Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතෙන් සොයා ගත් දැවැන්ත කෘදන්තයා

සංඛ්‍යා දත්තවලට අනුව මනා සංවර්ධනයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකාවේ නගරාශ්‍රිත ව කුණු කාණු ඇතුළේ කූඩු තනා ඒ අවට නිදහසේ ගැවසෙන තඩි ඌරු මීයන් මධ්‍යහ්නයේ පවා ඔබ දැක ඇත. නමුත් මේ ඌරු මීයන් ශරීර ප්‍රමාණයෙන් අඩියක් ඉක්මවන්නේ බොහෝම කලාතුරකින්. කරුණු කාරණා එසේ තිබිය දී ප්‍රමාණයෙන් අඟල් 18 ක් පමණ වන (අඩි එක හමාරක්) දැවැන්ත මූෂිකයෙක් සොයා ගැනීමට සත්ත්ව විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. ස්වදේශීය බසින් ‘වීකා’ ලෙස හඳුන්වන අලුතෙන් සොයා ගන්නා ලද තර්ජනයට ලක් වී සිටින දැවැන්ත කෘදන්ත විශේෂය ගැන තොරතුරු යි මේ.

(© Peggy Macnamara) වීකාගේ දියසායම් සිතුවමක්

අතු අතර සැඟ වී සිටි දැවැන්තයා

ඕස්ට්‍රේලියාවට කිලෝ මීටර් 1,800 ක් පමණ ඊසාන දෙසින් දකුණු ශාන්තිකර සාගරය මධ්‍යයේ පිහිටා ඇති සොලමන් දූපත්, ලෝකයෙන් හුදෙකලා වී ඇති භූමි ප්‍රදේශයක් ලෙස හැඳින්වීම වරදක් නෙමෙයි. එසේම සොලමන් දූපත්වල දී දැක ගැනීමට ලැබෙන සත්ත්ව විශේෂ බොහෝමයක් ලෝකයේ අනෙක් රටවල දී දක්නට ලැබෙන්නේ ද නැහැ. කූඩා දූපත් සමූහයකින් සෑදී ඇති සොලමන් දූපත් මෙතෙක් කාලයක් මූෂික විශේෂ 8 කට සෙවණ සපයා තිබෙනවා. අලුතෙන් සොයා ගන්නා ලද ‘වීකා’ මූෂික විශේෂය දශක 8 පමණ කාලයකට පසු ව සොලමන් දූපත්වලින් අලුත් සත්ත්ව විශේෂයක් සොයා ගන්නා ලද ප්‍රථම අවස්ථාව යි.

මේ අලුත් මූෂික විශේෂය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ චිකාගෝ හි ස්වභාව ඉතිහාස ක්ෂේත්‍ර කෞතුකාගාරයේ පර්යේෂක ටයිරෝන් ලේවරිට යි. “මා 2010 දී ප්‍රථම වරට සොලමන් දූපත් සමූහයට අයත් වැංගුනූ දූපත් වාසීන් මුණ ගැසුණු විට ඔවුන් මට විශාල ගස්වල වාසය කරන දැවැන්ත මූෂිකයෙක් ගැන තොරතුරු කිව්වා.” මේ වීකා සොයා ගැනීමට මග පෙන් වූ අය ගැන ටයිරෝන් ලේවරිගේ අදහස.

(© South China Morning Post) ජෛව විවිධත්වයෙන් අනූන සොලමන් දූපත්

මෙවැනි ඉඟි ඔස්සේ වීකා සොයාගෙන පර්යේෂකයන්ට දැන ගැනීමට ලැබුණේ අදාළ සත්ත්වයා පෙනුමෙන් මූෂිකයෙකුට වඩා ලෙහෙනුන්ට සහ පොසම් සත්ත්වයින්ට (ඕස්ට්‍රේලියාවේ දී දැක ගැනීමට ලැබෙන ගස්වල වාසය කරන කුඩා කැන්ගරුවෙක් මෙන් පෙනුම ඇති පරිග්‍රාහී වලිගයක් සහිත සත්ත්වයෙක්) සමාන බව යි. එසේ ම ස්වදේශිකයන්ට අනුව වීකාට ඔහුගේ විශාල ඉදිරි දත් දෙක භාවිතා කරමින් පොල් ගෙඩි පවා දෙකට පැළීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ හෝ ලේවරි ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම තමන්ට හැකි ඉක්මනින් ‘වීකා’ ව සොයා ගැනීම සඳහා වැංගුනූ දූපත සතු වැසි වනාන්තර පීරා බැලීමට තීරණය කර ඇත්තේ දිනෙන් දින ම ඉහළ යන වැසි වනාන්තර විනාශය නිසා වීකාගේ ස්වභාවික වාසස්ථාන අඩු වී යාම හේතුවෙන්.

ලේවරි ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමට ‘වීකා’ ව සොයා යෑම ආරම්භ කිරීම සඳහා තිබී ඇත්තේ තොරතුරු දෙකක් පමණ යි. ඒ දශක 2 කට පමණ පෙර මානව විද්‍යාඥයෙකු වූ එඩ්වඩ් හේවයිඩින්ග් විසින් මරෝවෝ භාෂාව සඳහා සම්පාදනය කරන ලද ශබ්දකෝෂයක ‘වීකා’ ගැන වූ කෙටි සඳහනක් සහ 1992 දී සිඩ්නි හි ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ පර්යේෂණ කණ්ඩායමක් ‘වීකා’ ව සොයා ගිය ගමනක දී ඔවුන්ට හමු වුණු දෙකට පළන ලද පොල් සහ වෙනත් ගෙඩි කිහිපයක්.

