Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ISIS ත්‍රස්තයින් ලුහුබැඳ යන තරුණයෙක්

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානය (ISIL සහ IS ලෙස ද හැඳින්වේ) 2013 සිට සිරියාවේ ද 2014 සිට ඉරාකයේ ද විශාල ප්‍රදේශයක් පාලනය කළා. මේ අතර මෙම ප්‍රදේශයේ යුධ තත්ත්වයන් හේතුවෙන් විශාල සරණාගතයන් පිරිසක් බෝල්කන් ප්‍රදේශ හරහා යුරෝපයට සංක්‍රමණය වුණා.

ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල වන හමුදා මෙහෙයුම් හමුවේ ඔවුනගේ පාලනය යටතේ පවතින ප්‍රදේශ සීමා වීමට පටන් ගත් අතර, එයින් පසුව ඔවුන් සිය උපක්‍රමයන් වෙනස් කරන්නට පටන් ගත්තා. 2013, 2014 වසරවල ඔවුන් උත්සාහ කළේ යුරෝපයේ අනුගාමිකයන් ඔවුනගේ පාලන ප්‍රදේශයට ගෙන්වා ගැනීමටයි. නමුත් පසුකාලීනව ඔවුන් එම රටවල වසන සිය අනුගාමිකයන් එම රටවලම ප්‍රහාරයන් සඳහා යොමු කරවන්නට වුණා. එමෙන්ම සිරියාවේ සහ ඉරාකයේ වූ ඇතැම් ත්‍රස්තයින් ද සරණාගතයින් සමඟ බටහිර යුරෝපය කරා ළඟා වුණා.

මෙසේ ජර්මනියට සංක්‍රමණය වූ ත්‍රස්තයින් ලුහු බඳින තරුණ සිරියානු සංක්‍රමණිකයකු පිළිබඳ ජර්මනියේ ඩොයිෂ වෙල්ලෙ හෙවත් DW මාධ්‍ය ආයතනය පසුගියදා වාර්තා කළා. මේ ඔහුගේ කතාවයි.

මාස නවයක් ත්‍රස්ත සිරකරුවකු ලෙස​

මසූඩ් අකීල් තවමත් 24 වන වියේ පසුවන සිරියානු කුර්දි ජාතිකයෙක්. ඔහු ඊසානදිග සිරියාවේ උපන් අතර සිරියානු කුර්දි රූපවාහිනී නාලිකාවක් වන රුඩාව් (Rudaw) වෙනුවෙන් සේවය කළා. අකීල් සහ ඔහුගේ සඟයා මාස 20 ක් පමණ සිරියාවේ සිවිල් යුද්ධය පිළිබඳ වාර්තා කළා. මේ අතර 2014 දෙසැම්බරයේදි මේ දෙදෙන පැහැරගනු ලැබුවා.

එයින් පසු මාස නවයක කාලය අකීල් ගතකළේ ISIS ත්‍රස්තයින් භාරයේයි. ඔහු ස්ථාන හයක විවිධ අවස්ථාවන් වලදී සිරගත කරනු ලැබ තිබුණා. සුන්නි මුස්ලිම් ISIS ත්‍රස්තයින් කුර්දීන් සමඟ දැඩි වෛරයකින් පසු වනවා. තවද අකීල් සහ ඔහුගේ සගයා තොරතුරු දන්නේ යයි ද ඔවුන් සැක කරන්නට ඇති. එහෙයින් ඔවුන් අකීල්ගෙන් ප්‍රශ්න කළ අතර ඒ සමඟම ඔහුට දරුණු ලෙස පහර දුන්නා.

2015 සහ 2016 වසරවල ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශ ක්ෂය වීම (IHS Conflict Monitor)

කුර්දිවරුන් මිත්‍යා දෘශ්ඨිකයන් බවත්, සියලුම කුර්දීන් මරා දැමිය යුතු බවත් ත්‍රස්තයින් අකීල් සමග පවසා තිබුණා. ඒ කුර්දීන් ජීවත් වූ ප්‍රදේශය ත්‍රස්තයින්ට අවශ්‍ය ආකාරයෙන් ඉස්ලාමික වීමට ඔවුන් බාධකයක් වූ බැවින්.

