Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීලයේ සර්ප කොදෙව්ව

Ilha da Queimada Grande නැතහොත් සර්ප කොදෙව්ව යනුවෙන් හඳුන්වනු ලබන්නේ ලෝකයේ ඇති බොහෝමයක් සර්පයන් පිරි දූපත් අතරින් අත්ලාන්තික් සාගරයට දෙසට වන්නට ඇති වෙරළ තීරයේ පිහිටා ඇති බ්‍රසීලයට අයත් දූපතක්. එහි පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ සාඕ පවුලෝ ප්‍රාන්තයට අයත් Itanhaém නම් නගර සභාව මගින්. ප්‍රමාණයෙන් කුඩා වන මේ සර්ප කොදෙව්ව සතු භූමි භාගය ගල් කැබලි විසිරුණු ස්වභාවයේ සිට වැසි වනාන්තරයක් දක්වා වන ලෙස නොයෙකුත් ආකාරයන්ගෙන් යුතු වෙනවා. සාමාන්‍යයෙන් එහි පවතින්නේ සෞම්‍ය දේශගුණයක්.

සර්ප දූපතට ප්‍රවේශ වීම (wtfclub.net)

රතු දත්ත පොතේ වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ (Critically Endangered) ලෙස නම් කර ඇති පක්ෂීන් ආහාරයට ගැනීම ප්‍රිය කරන පොදුවේ Golden Lancehead (විද්‍යාත්මකව Bothrops insularis) යනුවෙන් හඳුන්වනු ලබන පොළඟුන් විශේෂය දැක ගැනීමට ලැබෙන්නේ මෙම දූපතේ දී පමණ යි. ඊට අමතර ව තවත් සර්ප විශේෂ ගණනාවකගේ නිවහනක් වන මෙය සැකසීමේ කතාව ද අපූරු යි. මෙයින් වසර 11,000 කට පමණ පෙර ගොඩබිමට සම්බන්ධ වී පැවතුණු එය ක්‍රමයෙන් ඉහළ ගිය ජල මට්ටම හේතුවෙන් වෙන් වූ දූපතක් බවට පත් වී ඇත්තේ එහි වාසය කළ සර්පයන් එයට ම කොටු කරමින්. මෙසේ දූපත තුළ කොටු වූ සර්පයන් ඔවුන්ගේ ශීඝ්‍ර ලෙස ගණනින් වර්ධනය වෙමින් ඔවුන්ගේ අලුත් වටපිටාවට අනුවර්තනය වී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ දූපත තුළ බිම් මට්ටමේ විලෝපිකයන් නොමැති වීම යි.

සර්ප දූවේ සර්ප පටලැවිල්ලක් (youtube.com)

සර්පයන් පිරි මේ දූපත තුළ විලෝපිකයන් පමණක් නොව බිම් මට්ටමේ සිටින ගොදුරු දක්නට ලැබුණේ ද නැහැ. මේ නිසා ම දූපතට ඉහළින් පියඹා යන සංක්‍රමණික පක්ෂීන් ඉක්මණින් අල්ලාගෙන මරණය පත් කිරීම සඳහා අවැසි වන ආකාරයට මෙහි වාසය කරන සර්පයින් ක්‍රමයෙන් පරිණාමය වී තිබෙනවා. බ්‍රසීලයේ සර්ප කොදෙව්වට ආවේණික Golden Lancehead නම් පොළඟා, ප්‍රබල විෂ සහිත සර්පයෙක් බවට පත් වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

Ilha da Queimada Grande හි වාසය කරන උග්‍ර විෂ සහිත සර්පයන් හේතුවෙන් මෙන් ම එහි වාසය කරන දුර්ලභ සර්ප විශේෂ ආරක්ෂා කිරීමේ අරමුණෙන් එය දෙස් විදෙස් සංචාරකයන් සඳහා තහනම් කර තිබෙනවා. එයට ඇතුළත් වීමේ අවසරය ඇත්තේ බ්‍රසීලියානු නාවික හමුදාවට, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන චීකෝ මෙන්ඩිස් ආයතනයේ පර්යේෂකයන්ට සහ බ්‍රසීලියානු ෆෙඩරල් සංරක්ෂණ ඒකකයට පමණ යි.

පිහිටීම සහ භූගෝලීය ලක්ෂණ‍

සර්ප දූව බ්‍රසීල සිතියමේ (google.lk/maps)

අසන්නන්ගේ ඇඟ කිලිපොළා යන බ්‍රසීලයේ සර්ප කොදෙව්ව පිහිටා ඇත්තේ සාඕ පවුලෝ හි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 33 ක් පමණ ඈතින් අත්ලාන්තික් සයුරේ යි. එහි සමස්ත භූමි ප්‍රමාණය දළ වශයෙන් වර්ග මීටර් 430,000 (අක්කර 110) ක් පමණ වෙනවා. එය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 206 ක් ඉහළින්. එය අසලින් ම පිහිටා ඇති නිමේර් දූපත හා සැසඳීමේ දී Ilha da Queimada Grande සතු වන්නේ සෞම්‍ය දේශගුණයක්.