© Tyrone Lavery

පර්යේෂණ කටයුතු ඉදිරියට යෑමේ දී ලේවරිට දැන ගැනීමට ලැබුණේ ස්වදේශීය සංස්කෘතියේ කොටසක් ලෙස සැලකුණු ‘වීකා’ ගැන තොරතුරු බොහෝමයක් ඔවුන්ගේ ගීත සහ ළමා කතාවල ඇතුළත් වී ඇති බව යි. ඒ අනුව වැංගුනූ දූපතේ සයිරා ගම්මානයේ වාසය කරන ගම්වැසියන් සියවස් ගණනාවක් තිස්සේ ‘වීකා’ ගැන විස්තරාත්මක තොරතුරු මුඛ පරම්පරාවෙන් දැන සිටි බව ඔහුට දැන ගැනීමට ලැබී තිබෙනවා. නමුත් කොතරම් තොරතුරු හමු වුව ද ‘වීකා’ සත්ත්වයෙක් අල්ලා ගැනීමට ඔවුන් කිසිවෙක් සමත් වුණේ නැහැ. එසේ ම වැංගුනූ වැසි වනාන්තර සතු උසින් වැඩි ගස් ඔවුන්ගේ පර්යේෂණ කටයුතු තව තවත් දුෂ්කර කර ඇති අතර ඝනැති උඩු වියන් හේතුවෙන් වනාන්තර තුළට පර්යේෂණ කටයුතු කරගෙන යා හැකි ප්‍රමාණයට හිරු එළිය වැටී ඇත්තේ ද කලාතුරකින්. එසේ හෝ 2015 වන තුරු ම ලේවරි ඇතුළු පර්යේෂණ කණ්ඩායමට සතුටුදායක ප්‍රතිඵලයක් හිමි වුණේ නැහැ.

අවාසනාවන්ත සිදුවීමකින් මතු වූ වාසනාව

කෙසේ හෝ අවසානයේ දී 2015 වර්ෂයේ දී අවසන් භාගයේ දී ලේවරිට සහ ඔහුගේ සම-කතෘ හිකූනා ජජ්ට ‘වීකා’ මූෂිකයෙකු දැක ගැනීමට වාසනාව හිමි වුණේ අවාසනාවන්ත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස යි. ඔවුන් පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටි වැසි වනාන්තර ආශ්‍රිතව වාණිජ සමාගමක් විසින් දැව සඳහා ගස් කපමින් සිට ඇති අතර කපන ලද ගසක් බිමට ඇදගෙන වැටීමේ දී එහි සිටි ‘වීකා’ මූෂිකයෙකු බිමට වැටී තිබෙනවා. හිකූනා ජජ්ට තුවාල ලබා සිටි සත්ත්වයා හමු වන විට ඌ පණ ඇති ව සිට ඇති අතර සත්ත්වයා දුටු වහා ම ඌ, සොලමන් දූපත්වල වාසය කරන අනෙක් මූෂික විශේෂ 8 ට ම වඩා වෙනස් බව ඔවුන්ට පෙනී ගියා. නමුත් ප්‍රතිකාර කිරීමට ඉඩක් නොතබා ම තුවාල ලබා කෙටි කාලයක් තුළ දී ‘වීකා’ මිය ගියේ ලේවරි ඇතුළු පර්යේෂණ කණ්ඩායමට ඔවුන් පර්යේෂණ කටයුතු දිගින් දිගට ම පවත්වාගෙන යාම සඳහා අලුත් ම නිදර්ශකයක් ඉතුරු කරමින්.

© Tyrone Lavery

මිය ගිය වීකා ව DNA පර්යේෂණයකට යොමු කිරීමට ලේවරි කටයුතු කළ අතර එයින් අනාවරණය වුණේ අදාළ සත්ත්වයා මෙතෙක් ලැයිස්තුගත නොවුණු අලුත් ම සත්ත්ව විශේෂයක් බව යි. ඒ අනුව අදාළ සත්ත්ව විශේෂය විද්‍යාත්මක ව Uromys vika ලෙස නම් කර තිබෙනවා.

අලුත් මූෂික විශේෂයේ ප්‍රමාණයේ නාසයේ සිට වලිග දක්වා අඟල් 18 ක් (සෙන්ටිමීටර් 46) ක් පමණ වන අතර බර රාත්තල් 2.2 ක් (කිලෝග්‍රෑම් 1 ක්) පමණ වෙනවා. සසඳා බැලීමේ දී සාමාන්‍ය ගෘහාශ්‍රිත මීයෙකුගේ බර ග්‍රෑම් 200 ක් පමණ යි.

2017 වර්ෂයේ දී ටයිරෝන් ලේවරි සහ හිකූනා ජජ් එක් ව අලුත් කෘදන්තයා ගැන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කරන ‘Journal of Mammalogy’ සඟරාවට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. එහි ‘වීකා’ මූෂිකයා ව නම් කර ඇත්තේ වඳ වී යාමේ උග්‍ර තර්ජනය ලක් වූ සත්ත්වයෙකු ලෙස යි.

කවරයේ පින්තූරය : © Velizar Simeonovski

Related Articles