Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලින්ක් එක දියවු – පුද්ගලිකත්වය විනාශ වීමේ ව්‍යසනයෙන් ගැළවෙන්නට නම්

තවත් දවසක්, තවත් ‘ලීක්’ එකක්. අන්තර්ජාලය භාවිත කරන පිරිස, ස්මාට් උපාංග භාවිත කරන පිරිස වගේම අන්තර්ජාලය හරහා ක්ෂණික ලාභ උපයන්න හදන පිරිස එන්න එන්නම ඉහළ යාමත් එක්ක පසුගිය අවුරුදු දෙකේ තුනේදී මේ විදිහට අසභ්‍ය දර්ශන ‘ලීක්’ වෙන එක සැලකිය යුතු විදිහට ඉහළ ගිහින් තියෙනවා. අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පහසු වීමත්, අන්තර්ජාල සම්බන්ධතාවල වේගය වැඩි වීමත් එක්ක මේ වගේ අසභ්‍ය දර්ශන පැතිරී යන්න තියෙන ඉඩකඩ ඉතාම පුළුල් වෙලා.

ඉතින් මේකේ තේරුම අපි කවුරුත් මේ ලැජ්ජාව විඳීමට සූදානම් විය යුතුයි කියන එකද? අපිට මේ ගැටළුවෙන් බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නේ ඒ දේවල් ගැනයි. ලිපිය තරමක් දිගු වුණත් සම්පූර්ණයෙන්ම කියවන්න ගත කරන කාලය මෙවැනි ලීක් වුණු දේවල් බැලීමත් ඇතුළුව අන්තර්ජාලයේ ඔබ කරන වෙනත් බොහෝ දේවල්වලට ගත කරන කාලයට වඩා වැදගත් වේවි. ‍

ලීක් වූ දෙයක් පැතිරීමට ඇති සම්භාවිතාව වැඩි කරන ‘ගුණාංග’

‘ලීක්’ වීම යනු ‘නිරුවත් දර්ශන සහිත, ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු නොවූ වීඩියෝ දර්ශන හා ඡායාරූප වැනි දේ ප්‍රසිද්ධියට පත් වීම’ කියලා අර්ථකථනයක් දෙන්න පුළුවන්. මේ දර්ශනවල සිදු කෙරෙන දේවල් (ලිංගික හැසිරීම් වගේ), එහි දකින්නට ලැබෙන පුද්ගලයන් හා ඔවුන්ගේ සමාජ තත්වය, මුහුණු හෝ අනන්‍යතාව තහවුරු කෙරෙන වෙනත් දේවල් පෙනෙනවාද කියන එක, දර්ශනවල පැහැදිලි බව, වීඩියෝ පටවල නම් කාල පරාසය වගේම ශ්‍රී ලංකාවේ නම් සමහර විට ඔවුන් කතා කරන්නේ සිංහලෙන්ද කියන එක වගේ දේවල් අනුවත් මේවා ප්‍රසිද්ධියට පත් වන සම්භාවිතාව තීරණය වෙනවා. මේ කාරණා ඇසුරෙන් ගත්තාම ප්‍රසිද්ධ කෙනෙක්ගේ හරි, ප්‍රසිද්ධ ආයතනයක බවට තහවුරු කළ හැකි (රැකියා ආයතනය, අධ්‍යාපන ආයතනය වගේ) කෙනෙක්ගේ හරි දෙයක් ‘ලීක්’ වුණොත් ඒකට ලේසියෙන් ජනප්‍රියත්වයක් හිමි වෙනවා.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මෙවැනි පැහැදිලි දර්ශන ඉක්මනින් ජනප්‍රිය වෙනවා. කිම් කාඩෑෂියන් හා රේ ජේගේ සුප්‍රසිද්ධ sex tape එක ඊට හොඳ උදාහරණයක්. (mirror.co.uk)

මේකේ අනිත් කාරණාව වන්නේ ඔබ ප්‍රසිද්ධ කෙනෙක් හෝ, ප්‍රසිද්ධ ආයතනයකට සම්බන්ධ කෙනෙක් නම් (සරලව කිව්වොත් මේ අසවල් තැනැත්තා, අසවල් ආයතනයේ කෙනෙක් කිව්වාම දන්නා පිරිස ඉහළ නම්), කලින් කියපු කාරණාවලින් ලොකුවට ප්‍රසිද්ධ වෙන්න ඉඩක් තියෙන කාරණා බොහොමයක් සහිත දර්ශන ඔබ සතුව හරි, වෙනත් කෙනෙක් සතුව හරි තිබෙනවා නම්, ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි කියන එකයි.

