Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණ දඬුවම ලැබූවන්ගේ අවසාන ආහාර වේල 10ක්

මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආහාර වේල’ යනු ඉතාම කණගා‍ටුදායක චාරිත්‍රයක්. මරණ දඬුවම ක්‍රියාත්මක, ශ්‍රී ලංකාව ද ඇතුළු, ඇතැම් රට වල මරණයට ලක්වන තැනැත්තාට සිය අවසාන ආහාර වේල ‍තෝරාගැනීමේ අවසරයක් ලබා දීමේ චාරිත්‍රයක් තිබෙනවා.

තම ජීවිතයේ අවසාන තීරණය වන මෙම ආහාර වේල ‍තෝරාගැනීම කළ ආකාරය අනුව ඔහුගේ පෞරුෂය, තීරණ ගන්නා ආකාරය, ඔහුගේ පසුබිම අනුමාන කළ හැකි තරමටම මෙම ‍තෝරාගැනීම සුවිශේෂියි.

ඇලන් ලී ඩේවිස් නම් සිරකරුවකුගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

මෙම චාරිත්‍රය ක්‍රියාත්මක වන ආකාරය රටින් රටට වෙනස් වනවා. ශ්‍රී ලංකාවේ දී මරණ දඬුවමට ලක්වන සිරකරුවෙකුට මත්පැන් ද ඇතුළුව තමාට අවැසි ඕනෑම ආහාරයක් තම අවසාන ආහාර වේල ලෙස ඉල්ලුම් කළ හැකියි. ඇමරිකා එක්සත් ජනපදයේ දී නම් මරණ දඬුවමට ලක්වන දිනයේ නොව, ඊට දිනයකට හෝ දෙකකට පෙර මෙම භෝජනය ලබා දෙන්නේ එය ‘අවසාන ආහාර වේල’ නොව, ‘විශේෂ ආහාර වේල’ ලෙස නම් කරමින්.

යම් යම් සීමාවන්ට සහ මුදල් ප්‍රමාණයන්ට යටත්ව මෙම ආහාර ඉල්ලුම් කිරීමේ හැකියාව සිරකරුවාට තිබුණත්, මත්පැන් හෝ දුම්වැටි මෙලෙස ලබා දෙන්නේ නැහැ. එසේම අවසාන දින කීපයේ ඉතාමත් බියෙන් පසුවන මෙම සිරකරුවන් බහුතරය මෙම ආහාර වේල ඇනවුම් නොකරනවා මෙන්ම, ඇනවුම් කරන්නවුන්ගෙන් ද එය අනුභව කරන්නේ ඉතාම සුළු ප්‍රතිශතයක්.

2016 දී හෙන්රි හාග්‍රීව්ස් නම් ඡායාරූප ශිල්පියෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදය පුරාවටම මරණ දඬුවමට ලක්වුණු සිරකරුවන්ගේ අවසාන ආහාර වේල ප්‍රතිනිර්මාණය කොට ඡායාරූප ගත කළා. මෙම බොහොමයක් සිරකරුවන් තම අවසාන ආහාර වේල ‍තෝරාගත් ආකාරය අනුව ඔවුන්ගේ බිය, ආශාවන්, සහ තමා පුරුදු පරිසරෙන් ඈත් වීමට සිදුවීම පිළිබඳව වන තනිකම පිළිබිඹු වන බව කිව හැකියි. මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ එවන් ‍තෝරාගත් අවසන් ආහාර වේල් කීපයක තොරතුරුයි.

රොනී ලී ගාඩ්නර්

ගාඩ්නර්ගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

49 හැවිරිදි මෙම සිරකරුට යූටා ප්‍රාන්තයේ දී මරණ දඬුවම ලබාදෙනු ලැබුවේ ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම්, සහ ද්විත්ව මිනිස් ඝාතනයකට වැරදිකරු බවට පත් වූ නිසායි.

ඔහුගේ අවසන් ආහාර වේල පොකිරිස්සෙකුගේ වලිගයක්, මස් ස්ටේක්, ඇපල් පස්තෑල, සහ වැනිලා අයිස් ක්‍රීම් වලින් සමන්විත වුණා. ඔහුගේ විශේෂ ඉල්ලීමක් වූයේ Lord of the Rings චිත්‍රපට නරඹන අතරේ ආහාරය ගැනීමට අවසර ලබා දෙන ලෙසයි.

