විශේෂාංග

විනාඩි 3 ක කියවීමක්

ළමා අයිතිවාසිකම් නීතිය පිළිබඳව ඔබ දැනුවත් ද? – II

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

Imesha Madubhani

Contributor

ළමා අයිතිවාසිකම් යන සංකල්පය හා එහි ආරම්භය පිළිබඳව ද, ළමා අයිතිවාසිකම් නීතිය පිළිබඳව අන්තර්ජාතික අවධානය යොමු වීම යනාදිය පිළිබඳව ද අප Roar පාඨක ඔබ වෙත පෙර ලිපියෙන් තතු ගෙන ආවෙමු. ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රකාශය සහ යුනිසෙෆ් සංවිධානයේ ඇරඹුම පිළිබඳව ද එහි තතු සටහන් විය. ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රකාශය ( Declaration of the Rights of the Child ) ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අන්තර්ජාතික කරලියේ සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් පාඨක ඔබ වෙත අප ගෙන එන්නෙමු.

commons.wikimedia.org

අන්තර්ජාතික ළමුන්ගේ වසර  – International Year of the Child

ලෝක බලවතුන්ගේ බල කඳවුරු දෙකක් අතර පැවති සීතල යුද්ධ සමය නිමාවත්ම, ළමා අයිතිවාසිකම් තහවුරු කොට සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය ලෝක ප්‍රජාවට දැඩි සේ දැනෙන්නට විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තම සාමාජික රාජ්‍යයන්ගේ අනාගත පරපුර සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙලවල් තව තවත් ව්‍යාප්ත කිරීමේ අටියෙන් 1979 වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෙස නම් කරන ලදි. ළමා අයිතිවාසිකම් නීති ඉතිහාසයේ පෙරළිකාර වසරක් ලෙස අදටත් මෙම වසර හඳුන්වනු ලැබේ. ඊට හේතුව එම වසර තුළදී පෝලන්ත රාජ්‍යයේ යෝජනාවක් පරිදි මානව හිමිකම් කොමිසම හා සමගාමීව ළමා අයිතිවාසිකම් පිළිබඳව වන තවත් ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවනු ලැබීමයි.(එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම පිහිටුවනු ලැබුවේ 1948 වසරේ ප්‍රකාශයට පත් කරන ලද මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට සමගාමීව ය.) මෙම කණ්ඩායම වෙත පැවරුණු වගකීම වූයේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රඥප්තියක් සකස් කිරීමයි.

www.eyeem.com

1989 වසරේ නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභික රාජ්‍යයන් සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස අන්තරාතික ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය හෙවත් The Convention on the Rights of the Child එළි දැක්විණ. වගන්ති 54කින් යුක්ත වන මෙම සම්මුතිය ළමුන් සතු වන ආර්ථික, සමාජයීය සහ සංස්කෘතිකමය අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇප කැප වීම තරයේ අවධාරණය කර සිටියි. මෙම සම්මුතියෙහි ඇති තවත් විශේෂත්වයක් නම්, මානව හිමිකම් හා සබැඳි අන්තර්ජාතික සම්මුතීන් හා ප්‍රඥප්තීන් අතුරින් වඩාත් වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත ව, රාජ්‍යයන් විසින් පිළිගනු ලැබූ මානව හිමිකම් ලියවිල්ල මෙම සම්මුතිය වීමයි.

අවුරුදු 18 සම්පූර්ණ වී නොමැති ඕනෑම පුද්ගලයෙක් ළමයා/ දරුවා යන කාණ්ඩයට අයත් වන බව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් කරනු ලැබුවේ ද මෙම සම්මුතිය හරහා ය. ලොව සියළුම රාජ්‍යයන් හි වෙසෙන දරුවන්ගේ සුබසෙත පිණිස සියලුම රාජ්‍ය පාර්ශවයන් එක් ව කටයුතු කළ යුතු බවත්, එහිදී, දියුණු වෙමින් පවතින රටවල් වල දරුවන්ගේ ජීවන තත්වය යහපත් කිරීම පිණිස වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එහිදී පිළිගන්නා ලදි. සියලුම දරුවන් සාමය හා සමගිය වැනි සංකල්පයන් අගය කරනා සමාජයක් තුළ හැදී වැඩිය යුතු බවත්, ඒ තුළින් ළමුන්ගේ කායික හා මානසික දියුණුව මෙන්ම සාමාජීය වර්ධනය යන අරමුණු ඉටු විය යුතු බවත් මෙම සම්මුතිය තුළින් පිළිගැනුණි.

http://childrensrights.ie

දරුවන් වෙනුවෙන් සම්මුතීන් රැසක්!