එදා සහ අද තත්වය

අපි කලින් කතා කළේ එවැනි දෙයක් පැතිරී යාමට රුකුල් දෙන, එහිම අඩංගු ගුණාංග ගැන විතරයි. නමුත් අද කාලයේ බොහෝ දුරට තාක්ෂණය නිසා මේවා පැතිරී යන්න ලොකු ඉඩකඩක් ලැබිලා. ඈත අතීතයේ මේ වගේ දෙයක් පැතිරී ගියා නම් ඒ මුද්‍රිත ඡායාරූප අතින් අතට යාම, සඟරා වල මුද්‍රණය වීම, වීඩියෝ චුම්භක පටි (VHS), CD හා DVD අතින් අතට යාම වගේ දේවල් තුළින් පමණයි. ඒවා බොහෝ දුරට පැහැදිලි බව අතිනුත් තිබ්බේ අඩු මට්ටමක. ඉතින් ඉහත කතා කළ ගුණාංග කොහොම වුණත් පැතිරී යාම ඉතාම අපහසු දෙයක් වුණා. ඉස්සර ලංකාව ගත්තත් කොළඹ ගිහින් නිරුවත් දර්ශන තියෙන චිත්‍රපටයක රඟපෑවත් ගමේ ඉන්න අය ඒ ගැන දැන නොගන්න තත්වයක් තිබුණා. දැන ගත්තත් ඒක නරඹන්න නම් ටිකට් අරගෙන චිත්‍රපට ශාලාවකටම යන්න අවශ්‍යයි.

ඉස්සර මේ වගේ දර්ශන හුවමාරු කරන එක, යළි පිටපත් කරන එක ලේසි වුණේ නැහැ. (youtube.com)

නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතාම කුඩා උපාංගයක් මගින් ඉතා පැහැදිලි රූප හෝ වීඩියෝ දර්ශන ලබා ගන්න, ඒවා හුවමාරු කර ගන්න හැකියාව තියෙනවා. අන්තර්ජාල සේවාවල පැතිරීම සහ වේගවත් බව නිසා ඒවා අතින් අතට ගිහින් ජනප්‍රිය වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අද අන්තර්ජාලය පාවිච්චි කරන පිරිසත් වැඩියි. ඉතින් රටේ ප්‍රතිශතයක් විදිහට ඔබ අපහසුතාවට පත් කරන යමක් නරඹන්න ඉඩ තියෙන පිරිසත් ඉහළයි.

ඉතා මෑතකදී ඇති වුණු අළුත් ප්‍රවණතා

කලින් කියපු දේවල් මේ ‘ලීක්’ ප්‍රසිද්ධ වෙන්න ලොකුවට බලපෑවත් ඒ සියල්ලටම වඩා අද මේ තත්වයට බලපාලා තියෙන කාරණා කිහිපයක් ගැන දැන් අවධානය යොමු කරමු.

සමාජ ජාල

ෆේස්බුක් ප්‍රධාන සමාජ ජාල මේ වගේ දේවල් ඉතා ඉක්මණින් පැතිරී යන්න ලොකු දායකත්වයක් දක්වනවා. ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් ගණන මෑතකදී ඉතා වේගයෙන් වැඩි වෙන්න පටන් ගැනීමත්, මේ වගේ දේවල් බෙදා හරිමින් තමන්ගේ ෆේස්බුක් පිටු ප්‍රසිද්ධ කර ගන්නා පිරිස ඉහළ යාමත් නිසා කලින් කියපු ප්‍රසිද්ධ වීමේ සම්භාවිතාව වැඩි කරන ගුණාංගවලින් ඉහළ දේවල් වඩාත් වේගයෙන් ප්‍රසිද්ධ විය හැකියි.

