Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවිසඳුණු අතුරුදහන්වීම් -11 : සිතා ගත නොහැකි ජිමී හොෆාගේ සිද්ධිය 

අද වන තුරුත් විසඳාගත නොහැකි වූ, අබිරහසක් ලෙස පවතින, අරුම පුදුම අතුරුදහන් වීමේ සිද්ධි ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන් අප ඔබ වෙත ගෙන ආවේ බ්‍රැන්සන් පෙරී නම් විසි වියැති තරුණයාගේ අතුරුදහන් වීම පිළිබඳ ව යි. සිය නිවෙස අසල දී හදිසියේ අතුරුදහන් වූ ඔහු පිළිබඳ ව හෝඩුවා කිහිපයක් ලැබුණත් ඒ එකක්වත් සාධනීය ඒවා නොවූ අතර, එම සිද්ධියෙන් වසර විස්සකට අධික කාලයක් ගත වුව ද තවමත් ඔහුට අත් වූ ඉරණම පිළිබඳව ලෝකයා හරියාකාර ව දැනුම්වත් නැහැ.

කම්කරු එකමුතුවක නායකයා යනු ඉතා භාරදූර වගකීම රාශියක් ඇති නිලයක්. එමෙන් ම ඔහුට හැප්පෙන්නට සිදුවන්නේ එම රටෙහි සිටින බලවත් ම පුද්ගලයන් සමඟ යි. එබැවින් නිරතුරු ව ඔහුට යම් පමණක ජීවිත තර්ජනයක් තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ ප්‍රමුඛත ම කම්කරු සංගමයක් වන ‘ද ටීම්ස්ටර්ස්’ හි නායකයාට එය දෙගුණ තෙගුණ වශයෙන් විඳීමට සිදුවූයේ එය කැනඩාව සතු වූ පැරණි ම මෙන් ම විශාලත ම කම්කරු එකමුතුවක් වූ නිසා යි. 

එහි සිටි වඩාත් සුප්‍රකට හා කුප්‍රකට නායකයෙක් වූ ‘ජිමී හොෆා’ ගේ හදිසි අතුරුදහන් වීම මුළු මහත් උතුරු අමෙරිකා මහාද්වීපය ම සලිත කරන්නට සමත් වුණා. විශේෂයෙන් ‘ද ටීම්ස්ටර්ස්’ කණ්ඩායම සම්බන්ධව විවාදාත්මක මත රාශියක් තිබූ වටපිටාවක, ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳ ව විවිධ අය විවිධාකාරයේ අර්ථකථන ලබා දුන්නා. කෙසේ හෝ වේවා මෙම අතුරුදහන් වීම සැලකෙන්නේ උතුරු අමෙරිකාව තුළ සිදු වූ වඩාත් කතාබහට ලක් වූ, නොවිසඳුණු පුද්ගල අතුරුදහන් වීමක් ලෙස යි.

ද ටීම්ස්ටර්ස් උතුරු ඇමෙරිකා මහාද්වීපයේ ක්‍රියාත්මක ප්‍රබලතම කම්කරු එකමුතුවක්- tdu.org)

කවුද මේ ජිමී හොෆා?

ජිමී හොෆා අතුරුදහන් වූයේ 1975 වසරේදී යි. කෙසේ නමුත් ඔහු පිළිබඳ ව අමෙරිකා හා කැනේඩියා ජනතාව දැනුවත් ව තිබුණේ ඊට බොහෝ කලකට පෙර සිට යි. ඔහුගේ අතුරුහඑන් වීම සබැඳි වඩාත් පිළිගත් මතය වන්නේ ඔහු සිය සංවිධානයේ ක්‍රියා පිළිවෙතට පටහැනි වීම නිසා, එහි සාමාජිකයන් අතින්ම ඝාතනය වූවා යන්න යි. 1903 වසරේ දී ආරම්භ වූ ‘ද ටීම්ස්ටර්ස්’ එකමුතුව පෙනී සිටින්නේ කම්කරු අයිතීන් සුරකින සංවිධානයක් ලෙස වුව ද, ඉතිහාසය පුරාවට මතුපිටින් නොපෙනෙන, නීතියට පටහැනි ක්‍රියාදාම රැසක් එය සිදු කළ බව විද්වතුන්ගේ මතය යි. 

