෙසොප්ලෝඩන් ගණයේ Mesoplodon bidens සහ Mesoplodon hectori යන විශේෂයන්ගෙන් වෙනස් වූ බව පමණ යි.

(slam.lk) දැරණියගලගේ හොටඋලාගේ සිතුවමක්

දැරණියගල මහතා අලුත් නමක් දුන්නේ ගින්කෝ දතැති හොටඋලාට ද?

දැරණියගල මහතාගේ අලුත් සොයා ගැනීමේ දෙවසරකට පසු ව එවකට තල්මසුන් පිළිබඳ ව විශේෂඥයින් වූ ඇමෙරිකානු ජාතික රේමන්ඩ් එම්. ගිල්මෝ සහ ජෝසෆ් සී. මුවර්, ‘Nature’ සඟරාවට ‘A Beaked Whale New to the Western Hemisphere’ නමින් ලිපියක් යොමු කරමින් හෙළිදරව් කළේ  දැරණියගල මහතා විසින් Mesoplodon hotaula නමින් නම් කර ඇත්තේ 1958 වර්ෂයේ දී ජපන් ජාතික එම්. නිෂිවාකි සහ ටී. කමීයා විසින් හඳුන්වා දුන් පොදුවේ ගින්කෝ දතැති හොටඋලා (Ginkgo-toothed Beaked Whale) ලෙස භාවිතා කරන Mesoplodon ginkgodens බව යි.

වැඩි වශයෙන් ජපානය, තායිවානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, මාල දිවයින සහ මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ව ගැවසෙන ගින්කෝ දතැති හොටඋලා, ප්‍රමණයෙන් මීටර් 5 කට ආසන්න වන අතර පිරිමි සතුන් හිසේ සහ හොට අවට ළා පැහැ ලප සහිත නිල් මිශ්‍රිත තද අළු පැහැයෙන් ද ගැහැනු සතුන් තරමක් ළා අළු පැහැයකින් ද යුතු වෙනවා. පැහැයේ සහ ප්‍රමාණයේ ඇති සමානකම් නිසාවෙන් දැරණියගල මහතා ගින්කෝ දතැති හොටඋලා ව අලුත් තල්මස් විශේෂයක් ලෙස හඳුනා ගන්නට ඇති බව යි සත්ත්ව විද්‍යාඥයින්ගේ අදහස වුණේ.

(whaleopedia.org) ගින්කෝ දතැති හොටඋලාගේ සිතුවමක්

ඒ අනුව 1965 දී තල්මස් නාම ලේඛනයෙන් Mesoplodon hotaula ව ඉවත් කරන ලද අතර එම නාමයෙන් හඳුන්වන ලද්දේ ගින්කෝ දතැති හොටඋලා ව බව නිල වශයෙන් තීරණය කළා.

යළි මතු වූ දැරණියගලගේ හොටඋලා

ඉන් අනතුරු ව අඩ සියවසකට ආසන්න කාලයක් ගත වී ගියේ දැරණියගල මහතා සොයා ගත් Mesoplodon hotaula ව කාගේත් මතකයෙන් අතු ගා දමමින්. නැවත වතාවක් එම මතකය අලුත් වුණේ ඉන්දු-පැසිෆික් සාගරයේ වෙසෙන තල්මසුන් ගැන ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක, පෘථිවි සහ පාරිසරික විද්‍යා පාසලේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචර්ය මෙරිල් ඩාලබවුට් ඇතුළු කණ්ඩායමක් සිදු කරන ලද පර්යේෂණ පෙළක ප්‍රතිඵලයක් ලෙස යි.