ප්‍රති ගබඩා සේවාවන් (file hosting)

නොමිලේ විශාල ෆයිල් අප්ලෝඩ් කර බෙදා හදා ගන්න ඉඩ සලසන සේවා ඕන තරම්. (missdragqueen.com)

කිසිම මිලක් නොගෙවා නොමිලේම ඡායාරූප, වීඩියෝ ගබඩා කරන්න ඉඩ සලසා දෙන වෙබ් අඩවි ඕනෑ තරම් තිබීමත් මේකට ලොකුවට බලපාලා තියෙනවා. ඉස්සර කාලේ විශාල ෆයිල් එකක් ගබඩා කරන්න ගොඩක් අපහසුයි. ඊමේල් හරහා වුවත් ඒවා බෙදා ගැනීමට යළි යළිත් අප්ලෝඩ් කරන්න සිදු වුණා. නමුත් අද ඕනෑම කෙනෙකුට ගිගා බයිට් ගණනක දේවල් වුණත් අන්තර්ජාලයේ ගබඩා කර බෙදා හදා ගන්න ඉඩ සැලසිලා තියෙනවා. මේ ෆයිල් ගබඩා කළාම ලැබෙන ලින්ක් එක ශෙයා කරන්න විතරයි තියෙන්නේ.

ලින්ක් කෙටි කිරීමේ සේවාවන්

සමහර විට මේ වගේ ගබඩා වෙබ් අඩවිවලින් ලැබෙන ලින්ක් ඉතාම දිගුයි. ඒ නිසාම ඒවා ක්ලික් කිරීමෙන් මිසක් ඒවා වෙත පිවිසෙන එක අසීරු වෙනවා. කොහොම වුණත් දිගු ලින්ක් කෙටි කරන goo.gl ඇතුළු සේවාවන් නිසා කෙනෙකුට බලාගෙන ටයිප් කර හෝ සමහර විට මතක තබාගෙන ගිහින් වුණත් කලින් කියපු අති විශාල ෆයිල් කරා පවා පිවිසෙන්න අවස්ථාව තියෙනවා. (adf.ly ඇතුළු දේවල් ගැන ප්‍රධාන මාතෘකාවකින් කතා කරමු)

මුදල් ඉපයීමේ හැකියාව කරළියට ඒම

යම් දේකින් මුදලක් උපයන්න හැකියාව තියෙනවා නම් ඒක කොහොම හරි කරන පිරිස ඉහළ යනවා කියන දේ ලෝක ධර්මතාවක් කිව්වත් වැරැද්දක් නැහැ. ඉස්සර කාලයේ මේ වගේ දේවල් බෙදා හදා ගත්තේ තමන්ගේ තෘප්තිය සඳහා හරි, පළි ගැනීමේ චේතනාවෙන් හරි විතරක් වුණත්, අද මේ දේවල් බෙදා හදා ගන්න එක මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් ‘වලත්ත කමට කරනවා’ කියන හංවඩු ගැසීමෙන් බේරිලා ‘කීයක් හරි හොයා ගන්න’ මේවා ශෙයා කරන පිරිසේ පවා වැඩි වීමක් තිබෙනවා. ඒවා කෙරෙන හැටි දැන් සොයා බලමු.

adf.ly ඇතුළු ක්ලික් වෙනුවෙන් ගෙවීම්

Per per click හෙවත් ක්ලික් සඳහා ගෙවීම් කිරීම මේ දේවල් පැතිරෙන්න ප්‍රධාන හේතුවක්. (urbantrendsetters.com)

adf.ly ඇතුළු තවත් බොහෝ වෙබ් අඩවි තමන්ගේ සේවාව හරහා කෙටි කර ගන්නා ලින්ක් වෙනුවෙන් ලැබෙන ක්ලික් සඳහා ගෙවීමක් කරනවා. ක්ලික් 10,000කට යම් මුදලක් උපයා ගන්න පුළුවන්. ඉතින් අද සමාජ ජාලවල හුවමාරු වෙන ලින්ක් බොහොමයක් මේ ක්‍රමයට කෙටි කරපු ඒවා. ඒ දේවල් ශෙයා කළාම, ඒ පුද්ගලයන් අතින් නැවත නැවත ශෙයා වුණාම ක්ලික් ප්‍රමාණය වැඩි වෙලා මුදල් ලබා ගන්න පුළුවන්.

