Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ මුහුදු ඌරන් රැකගැනීමේ වැදගත්කම

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදේ වාසය කරන මුහුදු ක්‍ෂීරපායින් අතර සිටින මුහුදු ඌරා අවාසනාවන්ත ලෙස වර්තමානයේ ඉතාම දුර්ලභ තත්වයකට පත්ව තිබෙනවා.

ක්‍ෂීරපායින් යනු, අපි කවුරුත් දන්නා, අත්/පා යුගල දෙකක් ඇති, රෝම සහිත චර්මයක් ඇති, අචල තාපී සතුන්ය. ඔවුන් බොහෝ විට සජීවී පැටවුන් බිහි කරන අතර, අන් සියලු සත්ත්ව වර්ග වලින් දක්වන සුවිශේෂත්වය වන්නේ පැටවුන්ට මව් කිරි දීමෙන් පෝෂණය කරන බවයි. ක්‍ෂීරපායින් ගොඩබිමේ මෙන්ම මුහුදේ ද ජීවත් වේ. මුහුදු ක්‍ෂීරපායින් අතරින් ප්‍රසිද්ධ ලෙස අසන්නට ලැබෙන්නේ තල්මසුන් හා ඩොල්ෆින් ගැනයි. නමුත්, මීට අමතරව වෙනත් ක්‍ෂීරපායින් මුහුදේ වාසය කරයි. මේ අතුරින් ලංකා මුහුදේ දැක ගත හැකි තවත් ක්‍ෂීරපායියෙක් තමයි මුහුදු ඌරා.  

කවුද?

මුහුදු තෘණ අනුභව කරන මුහුදු ඌරෙක්

මුහුදු තෘණ අනුභව කරන මුහුදු ඌරෙක්

මුහුදු ඌරා (Dugong dugon) යනු කරදියේ වෙසෙන, සාපේක්ෂව කුඩා ක්‍ෂීරපායි සතෙකි. දිගින් මී. 2.4 – 2.7 වන මෙම සතුන්ට දුඹුරු පාට හෝ අළු පාටට හුරු සමක් ඇති අතර ඔවුන්ගේ ශරීර තරබාරුය. බැලූ බැල්මට ඔවුන්ගේ හම සුමුදු ලෙස පෙනුනද, ඇත්තෙන්ම එය රළු ස්වභාවයක් ගනී; කෙටි, රළු රෝම වලින් මුහුදු ඌරන්ගේ හම ආවරණය වී තිබේ. මෙම සතුන්ගේ හොම්බ තියුණු ලෙස පහලට හැරවී තිබෙන අතර එය ඝනකම් කෙඳි වලින් වැසී ඇත. මේ අනුවර්තනය නිසා ඔවුන්ට පහසුවෙන් මුහුදු තෘණ උලා කෑ හැකිය. මුහුදු ඌරන්ගේ වලිගය පුළුල්ය; ඉස්කෝප්පයක් වැනිය.