ISIS ත්‍රස්ත සංවිධානය සිරියාවේදී වර්ධනය වූ ආකාරය පිළිබඳව DW ආයතනය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී​ අකීල් අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටින්නේ සිරියාවේ කාන්තාර ප්‍රදේශවල ජනතාව කෙරේ රජය එතරම් අවධානයක් යොමු නොකළ බවත් ඒ හේතුවෙන් ත්‍රස්තයින්ට ඔවුනගේ සහය ලබා ගැනීම පහසු වූ බවත්. එමෙන්ම එම සංවිධානය සමඟ ඉරාකයේ හිටපු බාත් පක්ෂ සාමාජිකයන් සම්බන්ධ වූ බවත් මේ අනුව එම සංවිධානය සිය පාලන ප්‍රදේශවල රාජ්‍ය පරිපාලන ව්‍යුහයකට සමාන ක්‍රමවේදයක් සැකසූ බවත්.

ත්‍රස්තයින් කළ වරද​

තමන් පැහැරගත් මුල් කාලයේ ත්‍රස්තයින් තම ජයග්‍රහණය පිළිබඳ විශාල විශ්වාසයකින් පසු වූ බව අකීල් කියා සිටිනවා. එම කරුණ නිසාම විවිධ අවස්ථාවල ඔහු හමුවීමට එවූ විවිධ ත්‍රස්තවාදීන් එළිපිටම සිය සංවිධානය පිළිබඳ වහසි බස් දෙඩූ බව ඔහු සඳහන් කරනවා. ඔවුන් උත්සාහ කළේ සිය සංවිධානයේ ශක්තිය පිළිබඳ අකීල්ට ඒත්තු ගැන්වීමටයි. පුවත්පත් වාර්තා සහ බටහිර මාධ්‍යවල පළවූ රූපවාහිනී වාර්තාවලින් ත්‍රස්ත සංවිධානයේ වර්ධනය වන තර්ජනය පිළිබඳ වූ පුවත් ඔවුන් ඔහුට පෙන්වා සිටියා.

කෙසේ නමුත් මේ ආකාරයේ හමුවීම් සහ සිරභාරයේ සිටියදී අකීල් දුටු පුද්ගලයන් සහ සිද්ධීන් ද ඔහුට හමුවූ වෙනත් රැඳවියන් ද පසු කලෙක ඔහුට ත්‍රස්තවාදීන් හඳුනාගැනීමට උපකාරී වුණා.

ජර්මනියට පැමිණීම​

අකීල් අවසන් වරට රඳවාගෙන සිටියේ මන්බිජ් නගරයේයි. ඒ අතර සිරකරුවන් හුවමාරුවක දී ඔහුට නිදහස ලබා දෙනු ලැබුණා. ඉන්පසු ඔහුගේ උත්සාහය වූයේ ජර්මනිය බලා පැමිණීමයි. ජර්මනිය කරා පැමිණිය යුතු වූයේ බෝල්කන් අර්ධද්වීපය හරහා සරණාගතයින් පැමිණෙන මාර්ග දිගේයි. එම ගමන එතරම් පහසු එකක් වූයේ නැහැ. අකීල් ජර්මනිය කරා ළඟා වූයේ සිය තුන්වන උත්සාහයේදී. ඒ 2016 වසරේදි යි.

මේ වනවිට සිරියාවේදී සහ ඉරාකයේදී ත්‍රස්තයන් හමුදාමය වශයෙන් පරාජය වෙමින් තිබුණා. මේ හේතුවෙන් ඔවුන් වැඩිපුර බටහිර යුරෝපා රටවල්වල ත්‍රස්ත ක්‍රියා සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා. මෙය 2015 නොවැම්බර් මාසයේ පැරිසියට එල්ල වූ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වඩාත් පැහැදිලි වූ කරුණක්. මේ අතර සරණාගතයන් සමඟ ත්‍රස්තවාදීන් ද යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටියා.

දන්නා කියන ත්‍රස්තවාදීන්

අකීල්ට මෙම කරුණ පැහැදිලි වූයේ ඔහු දන්නා කියන​, ඇතැම්විට ඔහු රැඳවුම් භාරයේ සිටියදී දැක ඇති ත්‍රස්තයින් සමාජ ජාලයන් හි කරන ලද ප්‍රකාශයන් දුටු අවස්ථාවේයි. ඔහු ඔවුනගේ ෆේස්බුක්, ට්විටර් ආදී ගිණුම්වල පළ වූ අදහස් සහ ඡායාරූප ආදිය තිර නික්ෂේපයන් (Screenshots එහෙමත් නැත්නම් screen dumps) ලෙස එකතු කරන්නට පටන් ගත්තා.