ෆෝන් කාඩ් සහ ඩේටා කාඩ්

කලින් කියපු වෙබ් අඩවි හරහා මුදල් උපයනවට වඩා මේක බොහොම සරල ක්‍රමයක්. ප්‍රධාන වශයෙන් සමාජ ජාලවල පෝස්ට් හෝ කමෙන්ට්වල ‘ලින්ක් එක ඕන නම් inbox එන්න’ වගේ දෙයක් පළ කළාම තමන් වෙත ලැබෙන පණිවිඩවලට ‘කාඩ් එකක් දැම්මොත් දෙනවා’ වගේ ප්‍රතිචාරයක් දක්වනවා. එවිට අර ලින්ක් එක බැලීම සඳහා සමහරු ෆෝන් කාඩ්, ඩේටා කාඩ් මිලට ගෙන ඒවායේ අංක එවනවා. කෙලින්ම මුදල් නොලැබුණත් තමන්ට ඒ සඳහා වැය වන මුදල ඉතිරි වීම නිසා වක්‍ර මාර්ගයෙන් මුදල් ලැබෙනවා.

ෆෙස්බුක්හි පළ වූ කමෙන්ට් එකක්. අනන්‍යතාව රැකීම පිණිස අැතැම් ස්ථාන බොඳ කර ඇත.

දැන්වීම් පළ කිරීම

මේ වැඩේ බොහෝ දුරට කරන්නේ ෆේස්බුක් පිටු හෝ වෙබ් අඩවි හිමි පිරිස්. තමන්ගේ ෆේස්බුක් පිටුව හෝ වෙබ් අඩවිය තුළ මේ දේවල් පළ කළාම ඒවා ලබා ගන්න එන පිරිස ඉහළ යන නිසා දැන්වීම් හරහා ලබා ගන්න පුළුවන් මුදල වැඩි වෙනවා. කලින් කියපු කාරණා දෙක තමන්ගේ පිටුවේ හෝ වෙබ් අඩවියේ පළ කිරීමට සමගාමීව කළාම තවත් මුදල් හොයා ගන්න පුළුවන්. ‘අසවල් කෙනා අසවල් දේ කරපු හැටි, අසවල් කෙනාගේ වැඩ බලන්න’ වගේ ආකර්ෂණීය මාතෘකා ඇසුරින් පිරිස් ගෙන්වා ගෙන මුදල් උපයන්න මෙයාලා අති දක්ෂයෝ.

කප්පම් ඉල්ලීම සහ සන්තෝසම් ලබා දීම

සමහර විටෙක මේ වගේ දෙයක් පළ නොකර සිටින්න කියලා කප්පම් ඉල්ලීම නිසා හෝ ඒවා පළ කරන්න එපා කියා ඉල්ලලා අගතියට පත් වෙලා ඉන්න පාර්ශවයෙන් ලැබෙන සන්තෝසම් මාර්ගයෙන් වුණත් මුදල් උපයන්න අවස්ථාව තියෙනවා. නමුත් ඒ වගේ දෙයක් බොහෝ දුරට කරන්න පුළුවන් වෙන්නේ ප්‍රසිද්ධ වෙන්න කලිනුයි.

තේරුම් අරගෙන ප්‍රවේසම් වෙමු

ඉතින් පෙනෙනවා නේද අද කාලයේ මුදල් පවා ‘ගේමට එන්ටර් වීම’ නිසා ඔබව අපහසුතාවට පත් කරන ඡායාරූප හෝ වීඩියෝවලට තටු ලැබෙන්න තියෙන හැකියාව? ඉතින් මෙයින් සිදු වෙන්න පුළුවන් හානියෙන් බේරෙන විධි මොනවාද? ඒ දේවල් කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. නමුත් මේකේ දෙවැනි කොටසට නොයා පළවෙනි කොටසින්ම වැඩේ ගොඩ දා ගන්න උත්සාහ කරන එක නුවණට හුරුයි. දෙවැනි කොටස 100%ක්ම සාර්ථක නොවන නිසා තුන් වැනි කොටස ගැනත් අවධානය යොමු කරන්න වේවි.

