Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පංච මහා විල් අතුරින් විශේෂිත එකක් වන​ ඔන්ටාරියෝ විල

පසුගිය ලිපි කිහිපයෙන් අපි පංච මහා විල් වලට අයත් හ්‍යුරන්, මිචිගන් හා සුපීරියර් යන විල් තුන පිළිබඳව ඉතාම හරබර තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ආවා. මෙයින් සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති විල් ද්විත්වය වන ඔන්ටාරියෝ හා ඊරි යන විල් දෙකත් පංච මහා විල් වල ලෝක ප්‍රසිද්ධියට හා විශේෂත්වයට දක්වන්නේ නොමඳ දායකත්වයක්. විශේෂයෙන්ම මෙහි ඔන්ටාරියෝ විල ඉතාම විශේෂ එකක් වන්නේ මේ විල් පහේම ජලය සමුද්‍රය වෙත තල්ලු කිරීමෙහි ලා වැඩිම දායකත්වයක් දක්වන්නේ මේ විල වීම නිසයි.

ඔන්ටාරියෝ විල හැඳින්වීම

ඔන්ටාරියෝ විල පංච මහා විල් අතුරින් අඩුම වපසරියකට හිමිකම් කියන විලයි. පෘෂ්ඨීය වර්ගඵලයෙන් වර්ග කිලෝමීටර 18,960 වන මෙය වපසරියෙන් ඊරි විලට ආසන්න වශයෙන් සමාන වුවත් ඊට වඩා සැළකිය යුතු තරම් ගැඹුරින් වැඩි නිසා ඝණ කිලෝමීටර 1640 ක් තරම් වූ විශාල ජල කඳකට උරුමකම් කියනවා. ඔන්ටාරියෝ විල 2017 වසරේදී වසර 100 කට පසු එහි වැඩිම ජල මට්ටමට පැමිණි අතර එහි අවට ප්‍රදේශ වලට විශාල ගංවතුරක් හා සෝදාපාළුවක් ඇති කළා.

Sergei_ak8/Flickr

මේ විලෙහි උපරිම දිග කිලෝමීටර 311ක් වන අතර උපරිම පළල කිලෝමීටර 85ක් වෙනවා. මීටර 86 ක සාමාන්‍ය ගැඹුරක් ඇති ඔන්ටාරියෝ විලෙහි උපරිම වශයෙන් ගැඹුරු ස්ථානය මීටර 244ක ගැඹුරකින් යුක්තයි.

ඔන්ටාරියෝ විලේ පිහිටීම

පංච මහා විල් අතුරින් නැඟෙනහිරින්ම පිහිටා ඇති මේ විල නයගරා ඇල්ල​ පිහිටි නයගරා ගඟ අවසන් වන ස්ථානයේ පිහිටා තිබෙනවා. මෙයට මායිම් වන ලෙස දකුණින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තය ඇති අතර කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තය නිරිත දිගින් හා උතුරින් පිහිටා තිබෙනවා. ඔන්ටාරියෝ විලේ ජලය ශාන්ත ලෝරන්ස් ගංගාව ඔස්සේ අත්ලාන්තික් සාගරයට ගලාගෙන යනවා. මේ විල සතුව කලපු ගණනාවක් ඇති අතර ඒවාට හා විලට මායිම්ව වැටී ඇති දීර්ඝ හා පටු ගොඩබිම් තීර ගණනාවක්ම දකින්නට ලැබෙනවා. මේ භූමි ස්කන්ධ ගොඩනැඟී තිබෙන්නේ වැලි, මඩ හා තවත් සුන්බුන් ද්‍රව්‍ය වල එකතුවෙන්.

ඔන්ටාරියෝ විල හා ඒ අවට දියඇලි දැක්වෙන සිතියමක්-gowaterfalling.com

ඔන්ටාරියෝ විල සතුව දූපත් රාශියක් තිබෙනවා. මේ දූපත් වලට Thousand Islands Region නැමති දූපත් 2000කින් පමණ සෑදුණු  දූපත් සමුච්ඡයත් අයිති වෙනවා. මේවා සමුච්ඡය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද හා කැනේඩියානු දේශසීමාව ආසන්නයේයි. ඔන්ටාරියෝ විල​ සතු දූපත් බහුතරයක් ඉතා කුඩා හා ජනශුන්‍ය ඒවා වුණත් මෙය සතු විශාලම දූපත වන Wolfe Island (වුල්ෆ් දූව) වර්ග කිලෝමීටර 124ක් තරම් විශාල එකක් වෙනවා.

Thousand Islands Region-iwilltravelblog.com

ඔන්ටාරියෝ විල් ජලය පංච මහා විල් වල ජල තල වලින් වැඩිපුරම දූෂණයට ලක් වූ ජල තලය ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙයට වඩාත්ම හේතු වන්නේ අනෙක් මහා විල් සතරෙහිම ජලය කිලෝමීටර ගණන් නාගරික ගොඩබිම් ඔස්සේ ගලා විත් මේ විලට වැටීමත්, ඔන්ටාරියෝ විල අවටත් සැළකිය යුතු තරමේ නාගරික පරිසරයක් තිබීමත් යන කාරණා දෙකයි.

ඔන්ටාරියෝ විලෙහි ඉතිහාසය

උතුරු ඇමෙරිකා මහාද්වීපයේ පිහිටි පංච මහා විල් සියල්ලම ග්ලැසියරයක් දිය වී යාම නිසා බීහිවූ බව අපි මින් පෙර ලිපි කිහිපයේම සඳහන් කළා. මේ නිසා සෑදුණු අවපාතන 5න් නැඟෙනහිරින්ම ඇති වූ අවපාතානයෙන් ඔන්ටාරියෝ විල බිහි වුණා.