සර්ප කොදෙව්ව සතු භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝ මීටර් 0.25 ක් පමණ වැසි වනාන්තරයකින් ආවරණය වී ඇති අතර ඉතිරි භූමි ප්‍රමාණය සමන්විත වන්නේ ගල් කැබලි විසිරුණු නිසරු භූමියකින් සහ විවෘත තණ බිම්වලින්. අගෝස්තු මාසයේ දී දූපත තුළ 18.38°C ක සාමාන්‍ය උෂ්ණත්වයක් පවතින අතර මාර්තු මාසය වන විට එය 27.28°C දක්වා ඉහළ යනවා. එසේ ම දූපතේ සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 0.2 සිට මිලි මීටර් 135.2 අතර අගයක් ගන්නවා.

සර්ප කොදෙව්වේ ඉතිහාස කතාව

දූවේ බිහිසුණු බව සඟවා ගත් සුන්දර දසුනක් (travel.spisanie.to)

අතීතයේ දී ඉහළ ශාක විවිධත්වයකින් යුතු වූ සර්ප කොදෙව්ව පසු කාලීනව ගල් කැබලි විසිරුණු නිසරු භූමියක් බවට පත් වන්නේ වන විනාශයේ ප්‍රතිඵලයක් ලෙස යි. එසේ ම දූපත සඳහා Ilha da Queimada Grande යන නාමය ලබා දීමට මුල් වන්නේ ද එම හේතුව යි. පෘතුගීසි බසින් ‘queimada’ යන වදන යොදා ගන්නේ ගස් කපා ගිනි තැබීම හැඳින්වීම සඳහා වන අතර 20 වැනි සියවසේ මුල් කාලයේ දී ස්වදේශිකයන් කෙසෙල් වගා කිරීම සඳහා සර්ප කොදෙව්ව පිරිසිදු කිරීමට ගත් අසාර්ථක උත්සාහයක ප්‍රතිඵලය ලෙස එය මුඩු බිමක් බවට පත් වී තිබෙනවා.

1909 දී නෞකා සඳහා මග පෙන්වීමේ අරමුණෙන් දූපතේ ප්‍රදීපාගාරයක් ඉදි කර ඇති අතර පසු කාලීනව එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි ආකාරයට සැකසීමෙන් පසුව දූපතේ සිටි අවසන් නිවැසියා ද එය හැර ගොස් තිබෙනවා. දූපතේ ආරක්ෂාව සඳහා 1985 දී පාරිසරික භාරයක් පිහිටුවා ඇති අතර ඔවුන්ගේ අනුදැනුම මත එයට ඇතුළු විය හැක්කේ අවසර ලත් පුද්ගලයන්ට පමණ යි.

(moryakukrainy.livejournal.com)

සර්ප නිවැසියන්ගේ තොරතුරු

බ්‍රසීලයේ සර්ප කොදෙව්ව සර්ප විශේෂ ගණනාවකට වාසස්ථාන සපයන අතර ඇතැම් දත්ත පෙන්වා දෙන ආකාරයට දූපතේ සෑම වර්ග මීටරයකට සර්පයෙකු බැවින් වන සේ සර්ප ගහනයක් පවතිනවා. මේ නිසා ම ආහාර සඳහා ඔවුන් අතර ඇත්තේ දැඩි තරගයක්. දූපත තුළ පක්ෂීන් විශේෂ 41 ක් වාර්තා වී තිබුණ ද Golden Lancehead පොළඟා ආහාරයට ගන්නේ එයින් පක්ෂි විශේෂ ද්විත්වයක් පමණ යි. ගණනින් 430,000 ක් පමණ වන සර්ප ගහනයෙන් 2,000 – 4,000 අතර ප්‍රමාණයක් Golden Lancehead පොළඟුන් වන අතර ඔවුන් වැඩි වශයෙන් ම වාසය කරන්නේ දූපතේ වැසි වනාන්තර කොටස ආශ්‍රිත ව යි.

Golden Lancehead,
නැමති විසකුරු පොළඟා (en.wikipedia.org)

Golden Lancehead පොළඟුන් විශේෂය තුළ සමාභිජනනය (inbreeding) සිදු වන බැවින් මේ වන විට ඔවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යන බව යි පෙනී යන්නේ. මේ නිසා ම රතු දත්ත පොත මගින් ඔවුන් ව වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ (Critically Endangered) සර්ප විශේෂයක් ලෙස නම් කර තිබෙනවා.

දූපතට ආවේණික Golden Lancehead පොළඟුන්ට අමතර ව වඳ වී යමින් සිට බ්‍රසීලියානු සර්ප විශේෂ සැලකිය යුතු සංඛ්‍යාවක් සර්ප කොදෙව්වේ වාසය කරනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වන්නේ විෂ රහිත Dipsas albifrons නම් සර්ප විශේෂය යි.

කවරයේ පින්තූරය : Picture 7 (forwordnext.com)

Related Articles