විශේෂාංග

විනාඩි 3 ක කියවීමක්

ළමා අයිතිවාසිකම් නීතිය පිළිබඳව ඔබ දැනුවත් ද?

Published

විනාඩි 3 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon

Imesha Madubhani

Contributor

“හොඳම දේ දරුවන්ටයි” යන්න ඔබ අප කවුරුත් අනුමත කරන කියමනකි. රටක අනාගතය භාර ගන්නා දරු පරපුර අනිවාර්යයෙන්ම හොඳම දේ ලැබීමට හිමිකරැවෝ වෙති. වැඩිහිටියන් ගේ අවශ්‍යතා හා උවමනාවන් සමග සංසන්දනය කිරීමේදී මනාව පැහැදිලි වන්නක් නම්, දරුවන්ගේ උවමනා එපාකම් ඊට වඩා හාත්පසින්ම වෙනස් වන බවයි. ඒ හා සමානවම, දරුවන් ආරක්ෂා කිරීමට පැවතිය යුතු යාන්ත්‍රණය සහ නෛතික රාමුවද “ළමයා” යන සංකල්පය මත පිහිටා ගොඩනැගිය යුතු ය. මානව අයිතිවාසිකම් ගණයෙහි ලා දරුවන් සතු අයිතිවාසිකම් අර්ථ නිරූපණය කිරීම එතරම් සාර්ථක නොවන්නේ එහෙයිනි.

මේ බව වටහා ගත් ලෝක ප්‍රජාව විසින් ළමයින් වෙනුවෙන් වෙනම ආරක්ෂණ යාන්ත්‍රණයක් ගොඩ නගන ලදී. “ළමා අයිතිවාසිකම්” යනුවෙන් අප අද හඳුන්වනුයේ එම අයිතිවාසිකම් සමුදායයි. මේ ලිපියේ අරමුණ වන්නේ එ් පිළිබඳව පාඨක ඔබ දැනුවත් කිරීමයි.

http://www.no-worries.org.uk

ඉතිහාසය

අන්තර්ජාතික නීතීන් මුලින්ම ගොඩනැගෙන්නට පටන් ගත් අවධියේදී ළමුන් හඳුන්වනු ලැබුවේ කුඩා වැඩිහිටියන් හෙවත් “Small Adults” නමිනි. 19 වන සියවසේ මැද භාගයේදී ප්‍රංශය විසින් එරට කම්හල් තුළ වැඩ කරන ළමුන් වෙනුවෙන් නීති සම්පාදනය කරන්නට පෙළඹුනු අතර, 1841 වසරේ සිට කම්හල් තුළ සේවය කරනා ළමුන් සඳහා නෛතික ආරක්ෂාව ලබා දෙන ලදී. 1881 වසරේදී ප්‍රංශ නීතිය මගින් “ඉගෙනීමට ඇති අයිතිය” ළමා අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා ලදී.

20 වන සියවස ආරම්භ වන විට ප්‍රංශය අනුගමනය කරමින් යුරෝපීය රටවල් විශාල ප්‍රමාණයක් ළමා අයිතිවාසිකම් පිළිබඳ නීති සම්පාදනය කරන්නට පෙළඹුනි. ඒ අතුරින් සෞඛ්‍ය පහසුකම් සහ සමාජීය ආරක්ෂණය යන අංශයන් වඩාත් කැපී පෙනුණි.

පළමු ලෝක යුද්ධයෙන් පසුව 1919 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය පිහිටුවා ගැනීමට සමගාමීව ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම හා සබැඳි කතිකාවතක අවශ්‍යතාවය නැවත කරළියට පැමිණි අතර ළමා අයිතිවාසිකම් යන සංකල්පය මනාව හඳුනා ගැනීමට මෙන්ම එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ද වෙනම කමිටුවක් පත් කිරීමටද එහිදී තීරණය කෙරුණි.

එක්සත් ජාතීන් සහ UNICEF

අන්තර්ජාතික මට්ටමේ සහයෝගීතාවයක් සහිතව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය එළි දක්වන ලද අතර, එක්සත් ජාතීන්ගේ සෑම සාමාජික රාජ්‍යයකටම එම අයිතිවාසිකම් යාන්ත්‍රණය තම රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවට සියල්ලෝම එකඟත්වයකට පැමිණියෝය. එහි ප්‍රතිඵලයක් ලෙස 1947 වසරේදී ඉන් පෙර පැවති විවිධ අන්තර්ජාතික ප්‍රඥප්තීන්හි ඇතුළත් නීතීන්ද අන්තර්ගත කරගනිමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය (UNICEF – United Nations Children’s Fund) බිහි වූ අතර 1953 වසරේදී එය ස්ථිර අන්තර්ජාතික සංවිධානයක් ලෙස නම් කරන ලදි.

http://www.ibcr.org

යුනිසෙෆ් සංවිධානයේ ආරම්භයේ පටන්ම එහි අරමුණ වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අවතැන් වූ හා අසරණ භාවයට පත් වූ දරුවන්ගේ සුබසෙත පිණිස කටයුතු කිරීමයි. එම නිසා මුල් කාලීන ව මූලිකවම එම සංවිධානය යුරෝපා කලාපයේ ළමා අයිතිවාසිකම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නට විය. කෙසේ නමුත් 1953 වර්ෂය වන විට එම සංවිධානයේ අරමුණු පරාසය තවත් පුළුල් වූ අතර, අන්තර්ජාතික මුහුණුවරකින් ළමා අයිතීන් සුරැකීමේ යාන්ත්‍රණයක් ඒ හරහා දියත් කරන ලදී.

