Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“කාන්තාවෝද මනුෂ්‍යයෝය” – අන්තර්ජාතික කාන්තා දිනයට පසු වදනක්

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණේ මාර්තු මස අට වනදාට බව අප කවුරුත් හොඳින් දනිමු. රාජ්‍ය අනුග්‍රහය ද සහිතව මෙවර සමරනු ලැබුවේ 106 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර කාන්තා දින සැමරුමේ තේමාව වූයේ “A Better Country for Women “ හෙවත් “කාන්තාවන් වෙනුවෙන් යහපත් හෙටක්” යන්නයි. සැබවින්ම එය ඉතා අගනා තේමාවකි. කාන්තාව යනු සිය පවුලට, සමාජයට මෙන්ම සිය රට ජාතියටද නිහඬ මෙහෙවරක් ඉටු කරන්නියකි. එය අප කා හටත් අමතක ව ගොස් ඇත්තේද ඒ නිහඬ බව නිසාවෙනි.

ජාතියේ දියුණුව උදෙසා ඇය ඉටු කරනා මෙහෙය අපමණය. මෙරට දළ ජාතික නිෂ්පාදනයේ වැඩි බරක් උසුලන්නේ ද රැකියාවල නියුක්ත කාන්තාවන් විසිනි.“ගැහැණියගේ පින කුණු මුල්ලේ ලු” , “ගෑණු මොළේ හැඳි මිටේ දිගයි” වැනි පිරුළු අප අසා ඇත්තෙමු. සත්‍ය වශයෙන්ම එවැනි කියමන් අදටත් කීමට තරම් වටින්නේදැයි අප සිතා බැලිය යුතු ය.

වසර ගණනාවක් මුළුල්ලේ, ශිෂ්ටාචාරයන් ගණනක් පුරාවටම ඇය විසින් සිය පවුල, ආගම හා සංස්කෘතිය සහ රට දැය වෙනුවෙන් සිය ලේ, කඳුළු, දහඩිය මෙන්ම සිය ශ්‍රමයද කැප කොට ඇත. සිය දරුවන් උස් මහත් කරන්නට සොච්චමක් හෝ සොයාගන්නා අදහසින් සිය සිරුරු විකුණන කාන්තාවනුත්, අභ්‍යවකාශය තරණය කොට කීර්තියට පත් වැලෙන්ටිනා තෙරෙස්කෝවා හා කල්පනා චවුලා වැනි කාන්තාවනුත් එක ලෙසම සළකා ගෞරව කළ යුතු නොවේද?

www.emaze.com

මේ ඇයට හිමි තැන ද?

1931 දී සර්වජන ඡන්ද බලය හිමිවීමේ සිට මේ දක්වා මෙරට කාන්තාවන් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණයන් බොහෝ ය. මෙරට ශ්‍රම බලකායෙන් හා සමස්ථ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 50.5%කට වැඩි ප්‍රමාණයක්ම කාන්තාවන් වේ. විශ්ව විද්‍යාල වරම් ලබන්නන්ගෙන් 85ක්ම ශිෂ්‍යාවන් ය. නමුත් මේ සමාජය තුළ ප්‍රශස්ථ ලෙස කාන්තාවන්ට සිය දායකත්වය ලබා දීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අප අකමැත්තෙන් වුවද පිළිගත යුත්තකි.

www.pbworks.com

දේශපාලනය තුළද කාන්තා නියෝජනය ඉතා දුර්වල ය. එය පාර්ලිමේන්තුව තුළ 5ක්ද, පලාත් සභා තුළ 3ක්ද, සමස්ථ පලාත් පාලන ව්‍යුහය තුළ 2ක්ද වේ. 50-50 කෝටාවක් ලබා දුන් පමණින්ම සියල්ල විසඳේ යැයි සිතිය නොහැක. එවැන්නක් ලබා දුන්නද, සමාජය තුළ කාන්තා දේශපාලඥවරියකට ලැබිය යුතු පිළිගැනීම හා සහයෝගය ඉන් ඉබේම ඇති නොවන බැවිනි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබෙන කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ පැමිණිලිවලින් ඉතා විශාල ප්‍රමාණයක් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කිරීම් හා සම්බන්ධ පැමිණිලි වේ. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස කෙතරම් ජාත්‍යන්තර, කලාපීය හා ජාතික නීති මාලා තිබුණද, ඒවායින් සිතූ තරම් ප්‍රතිඵල තවමත් ලැබී නොතිබීම කණගාටුවට කරුණකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ශ්‍රම සූරා කෑම, දූෂණ හා අපචාරයන්ට ලක් වීම යනු ඉන් උදාහරණ කිහිපයක් පමණි.