විශේෂයෙන් විටෙක මැර කල්ලියක් ලෙස ද ක්‍රියාත්මක වී ඇති මෙය, ප්‍රචණ්ඩ ක්‍රියා හා අපරාධ රාශියක් සිදු කර තිබෙන බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඒ අනුව මෙහි නායකයා වන අයෙක් එක්තරා ආකාරයක පාතාලයේ කැපකරු පියෙක් හෙවත් ‘ගෝඩ් ෆාදර්’ කෙනෙක් වෙනවා. මේ සඳහා සුදුසුකම් රාශියක් සැපිරිය යුතු අතර, හොෆාගේ ඉතිහාසය පිරික්සීමේ දී ඔහුට එම සුදුසුකම් සියල්ල ම පාහේ ඇති බව පෙනී යනවා.

හැකි ඉක්මනින් ‘ද ටීම්ස්ටර්’ හි ප්‍රමුඛයා

හොෆා ‘ද ටීම්ස්ටර්ස්’ හා බැඳුණේ 1932 වසරේදී යි. මුලින් ම ප්‍රදේශීය සංවිධායකයෙක් වූ ඔහුට තිබූ අධිෂ්ඨානය නිසාම ඉක්මනින් ම ඉහළට යන්නට ඔහු සමත් වුණා. දැඩි කැපවීමෙන් වැඩ කළ ඔහුගේ අධිෂ්ඨානය වූයේ  හැකි ඉක්මනින් ‘ද ටීම්ස්ටර්’ හි ප්‍රමුඛයා වීමට යි. මේ සඳහා ඔහු ඒ වන විට අමෙරිකා එක්සත් ජනපදයෙහි හා කැනඩාවේ මතුව තිබූ පාතාල කල්ලි සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින්, ඒවායේ සහාය ද ලබා ගත්තා. සංගමයේ ප්‍රමුඛ පුටුවකට පත් වූ විට ඔහු විවිධාකාරයේ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන්නට පටන්ගත් අතර, දූෂිත පුද්ගලයන් දේශපාලනයට හඳුන්වා දී, ඔවුන් එම ක්ෂේත්‍රයේ ඉහළට ම යැවීමටත් ක්‍රියා කළා. මේ නිසා බලය අතිනුත්, ප්‍රාග්ධනය අතිනුත් ‘ද ටීම්ස්ටර්ස්’ ඉතා ඉහළ අඩියකට පැමිණියේ සාමාන්‍ය ජනතාව මෙන් ම අමෙරිකානු හා කැනේඩියානු බලවතුන්ට ද හිසරදයක් වෙමින්. 

ජිමී හොෆා- Bettmann / Contributor via Getty Images

ජිමී හොෆා සෑහෙන කාලයක් අත්තනෝමතික ලෙස ‘ද ටීම්ස්ටර්ස්’ හැසිරවූවා. කෙසේ නමුත් 1970 දශකයේ මුල් භාගය වන විට ඔහුට විරුද්ධ ව රැල්ලක් ඔහුගේ සංගමය තුළින් ම හට ගත්තා. මේ නිසා එතුළ කල්ලිවාදයක් හට ගැණුනා. යම් පිරිසක් හොෆා සමඟ සිට ගත් අතර, වැඩි පිරිසක් ඔහුට විරුද්ධ වුණා. කෙසේ නමුත් ඒ වන විට හොෆා ඉතා බලවත් ව සිටි නිසා ඔහුට විරුද්ධ ව යන්නන්ට කළ හැකි දේවල් තිබුණේ අල්ප ව යි. ඔවුන්ගේ මතය නිසා ඔවුනට හොෆාගේ කණ්ඩායමෙන් විවිධ ගැහැට ද විඳින්නට වුණා.

ජිමී හොෆා හදිසියේ අතුරුදහන් වෙයි

හොෆා 1975 වසරේ ජූලි මස 30 වැනි දා එක් වරම අතුරුදන් වුණා. ඔහු අවසන් වරට දැක තිබුණේ මිචිගන් ප්‍රාන්තයේ, බ්ලූම්ෆීල්ඩ් හි, ‘මාචුස් රෙඩ් ෆොක්ස්’ නම් භෝජනාගාරයේ වාහන අංගනයේ සිටිය දී යි. ඒ වන විට ඔහුට එරෙහි කණ්ඩායම්වල මතවාදය දැඩි ලෙස ඔහු පෙළන්නට පටන් ගෙන තිබූ අතර, ඒ හේතුවෙන් ම තමන්ට හිතවාදී මෙන් ම විරුද්ධ බලවතුන් කිහිප දෙනෙක් ම හමු වී ඔහු සාකච්ඡාවල නිරත ව තිබුණා. මෙදිනත් ඔහු එතැනට පැමිණ තිබුණේ, තම කණ්ඩායමේ හා විරුද්ධ මත දරන එවැනි කිහිප දෙනෙක් සමඟ සාකච්ඡා කිරීම සඳහා යි. ඒ වන විට ද ටීම්ස්ටර් හි ඔහුගේ බලය සෙමින් ක්ෂීණ වෙමින් පැවතුණු අතර, මේ සාකච්ඡා අවසන ඔහුට එහි සිය ස්ථානය අහිමි වන තත්ත්වයක් ඇති වී තිබුණා.

