Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෂර්වුඩ් වනාන්තරයේ වීරයා – රොබින් හුඩ්

14 වන සියවසේදී එංගලන්තය පුරා ජනප්‍රිය චරිතයක් වූ රොබින් හුඩ්ගේ වීර විත්ති අලලා කවි-ජනකතා හා නාටක නිර්මාණ බොහෝමයක් බිහි වුණා. බ්‍රිතාන්‍යයේ පමණක් නොව අන් රටවලද ප්‍රචලිත වුණු රොබින් හුඩ් පිළිබඳ ටෙලි වෘතාන්ත සහ චිත්‍රපට අතරින් 1938දි  තිරගත කරනු ලැබූ THE ADVENTURES OF ROBIN HOOD,  කෙවින් කොස්ට්නර් රොබින් ලෙස රඟ පෑ Robin Hood: Prince of Thieves (1991) සහ දරදඬු රොබින් හුඩ්ගේ චරිතයට පණ පෙවූ රසල් ක්‍රොව් රඟපෑ 2010 දී තිරගත වූ  Robin Hood යන චිත්‍රපට ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

ඉංග්‍රීසි සාහිත්‍යයේ අතිශයින් රසවත් වීර කතාවක් වූ රොබින් හුඩ් හා ෂර්වුඩ් වනාන්තරයේ නිදහස් මිනිසුන්ගේ කථාන්තරය පාදක කරගෙන අනන්තවත් ටෙලිනාටක, සිනමා නිර්මාණ බිහිවුණත්, 1980 ගණන්වල තිරගත වූ රිචර්ඩ් කාපෙන්ටර්ගේ තිර රචනයෙන් සහ HTV – Goldcrest Films සමූහ නිෂ්පාදනයෙන් එළි දැක්වුණු Robin of Sherwood යන ටෙලි නාටකය ලොව වටා ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගැනීමට සමත් වුණා.

1957 දී, ඩේවිඩ් කරුණාරත්න ශූරින් මුල් වරට, රොබින් හුඩ්ගේ කතන්දරය රසවත් බසකින් සිංහලයට පරිවර්තනය කළ අතර 1990 දශකයේ අග භාගයේදි ටයිටස් තොටවත්තයන් ඇතුළු  හඬ කැවීමේ කණ්ඩායම, සිංහල උපශීර්ෂ සහිතව රිචඩ් කාපෙන්ටර් ගේ ජනප්‍රිය ටෙලි නාටකය ‘ෂර්වුඩ් කැලේ රොබින්’ ලෙස ජාතික රූපවාහිණියෙන් ලාංකික රසිකයන් වෙත ප්‍රදානය කළා.

1984 වර්ෂයේ සිට 1986 දක්වා කාලය තුළ තිරගත වූ ෂර්වුඩ් කැලේ රොබින්, කථාංග 26කින් සමන්විත වූ අතර එහි මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍ය ජන ජීවිතය මනාව නිරූපණය කරන ලක්ෂණ කැටිවී තිබුණා. සියවස් ගණනක් පැරණි රොබින්හුඩ් ප්‍රබන්ධ, ප්‍රේක්ෂකයන්ගේ සිත්සතන් තුල සදාදර, සොඳුරු මතකයන් ලෙස සනිහුටන් කිරීමට සමත් වූ ෂර්වුඩ් කැලේ රොබින් නාට්‍යයේ චරිත, පසුබිම් කතා හා විස්මිත සිනමාරූපනය සම්බන්ධ වැදගත් වතගොත මේ ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නට අපි අද බලාපොරොත්තු වෙනවා.

මධ්‍යතන එංගලන්තය

(videobuster.de)

රිචර්ඩ් කාර්පෙන්ටර් ෂර්වුඩ් කැලේ රොබින් හුඩ් නාට්‍ය මාලවට පසුබිම් කරගන්නේ ක්‍රි.ව 1189-1199 දක්වා බ්‍රිතාන්‍ය කිරුළ දැරූ පළමුවැනි රිචඩ් රජුගේ කාල පරිච්ඡේදය සහ නෝමන් වරුන්ගේ යටතට පත් වූ, කුරුස යුද්ධය පැවති සමයේ මධ්‍යතන එංගලන්තයයි.