මුහුදු ඌරන් ඉතාමත් සෙමින් ගමන් කරන සතුන්ය. පැයට කී.මී. 9ක් පමණ වේගයකින් පිහිනන නමුත් ඔවුන්ට තර්ජනයක් ඇතිවුවහොත් මෙම වේගය දෙගුණ කරමින් පලා යා හැකිය. විනාඩි 6 – 10ක් පමණ හුස්ම අල්ලාගෙන ඔවුන්ට දිය යට සිටිය හැකිය. පැටවුන් සමහර අවස්ථාවන් වලදී මවගේ පිට උඩ ගමන් කරයි. ඔවුන්ගේ මන්දගාමී පරිවුර්තීය වේගය (metabolic rate) නිසා මෙම සතුන්ට සීතල දියේ ජීවත් වීම අපහසු වන අතර වතුරේ සිදුවන හදිසි උෂ්ණත්ව වෙනස්කම් දරා ගැනීම ද ඔවුන්ට අපහසුය. මෙම සතුන් වැඩියෙන්ම ප්‍රිය කරන ආහාරය වන්නේ මුහුදු තෘණ විශේෂයි. ඔවුන් දිවා රෑ දෙකෙහිම මේ තෘණ උලා කයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ වෙසෙන මුහුදු ඌරන් සාමාන්‍යයෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක්ගෙන් සමන්විත වන කණ්ඩායම් ලෙස වාසය කරයි. මෙම සතුන් උණුසුම් දිය ඇති මෝයවල හා නොගැඹුරු වෙරළාසන්න මුහුදේ වාසය කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙම පරිසර පද්ධති වලට විශාල මුහුදු තෘණ පාත්ති ඇතුළු වෙනත් ශාක වර්ග හොඳින් පෝෂණය කරගත හැකිය. පොර්ක්‌ බොක්ක (Palk bay), අරිප්පු මුතු ඉවුර (Arippu pearl banks), ආදම්ගේ පාලම (Adam’s bridge) සහ යාපන අර්ධද්වීපයට බටහිරින් ඇති දූපත් හා මන්නාරම් බොක්ක ආශ්‍රිත මුදුදේ මෙම සතුන් වාසය කරයි. නමුත්, මෙම සතුන් දැක බලා ගැනීමට ඇති අවස්ථා ඉතාමත් දුර්ලභය.

IUCN සංරක්ෂණ වර්ගීකරණ මට්ටම්වලට අනුව, මුහුදු ඌරා ඉතාම දුර්ලභ ලෙස නම් කර ඇත. මෙම සතුන් දඩයම් කිරීම 1970 ගණන් දක්වා සිදුවූ අතර, ඉන් පසු සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට කෙරවූ සංශෝදන මගින් නීතිමය ආරක්‍ෂාව ලබා දී ඇත.

උවමනාවෙන් දඩයම් නොකළද, මුහුදු ඌරෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වලට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්වේ. මාළු දැල් වලට අසුවීමෙන්, ඩයිනමයිට් මගින් මාළු ඇල්ලීම් වලට ගොදුරු වීමෙන් හා බෝට්ටු වල ගැටීම වැනි සිදුවීම් හේතුවෙන් අදටත් මිය යති. දඩයම් කිරීම අද අඩු වුවද තවමත් තැනින් තැන සිදුවේ.

අවුරුදු කිහිපයකට උඩදී දඩයම් කල ඉතා විශාල මුහුදු ඌරන් දෙදෙනෙක් ලෝකයේ වාර්තා වූ විශාලම සතුන් ලෙස සැලකේ. මේ දෙදෙනාගෙන් පිරිමි සතා කිලෝග්‍රෑම් 480ක් ද ගැහැණු සත කිලෝග්‍රෑම් 525ක් ලෙස සටහන් කොට ඇති අතර ඔවුන්ගේ හම් පුරවා, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇත.

සංරක්ෂණය

Dougon-Map-Sinhala

මුහුදු ඌරන් සහ මුහුදු තෘණ සංරක්ෂණ වැඩසටහන යනු මුහුදු ඌරන් සහ ඔවුන් කන මුහුදු තෘණ බිම් ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබූ ලෝක ව්‍යාප්ත වෑයමකි. ඉන්දියානු සාගරය හා ශාන්තිකර සාගරය අවට ඇති රටවල් අටකින් මෙම වැඩසටහන අරඹා ඇත; එම රටවල් නම් ඉන්දුනීසියාව, මැඩගස්කරය, මලයාසියාව, මොසැම්බික්, සොලොමොන් දූපත්, ශ්‍රී ලංකාව, ටිමෝරය සහ වනුවාටු වේ. මෙය ලෝකයේ මුහුදු ඌරන් හා මුහුදු තෘණ සංරක්ෂණය කිරීමේ ප්‍රථම සමායෝජිත වෑයම වේ.