ජූලි මස 30 වැනි දා සවස් වරුවෙහි ඔහු මේ වාහන අංගනයට පැමිණ තිබුණේ කලින් වෙන් කර ගත් වේලාවකට අනුකූලව යි. කෙසේ නමුත් ඒ වන විටත් ඔහු සමඟ සාකච්ඡා කිරීමට සිටි අනෙක් පාර්ශවය පැමිණ සිටියේ නැහැ. මින් නොසතුටට පත් හොෆා පැය දෙකක් පමණ එහි රැඳී සිට තිබෙනවා. ඒ යම් කිසිවෙක් ඔහු දුටු අවසන් වතාව යි. සාකච්ඡාව සඳහා පැමිණි කණ්ඩායම එහි පැමිණෙන විට හොෆා එහි නොවූ අතර, කිසිදු තොරතුරක් නොමැති ව ඔහු අතුරුදහන් ව තිබුණා.

හොෆාට සිදුවූයේ කුමක් ද?

1975 වසරේ පටන් වසර ගණනාවක් විවිධ පාර්ශව හොෆා සොයා පර්යේෂණ සිදු කළා. මේ අතර එෆ්.බී.අයි ආයතනයත් වුණා. කෙසේ නමුත් කිසිවකුට ඔහු පිළිබඳ ව තොරතුරක් හමු වූයේ නැහැ. කිසිවකුට ඔහු ගේ මළසිරුරවත් හමු වූයේ නැහැ. කෙසේ නමුත් 1982 වසරේ දී ඔහු අභිරහස් ලෙස මිය ගිය බවට ප්‍රකාශ කෙරුණා.

හොෆාගේ අවසානය සම්බන්ධයෙන් විවිධාකාරයේ මත ලොවට ඉදිරිපත් වී තිබෙනවා. ඒ එක් මතයකට අනුව හොෆා නිව්යෝක් හි පාතාල සාමාජිකයෙක් වන ජෝන් සුලිවාන් අතින් ඝාතනය වී තිබෙනවා. ඒ මාංශ කපන විශාල පිහියකින් පහර දීමෙන්. අනතුරු ව ඔහුගේ සිරුර කැබලි රාශියකට කපා අධි ශීතකරණයක බහා තිබෙනවා. අනතුරු ව කෙමෙන් කෙමෙන් එම සිරුරු කොටස් විශාල ඉදිකිරීම්වල අත්තිවාරම සාදන විට එම කොන්ක්‍රීට් මිශ්‍රණවලට මුසු කර තිබෙනවා.

ෆ්‍රෑන්ක් ශීරන්- Sheeran/Brandt/Splash

හොෆා ගේ අවසානය පිළිබඳ වූ සාපේක්ෂ ව වඩාත් පිළිගත් මතය වන්නේ ඔහු සමඟ එක්ව කටයුතු කළ කම්කරු නායකයෙක් වූ ෆ්‍රෑන්ක් ශීරන් කළ පාපොච්චාරණය යි. ඔහු මිය යන්නට පෙර පවසා සිටියේ තමන් හොෆා ඝාතනය කළ බව යි. ෆ්ල්ලඩෙල්ෆියා පාතාල නායක රසල් බුෆලිනෝ ගේ අණ දීම මත ඔහු හොෆා ඝාතනය කර තිබෙනවා. කෙසේ නමුත් ඒ පිළිබඳ ව කිසිදු පිළි ගත හැකි සාක්ෂියක් අද වන විටත් හමු වී නැහැ.

මේ මත දෙක ම අද වන විටත් බොහෝ පර්යේෂකයන් පිළි ගන්නේ හැහැ. ඔවුනට අනුව හොෆාට අත් වූ සැබෑ ඉරණම වෙනෙකක්. එය අදටත් හෙළි වී නැති අතර, බොහෝ විට කිසි දිනෙක හෙළි නොවනු ඇති බැව් ඔවුන්ගේ මතය යි.

කවරයේ ඡායාරූපය - www.gettyimages.com
මූලාශ්‍ර:
allthatsinteresting.com
Britannica.com
Themobmuseum.org

Related Articles