වැඩවසම් ක්‍රමය බලපැවැත්වුණු  ඒ සමයේ මහත් ජනකායක්  ඉඩම් හිමි ධනපතියන් ගේත්  ධන සම්භෝගය ප්‍රිය කළ පූජක පක්ෂයේත් දාසයන් හැටියට ජීවත් වූහ. මහරජුගෙන් තමාට රිසි පරිදි  ඉඩම් භුක්ති විඳීමේ ඒකාධිකාරය ලබා ගත් අධිපතින් පීඩිත පන්තියේ ගොවි ජනතාවගේ ශ්‍රමය සූරා කෑහ. රොබින් හුඩ් ජීවත් වූයේ මෙබඳු අවිචාර කාලයක ය. නාට්‍ය මාලවේ මුල් කාලයේදී රිචර්ඩ් රජු, යහපත් ගති පැවතුම් වලින් හෙබි  උදාර චරිතයක් ලෙස ප්‍රේක්ෂකයා අතරට පැමිණෙයි. නමුත් කුරුස යුද්ධය සමයේදි රිචර්ඩ් රජුගේ සොයුරු ජෝන් කුමරු පාලනයට පැමිණෙන අතර රජුගේ බලය පූජකයන්ගේ බලයට නතු වි පැවැත්තේ ය. දුප්පතුන් සූරා කමින්, අහිංසක ජනයා ගසා කමින් වැජඹෙන පූජකයන්ගේ කෲර ක්‍රියා කලාපයට තදින්ම විරුද්ධ වුනු රොබින් හුඩ්, යහපත් රාජ්‍ය පාලකයෙකු ලබා ගැනීම වෙනුවෙන් සටන කළ නිර්භීත වීරයෙක් විය.

එකල පැවති පාලන යන්ත්‍රයට විරුද්ධව ප්‍රබල සටනක් කිරීම හේතු කොට ගෙන රොබින් හුඩ් ධනවතුන්ගෙන් කොල්ල කා දුප්පතුන්ව රජ කරවන අනීතිකයකු ලෙස ප්‍රකට විය. රොබින් හුඩ්, පිටුවහල් කරනු ලැබූ ස්වකීය විප්ලවකාරි තරුණ කල්ලිය සමඟ ෂර්වුඩ් වනාන්තරයේ කළ දස්කම් රිචර්ඩ් කාපෙන්ටර් ඉතා අපූරු ටෙලි සිත්තමක් ලෙස අප වෙත ගෙන එන ලදී.

තේමාවන් සහ අතුරු කතා

(s-media-cache-ak0.pinimg.com)

රිචර්ඩ් කාපෙන්ටර්ගේ ‘රොබින් ඔෆ් ෂර්වුඩ්’ හුදෙක් යුක්ති ගරුක වීරයෙකුගේ කතාවක් නොවේ. බ්‍රිතාන්‍ය ජනකතා වල දක්නට ලැබෙන ‘රියැලිසම්’ සහ ‘ෆැන්ටසිය’ මුසුවූ තේමාවන් මේ නිර්මාණය තුළ කැටිවී ඇතිබවක් පෙන්නුම් වේ.

රොබින් හුඩ් හා ෂර්වුඩ් වනාන්තරයේ නිදහස් මිනිසුන්ගේ කථාන්තරය අතරින් පතර අපට මධ්‍යතන යුගයේ එංගලන්තයේ පැවති මිථ්‍යාදෘෂ්ටික ඇදහිලි, යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම් සහ අමනුෂ්‍ය හාස්කම් දැක ගත හැකි වේ. රොබින් හුඩ් නම් යුක්ති ගරුක තරුණයා, හර්න් ද හන්ටර් නම් ගෝන අං ඇති වෘක්ෂ දේවතානන් විසින් තෝරාගත් පුද්ගලයෙකි. ඔහු  අතට ගත්තේ තමා අති මහත් භක්තියෙන් ඇදහූ දෙවියන්ගේ නාමයට කැප කළ දුන්නකි. අදෘෂ්‍යමාන බලවේග වලට අමතරව නාට්‍ය මාලාවේ තවත් බොහෝ අතුරු කතාවන් දිග ඇරෙයි.

රොබින්හුඩ් ඇතුලු පිටුවහල් කරුවන්ගේ කල්ලියේ සමාන වරප්‍රසාද සහ පිළිගැනීම ලබා ගැනීමට මැරියන් දරන වෑයම, ලිට්ල් ජෝන් සහ මෙගන්ගේ ප්‍රේමය සහ රොබර්ට් (දෙවන රොබින් හුඩ්) සහ ගිස්බන් අතර ඇති සැඟවුණු පෞද්ගලික සම්බන්ධතාවය මේ අතරින් කිහිපයකි.