ඔන්ටාරියෝ විලට මේ නම ලැබී තිබෙන්නේ අතීතයේ උතුරු ඇමෙරිකා මහාද්වීපයේ ජීවත් වූ ප්‍රබල ගෝත්‍රයක් වන ඉරොක්වා වරුන්ගේ භාෂාවෙන් බිඳී ආ වචනයකිනුයි. එහි අර්ථය ‘අලංකාර විල’ යන්නයි.

ඔන්ටාරියෝ විල දැක්වෙන පැරණි සිතියමක්-old-print.com

ක්‍රි.ව 1615 දී ප්‍රංශ ජාතික ඉටියෙන් බෲල් සහ සැමුවෙල් ඩෙ චැම්ප්ලේන් විසින් හ්‍යුරන් විල සොයාගැනීමත් සමඟම වාගේ ඔන්ටාරියො විලත් සොයාගන්නවා. 17 වන හා 18 වන සියවස් වල ප්‍රංශ ජාතිකයින් විසින් මෙහි දෙකෙළවර බලකොටු දෙකක් ඉදි කරනවා. මෙය ඉතා යුහුසුළු ලෙස අතීතයේදී (විශේෂයෙන් 1812 යුද්ධය අවසන් වූ පසු ) වෙළඳ හා ආර්ථික කටයුතු වෙනුවෙන්  ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදාගෙන තිබුණු අතර විශාල නැව් ගමනාගාමනය සඳහා වූ ඇළ මාර්ගද මේ විල සම්බන්ධ කොට ඉදි කෙරුණා. පසුකාලීනව දුම්රිය ප්‍රවාහනය ජනප්‍රිය වන තුරු ඔන්ටාරියෝ විල සැළකුණේ ඉතාමත් කාර්යයබහුල  ආර්ථික මර්මස්ථානයක් ලෙසයි.

ඔන්ටාරියෝ විල් ජලයේ උෂ්ණත්වය

ඔන්ටාරියෝ විල සාපේක්ෂව ගැඹුරින් වැඩි නිසාත්, නිරිතදිගින් එන උණුසුම් වායු ධාරා නිසාත් සම්පූර්ණයෙන් මිදීමට ලක් වන්නේ කලාතුරකින්. සාමාන්‍යයෙන් ග්‍රීෂ්මයේ මධ්‍යට වන්නට මෙහි ජලය සෙල්සියස් අංශක 24 දක්වා උණුසුම් වන අතර ශීත සෘතුවේ උපරිමයේදී, එනම් පෙබරවාරි මාසයේදී, ජල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 දක්වා පහත වැටෙනවා. මේ කාලයේදී සාමාන්‍යයෙන් විල එහි වෙරළ ප්‍රදේශයෙන් මිදීමට ලක් වන අතර, මේ තත්වය දෙසැම්බර් මස මධ්‍යයේ සිට අප්‍රේල් මස මැද වන තුරු අත්දකින්නට පුළුවන්.

හිමෙන් වැසුණු සයිරකියුසය-syracuse.com

ඔන්ටාරියෝ විලේ බලපෑම නිසා ඒ අවට ප්‍රදේශයට ඉතා දැඩි හිම පතනයක් ඇති වන අතර එය දැඩිවම බලපවත්වන දකුණු වෙරළ තීරයේ පිහිටි ප්‍රදේශ වලට වාර්ෂිකව අඩි 20ක පමණ හිම පතනයක් ලැබෙනවා. ඔන්ටාරියෝ විලේ බලපෑමෙන් ඇතිවන හිම පතනය නිව්යෝක් ප්‍රාන්තයේ සයිරකියුසය  දක්වාම දැකිය හැකි අතර එය ඇමෙරිකා එක්සත් ජනපදයේ හිම පතනය වැඩිම නගරයක් ලෙස ගණන් ගැනෙනවා.

ශාක හා සතුන්

Walleye, Coho salmon හා Chinook salmon යන මත්ස්‍යන් හා ට්‍රෞට් මත්ස්‍ය විශේෂ ගණනාවක්ම ඔන්ටාරියෝ විලෙන් හමු වනවා. මීට අමතරව මේ විලේ නොගැඹුරු හා වෙරළාසන්න ප්‍රදේශ වල විලේ පතුලට වන්නට ආක්‍රමණික මොලුස්කාවන් විශේෂයන් හමුවනවා.

ඔන්ටාරියෝ විල අවට දේශගුණය හා පස පළතුරු වගා කිරීම සඳහා ඉතාම හිතකර එකක් වනවා. මේ අවට සරුසාරව වැඩුණු ඇපල්, චෙරි, පීච්, පෙයාර්ස් හා ප්ලම් උද්‍යාන දැකිය හැකියි.

ඔන්ටාරියෝ විල අවට පළතුරු උයන්-nyfarm.blogspot.com/Lisa Hollenbeck

මේ විල පිහිටා ඇති ස්ථානය අනුව සංක්‍රමණ‍ය කරන පක්ෂීන් විශේෂ ගණනාවකටම වාසස්ථාන සපයනවා. හංසයින්, තාරාවුන්, පාත්තයින් හා දියකාවුන් වැනි සතුන් ඊට උදාහරණ වෙනවා. මීට අමතරව මාංශ භක්ෂක පක්ෂීන් වන උකුස්සන් හා රාජාලීන්ද මේ අවට සැරිසරන්නේ හොඳින් ආහාර සොයාගත හැකි නිසා හා වාසස්ථාන තනාගත හැකි නිසායි.

කවරයේ පින්තූරය- නාසා ආයතනය විසින් ගන්නා ලද ඔන්ටාරියෝ විලේ ඡායාරූපයක් (Public Domain)

Related Articles