තෙරේසා ලුවිස්

ලුවිස්ගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

41 හැවිරිදි, වර්ජිනියා ප්‍රාන්ත පුරවැසියෙකු වන මෙම කාන්තාවට මරණ දඬුවම ලබා දෙනු ලැබුවේ මිනී මැරුම්, කුමන්ත්‍රණ කිරීම්, සහ මංකොල්ලකෑම් සිදු කිරීමට වරදකරු වූ නිසායි.

බැදපු කුකුළු මස්, ග්‍රීන් පීස් සමඟ බටර්, ඇපල් පස්තෑල, සහ Dr Pepper නම් පැණි බීම වර්ගය ඇගේ අවසන් ආහාර වේල වුණා.

ෆර්ඩිනැන්ඩෝ නිකොලා සැකෝ සහ බාටොලමියෝ වැන්සෙටි

සැකෝ සහ වැන්සෙටීගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

මැසචුසෙට්ස් ප්‍රාන්ත වැසියන් වූ මොවුන් ද්විත්ව පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් බවට පත්කර මරණයට පත්කරන විට ඔවුන් 36 සහ 39 වන වයස්වල පසු වුණා. කෙසේ නමුත් ඔවුන්ගේ නඩු විභාගය සහ දඬුවම් ලබා දුන් ආකාරය අසාධාරන බවත්, නඩුව නැවත විභාග කළ යුතු බවත් ලෙස එකල මැසචුසෙට්ස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශයක් නිකුත් කළා.

ඔවුන්ගේ අවසාන භෝජනය වූයේ සුප්, මස්, කර කළ පාන්, සහ තේ යි.

ස්ටීවන් ඇන්ඩර්සන්

ඇන්ඩර්සන්ගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

මෙම 49 හැවිරිදි කැලිෆෝනියානුවාට මරණ දඬුවම ලබාදෙනු ලැබුවේ ගෙවල් බිඳීම, අඩත්තේට්ටම් කිරීම, බන්ධනාගාරයෙන් පැන යෑම, සහ පුද්ගලයින් සත්දෙනෙකු ඝාතනය කිරීම නිසායි.

ඔහුගේ අවසාන ආහාර වේල ලෙස ග්‍රිල් කළ චීස් සැන්විච් දෙකක්, කොටේජ් චීස් පයින්ට් එකක්, ඉරිඟු ඇට – හොමිනි (ඉරිඟු මදය අඹරා සාදන ආහාරයක්) මිශ්‍රණයක්, පීච් පස්තෑල, රාබු, සහ චොකලට් චිප් අයිස් ක්‍රීම් ලබාගත්තා.

ජෝන් වේන් ගේසි

ගේසිගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

KFC ආයතනයේ කළමණාකරුවෙකු වූ 52 හැවිරිදි මේ ඉලිනෝයි ප්‍රාන්ත පුරවැසියාට මරණ දඬුවම නියම කෙරුණේ ස්ත්‍රීන්ට ලිංගික අතවර කිරීම හා 33දෙනෙකු ඝාතනය කිරීමට වරදකරු වීම හේතුවෙන්.

අවසාන ආහාර වේල ලෙස ඔහු විසින් ඉල්ලුම් කෙරුණේ බැදපු ඉස්සන් 12ක්, KFC බැදපු කුකුළු මස් බකට් එකක්, බැදපු අල පෙති සහ ස්ට්‍රෝබෙරි ගෙඩි අවුන්සයක්.

රොනී ත්‍රෙඩ්ගිල්

ත්‍රෙඩ්ගිල්ගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

මෙම 40 හැවිරිදි ටෙක්සාස් වැසියාට මරණ දඬුවම හිමි වුණේ මිනීමැරීමේ චෝදනාවකට වරදකරු බවට ඔප්පු වීම හේතුවෙන්.

ඔහුගේ අවසාන ආහාර වේල ලෙස ඔහු විසින් ඉල්ලුම් කළ බේක් කළ කුකුළු මස්, හොදි සමඟ තම්බා පොඩි කළ අල, එළවළු, ස්වීට් පීස්, පාන්, ජලය, තේ, සහ පන්ච් පානය ඔහු වෙත ලබා නොදුන්නේ ටෙක්සාස් ප්‍රාන්තය ඒ වන විට අවසාන ආහාරය සම්බන්ධ නීති අහෝසි කර තිබූ නිසායි. අනෙක් සිරකරුවන්ට ලබා දෙන සාමාන්‍ය ආහාරයම ඔහුටත් ලබා දෙනු ලැබුවා.

