Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාරිසරික කැලැන්ඩරයේ වැදගත් වර්ෂ හා දින

1969 පමණ වන විට කාර්මිකරණයේ අහිතකර ප්‍රතිඵල ක්‍රමක්‍රමයෙන් මිනිස් දෑස ඉදිරිපිට හොල්මන් කරන්නට වුණා. මිනිස් සංහතියම මෙතෙක් කල් දුර දිග නොබලා කාර්මික හා කෘෂිකාර්මික දියුණුව යැයි කියා ගන්නා දේ තුළින් පරිසරයට එක් කළ අපද්‍රව්‍ය හා එයට කළ විනාශයන්ට එරෙහිව සොබාදහමෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව ජනතා උනන්දුව යොමු වෙන්නට පටන් ගත්තා. පාරිසරික ගැටළු එක් ප්‍රදේශයකට හෝ එක් ජන කොටසකට පමණක් සිමා නොවූ බවත් එය මුළු මහත් මිහිතලයටම බලපාන බවත් අවබෝධ කරගන්නා ලෝක ප්‍රජාව එම ගැටළු විසදීම සඳහා එක්රැස් වී අන්තර්ජාතික සම්මුතීන් හා සන්ධාන ගොඩනගා ගන්නවා.

ඉතින් අද මේ ලිපිය තුළින් අපි ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික වශයෙන් පාරිසරිකව වැදගත් වර්ෂයනුත්, අන්තර්ජාතික මෙන්ම ජාතික පාරිසරික දින හා ඒවායේ වැදගත්කම පිළිබඳව කුඩා සටහනක්. පරිසරයට ආදරය කරන අයෙක් ලෙස මෙහි අඩංගු විස්තර ඔබට ඉතා වැදගත් වේවි. ඉතින් මීටත් වඩා තොරතුරු ඔබ දන්නවනම් comment එකකින් ඒ දැනුම අපි අතරේ share කරගන්නත් අමතක කරන්න එපා.

මානව පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණය – 1972

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ( PATA)

1972 වන තුරු පාරිසරික ගැටළු පිළිබඳව (තෙත් බිම් සංකල්පය හැර) අන්තර්ජාතික වශයෙන් සාකච්ජාවට බදුන් වී තිබුනේ නෑ. මේ පිළිබඳව මිනිස් අවධානය වැඩිපුර යොමු වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් 1972 දී ප්‍රථම පාරිසරික සමුළුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පවත්වනු ලබනවා. මෙහිදි ගෝලීය පරිසරය සුරැකීම සඳහා එක්ව කටයුතු කිරීමට සහභාගී වූ රටවල් 116ක් කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම මෙම සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස 1972 වර්ෂයේදීම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) ආරම්භ වෙනවා.

පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව(UNCED) – 1992

බ්‍රසීලයේ පැවති සමුළුව (Wake Up New Zealand)

ප්‍රථම පාරිසරික සමුළුව පවත්වා හරියටම වසර 20කට පසුව දෙවන පාරිසරික සමුළුව බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නුවර පැවැත්වුනා. පරිසරය හා සංවර්ධනය තේමා කරගත් මෙම සමුළුවේදී පාරිසරිකව වැදගත් තීරණ විශාල ප්‍රමාණයක් ගනු ලබනවා. පරිසරය හා සංවර්ධනය අරමුණු කරගත් රියෝ ප්‍රකාශනය (21 වන න්‍යාය පත්‍රය) 20 වන සියවසට ගැලපෙන ආකාරයට පරිසර ක්‍රියාත්මක සැලසුම, දේශගුණික විපර්යාස පිළිබඳව එක්සත් ජාතීන්ගේ වැඩසටහන හා වනාන්තර සිද්ධාන්ත පිළිබඳව සම්මුතිය ඇති වන්නේත් මේ සමුළුව හරහායි.

ධරණිය සංවර්ධනය පිළිබඳව ජොහැන්ස්බර්ග් සමුළුව – 2002

ජොහැන්ස්බර්ග් සමුළුව ( www.un.org)

ධරණිය සංවර්ධනය සඳහා වන ජොහැන්ස්බර්ග් ප්‍රකාශය හා රියෝ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ සැලසුම යන දෙකම මෙම සමුළුවේදී එලි දක්වනු ලැබුවා. රියෝ සමුළුවෙන් දශකයට පමණ පසු දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේදී පැවැත්වුණා. 1992 වසරේ පැවති පරිසර සමුළුව පිළිබඳව සම්පුර්ණ විවරණයක් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු වුණා. එසේම අවධානය වැඩිපුර යෙදවිය යුතු කරුණු වලට විශේෂිත දින ප්‍රකාශ කර ඒවා සැමරීමට කටයුතු කිරීමත් මෙම සමුළුවෙන් ගත් සුවිශේෂී තීරණයක් වුණා.