යහපත් හා ප්‍රගතිශීලී නීති කොපමණ පැවතියද ඒවා ක්‍රියාවට නැංවීම පිළිබඳව විශාල ගැටලු පවතී. විශේෂයෙන්ම ආගමික හා සංස්කෘතික බලපෑම් මෙහිදී විශාල වශයෙන් දැකගත හැක. ළමා විවාහ සහ කාන්තා සුන්නත් කිරීම් වැනි අමානුෂික චාරිත්‍ර විධි අදටත් දුරු වී නොමැති වීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලාංකේය සමාජය තුළ ඒවා දැකගත නොහැකි වුවද, අනෙකුත් යම් යම් සංස්කෘතිකමය සාධක නිසාවෙන් කාන්තාවන්ට අසාධාරණයන් සිදුවීම අප සමාජය තුළද සුලබ ව දැකිය හැක්කකි.

www.blogspot.com

අඩුව ඇත්තේ නීතියේ නොවේ

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව පවතින නීතිමය තත්වය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කිරීමට මා බලාපොරොත්තු නොවෙමි. පසුගිය මාස කිහිපය පුරාවටම අපට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව ඇති පදම් දැනගැනීමට මග සැලසුනි. එවැනි දැනුවත් කිරීම් ඉතා අගය කොට සැළකිය යුතු වන්නේ තමාට සිදු වන අසාධාරණයන්ට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ගයන් මොනවාදැයි දැන නොසිටීම හේතුවෙන් පවා කතුන් අසරණ භාවයට පත් වන අවස්ථා ද පැවතීම හේතුවෙනි.

www.ftzma.lk/

කාන්තාව යනු ජීවයේ උල්පතයි. ඇයගෙන් තොරව මනුෂ්‍ය වර්ගයාට පැවැත්මක් නොමැත. එවැනි ලොවක අප සවිඥ්‍යානිකව මෙන්ම අවිඥ්‍යානිකව ද ඇයට ගරහමින් සිටින්නෙමු. ගෝලීයකරණය වූ සමාජයක් තුළ අධ්‍යාපනය හා ශ්‍රම බලකාය පවා කාන්තාකරණය වෙමින් තිබෙන යුගයක (මෙය Feminization of education and labour force නමින් හැඳින්වේ) ඇයගේ දැනුමට හා ශ්‍රමයට අප විසින් ලබා දී ඇති තක්සේරුව පිළිබඳව අප නැවත වරක් සිතා බැලිය යුතු ය. එවන් පසුබිමක සිට අප 106 වන වරටත් කාන්තා දිනය සැමරීම හාස්‍යජනක නොවන්නේ ද?

සිය පවුලේ අභිවෘධිය උදෙසා දිවා රෑ නොබලා වෙහෙසෙන ගෘහණියන්, මධ්‍යම කඳුකරයේ තේ නෙලන ළඳුන්, නිදහස් වෙළෙඳ කලාපයන් හි වෙහෙසෙමින් තම තාරුණ්‍යයේ සොඳුරුම කාලය ජුකී මැෂිමක් අසල ගෙවා දමන සන්නාලියන්, මෙරටට විදේශ විනිමය ගෙන දෙන උල්පතක් බඳු වූ මැද පෙරදිග ගොස් අපමණ දුක් ගැහැට විඳිනා කාන්තාවන් අප අමතක නොකළ යුතු ය. ඔවුන් නොවන්නට අද ඔබ මෙන්ම මම ද මෙතැන නොසිටින්නට ඉඩ තිබිණ.

thrillophilia.com

අපිත් ස්ත්‍රීවාදීන් වෙමු!

අප සියළු දෙනාට ස්ත්‍රීවාදීන් විය හැකි නම් එය ඉතා සාර්ථක සමාජයකට මග පාදනු අැත. එය කියවූ කල ඔබට සිනා නැගෙන්නට ද පුළුවන. නමුත් ස්ත්‍රීවාදී විය යුත්තේ කාන්තාවන් පමණක් යැයි නොසිතන්න. ස්ත්‍රීවාදියකු යනු සරලවම ගත් කළ අන් කවරෙකුත් නොව, කාන්තාවන්ට සිය මූලික අයිතිවාසිකම් තහවුරු කරන, ගෞරවණීය සහ යහපත් දිවියක් ගත කිරීමට අවස්ථාව සලසා දෙන්නෙකි. ඔබ ඔබගේ මව, දියණිය, සහෝදරිය, මිතුරිය, පෙම්වතිය හෝ බිරිඳ එවැනි දිවියක් ගත කරනු දැකීමට කැමති පුද්ගලයෙක් නම්, ඔබ ද ස්ත්‍රීවාදියෙකි.

“සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන්න අප අසා ඇත්තෙමු. ඒ අයුරින්ම “කාන්තාවෝ ද මනුෂ්‍යයෝ ය” යන්න මේ සමාජය වටහා ගන්නා දිනට, මෙම ගැටළු විසඳා ගැනීමට අපට හැකියාව උදා වනු ඇත.

කවරයේ ඡායාරූපයwww.asianmirror.lk

Related Articles