සොබාදහම හා වන සම්පත

විනාඩි 4 ක කියවීමක්

ආර්ථික සංවර්ධනයද? පාරිසරික යහපැවත්මද?

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

Piumi Denagamage

Contributor

රටක සීඝ්‍ර ආර්ථික වර්ධනය රජයක ප්‍රමුඛතා ලැයිස්තුවේ ප්‍රබල ස්ථානයක් හිමි  වන අවධියක, සමාජීය පාරිසරික වැනි අනිකුත් සාධකයන්ට අඩු වැදගත්කමක් හිමි වීම සාමාන්‍ය පිළිවෙතයි. එයිනුත් උග්‍ර ආර්ථික අවශ්‍යතා හමුවේ වැඩිපුරම කැප වීමට ලක්වන්නෝ පාරිසරික සාධක වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද මෙය සත්‍යයකි. එබැවින් ජනාවාස සඳහා කැළෑ එළි කිරීම්, ජල විදුලි බලාගාර නිසා පාරිසරික හානි වීම්, දැව සඳහා ගස් කැපීම්, යටිතල පහසුකම් වර්ධනයට වනාන්තර එළි කිරීම් ආදී මෙකී නොකී සියළු ආකාරයේ පාරිසරික හානි වීම් දිනපතා වාර්තා වෙනු දක්නට ලැබේ.

තිරසාර සංවර්ධනය

රටකට අවශ්‍ය වන්නේ හුදු  ආර්ථික වර්ධනය පමණක් නොවන බවත්, විය යුත්තේ තිරසාර සංවර්ධනය බවත් නිතර ඇසේ. ආර්ථික, සමාජයීය සහ පාරිසරික යන සාධකයන්ගේ යහපත් හා සමගාමී වර්ධනය, තිරසාර සංවර්ධනයට හේතු වන බවත් ලෝකයේ පොදු පිළිගැනීමයි. එම අර්ථ නිරූපණයට අනූව පරිසරය යන සාධකයට ආර්ථික, සමාජයීය කාරණා වලට සමාන වැදගත්කමක් හිමිව ඇති බව පෙනේ. ඒ අනූව සරලව කිවහොත් සමාජීය හෝ පාරිසරික සංවර්ධනයෙන් තොර ආර්ථික සංවර්ධනයෙන් ඵලක් නොවන අතර, ආර්ථික හෝ සමාජයීය සංවර්ධනයෙන් තොර පාරිසරික සංවර්ධනයෙන්ද ඵලක් නැත.

පාරිසරික සාධකයන්ට අඩු සැලකිල්ලක් ලැබීමට හේතුව

වන සංරක්ෂණ ජනරාල් ,UN-REDD වැඩසටහනේ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂක අනුර සතුරුසිංහ මහතා සම්මන්ත්‍රණයට සහභාගී වෙමින්)

වන සංරක්ෂණ ජනරාල් ,UN-REDD වැඩසටහනේ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂක අනුර සතුරුසිංහ මහතා සම්මන්ත්‍රණයට සහභාගී වෙමින්)

එසේ පාරිසරික සාධකයන්ගේ කැප කිරීම් මත පදනම්ව ආර්ථික වර්ධනයට අවශ්‍යය තීන්දු තීරණ ගන්නේ, ආර්ථික වර්ධනයට සාපේක්ෂව පාරිසරික සාධකයන්ගේ යහපැවැත්මට ඇත්තේ අඩු වටිනාකමක් යැයි අනුමාන කර විය යුතුය. එසේ පාරිසරික සාධකයන්ට ඇත්තේ අඩු වටිනාකමක්ද? ඒ අතරම පරිසරය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයන්, පුද්ගලයන් නිරතුරුවම පෙන්වා දෙන්නේ මේ සියළු ආර්ථික අවශ්‍යතාවයන්ට වඩා පාරිසරික සම්පත් වල යහපැවැත්ම වඩා වැදගත් බැවින් ආර්ථික දියුණුව වෙනුවෙන් පාරිසරික සම්පත් කැප නොකළ යුතු බවයි.