මෙහිදී කැපී පෙණුනු තවත් කරුණක් වන්නේ මෙම කාලය තුළ යුනිසෙෆ් සංවිධානය මගින් දියුණු වෙමින් පවතින රටවල ළමුන්ගේ සුබසාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස යුනිසෙෆ් සංවිධානයේ මැදිහත් වීමෙන් ලොව පුරා වෙසෙන ළමුන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය අයිතීන් මෙන්ම ආහාර හා පානීය ජල අවශ්‍යතා යන අංශ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරන ලදී.

https://zcomm.org

1948 වසරේදී එළි දක්වන ලද මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය (Universal Declaration on Human Rights) මගින්ද ළමා අයිතිවාසිකම් මානව අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා ලදී. එහිදී මාතෘත්වය හා ළදරු භාවය යනු විශේෂ කොට සැලකිය යුතු කාරණා බව පිළි ගෙන තිබේ. ප්‍රකාශය නිකුත් කරන ලද මොහොතේදී සභාවේ සිටි සාමාජික රටවල් හැත්තෑ අටක්ම ඒකමතිකව මෙම ප්‍රකාශය පිළිගන්නා ලදී.

ළමා අයිතිවාසිකම් ප්‍රකාශය

ළමා අයිතිවාසිකම් වෙනුවෙන්ම සැකැසුණු එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රකාශය 1959 වසරේ නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිකුත් කරන ලදි. මෙහිදී ප්‍රතිපත්තීන් දහයක් ලොවට හඳුන්වා දෙන ලද අතර, ඒවා පහත පරිදි වේ.

  1. සමානාත්මතාවයට ඇති අයිතිය හෙවත්, ජාතිය හෝ ආගම මත පදනම් ව වෙන් කොට සැළකීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය.
  2. ශාරීරික, මානසික හා සමාජයීය වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන විශේෂ ආරක්ෂාව සඳහා වන අයිතිය.
  3. ජාතියකට අයත් වීමේ හා හඳුනා ගැනීමේ නමක් ලැබීමේ අයිතිය. (The right to a name and a nationality)
  4. නිසි පෝෂණය, නිවාස පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අයිතිය.
  5. ශාරීරික හෝ මානසික වශයෙන් ආබාධිත තත්වයෙහි පසුවන ළමුන්ට අවශ්‍ය විශේෂ අධ්‍යාපන හා අනෙකුත් පහසුකම් සඳහා වන අයිතිය.
  6. දෙමාපියන්ගෙන් සහ සමාජයෙන් ආදරය ලැබීමට හා ළමුන්ව තේරුම් ගැනීමට ඇති අයිතිය.
  7. නිදහසේ අධ්‍යාපනය ලැබීමට සහ ක්‍රීඩාවන්හි නිරත වීමට ඇති අයිතිය.
  8. සියළුම අවස්ථාවන්හීදී ලැබිය යුතු සහනයන් සඳහා ප්‍රමුඛත්වයෙහි ලා සළකනු ලැබීමට ඇති අයිතිය.
  9. සියලුම ආකාරයන්හී නොසලකා හැරීම්, ප්‍රචණ්ඩත්වයන් සහ අපයෝජනයන්ගෙන් මිදී ජීවත් වීමට ඇති අයිතිය.
  10. ඉවසීම, අවබෝධය, මිත්‍රත්වය සහ විශ්වීය සහෝදරත්වය යනාදියෙන් පිරී ඇති පරිසරයක හැදී වැඩීමට ඇති අයිතිය.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රකාශයේ පූර්විකාව ද ළමා අයිතිවාසිකම් පිළිබඳ ඉතා විශාල වපසරියක් ආවරණය කරයි. ඊට අනුව ළමුන් යනු ඉපදීමට පෙර හා ඉන් පසුව ද විශේෂ ආරක්ෂාවන්ට හා සැළකිල්ලකට මෙන්ම, නෛතික ආරක්ෂාවන්ටද යටත් විය යුතු අයවලුන් වේ. මේ අනුව පෙනී යන්නේ අන්තර්ජාතික නීතියේ පිළිගත් මූලධර්මයන්ට අනුව දරුවකුට ළමා අයිතිවාසිකම් හිමි වන්නේ එම දරුවා උපදින්නටත් පෙර සිටම බවයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ තවත් තතු ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.

කවරයේ ඡායාරූපය – Research leap

මූලාශ්‍ර

  1. http://www.humanium.org

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්