‘ලීක්’ වෙන්න පෙර

අසභ්‍ය වීඩියෝ, ඡායාරූප ගන්නේ නැත්නම්, හුවමාරු කර ගන්නේ නැතිනම් සෑහෙන දුරට ඔබ අාරක්ෂිතයි. (keepcalmandposters.com)

සරලවම කරන්න පුළුවන් දේ තමයි එවැනි ඡායාරූප, වීඩියෝ නොගෙන ඉන්න එක. ගන්නම අවශ්‍ය නම් මුහුණ හරි, අනන්‍යතාව පෙන්වන වෙනත් දේවල් හරි හසු නොවෙන්න ගන්න පුළුවන්. අනන්‍යතාව හෙළි නොවන තාක් ඔබට මෙවැන්නකින් බේරෙන්න ඉතා ඉහළ හැකියාවක් තියෙනවා. ප්‍රසිද්ධ වුණත් කවුද කියලා හොයා ගන්න බැරි නම් ලොකු ගැටළුවක් නෙවෙයිනේ.

දැනටමත් එවැනි දේ ලබා ගෙන තියෙනවා නම් ඒවා ඔබ ළඟම තියා ගන්න. මොන තරම් විශ්වාසවන්ත කෙනෙක් එක්ක හරි ඒ දේවල් බෙදා ගන්න කලින් දහස් වරක් හිතන්න. කලින්ම කියපු ‘ගුණාංග’ ඇසුරින් හානිදායක වෙන්න තියෙන හැකියාව තීරණය කරන්න.

ඔබ ළඟ තියෙන එවැනි දේවල් ආරක්ෂිතව තියා ගන්න. උපාංගය encrypt කිරීමට හරි, අදාළ ෆයිල් හෝ ෆයිල් ගොනුව Rar හෝ Zip කර පාස්වර්ඩ් එකක් යෙදීමට හරි සැලකිලිමත් වෙන්න. වෙනත් උපාංගයට copy කරනකොට, ශෙයා කරනකොට එවැනි compress කළ ෆයිල් විතරක් පාවිච්චි කළොත් පාස්වර්ඩ් එක නොදන්නා තාක් ආරක්ෂාව තියෙනවා.

පාස්වර්ඩ් එක සඳහා දීර්ඝ යමක් යොදන්න. ඒකට ඉතින් අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ, සිංහල වාක්‍යයක් යොදා ගන්න පුළුවන්. MageNamaSiripalaMamaInneKolamba වගේ යමක් වෙනත් කෙනෙකුට හිතන්න ඉතා අපහසු වුණත් ඔබට සරලව මතක තියා ගන්න පුළුවන්. ඔබ හිතනවාට වඩා දිගු පාස්වර්ඩ් දමන්න හැකියාව දැන් තියෙනවා. මේ වගේ දිගු පාස්වර්ඩ් එකකින් සුරක්ෂිත කළ යමක් බලෙන් විවෘත කරන්න හැකියාවක් ඇත්තෙම නැති තරම්.

පාස්වර්ඩ් එක දිගු වෙන එක හොඳයි, මතක තියා ගන්න ලේසි නම් තවත් හොඳයි. (pressable.com)

එවැනි දේවල් සහිත උපාංග ‘හදන්න භාර දෙනකොට’, තව කෙනෙකුට අලෙවි කරනකොට ඉතාම ප්‍රවේශම් වෙන්න. ඒ උපාංග තමා ළඟම තබා ගන්න හෝ විනාශ කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි. අඩුම තරමින් වරක් ෆෝමැට් කර, නැවත වැඩකට නැති දත්තවලින් සම්පූර්ණයෙන්ම පුරවා, යළිත් ෆෝමැට් කර ලබා දෙන්න. බොහෝ අවස්ථාවල ‘ලීක්’ වෙන්නේ එවැනි උපාංග හුවමාරුවේදී දක්වන නොසැලකිල්ල නිසායි.