ඉතින් නිවැරිදි මතය කුමක්ද? පිළිතුර එතරම් සරල නැත. පිළිතුර එක් එක් පුද්ගලයා මත හෝ ඒ පුද්ගලයා නියෝජනය කරන පුද්ගල කණ්ඩායම මත තීරණය වේ. ආර්ථික සංවර්ධනය දෙස බලා තීන්දු ගන්නෝ වනාන්තර කැප කර රැකියා දහසක් දෙන කර්මාන්තශාලාවක් සෑදිය යුතු බවත් පාරිසරික හිතවාදින් කර්මාන්තශාලාවක් වෙනුවෙන් වනාන්තර කැප නොකළ යුතු බවත් කියා සිටිනු ඇත.

එක් එක් පුද්ගලයා මත වෙනස් වන තීරණ ගැනීමේ ගතික ක්‍රමය වෙනුවට සංඛ්‍යාත්මක සාක්ෂි මත පදනම්ව තීරණ ගත හැකි ක්‍රමයක් නිර්මාණය කිරීම මෙම ගැටළුවට ඉතා හොඳ පිළිතුරක් වනු ඇත.

පරිසර පද්ධතීන්ට මූල්‍යමය අගයක් ආරෝපණය කිරීම

ආර්ථික සම්පත්හි වටිනාකම මුදලින් මැනිය හැක. පාරිසරික සම්පත්හි වටිනාකමද මුදලින් මැනිය හැකි නම් ඒ අතර සංසන්දයක් කර වටිනාකමින් වැඩි අන්තය තෝරාගත හැකිය.

එසේ පහසුවෙන් විස්තර කළ හැකි වුවද මෙය එතරම් පහසු කාර්යයක් නොවන අතර එය සිදු කිරීමේදි සලකා බැලිය යුතු කාරණා රැසකි. පරිසර පද්ධතියකින් සැලසෙන සේවාවන් වර්ග දෙකකි; ස්ඵර්ශීය සේවාවන් සහ ස්ඵර්ශීය නොවන සේවාවන් ඒ වර්ග දෙකයි. මෙයින් ස්ඵර්ශීය/ස්පෘශ්‍ය සේවාවන්ගේ වටිනාකම මැනීම සාපේක්ෂව පහසුය. උදාහරණයක් ලෙස වනාන්තරයකින් ලබා ගත හැකි දැව, ආහාර, බෙහෙත් ආදියට මූල්‍යමය වටිනාකමක් දීම ඉතා පහසුය. ඒ සඳහා ඒ ඒ ස්ඵර්ශීය සම්පත්හි වෙළඳපොල වටිනාකම සලකා බැලිය හැකිය. නමුත් එම වනාන්තරයෙන්ම ලබා දෙන පිරිසිදු වාතය, පස සංරක්ෂයනට වන දායකත්වය ආදි ස්ඵර්ශීය නොවන/අස්පෘශ්‍ය සේවාවන්හි වටිනාකම මැනීම අපහසු අතර ඒවායෙහි වටිනාකම ස්ඵර්ශීය සම්පත්හි වටිනාකමට වඩා බොහෝ වැඩිය.

ස්ඵර්ශීය නොවන සේවාවන්හි වටිනාකම මැනීම අපහසුය යන කාරණාව සලකා ස්ඵර්ශීය සම්පත්හි වටිනාකම් පමණක් සලකා බැලුවහොත් පාරිසරික සේවාවන්ගේ සත්‍ය වටිනාකම ගණනය වී නැති නිසා ආර්ථික සහ පාරිසරික සම්පත් අතර සන්සන්දනය අසාර්ථක වනු ඇත. එය පාරිසරික වශයෙන් අයුක්ති සහගත වනු ඇති අතර සමස්ථ ජීවය මතම අහිතකර අයුරින් බලපානු ඇත. එසේ නම්, කෙසේ හෝ ස්පෘශ්‍ය අස්පෘශ්‍ය ආදි සියළු පාරිසරික සේවාවන්ගේ වටිනාකමට මුල්‍යමය වටිනාකමක් ලබා දියයුතුය.