ලෝක තෙත් බිම් දිනය – පෙබරවාරි 02

2015 ලෝක තෙත්බිම් තේමාව (National Parks of Turkey)

යුරෝපයේ තෙත් බිම් සීඝ‍්‍ර ලෙස විනාශයට පත් වීම, ජලාශ්‍රිත පක්ෂීන් වඳවී යාම යන කරුණු කෙරෙහි අවධානය යොමු වීමෙන් ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා 1971 වසරේදී ඉරානයේ රැම්සා නුවරට රැස්වූ රටවල් 18 ක නියෝජිතයන් විසින් අන්තර්ජාතික සම්මුතියක් සම්මත කරගෙන තිබෙනවා.

දැනට ක්‍රියාත්මකව පවතින පරිසරය සම්බන්ධ පැරණිතම අන්තර්ජාතික එකඟතාව ලෙසද සැළකෙන්නේ මෙයයි. මෙම සම්මුතියට මේ වන විට අත්සන් තබා ඇති රටවල් සංඛ්‍යාව එකසිය හැට හතරක් වන අතර හෙක්ටයාර එක්කෝටි අනූ අට ලක්ෂයකට ආසන්න භූමි ප‍්‍රමාණයක පැතිරී ඇති ප්‍රදේශ​ දෙදහස් හැත්තෑ පහක් තෙත් බිම් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ පුරවැසි කණ්ඩායම් විසින් තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලබනවා. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද අවශ්‍ය උපදෙස්, ද්‍රව්‍ය හා ආධාර සපයනු ලබනවා.

ලෝක ජල දිනය – මාර්තු 22

2016 ලෝක ජල දින තේමාව (BoloPakistan)

1992 දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබද ඵක්සත් ජාතින්ගේ සමුළුවේදි ජලය පිළිබද ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වූ යෝජනාව මත 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය ඒ ඒ වර්ෂයන්ට අදාළව තේමාවන් මුල් කර ගනිමින් සමරනු ලබනවා.

ජල සංරක්ෂණයේ වැදගත්කම, ජල සම්පත් සංවර්ධනය හා 1992 වසරේ 21 වන න්‍යාය පත්‍රයට අනුකූලව නිර්දේශ ක්‍රියාවට නැංවීම ආදී කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම දිනයේ මුලික අරමුණු වෙනවා.

ලෝක මිහිතල දිනය – අප්‍රේල් 22

1970 දී වීදි බැසගත් ඇමරිකානු ශිෂ්‍යන්  (GreenBiz)

වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනය, මිහිතලයේ සෞන්දර්ය ඇගයීමට ලක් කිරිම සඳහා සෑම වසරකම අප්‍රේල් මස 22 වන දින සමරනු ලබනවා. 1970 වර්ෂයේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පරිසර දුෂණයට එරෙහිව කළ උද්ඝෝෂණය හේතුවෙන් ප්‍රථම වරට පාරිසරික ගැටළු පිළිබඳව දේශපාලනික අවධානය යොමු වුණා. මෙම උද්ඝෝෂණය පැවැත්වූ දිනය ලෝක මිහිතල දිනය ලෙස නම් කර තිබෙනවා. මිහිකත දිනය තුළින් රියෝ ප‍්‍රඥප්තිය ඇති කිරිමට විශාල බලපෑමක් එල්ල වුණු අතර මිහිතලය හා තිරසාර පැවැත්ම පිළිබඳව අත්‍යාවශ්‍යතාවය ඒ තුළින් නිරූපණය වෙනවා.

ලෝක පරිසර දිනය – ජුනි 05

එක්සත් ජාතීන්ගේ ප්‍රථම පාරිසරික සමුළුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පවත්වන ලද්දේ ජූනි මස 5 වන දිනයි. එය සිහි වීමට සෑම වර්ෂයකම විවිධ තේමා යටතේ ලෝක පාරිසරික දිනය සමරනු ලබනවා. ලොව පුරා ජනතා හා දේශපාලන අවධානය පාරිසරික ගැටළු කෙරෙහි යොමු කරවීම මෙම දිනයේ මූලික අරමුණ වෙනවා.