ඔහු වඩාත් විමසිලිමත් වන්නට පටන් ගත්තේ ඔහු දැක තිබූ ත්‍රස්තයින් සමහරෙක් යුරෝපයට පැමිණ එහි සිට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ISIS සංවිධානය පිළිබඳ වර්ණනාවෙන් අදහස් දක්වන විටයි. ඒ ඇතැම් ෆේස්බුක් ගිණුම් දැනට දකින්නට නැතත් අකීල් සතුව ඒවායේ තිර නික්ෂේපයන් තිබෙන අතර ඒ ඔස්සේ ඔහු ඔවුන් පිළිබඳ තොරතුරු එකතු කළා.

ත්‍රස්ත සංවිධාන සාමාජිකයන් කළකට පෙර ඉරාකයේ මෝසුල් නගරයෙදී (Reuters)

අකීල් මෙම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීමට කටයුතු කළේ මෙම පුද්ගලයින් ත්‍රස්ත ප්‍රහාරවල හෝ ත්‍රස්ත ප්‍රචාරක කටයුතුවල නිරත වීමේ අවදානම දැනගනයි. එමෙන්ම ඔහු තමා දන්නා තොරතුරු ඔස්සේ එම ත්‍රස්තයින් සහ ඔවුනගේ හිතමිත්‍රයින් පිළිබඳ තොරතුරු හැකි තරම් එකතු කරන්නට පටන් ගත්තා.

ජර්මනියට පැමිණ සිටින ISIS ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ සිටි යසිඩි කාන්තාවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන, බේඩන්-වුටෙම්බර්ග් සමූපකාර සරසවියේ මහාචාර්යවරයකු සහ මනෝ චිකිත්සකයකු වන යාන් කිසිල්හාන්, DW මාධ්‍ය ආයතනය හා සඳහන් කළේ තමන් අකීල් වැනි අයගේ තොරතුරු ඉතා වැදගත් ලෙස සළකන බවයි. එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරවල නිරතවන ත්‍රස්තයින්ට වඩා ප්‍රවේශමෙන් “බුද්ධිමත් ත්‍රස්තයින්” පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බව ඔහු පෙන්වා දෙනවා. ඔවුනට වෙනත් සමාජයකට පැමිණ ඊට අනුගත වෙමින් සිය ප්‍රචාරක කටයුතු ද සිදු කිරීමේ මෙන්ම වෙනත් පුද්ගලයන් සිය සංවිධානයට බඳවා ගැනීමේ දක්ෂතාව තිබෙන බව කිසිල්හාන් පෙන්වා දෙනවා. එහෙයින් අකීල් වැනි අයගේ තොරතුරු ආරක්ෂක අංශවලට ඉතා වැදගත් වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ජර්මන් ආරක්ෂක අංශ වෙත විවිධ සරණාගතයන් ගෙන් සැක කටයුතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලැබෙනවා. නමුත් අකීල් එම තොරතුරු සපයන්නන් ගෙන් වෙනස් වන ප්‍රධානම හේතුව වන්නේ එම අනෙක් පුද්ගලයන් මෙන් නොව ඔහු ඒ බව නොසඟවා පැවසීමයි. එමෙන්ම ඔහු සතුව ඇති තොරතුරු ප්‍රමාණය මෙන්ම ඔහු සොයාගන්නා අලුත් තොරතුරු ද සැළකිය යුතු තරම් වනවා.

මාධ්‍යවේදී පීටර් කෝප්ෆ් හා එක්ව අකීල් විසින් ලියන ලද පොතක් තව දින කිහිපයකින් නිකුත් වනු ඇති. එහිදී අකීල් සිය අත්දැකීම් පිළිබඳ සඳහන් කරනවා. එමෙන්ම තමා එළිපිටම ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වනවා. ත්‍රස්තයින්ට අවශ්‍ය වන්නේ ජර්මනිය වැනි රටවලත් කැළෑ නීතිය රජයන තත්ත්වයක් බිහි කිරීම බවත් තමන් ඊට එරෙහිව සටන් කරන බවත් අකීල් පවසා සිටිනවා.

  • ජර්මනියේ DW මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවියෙහි පළ වූ “Masoud’s list: From IS victim to terrorist hunter” ලිපිය සහ මසූඩ් අකීල් පිළිබඳ ඔවුනගේ වාර්තා වීඩියෝ සහ සම්මුඛ සාකච්ඡා ඇසුරින් ලියන ලදී

Cover Image: මසූඩ් අකීල් (Facebook)

Related Articles