වික්ටර් ෆෙගෙර්

ෆෙගෙර්ගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

මොහු පැහැරගැනීම් සහ ඝාතනය කිරීමකට වැරදිකරු වූ 28 හැවිරිදි, අයෝවා ප්‍රාන්ත වැසියෙක්.

තම අවසාන ආහාර වේල ලෙස ඇටයත් සමඟ එක් ඔලිව් ගෙඩියක් මොහු විසින් ආහාරයට ගෙන තිබෙනවා. තමා මළ පසු ඔලිව් ඇටය ගසක් බවට වැඩී, තමා සාමයේ සංඛේතයක් ලෙස සලකනු ඇතැයි ඔහු දිගින් දිගටම විශ්වාස කළ බව කියැවෙනවා.

ටෙඩ් බන්ඩි

බන්ඩිගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)පුද්ගලයින් (බොහෝවිටම කාන්තාවන්) 35කට වඩා අධික සංඛ්‍යාවක් ඝාතනය කළ කුප්‍රකට මිනීමරුවෙකු, ස්ත්‍රී දූෂකයෙකු, ශවකාමිකයෙකු වූ මෙම ෆ්ලොරිඩා ප්‍රාන්ත වැසියා 43 හැවිරිදි වියේ සිටියදී මරණ දඬුවමට යටත් වුණා. කිසිම විශේෂ ආහාර වේලක් ඉල්ලා නොසිටි නිසා, සාම්ප්‍රදායික අවසාන ආහාර වේල ඔහු වෙත ලබා දෙනු ලැබුවා.

එම ආහාර වේල හරක් මස් ස්ටේක්, බැදපු බිත්තර, අර්තාපල් හෑශ් බ්‍රව්න්, බටර් සහ ජෙලි සමඟ කර කළ පාන්, කිරි, සහ පළතුරු යුෂ වලින් සමන්විත වුණා.

රිකී රේ රෙක්ටර්

රෙක්ටර්ගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

මෙම 42හැවිරිදි ආකැන්සස් ප්‍රාන්ත වැසියා ද්විත්ව මිනීමැරුමකට වැරදිකරු බවට ඔප්පු වූ නිසා මරණීය දණ්ඩණය ලබා දෙනු ලැබුවා.

මස් ස්ටේක්. බැදපු කුකුළු මස්, චෙරි රසැති Kool-Aid සිසිල් පානය, සහ පෙකන් පස්තෑල තම අවසාන ආහාර වේල ලෙස ඉල්ලුම් කළත්, අවසානයේ පෙකන් පස්තෑල කැබැල්ල ඔහු විසින් ඉතුරු කර ඇත්තේ එය වෙනත් වේලාවක කෑමට ඉතුරු කරන බව කියමින්.

ටිමති මැක්වේ

මැක්වේගේ අවසාන ආහාර වේල. (Henry Hargreaves)

33හැවිරිදි වියේ පසු වූ ඉන්ඩියානා ප්‍රාන්ත වැසියෙකු වූ මැක්වේ මරණ දඬුවමට ලක්කරනු ලැබුවේ පුද්ගලයින් 168 දෙනෙකු ඝාතනය කිරීම නිසායි.

තම අවසන් ආහාර වේල ලෙස ඔහු විසින් මින්ට් සහ චොකලට් චිප් අයිස් ක්‍රීම් පයින්ට් දෙකක් ආහාරයට ගනු ලැබුවා.

ප්‍රධානකොටම මෙම ‘අවසාන ආහාර වේලක්’ ලබාදීමේ චාරිත්‍රයේ අරමුණ වන්නේ මරණ දඬුවම නියම වූ තැනැත්තාට සහනයක් ලබා දීමටත් වඩා, සමාජයට ඔහු පිළිබඳව කම්පනයක්, අනුකම්පාවක් ඇති කිරීමයි. සමාජයක් ලෙස අපගේ කාර්යභාරය වනුයේ මෙතරම් දියුණු හා ශිෂ්ඨ සමයකට මරණ දණ්ඩනය වැනි කෲරතර දඬුවමක් තවදුරටත් ගැලපේ ද යන්න සිතා බලා තීරණය කිරීම යි.

කවරයේ පින්තුරය: hargreaveslm.png   (Henry Hargreaves)

Related Articles