එය කරන්නේ කෙසේද? අස්පෘශ්‍ය පාරිසරික සේවාවන්ට අවම මූල්‍යමය අගයක් ආරෝපණය මෙහිදි සිදු කරයි. උදාහරණයක් ලෙස වනාන්තර පරිසර පද්ධතියකින් කෙරෙන මුලික කාර්යයක් වන වායුගෝලයට ඔක්සිජන් වායුව මුදා හැරීම යන කාරණයේ මූල්‍යමය වටිනාකම සැලකුවහොත්, එසේ වනාන්තරය මඟින් කිසියම් කාලයකදී වායුගෝලයට මුදා හැරෙන ඔක්සිජන් වායු ප්‍රමාණය වනාන්තරය නැතිකොට කෘත්‍රීමව නිපදවා ගත්තේ නම් ඒ සඳහා වැය වෙන පිරිවැයට සමාන වේ. ඒ අයුරින් වනාන්තරයක් මඟින් කෙරෙන පාංශූ සංරක්ෂණ කාර්යය, වනාන්තරය තුල ජීවත් වන විවිධ ජිවීන් පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමට දෙන දායකත්වය ආදි ලෙස විවිධ අස්පෘශ්‍ය සේවාවන්ට මූල්‍යමය වටිනාකම් අරෝපණය කළ හැකිය.

නමුත් කලිනුත් සඳහන් කළ පරිදි මෙය පහසු, සරල කටයුත්තක් නොවේ. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින සංකල්පයක් බැවින් විවාදයට තුඩු දෙන මාතෘකාවකි. මේ සංකල්පය ශ්‍රී ලාංකීය පර්යේෂකයන්ට, ප්‍රතිපත්ති සම්පාදයකයන්ට, මහජනතාවට ආදි සමාජයේ විවිධ ස්ථරයන්ට තවමත් හරිහැටි හඳුන්වා දී නොමැත.

පරිසර පද්ධති සහ ඒවායෙන් වන සේවාවන්ට වටිනාකමක් ලබා දීම’ සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය

සම්මන්ත්‍රණය අවසානයේ පැවැත්වුනු විද්වත් සාකාච්ඡාව

සම්මන්ත්‍රණය අවසානයේ පැවැත්වුනු විද්වත් සාකාච්ඡාව

මෙවන් විවාදයට බඳුන් වන මාතෘකාවක් හඳුන්වා දීමද එතරම් පහසු නැත. එම අපහසු කටයුත්ත යථාර්තයක් කිරීමේ අපූරු උත්සහයක් ඔක්තෝබර් 18 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැත්විණි. මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ හා ශ්‍රී ලංකා UN-REDD සංවිධානයේ සහයෙන්, ප්‍රතිපත්ති සම්පාදන්යේදි වැදගත් කාර්යයභාර්යයන් ප්‍රමාණයක් ඉටු කරනා විවිධ රජයේ අමාත්‍යාංශ, අධිකාරින්, සංස්ථා වලද විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙන්ද නොයෙක් සමාජ ක්‍රියාකාරින්ගේද සහාභාගිත්වයෙන් ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයක් සංවිධානය විණි. මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය ‘පරිසර පද්ධති සහ ඒවායෙන් වන සේවාවන්ට වටිනාකමක් ලබා දීම’ යන සංකල්පයේ නව දියුණු වීම් සාකච්ඡා කරනු ලැබීම සඳහා විය.

පරිසර පද්ධතීන්ගේ සහ ජෛවවිවිධත්වයේ ආර්ථික වටිනාකම මනින ක්‍රමවේදය (The Economics of Ecosystems and Biodiversity- TEEB Methodology 2010) මෙහිදී සලකා බලන ලද අතර එහි සඳහන් වන පරිසර පද්ධතීන්ගේ සහ සේවාවන්ගේ වටිනාකම් හඳුනාගැනීම, එම වටිනාකම් ආදර්ශනය කිරීම සහ වටිනාකම් ග්‍රහණය කරගැනීම යන ප්‍රධාන ක්‍රමවේදයන් තුන සලකා බලන ලදි. පරිසර පද්ධතීන්ගෙන් වන සේවාවන්ගේ ආර්ථිකමය වටිනාකම පෙන්වමින් එවායෙන් රටෙහි ආර්ථිකයට වන මෙහෙය පෙන්වා දීම මෙහි පරමාර්ථය වී තිබිණි.

ඒ ඒ ක්‍රමවේදයට අදාලව සැසිවාර තුනක් ලෙස සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි. ජාතික සහ ජාත්‍යන්තර පර්යේෂකයන් කිහිපදෙනෙකු මෙම මාතෘකාවට අදාලව තම පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කරන ලදි.