අන්තර්ජාතික ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය එළි දැක්වීමෙන් අනතුරුව ළමා අයිතිවාසිකම් පිළිබඳව පුළුල් පරාසයක ආරක්ෂාවන් ගොඩ නැගිණි. ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ අරමුණ වූයේ ළමා සුබ සිද්ධිය වෙනුවෙන් වඩාත් අත්‍යවශ්‍ය වන සංවේදී මාතෘකාවන් ඔස්සේ යමින් ළමුන්ගේ අයිතීන් සහ අනාගතය සුරක්ෂිත කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේ ජූනි මස 17 වන දින දරුණු ගණයේ ළමා ශ්‍රමය යොදාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සම්මුතිය හෙවත් The Worst Forms of Child Labour Convention සාර්ථක ව එළි දැක්විණ.

2000 වසරේ මැයි මස 25 වන දින සන්නද්ධ අවි ගැටුම් සඳහා ළමුන්ගේ දායකත්වය පිළිබඳව වන විකල්ප ප්‍රොටොකෝලය (The optional protocol to the International Charter of the Child Rights regarding the participation of children in armed conflicts) එළි දැක්වීම සිදු කරන ලදි. මෙය අන්තරාතික ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට සමගාමීව පවතින ප්‍රොටොකෝලයකි. මෙම ප්‍රොටොකෝලය අන්තර්ජාතික පිළිගැනීමට ලක් වූයේ 2002 වසරේ පටන් ය. විවිධ රටවල් තුළ ඇරඹි සිවිල් යුද්ධ ගැටුම් හා සන්නද්ධ හමුදා ගැටුම් සඳහා දරුවන් යොදා ගැනීමේ ප්‍රවණතාවයක් ලොව පුරා දැකගත හැකි වීම මෙම ප්‍රොටොකෝලය එළි දැක්වීමට හේතුවක් විය.

1990 දශකය තුළ ලයිබීරියාව, සෝමාලියාව, සියෙරා ලියොන්, බුරුන්ඩි හා රුවන්ඩාව වැනි රාජ්‍යයන් තුළ මෙම තත්ත්වය වඩාත් දැකිය හැකි විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ද ළමා සොල්දාදුවන් පුහුණු කිරීම් සිදු කරනු ලැබූ බව ශ්‍රී ලාංකික අපට ද නොරහසකි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කරන ලද යෝජනාවන්ට අනුව ළමා සොල්දාදුවන් යුද්ධ පිටිය වෙත යැවීම යනු දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.

https://prezi.com

වත්මන් තත්වය

වර්තමානය වන විට ළමා අයිතිවාසිකම් වෙනුවෙන් වන අන්තර්ජාතික ප්‍රඥප්තිය හෙවත් The International Charter of the Child Rights යන්න එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් 192 අතුරින් රාජ්‍යයන් 190ක් විසින්ම පිළිගෙන ඇති අතර, ඒ තුළින් සිය රාජ්‍යයන් තුළ ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා බැඳී සිටින්නෝය. ඇමරිකා එක්සත් ජනපදය සහ සෝමාලියාව යන දෙරට පමණක් මෙහිදී කැපී පෙනෙන්නේ, ඔවුන් මෙම ප්‍රඥප්තිය අත්සන් කොට තිබුණ ද, ඊට අදාල හෝ සමගාමී වන ජාතික නීති මාලාවක් සිය රට තුළ පනවා නොමැති හෙයිනි.

සිතන්නට යමක්

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අප හට තවත් නීති පැනවීම අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ පනවා ඇති නීති සියල්ල වඩ වඩාත් ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවීමයි. ඒ සඳහා වගකිවයුතු රජයන් සියල්ල කැප විය යුතු ය. සියල්ල යහපත් ලෙස සිදුවන තෙක් බලා සිටීම වගකිව යුතු පුරවැසියකුගේ වගකීමක් ද නොවේ. දරුවකුගේ අනාගතය යහපත් කිරීම පිණිස අපට ගත හැකි ඕනෑම පියවරක් සුළුවෙන් හෝ ඉටු කිරීම ඔවුන්ගේ හෙට දින යහපත් කරන්නටත්, මුළු ලෝකයේම අනාගතය වඩාත් සෞභාග්‍යමත් කිරීමටත් උපකාරී වන බව අප මතකයෙහි රඳවා ගත යුතු ය.

(ශ්‍රී ලංකාව තුළ පවතින ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පිළිබඳ තතු ඉදිරි ලිපි තුළින් බලාපොරොත්තු වන්න)

කවරයේ ඡායාරූපය: www.ibcr.org

තොරතුරු උපුටා ගැනීම – http://www.humanium.org

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්