Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Karōshi හෙවත් කාර්යබහුලත්වය නිසා සිදුවන මරණ

ජපන් ජාතිකයන් ගැන හිතද්දි ඔබට මුලින්ම මතක් වෙන්නේ කඩිසර, කිසිම කම්මැලි කමක් නැති මහන්සි වෙලා වැඩකරන ජාතියක් විදිහට වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද ඔවුන්ගේ මේ පමණ ඉක්මවා වැඩ කිරීම ඇතැම්විට

ඔවුන්ට මරණය ළඟා කරවන බව.

කාර්යබහුලත්වයෙන් මිය යා හැකිද? (sakura-maumau.deviantart.com)

ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ විශාල දියුණුවක් ලබාගත් රටක්. අද වන විට ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයක් තිබෙන රටක් විදිහටත් ජපානය හඳුන්වන්න පුළුවන්. මේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව තමයි ජපන් ජාතිකයන්ගේ වැඩ කිරීමේ හැකියාව. ඔවුන් තමන්ගේ වෘත්තිය ඉතාමත් උනන්දුවෙන් කරන පිරිසක්.

වෙනත් රටවල අයට සාපේක්ෂව වැඩි පැය ගණනක්, වැඩි වැඩ ප්‍රමාණයක් ජපන් ජාතිකයෙක් දිනකට සිදුකරනවා. නමුත් මේ පමණ ඉක්මවා වැඩ කිරීම ජපන් ජාතිකයන්ට මාරකයක් වෙලා තියෙනව කිව්වොත් නිවැරදියි.

Karōshi (කරෝෂි)

කරෝෂි කියන වචනයේ ජපන් තේරුම වෙන්නේ overwork death හෙවත් “අධික ලෙස වැඩ කිරීම නිසා ඇතිවන මරණය” කියන එකයි. ප්‍රථම කරෝෂි සිදුවීම වාර්තා වෙලා තියෙන්නෙ 1969දි. ඒ 29 හැවිරිදි තරුණයෙක් හෘදය අකර්මණ්‍ය වීමෙන් මියයෑමෙන්. එයින් ඇරඹුණ මේ අධික කාර්යබහුලත්වය නිසා සිදු වන මරණ අද වන විට ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙනවා.

මෙම මරණවලට හේතුව වන්නේ අධික කාර්යබහුලත්වය සහ අධික ආතතිය නිසා ඇතිවන හෘද‍යාබාධ, ආඝාත, සියදිවි හානිකරගැනීම් සහ දිගු කාලයක් ආහාර වේල් නොසලකා අධික නිතර නිරාහාරව සිටීම වැනි දේවල්.

කරෝෂි කොතරම් බලපෑමක්ද?

සංඛ්‍යාලේඛනවලට අනුව 2005 වසරේදී අධිකව වැඩ කිරීම නිසා මිය ගිය ජපන් ජාතිකයන් ප්‍රමාණය 328ක්. ඒ ප්‍රමාණය 2000 වර්ෂයට සාපේක්ෂව 7 ගුණයක්. නමුත් 2014 / 2015 ජපාන කම්කරු දෙපාර්තමේන්තුව මගින් කරන ලද සමීක්ෂණයකට අනුව ජපානයේ වෘත්තිකයන් 2310 ක් මෙම තත්ත්වයට ගොදුරු වී තිබෙනවා. ඒත් National Defence Council for Victims of Karōshi සංවිධානයට අනුව මෙය 10,000ක් පමණ ඉහළ විය හැකි බවයි පැවසෙන්නේ. ඉතින් වසරකට මිනිසුන් 2000 – 10000කට පමණ මරණය ළඟා කරන්න මේ අධිකව වැඩ කිරීම සමත් වෙලා තියෙනවා. වාර්තාවලට අනුව පසුගිය වර්ෂ කිහිපය තුළ අවුරුදු 30ට වඩා අඩු වෘත්තිකයන් කරෝෂිවලට ගොදුරු වීම 45%කින් වැඩිවී තිබෙනවා.