මයිකල් ප්‍රේඩ් සහ කල්ලියේ අනිත් තරු

(files.lapsedhistorian.com)

වසර ගණනක් පැරණි රොබින්හුඩ් ප්‍රබන්ධවල අපට මුණ ගැහෙන චරිත නූතන ප්‍රේක්ෂකයා වෙත පෙර නොවූ විරූ අන්දමකින් ඉදිරිපත් කරන්නට රිචර්ඩ් කාපෙන්ටර් ගත් උත්සාහය අප අගය කළ යුතුයි. ඔහු තෝරාගත් රංගධරයින් පිරිස තිරයට පැමිණියේ මුල් චරිතවල වඩා තරමක් වෙනස් අනන්‍යතාවයකිනි. නයිටු පන්තියේ වීරෝධාර තරුණයෙකු ලෙස කඩවසම් මයිකල් ප්‍රේඩ් (Micheal Praed) රොබින් හුඩ් නමින් ෂර්වුඩ් කැලයට එක්වන්නේ දහසකුත් රසික හදවත් දිනා ගනිමිනි.

ෂර්වුඩයේ රොබින් ටෙලි නාටකය ලොව පුරා ජනප්‍රිය වීමට මයිකල් ප්‍රේඩ් සහ මැරියන් ලෙස රඟ පෑ ජූඩි ට්‍රොට්ගේ (Judy Trott) අති විශිෂ්ට චරිත නිරූපණය විශාල වශයෙන් ඉවහල් විය.

මෝල්කරුගේ අහිංසක පුත් ‘මච්’ (Peter Llewellyn Williams) කල්ලියේ සිටින පොඩිම ගැටවරයාය. ඔහු රොබින් සමඟ එකට හැදුණු සහෝදරයෙකි. Clive Mantle සද්ධන්ත පුරුෂයෙකු වූ, සමාජවාදි අදහස් ඇති රොබින්ගේ සමීපතම සගයා වන ලිට්ල් ජෝන්ගේ චරිතයට පණ පෙව්වේය. Will ගේ දරදඬු, රළු චරිතය නිරූපණය කරන්නේ Ray Winstone විසිනි. යම් පිරිසක් විසින් තම බිරිඳ දූෂණයට ලක්කොට, කෲර ලෙස අශ්වයන් ලවා පාගා මරා දමනු විල් සියැසින්ම දුටුවේය. මේ හේතුවෙන් විටෙක අපට විල් යන චරිතය පලිගැනීමේ චේතානාවෙන් පසුවන මනසික ව්‍යාධියකු ලෙස පෙන්නුම් කෙරේ. පීඩිත සැක්සන් පන්තියේ විඥානවාදී විප්ලවකරුවන් ලෙස රොබින්, මැරියන් ඇතුළු කල්ලිය අරගලයක් ඇරඹුවේ නෝර්මන් වරුන්ගේ අසාධාරණ පාලනයට එරෙහිවයි. එදිරිවාදි පක්ෂය නියෝජනය කලේ කිපෙන සුළු නොටින්ග් හැම් හි ෂෙරිෆ් (Nickolas Grace) සහ  Robert Addie නිරූපණය කළ ගයි ඔෆ් ගිස්බන්ගේ අවාසනාවන්ත චරිතයයි.

නසියර්

(robinofsherwood.net)

12වන සියවසේ එංගලන්තයේ නෝමන්-සැක්සන් අරගලයට සමාන්තරව කුරුස යුද්ධයද උණුසුම් තත්ත්වයක පැවතිණ. නසියර්ගේ චරිතය රොබින්හුඩ්ගේ කල්ලියට එකතු වන්නේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසින්.

රිචර්ඩ් කාපෙන්ටර්, කුරුස යුද්ධයේ වැදගත් චරිතයක් හොබවූ බෙලෙම් සිටුවරයාව නාට්‍ය මාලාවේ  මුල් කථාංගයේදී ප්‍රේක්ෂක්යාට හඳුන්වා දෙයි. මොහු යටතේ සේවය කරන නසියර් නම් අරාබි ජාතිකයා බෙලෙම් සිටුවරයාගේ ක්‍රියා කලාපයෙන් කල කිරීමට පත් ව සිටින සමයේ රොබින් හුඩ් සහ ලිට්ල් ජෝන් අතර සිදුවන සටනකදී ලිට්ල් ජෝන් අතින් බෙලෙම් සිටුවරයා ඝාතනයකට ලක්වෙයි. ඉක්බිතිව, රොබින් හුඩ්ගේ කල්ලියට එකතු වන නසියර් පක්ෂපාති සගයෙකු ලෙස නාට්‍ය මාලව පුරාවටම නිශ්ශබ්ද චරිතයක් ලෙස තම සූර වීරකම් ප්‍රදර්ශනය කරයි.