සම්මන්ත්‍රණයේ ඉදිරි අරමුණු

විවිධ පාර්ශවයන් නියෝජනය කරමින් සම්මන්ත්‍රණයට සහභාගීවූවන්.

විවිධ පාර්ශවයන් නියෝජනය කරමින් සම්මන්ත්‍රණයට සහභාගීවූවන්.

සම්මන්ත්‍රණයේ කෙටි කාලින අරමුණ පරිසර පද්ධතීන්ට මූල්‍යමය වටිනාකමක් ලබා දෙමින් එම වටිනාකම් ප්‍රතිපත්ති සම්පාදනයේදී යොදා ගත හැකි අන්දම සාකාච්ඡා කිරීම වුවත් මෙහි දීර්ඝ කාලීන අරමුණ වන්නේ වනාන්තර ආදි සියළු පරිසර පද්ධතීන්ගේ මූල්‍යමය වටිනාකම ප්‍රායෝගිකව ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු රජයේ කටයුතු වලදි යොදා ගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි.

උදාහරණයක් ලෙස ලංකාවේ සියළු වනාන්තර වලට මූල්‍යමය අගයක් ආරෝපණය කිරීමෙන් පසු  ඒ වටිනාකම එම වනාන්තරයම කිසියම් ආර්ථික (යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි) කටයුත්තක් කෙරෙහි යොමු කරවීමෙන් ලඟා කරගත හැකි ආර්ථික වාසිය සමඟ සන්සන්දනය කර වඩා වැඩි මූල්‍යමය වාසිය සහිත කටයුත්තට මුල් තැනක් දීම සිදු කළ හැක.

තවත් උදාහරණයක් ලෙස කිසියම් පුද්ගලයෙකු රටේ නීතිය උල්ලංඝනය කරමින් පරිසර පද්ධතියක් විනාශ කර සිටින අවස්ථාවක ඔහු රජයට ගෙවිය යුතු දඩ මුදල් නිශ්චය කිරීම සලකා බැලුවොත්, වත්මන් තත්වය නම් කිසියම් ඉතා සුළු මුදලක් දඩ වශයෙන් ගෙවන්නට සිදු වීමයි. නමුත් මෙම පරිසර පද්ධතින්ට වටිනාකම් ආරෝපණයෙන් පසුව එම මූල්‍යමය වටිනාකම දඩ මුදලට සමාන අගයක් ලෙස යොදා ගැනීමට නීතිය සකස් වුවහොත් මිනිසුන් පරිසර පද්ධතීන් විනාශ කිරීමට පෙළඹීම ඉතා අඩු වනු ඇත්තේ එම වටිනාකම පුද්ගලයෙකුට දැරිය නොහැකි තරම් විශාල වන නිසාය.

සම්මන්ත්‍රණයට පෙර එයට සහභාගී වීමට තිබූ බොහෝ පාර්ශවයන්ගේ උනන්දුව, සම්මන්ත්‍රණයෙන් පසුව කතිකාවතක් බවට පත්ව තිබෙනු දක්නට ලැබේ.

රජයකට පවා ලබා දිය නොහැකි ජීවත් වීමට අත්‍යාවශ්‍ය මූලික කාරණා සපුරා දීමට පරිසර පද්ධතියකට හැකියාව ඇත. නමුත් ප්‍රතිපති සම්පාදකයින් විසින් ගනු ලබන පාරිසරික වශයෙන් අයහපත් ආර්ථික ප්‍රතිපත්තීන් නිසා එසේ නොමිලයේම පරිසර පද්ධතියක් මඟින් ලබා දෙන සියළු සේවාවන් අහිමි කරගැනීමේ හැකියාවක් ඇති බැවින් එසේ නොවීමට තරම් ප්‍රබල යාන්ත්‍රණයක් සාදා ගැනීම රටක් වශයෙන් ඉතා වැදගත්ය. මෙම සම්මන්ත්‍රණය හුදෙක් මෙම ක්‍රියාවලියේ ආරම්භයක් පමණි. බොහෝ දේ කිරීමට ඉතිරිව ඇත. ඒ බොහෝ දේ සඳහා සියළු පාර්ශවයන්ගේ ක්‍රියාකරි අවධානය ඉතා වැදගත් වේවි.

කවරයේ පින්තුරය: වනාන්තර පරිසර පද්ධතියකින් ලැබෙන සේවාවන්

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්