තමන්ගේ නිරුවත වෙනත් කෙනෙකුට රූගත කරන්න ඉඩ ලබා නොදීමත් ඉතා වැදගත්. ඇඳුම් මාරු කරන අවස්ථාවල, නාන අවස්ථාවල, ලිංගික ක්‍රියාවල නිරත වෙන අවස්ථාවල වටපිටාව ගැන ටිකක් අවධානයෙන් ඉන්න. අනාරක්ෂිත අවස්ථාවල එවන් දේවල් සිදු කිරීම රූගත වීමට අමතරව වෙනත් කරදරවල පවා නිකරුණේ පැටලීමට හේතුවක් බව සිතට ගන්න.

ලීක් වුණාට පසුව

ඔබට මෙවැනි හානියක් ඇති යම් දෙයක් ප්‍රසිද්ධ වෙනවා නම් දැනට අපේ රටේ තියෙන පිළිගත් ක්‍රමය වෙන්නේ SLCERT නැත්නම් පරිගණක හදිසි ප්‍රතිචාර අංශයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙමත් නැතිනම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන එකයි.

ශ්‍රී ලංකාවේ සියලු සයිබර් අපරාධ පිළිබඳව පැමිණිලි කළ යුත්තේ SLCERT අායතනයටයි. (wikimedia.org)

මීට අමතරව ෆේස්බුක්, ගූගල් වැනි ආයතනවලට මේ ගැන පැමිණිලි කරන්න ඔබට පුළුවන්. මේ කාරණා ගැන ඔවුන් කඩිනමින් සොයා බලනවා. ඒ විතරක් නෙවෙයි, එකම වීඩියෝව යළි යළි අප්ලෝඩ් කිරීම වළකන්නත් ඔවුන්ට පුළුවන්. (රූපරාමු විශ්ලේෂණ ක්‍රමවලින්) ගූගල් ආයතනයට සිදු කරන පැමිණිලිවලට ගූගල් ඩ්‍රයිව්, යූටියුබ් ඇතුළු වෙනත් සේවාවන්ටත් අදාළයි.

බොහෝ දුරට අද කාලයේ තිබෙන ඕනෑම ෆයිල් හොස්ටින්ග් වෙබ් අඩවියක ෆයිල් ගැන පැමිණිලි කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔබට හෝ ඔබේ මිතුරන්ට පුළුවන් එකතු වෙලා එවැනි වෙබ් අඩවිවලට පැමිණිලි කරලා මේ දේවල් ඉවත් කරවන්න. මේ පියවර ගැනීමෙන් යම් තාක් දුරට මේ දේවල් පැතිරීම අවම කර ගන්න පුළුවන් වේවි.

ඔබේ සමාජ ජාල ගිණුම් අක්‍රීය කරන්න පුළුවන් නම් වඩා හොඳයි. විශේෂයෙන් අපි කලින් කියපු ‘ගුණාංග’ වැඩි හරියක් තිබෙනවා නම් එවිට එවන් ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන සංසන්දනාත්මකව පළ වෙන පොස්ට්වලින් අදාළ දේවල් පැතිරීම අඩු වෙනවා. ඔබට නොදන්නා අයගෙන් සිදුවෙන නින්දා අපහාස අවම කර ගන්නත් ඒක උදව් වේවි. ටික කාලයකට හෝ බාහිර සමාජය එක්ක ගැටීම අඩු කර ගන්න එක, ඔබට සැබැවින්ම උදව් කරන අය සමග එකතු වී හිත හදා ගැනීම, අවශ්‍ය නම් විදේශ ගත වීම වගේ දේවල් කරන්න පුළුවන්.

වෙච්ච දේ වුණා, අනාගතයට නොබියව මුහුණ දෙන්න

මව්පියන් අැතුළුව ඔබට විශ්වාස කළ හැකි අය ඉදිරියේ අවංක වීම ඔවුන් ඔබට ශක්තියක් වන්නට හේතු වෙනවා. (homeword.com)

මේ ලෝකේ සර්ව සම්පූර්ණ කවුරුත් නැහැ. වැරදි සිදු වීම ලෝක ස්වභාවය. ඉතින් මුල් කාලයේ මොන තරම් පීඩාවන්ට ලක් වුණත් ඒ දේ භාර අරගෙන ශක්තිමත්ව ඉන්න උත්සාහ කරන්න. ‘සෝඩා බෝතලේ කැඩුවා වගේ’ තියෙන උනන්දුව වැඩි කලක් යන්න කලින් පහ වෙලා යාවි.