රොබින් හුඩ් ආපසු එයි

(lapsedhistorian.com)

බ්‍රෝඩ්වේහි ලැබුණු අවස්ථාවක් නිසා මයිකල් ප්‍රේඩ්ට තම සිහින සැබෑ කරගැනීම සඳහා ෂර්වුඩ් කැලේ අත් හැර යන්නට සිදු විය. මයිකල් ප්‍රේඩ්ගේ ලොක්ස්ලි හි රොබින් හුඩ් චරිතය අවසන් වන්නේ The Greatest Enemy නම් කථාංගයෙනි. මෙහිදී සිය මිතුරන් වෙනුවෙන් රොබින් හුඩ් තම ජීවිතය පූජා කරයි. කෙසේ වෙතත් රිචර්ඩ් කාපෙන්ටර් රොබින් හුඩ්ගේ චරිතය සහමුළින්ම මරමුවට පත් කළේ නැත.

ප්‍රවීණ ස්කොට්ලන්ත ජාතික නළුවකු වනු ශෝන් කොනරි ගේ පුත් ජේසන් කොනරි රොබින් හුඩ් ලෙස ආපසු එයි. හිස් වැසුම් පැළඳ සිටින මිනිසාගේ (The Hooded Man) පදවිය සඳහා හර්න් විසින් හන්ටින්ග්ඩන් හි අර්ල්වරයාගේ වංශවත් තරුණ පුත් රොබර්ට් හන්ටින්ග්ඩන් ව තෝරා ගනු ලැබේ. ටෙලි නාටක මාලාවේ තෙවන අවධියේ රන් පැහැති හිසකෙස් ඇති රොබර්ට්, රොබින් හුඩ් ලෙස තම කල්ලියේ නායකත්වය හොබවයි.

සිනෙමාරූපණය

(azinazelle.com)

රිචර්ඩ් කාපෙන්ටර්ගේ තිර රචනයෙන් සහ ඉයන් ෂාප් ගේ අනර්ඝ කැමරා අධ්‍යක්ෂණයෙන් බිහි වූ ෂර්වුඩ් කැලේ රොබින්හුඩ් නාට්‍යමාලාව අති සාර්ථක ලෙස ප්‍රේක්ෂක මනාපය සහ ආදරය දිනාගත්තා.

ඉයන් ෂාප් යනු නිතරම නිර්මාණශීලි දේවල් අත්හදා බලන දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. මිථ්‍යා සහ මායාවන්ගෙන් පිරුණු අඳුරු ස්වභාවයක් නාට්‍යයේ පසුබිමට එක් කිරීම නිසා කථාන්තරයේ ගැබ් ව තිබු ගුප්ත භාවය තව තවත් ත්‍රීව වුණා. සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙක් සහ තිර රචකයෙක් වන ඇන්තනි හැරොවිට්ස් ද ෂර්වුඩ් කැලේ රොබින් හුඩ් නාට්‍යයේ අවසාන අවධියේ තිර රචනයෙන් තම දායකත්වය ලබා දුන්නේය.

තාත්වික පෙනුමක් ලබා ගැනීම සඳහා රොබින් ඔෆ් ෂර්වුඩ් ටෙලි නාට්‍යය සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ ස්වභාවික දර්ශන තලයේදීමයි. මැදිරියක කෘතිමව දර්ශන තලයක් නිර්මාණය කිරීමෙන් මධ්‍යතන යුගයේ එංගලන්තය නිරූපණය කිරීම එතරම් සාර්ථක නොවෙන්න ඉඩ තිබුණා. ටෙලි නාටක මාලාවේ රූගත කිරීම් අතරතුර වැස්සෙන් නිතරම බාධා ඇති වුණු අතර බාගෙට කඩා වැටුණු, ගරා වැටිච්ච බලකොටු වල රූගත කිරීම්වලදී, පසුතලයේ කම්කරුවන් යොදාගෙන අවම තාක්ෂණික ක්‍රම වේද උපයෝගි කරමින් අපූරුවට එය ගොඩ නංවමින් පවතින බලකොටුවක් ලෙස පෙන්නුම් කරන්නට රොබින් ඔෆ් ෂර්වුඩ් අධ්‍යක්ෂක කණ්ඩායමට හැකි වුණා.