වසරින් වසර 2011 තෙක් මෙම තත්ත්වය වර්ධනය වී ඇති ආකාරය (says.com)

සාමාන්‍ය ජපන් වෘත්තිකයෙක් සතියකට කොපමණ වෙලාවක් වැඩ කරනවා විය හැකිද? ඔබ විශ්වාස නොකළත් ජාත්‍යන්තර සමීක්ෂණ කණ්ඩායම්

වලට අනුව ජපාන වැසියෙක් සාමාන්‍යයෙන් සතියකට පැය 70 – 90 අතර ප්‍රමාණයක් වැඩ කරනවා. සමහරෙක් සතියකට පැය 100ක් පමණ වැඩ කරන අවස්ථා පවා වාර්තා වෙලා තිබෙනවා. ඒ කියන්නේ හැමදාම වැඩ කරනවා කියලා සැළකුවත් දවසට පැය 10ත් 14ත් අතර ප්‍රමාණයක්!

ඔවුන් මෙසේ වැඩ කරන්නේ ඇයි කියා ඔබට හිතෙනවා අැති. ඔවුන් තමන් රාජකාරී කරන ආයතනයට ඉමහත් පක්ෂපාතීත්වයක් දක්වනවා. තම ආයතනය වෙනුවෙන් තමන්ට හැකි උපරිමය ඔවුන් සිදුකරනවා. ආයතන පරිපාලයත් ඒ කර්තව්‍යය එලෙසම බලා පොරොත්තු වෙනවා. සමීක්ෂණයකට අනුව පුද්ගලයන් 5 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ම තමන්ට නියමිත කාලයට වඩා වැඩිපුර වැඩකරන බව තමයි වාර්තා වෙන්නේ.

රජයේ වාර්තාවකට අනුව ජපාන ජාතිකයන්ගෙන් 90%කට රැකියාව හා ජීවිතය හරිහැටි තුලනය කර ගැනීම ගැන දැනුවත්භාවයක් නැහැ. තවත් කාරණයක් වන්නේ මේ වැඩිපුර වැඩකරන පැය ප්‍රමාණය උදෙසා ඔවුන්ට කිසිම වැටුපක් නොලැබීම. මෙය Cloaked overtime හෙවත් වරප්‍රසාද නැති අතිකාල සේවය යනුවෙන් හඳුන්වනවා.

වැඩිපුර වැඩකිරීමෙන් මිය යන්නේ ඇයි?

වෛද්‍යවරුන්ට අනුව අධික වෙහෙස හා අවශ්‍ය තරම් නින්දක් නොමැති කම ඉතා විශාල වශයෙන් මේ සඳහා බලපා තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට පැය 6-8 අතර ප්‍රමාණයක් නින්ද අවශ්‍ය වුවත් ජපාන වෘත්තිකයෙක්ට නින්ද ලැබෙන්නේ පැය 5කටත් අඩු ප්‍රමාණයක්. මේ නිසා ඉතා අඩු වයසෙන් හෘදයාබාධවලට ලක්වීමේ අවධානමක් ඇතිවී තිබෙනවා. මෑත ඉතිහාසයේදී අවුරුදු 25-30 අතර පුද්ගලයින් විශාල ප්‍රමාණයක් හෘදයාබාධවල ගොදුරු බවට පත් කරන්නට කරෝෂි සමත්වී තිබෙනවා.

ඒ වගේම අධික ආතතියත් මේ රෝග වලට හේතු වෙනවා. සතියේ දින 7ම දිනකට පැය 10-14 වැඩ කරන කෙනෙකුට කොපමණ තරමේ ආතතියක් ඇත්ද කියා නිකමට සිතා බලන්න.