යම් කලක් ගත වෙන තුරු හිත ශක්තිමත් කරගෙන ඉන්න පුළුවන් නම් ඉන් පස්සේ ජීවිතය සාමාන්‍ය විදිහට ගෙවන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ නිසා සිය දිවි නසා ගන්න, සම්බන්ධතා බිඳ ගන්න හෝ වෙනත් අමතර හානියක් ඇති විය හැකි දේවල් නොකරන්න වග බලා ගන්න. ඔබ අඳුනන කෙනෙක් මෙවන් දේකට මුහුණ දුන්නොත් ඒ අයට සහනයක් වන්නටත් හිතට ගන්න.

අවසාන වශයෙන්

මුදල් මතම දිවෙන සමාජයක ජීවත් වෙන අපි අපේ පෞද්ගලිකත්වය විනාශ කිරීම හරහා තවත් කෙනෙකුට මුදල් ලබා ගන්න පුළුවන් ලෝකයක සාමාජිකයන්. අපි කැමති වුණත්, අකමැති වුණත් ඒ තත්වය වෙනස් කරන්න බැහැ. ‘තමන්ගේ අක්කලා, නංගිලා, අම්මලා ගැන හිතලා මේවා බලන්න එපා, ශෙයා කරන්න එපා’ කියලා කොයි තරම් දාර්ශනික දේ කිව්වත් වැඩි දෙනෙක් ඒවා ගණනකටවත් ගන්නේ නැහැ. කලින්ම කියපු ‘ගුණාංග’ බහුල දෙයක් එළියට ආපු සැණින් දහස් ගණනින් ශෙයා වෙලා, එක එක අයගේ උපාංග අස්සේ සදාතනිකව සේව් වෙන්න ලොකු කාලයක් යන්නේ නැහැ. ඒ දේට පහසුව සලසලා සල්ලි, ප්‍රසිද්ධිය හම්බ කරන පිරිසගේ අඩුවක් වෙන්නෙත් නැහැ.

මිනිස්සු මේ දේවල් හොය හොයා බලන එක අපිට නවත්වන්න බෑ, හොඳම දේ ප්‍රවේසම් වෙන එකයි. (thebookoflife.org)

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ‘ලීක්’ වීම ලෙඩ රෝගයක් වගේ සලකලා කටයුතු කරන්න කියලයි. ලෙඩක් හැදෙන්න කලින් ප්‍රවේසම් වෙන එක තමයි අතිශයින්ම වැදගත්. ප්‍රවේසම අඩු තරමට ලෙඩේ හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. නමුත් ලෙඩක් හැදුණොත් ඊට නිසි ප්‍රතිකාර ගත යුතුයි. ඒ සඳහා කිට්ටුවෙන් ඉන්න පිරිස උපකාර කළ යුතුයි. ඒ වගේම ලෙඩේ හොඳ කර ගත්තාට පසුව ශක්තිමත්ව නැගී සිටින්න අවශ්‍යයි. තුවාල කැළැල් වගේ දේවල් කාලයත් එක්ක මැකිලා යාවි.

සදාකාලික ආබාධයකට ලක් වුණත් උවමනාව තියෙනවා නම් සාර්ථක දිවියක් ගත කරන්න බැරි කමක් නැහැ. කවදා හෝ ඔබට ලෙඩක් නිසා මිය ගිය කෙනෙක් විදිහට නොව ලෙඩ රෝග ජයගෙන සාර්ථකව ජීවත් වූ කෙනෙක් විදිහට ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන් නම්, එයයි සැබෑම ජයග්‍රහණය.

ඉතින් අනවශ්‍ය බාධක මගහැර, මගහැරිය නොහැකි බාධකවලට මුහුණ දී ජය ගෙන, සාර්ථක ජීවිතයක් ගෙවන්න මේ ලිපිය අත්වැළක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

කවරයේ රූපය : Facebook

මූලාශ්‍ර :

 

  • www.slcert.gov.lk
  • wikihow.com
  • telegraph.co.uk

 

 

Related Articles