ශ්‍රී ලංකාව් මෙම වැඩසටහන ක්‍රියාමාර්ග කිහිපයකින් සමන්විත වේ;

  • මුහුදු ඌරන් සහ මුහුදු තෘණ වල වැදගත්කම ගැන මහජනතාව දැනුවත් කිරීම
  • මේ හා සම්බන්ධ විවිධ පාර්ශවයන් අතර ඵලදායී සමායෝජන හා සන්නිවේදන මාර්ග පවත්වා ගැනීම. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව (Sri Lanka Coast Guard), විවිද ප්‍රජා ආයතන සහ ව්‍යාපාර මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ද මෙම වෑයමට නිසි සහය දක්වයි.
  • මුහුදු ඌරන් සහ මුහුදු තෘණ හා සම්බන්දව පරිපූර්ණ දත්ත සමූහයක් සකස්කිරීම.
  • ප්‍රජා සංරක්ෂණ කණ්ඩායම් (Community Conservation Groups) මූලෝපායික ස්ථාන වල පිහිටුවීම. මෙම කණ්ඩායම් වල සාමාජිකයින් මුහුදු ඌරන් හා මුහුදු තෘණ සංරක්ෂණ වෑයමේ භාරකරුවන් ලෙස ක්‍රියා කරන ලෙස බලාපොරොත්තු වේ.
  • ජාතික අධ්‍යාපන ආයතනය තුලින් මේ වෑයම පිළිබඳව පාසල් යන දරු දැරියන් දැනුවත් කිරීම.
  • නීතියේ සහ අදාල රෙගුලාසි වල ඇති අඩුපාඩුකම් සපුරාලීම.
  • මාළු දැල් වල අහම්බෙන් පැටලුන මුහුදු ඌරන් සුරක්‍ෂිතව මුදා හැරීමට දිරිගැන්වීම.
  • මුහුදු තෘණ භුමි වලට හානි සිදුවීම වැලැක්වීම.
  • මුහුදු තෘණ ව්‍යාප්තිය දැක්වෙන සිතියම් සකස් කිරීම හා විශේෂයෙන් රැක බලා ගතයුතු ස්ථාන උද්දීපනය කිරීම.

මෙම වැඩසටහන ආයතන කිහිපයක සාමාජිකත්වයෙන් කරගෙන යනු ලබනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), Biodiversity Education and Research (BEAR) සහ වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ අතර වැදගත්වේ.

මුහුදු තෘණ පිළිබඳව අවදානය යොමුකිරීමට හේතුව කුමක්ද?

මුහුදු ඌරන් වැඩිවශයෙන් අනුභව කරන මුහුදු තෘණ

මුහුදු ඌරන් වැඩිවශයෙන් අනුභව කරන මුහුදු තෘණ

මුහුදු තෘණ යනු නොගැඹුරු, වෙරළාසන්න මුහුදේ වැවෙන සපුෂ්ප ශාක වර්ගය. ලෝකයේ මුහුදු වලින් 0.2% පමණ සුළු ප්‍රදේශයක මෙම ශාක දැකගත හැකි වුවත්, ගොඩබිමේ ඇති වැසි වනාන්තරවල වඩා කාර්යක්‍ෂම ලෙස කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමට මෙම ශාක වලට හැකියාව ඇත. ජලයේ ඇති අපද්‍රව්‍ය පෙරා, ජලජ සතුන් රාශියකට ආහාර, ආරක්‍ෂාව හා රැකවරණය ද සපයා දෙයි. වෙරළ ඛාදනයද මැඩලීමට මුහුදු තෘණ ඉතාමත් වැදගත් වේ.

මේවා මුහුදු ඌරන් වැඩියෙන්ම ප්‍රියකරන ආහාරය ද වේ. ඒ නිසා මුහුදු ඌරන්ගේ  සංරක්ෂනයේදී ඔවුන්ගේ ආහාර ප්‍රභවයන් ද රැක බලා ගත යුතුයි.

එහෙත් 1980 සිට වර්ෂයකට වර්ග කිලෝමීටර් 110ක් තරම් භයානක වේගයකින් මුහුදු තෘණබිම් විනාශ වෙමින් පවතී. මෙම තරුණ භූමි සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය ඉතා පැහැදිලිය.

කවරයේ පින්තුරය: npmjs.com

Related Articles