කරෝෂිවලට තවත් හේතුවක් තමයි ජපානයේ පවතින සියදිවි නසා ගැනීමේ සංස්කෘතිය. ලෝකයේ සියදිවි නසා ගැනීම් අතර ඉහළම ස්ථානයක් ලබා ගන්නා රටක් තමයි ජපානය. සියදිවි හානිකරගැනීම සඳහා ජපන් සාහිත්‍යයේ වීරත්වයක් ආරෝපණය කර තිබීම මෙයට තවත් හේතුවක්. රැකියාව නිසා ඇතිවන අධික ආතතිය හේතුවෙන් ජපන් වැසියන් විශාල ගණනක් සියදිවි හානි කරගන්නා බවට වාර්තාවෙලා තිබෙනවා. ජපාන රජය 2015 දී අනතුරු අඟවා ඇති ආකාරයට ජපාන ශ්‍රම බලකායෙන් 20%ක් තරම් අධික ප්‍රමාණයක් කරෝෂිවල ගොදුරක් වීමට අවදානමක් ඇති බව පැවසෙනවා.

තත්ත්වය පාලනය කිරීම

සීමාවක් පවත්වාගැනීමේ වැදගත්කම (pamelawible.com)

මෑත ඉතිහාසයේදී විවිධ ජපන් ආයතන කරෝෂි පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ටොයෝටා ආයතනය වසරකට සේවය කළ හැකි අතිකාල පැය ගණන 360කට සීමා කර තිබෙනවා. සමහර ආයතන සවස් වැඩමුරය අතරතුර සේවකයන්ට විවේකය අවශ්‍ය බව නොකඩවා පැයකට වරක් වාදනය කරන බව පැවසෙනවා. ඒ වගේම තවත් ආයතන සවස 5.30න් පසු කිසිම වෘත්තිකයෙක්ට සේවා ස්ථානය තුළ රැදී සිටීමටවත් ඉඩ දෙන්නේ නැහැ.

ජපාන රජය 2015දී සේවය කළ හැකි උපරිම පැය ගණන හා වෘත්තිකයන්ගේ විවේකය සම්බන්ධයෙන් නීති පනවා තිබෙනවා. ඒ වගේම නුදුරේදී සේවකයන්ට අනිවාර්යයෙන්ම නිවාඩු ලබා ගැනීමට බල කිරීමේ නීතියක් ජපාන රජය රැගෙන ඒමට නියමිතයි.

අධික වැඩ නිසා මිය යන්නේ ජපානයේ පමණද?

නැහැ. මෙය ලෝකයේ ඕනෑම රටක සිදු විය හැකියි. දැනට හඳුනා ගෙන ඇති අන්දමට මේ තත්වයේ අලුත්ම ගොදුරු වී ඇත්තේ චීනය හා අපේ අසල්වැසි ඉන්දියාවයි. චීනය මෑත ඉතිහාසයේ මේ ව්‍යසනයට විශාල වශයෙන් ගොදුරු වී තිබෙනවා. තහවුරු නොවූ වාර්තාවකට අනුව මේ මරණ ප්‍රමාණය දිනකට 1600ක් පමණ වුවද විය හැකියි. ඒත් චීනය තවමත් මේ පිළිබඳව කිසිම පියවරක් ගෙන නැහැ.

ඔබත් අධික වශයෙන් වැඩකරන පුද්ගලයෙක් නම් මේ ගැනත් සිතන්න. ඕනෑම කෙනෙකුට විවේකය අත්‍යවශ්‍යයි. ජීවිතයත් රැකියාවත් තුලනය කර ගන්න උත්සාහ ගන්න. ඔබ රැකියාව නිසා ආතතියට ලක්වී ඇත්නම් ඒ ගැන කවරෙකු හෝ සමග කතා කරන්න. හැකි නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න. රැකියාව වගේම ජීවිතයත් වටිනා බව මතක තබා ගන්න.

කවරයේ පිංතූරය: cdn.theculturetrip.com

මූලාශ්‍ර:

  1. www.bbc.com
  2. www.cbsnews.com
  3. www.telegraph.co.uk
  4. www.bloomberg.com
  5. www.theguardian.com

Related Articles