(© S. Baumann-Pickering) පැල්මයිරා ඇටල් දූපත ආසන්නයේ දී නිරීක්ෂණය කරන ලද දැරණියගලගේ හොටඋලා

ශ්‍රී ලංකාව, ගිල්බර්ට් දූපත්, කිරිබති ජනරජය, ඇමෙරිකා එක්සත් ජනපදය, සීෂෙල්ස් දූපත්, මාල දිවයින, පැල්මයිරා ඇටල් දූපත සහ උතුරු ලයින් දූපත් ආශ්‍රිත ව සොයා ගන්නා ලද ගින්කෝ දතැති හොටඋලාගේ යැයි සලකන ලද තල්මස් සැකිලි කිහිපයක් අධ්‍යයනය කිරීමේ දී ඔවුන්ට දැක ගැනීමට හැකි වුණේ එම සැකිලි, එදිනෙදා දැක ගැනීමට ලැබෙන ගින්කෝ දතැති හොටඋලාට වඩා කුඩා වෙනස්කම්වලින් යුතු බව යි. ඒ සෑම සැකිල්ල ම දත්, ගින්කෝ දතැති හොටඋලාගේ දත්වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ අතර හොටය සැකසුණු අස්ථි ද ප්‍රමාණයෙන් කුඩා වුණා. මේ නිසා ම නරක් නො වූ තල්මස් සිරුරු කිහිපයක් සොයා ගැනීම කෙරෙහි පර්යේෂකයන්ගේ අවධානය යොමු වුණා. එම සිරුරු අධ්‍යයනයේ දැක ගැනීමට ලැබුණේ ඒවා ගින්කෝ දතැති තල්මසාගේ සිරුරට සාපේක්ෂ ව කුඩා බව යි. එසේ ම නිල්-අළු මිශ්‍රිත පැහැය මෙන් ම මහතින් අඩු හිස සහ දිගැටි හොටය ද ගින්කෝ දතැති තල්මසාට වඩා වෙනස් වුණා.

(© Lisa Thompson) වෙරළට ගොඩ ගැසූ දැරණියගලගේ හොටඋලෙක්

මෙසේ දිගින් දිගට ම පර්යේෂණ කටයුතු කරගෙන යාමේ දී ආචර්ය මෙරිල් ඩාලබවුට් ඇතුළු කණ්ඩායමට පිළි ගැනීමට සිදු වුණේ 1963 දී ආචාර්ය දැරණියගල විසින් Mesoplodon hotaula නමින් ලොවට හඳුන්වා දුන් තල්මස් විශේෂය සත්‍ය වශයෙන් ම ඉන්දු-පැසිෆිස් සාගරයේ නිදහසේ පිහිනන බව යි.

ඒ අනුව 2014 වර්ෂයේ දී නව තල්මස් විශේෂය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට මුහුදු ක්ෂීරපායීන් පිළිබඳ සංසදය තීරණය කළා. එම වාර්තාව අනුව එම තල්මස් විශේෂය සඳහා දැරණියගල මහතා විසින් ලබා දුන් විද්‍යාත්මක නාමය යළිත් භාවිතා කිරීම ආරම්භ කිරීමට තීරණය කරන ලද අතර මුල් වරට ඔවුන් ව හඳුනා ගත් ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතාට සිදු කරන ගෞරවයක් ලෙස පොදුවේ එම තල්මස් විශේෂය වෙනුවෙන් දැරණියගලගේ හොටඋලා (Deraniyagala’s Beaked Whale) යන නාමය භාවිතා කරනවා.

කවරයේ පින්තූරය : (elelur.com)

මූලාශ්‍ර :

  1. Resurrection of Mesoplodon hotaula Deraniyagala 1963 : A new species of beaked whale in the tropical Indo-Pacific © 2014 Society for Marine Mammalogy
  2. A Newly Recognised Beaked Whale (Ziphiidae) in the Tropical Indo-Pacific © The Scientific Committee of the International Whaling Commission

විශේෂ ස්තූතිය :

දැරණියගලගේ හොටඋලා සම්බන්ධයෙන් ලිපියක් සම්පාදනය කරන ලෙස ඇරයුම් කරමින් ඒ සඳහා අවැසි මූලාශ්‍ර සපයා දුන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනට

Related Articles