කාන්තාරකරණය හා නියගය පිටුදැකීම පිළිබඳව ජාත්‍යන්තර දිනය – ජුනි 17

2013 කාන්තාරකරණය හා නියගය පිටුදැකීම පිළිබඳව ජාත්‍යන්තර දින තේමාව (International Institute for Sustainable Development)

කාන්තාරකරණය හා නියඟය පිටු දැකීමේ අන්තර්ජාතික සම්මුතියට අත්සන් තබන ලද ජුනි මස 17 වනදා සිහි කිරීම සඳහා  මෙම දිනය වාර්ෂිකව සමරනු ලබනවා. ලොව පුරා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සියළු පරිසර සංවිධාන මෙම දිනය වාර්ෂිකව විවිධ තේමා යටතේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සමරනු ලබනවා. භූමිය හානිවීම, කාන්තාරකරණය හා නියඟය නිසා ඇති වන සමාජ, ආර්ථික ගැටළු පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම මෙහි මුලික අරමුණු වෙනවා.

ඕසෝන් ස්ථරය රැකිම සඳහා වූ අන්තර්ජාතික දිනය – සැප්තැම්බර් 16

ඇන්ටාක්ටිකාවේ ඕසෝන් සිදුර ක්‍රමක්‍රමයෙන් විශාල වන අන්දම (Business Insider)

ඕසෝන් ස්ථරයට හානි කරන නිෂ්පාදන හා ඒවායේ භාවිතය ක්‍රමයෙන් අඩු කිරීම සඳහා 1987 කැනඩාවේ මොන්ට්‍රියල් නුවරදී සම්මුතියකට අත්සන් තබනවා. මෙම මොන්ට්‍රියල් සන්ධානයට රටවල් එක්ව අත්සන් තැබූ සැප්තැම්බර් 16 වනදා ඕසෝන් ස්ථරය රැකගැනීමේ අන්තර්ජාතික දිනය ලෙස නම් කර තිබෙනවා. මොන්ට්‍රියල් සම්මුතියේ හා ඊට පසුව එක් වූ සංශෝධන වල සදහන් ඕසෝන් ස්ථරය රැක ගැනීමේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දිනය යොදා ගන්නවා.

ජාතික රුක් රෝපණ දිනය – ඔක්තෝම්බර් 15

ශ්‍රී ලංකාවට මෝසම් වැසි ලැබෙන ඔක්තෝම්බර් මාසයේ දිනයක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. ජාතික මට්ටමින් සමරනු ලබන මෙම දිනයේ අරමුණු වන්නේ ගහ කොළ සුරැකීමේ වැදගත්කම ජනතාවට පහදා දෙමින් ශ්‍රී ලාංකිකයන් වැඩිදුරටත් රුක් රෝපණය සඳහා යොමු කරවීමයි. මෙම මාසය පුරාවටම ජාතික හා ප්‍රාදේශීය වශයෙන් රුක් රෝපණ වැඩසටහන් රාශියක් පැවැත්වෙනවා.

අන්තර්ජාතික කදුකර දිනය – දෙසැම්බර් 11

2016 අන්තර්ජාතික කදුකර දිනය සමරන අවස්ථාවක් ( Utah International Mountain Forum)

කදුකරයේ වැදගත්කම අවධාරණය කිරීමත් කදුකර සංවර්ධනය සදහා ඇති අවස්ථාවන් හා බාධාවන් පිළිබඳව දැනුවත් කිරීම හා කදුකර ප්‍රදේශ වල තිරසාර සංවර්ධනය ඇතිකිරීම උදෙසා හවුල් කරුවන් රැස් කිරීම වැනි ඉලක්ක අරමුණු කරගනිමින් එක්සත් ජාතින් විසින්  2002 වසරේ සිදු කරන ලද ක්‍රියාකාරකම් වල සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම දෙසැම්බර් 11 වන දින අන්තර්ජාතික කදුකර දිනය සමරනු ලබනවා.

පාරිසරික කැලැන්ඩරයේ වැදගත් වර්ෂ කිහිපයක් හා වැදගත් දින පිළිබඳවයි ඉහතින් අප විසින් ඔබ වෙත ගෙන ආවේ. කෙතරම් සම්මුතීන් හා සංවිධාන ගත වී ලෝක ප්‍රජාව විසින්  පරිසර ගැටළු වලට අවධානය යොමු කිරීම උදෙසා විශාල දින සංඛ්‍යාවක් ප්‍රකාශ කර තිබුනත් එහි අරුත් නියමාකාරයෙන් ඉටු වෙනවාද යන්න ලෝක ප්‍රජාව විසින්  දෙවරක් සිතිය යුතු වෙනවා.

Cover Image: nature.org

ලසන්ත කුලරත්න

Related Articles