පසුබිම් සංගීතය

දුන්න අතැතිව හිස්වැස්ම පැළඳ සිටින ෂර්වුඩ් කැලේ රොබින් තිරයට පිවිසෙන්නේ පසුබිමේ Clannad ගේ ‘The Hooden Man’ නම් ගීතය වාදනය වන මොහොතේදීය. අදටත් අපේ සිත් තුල රොබින් හුඩ්ගේ ඒ දිව්‍යමය පසුබිම් සංගීතය රැව් දෙයි. අයර්ලන්ත නූතන ජන ගී කණ්ඩායමක් වන Clannad, 1984 – BAFTA සම්මාන උළෙලේදී Robin of Sherwood වෙනුවෙන් හොඳම ටෙලිවිෂන් සංගීතයට හිමි සම්මානය දිනා ගත්තා.

ෂර්වුඩ් කැලේ රොබින්ගේ අවසානය.

(spitefulpuppet.com)

ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ හුටපයක් නිසා ෂර්වුඩ් කැලේ රොබින් හුඩ් අවසන් වන්නේ අනපේක්ෂිත අන්දමකින්. නාට්‍යයේ සිව්වන අවධියේ රූගත කිරීම් එය ඇරඹීමට දින කිහිපයකට ඉහතදී නතර කිරීමට සිදු විය. කෙසේ වෙතත්, ඉන්පසුව රිචඩ් කාපෙන්ටර්ගේ රොබින් ඔෆ් ෂර්වුඩ් නාට්‍ය මාලාවේ කතන්දරය පසුබිම් කරගෙන නව කතා, Blue-Ray DVD වීඩියෝ පට, චිත්‍රපටයක් සහ තවත් නවීන ටෙලිවිෂන් නිෂ්පාදනයක් සිදු කරන්නට උත්සාහ ගත්තත් එය 1984 දී තිරගත කරන ලද මුල් නිර්මාණය තරම් සාර්ථක උනේ නැහැ.

රොබින් ඔෆ් ෂර්වුඩ් හි නිර්මාතෲ රිචඩ් කාපෙන්ටර් 2012 වර්ෂයේදි අභාවප්‍රාත වූ අතර ගයි ඔෆ් ගිස්බන් ලෙස රඟපෑ රොබර්ට් ඇඩී ද 2003 වසරේදි අපෙන් සමුගත්තේය. ප්‍රේක්ෂකයන්ගේ සිත්සතන් තුල නොමැකෙන මතකයන් සනිහුටන් කිරීමට සමත් වූ ෂර්වුඩ් කැලේ රොබින් නාට්‍යය අවසන් වී 2016 වසරට වර්ෂ 30ක් පිරුණා. දශක තුනක් ගෙවී ගිය සමයේදී ෂර්වුඩ් කැලේ රොබුන් හුඩ් චරිතවලට පණ පෙවූ සමහර නළුවන් අපෙන් වෙන්ව ගියත්, ඔවුන්ගේ චරිත සහ වීරකම් තවමත් අපේ මතකයන් තුළ සදා අමරණීයයි. 1986 දී අනපේක්ෂිත අයුරකින් නතර වූ රොබින් ඔෆ් ෂර්වුඩ්, 2016 මැයි 7 වන දා, රිචඩ් කාපෙන්ටර් ගේ නිර්මාණයක් වන  Robin of Sherwood: The Knights Of The Apocalypse ශ්‍රව්‍ය නාට්‍යයක් ලෙස නැවතත් එළි දැක්වුණා. මෙම ප්‍රතිනිර්මාණය සඳහා ෂර්වුඩ් කැලේ රොබින් නාට්‍යයේ රඟපෑ දැනට ජීවත් ව සිටින සියලුම රංගන ශිලිපීන් දෙබසින් දායක වීම විශේෂත්වයක්.

කවරයේ පින්තුරය: filmowo.net

මුලාශ්‍ර: cinetropolis.net, boldoutlaw.com,denofgeek.com

Related Articles