Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් වූ රොනල්ඩ් රේගන් ඝාතන තැත

ඇමරිකා එක්සත් ජනපදයේ 40 වන ජනාධිපතිවරයා ලෙස 1981 වසරේ ජනතා මනාපයෙන් තේරී පත් වූ රොනල්ඩ් රේගන් ඇමරිකා එක්සත් ජනපදය පාලනය කළ ජනාධිපතිවරු අතරින් වර්තමානයේදීත් වඩාත් ජනප්‍රිය ජනපතිවරුන් පස් දෙනා අතර සිටිනවා.

මේ ලිපිය මඟින් අද අප ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ රොනල්ඩ් රේගන් ජනපතිවරයා ඝාතනය කිරීමට ගත් අසාර්ථක උත්සහයක් පිළිබඳවයි. මොහුව ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ ඇමරිකාවේ බලය අල්ලා ගැනීමටවත්, දේශපාලන පළිගැනීමක් හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසනම් නෙවෙයි. එය සිදුවන්නේ උමතු රෝගයකින් පෙළෙන තරුණයකුගේ ප්‍රේම වෘතාන්තයක එක් ප්‍රතිඵලයක් ලෙසයි.

ඇමරිකානු ආරක්ෂක අංශයන්ගේ ඇසට වැලි ගසමින් ලොව බලවත්ම පුද්ගලයා වන ඇමරිකානු ජනපතිවරයාට වෙඩි තැබීමට තරම් උමතු රෝගයකින් පෙලෙන තරුණයකුට හැකි වීම පිළිබඳව එකළ ලොව පුරා කතාබහට ලක් වුණා. තරමක  හාස්‍යජනක සිදුවීමක් ලෙස නම් කළ හැකි රොනල්ඩ් රේගන් ඝාතන උත්සාහයට පසුබිම් වූ සිදුවීම් පෙළ මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ 40වන ජනාධිපතිවරයා

රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා (Reagan Foundation)

40වන ජනාධිපතිවරයා ලෙසින් 1981 ජනවාරි 20 වන දින රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තේරී පත් වූ රොනල්ඩ් රේගන් දෙවන වරටත් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලබන්නේ 1984 වසරේදීයි.

ජනපති බවට පත්වීමට පෙර කැලිෆෝනියා ප්‍රාන්තයෙහි 33 වැනි ආණ්ඩුකාරවරයා ලෙස 1967 සිට 1975 වසර වන තුරු කටයුතු කර ඇති රොනල්ඩ් රේගන් ඇමරිකානු හමුදා නිලධාරියෙක් මෙන්ම නළුවෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

සෝවියට් රුසියාවට එරෙහිව තම රටේ ආරක්ෂක අංශ ශක්තිමත් කල රොනල්ඩ් රේගන් ලොවපුරා කොමියුනිට්ස් ක්‍රියාකාරම් වලට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධියේම සෝවියට් දේශය දරුණු රාජ්‍යක් ලෙස හදුන්වන්නට රොනල්ඩ් රේගන් පසුබට වන්නේ නෑ. නව ආර්ථික ප්‍රතිපත්ති හදුන්වා දෙමින් බදු මුදල් කපා හැර ඇමරිකානුවන්ගේ ජීවිත නගා සිටුවීමට මෙන්ම ආරක්ෂක වියදම් ඉහළ දමමින් කටයුතු කල උග්‍ර මිලිටරිවාදියෙක් ලෙසද රේගන් ජනපතිවරයා හදුන්වා දෙන්නට පුළුවන්.

රොනල්ඩ් රේගන්ගේ පෙනහැල්ල සිදුරු කල වෙඩි උණ්ඩය

වෙඩි තැබීමට මොහොතකට පෙර (RSVLTS.com)

1981 මාර්තු 31 වනදා රොනල්ඩ් රේගන් විසින් වොෂින්ටන් නගරයේ හිල්ටන් හෝටලයේ තිබූ හමුවීමක් අවසන් කර නැවත වයිට් හවුස් වෙත යෑම සඳහා තම නිල රථය දෙසට පියමනින විට අඩි 10 – 12ක් ආසන්නයේ සිටි පුද්ගලයෙක් රිවොලරයකින් එකවරම වෙඩි පහරවල් කිහිපයක් එල්ල කරනවා. රේගන් ජනාධිපතිවරයා ඉලක්ක කර එල්ල කළ පළමු වෙඩි පහර වදින්නේ රොනල්ඩ් රේගන් අසල සිටි ජනාධිපති මාධ්‍ය ලේකම් ඡේම්ස්‌ බ්‍රැඩිටයි. එම වෙඩි පහරින් බ්‍රැඩි බිමට පතිත වන අතර ඒ ක්ෂණිකයෙන්ම එල්ල වූ දෙවන වෙඩිල්ලත් රොනල් රේගන් ජනපතිවරයා වෙනුවට බිම හෙලනු ලබන්නේ වොෂින්ටන් පොලිස්‌ ප්‍රධානී තෝමස්‌ ඩෙලහාන්ටිවයි. තවත් උණ්ඩ කිහිපයක් අපතේ ගිය අතර ඉන් අනතුරුව එල්ල වූ වෙඩි පහරට ගොදුරු වන්නේ රහස්‌ සේවා නියෝජිත ටිම් මැකාර්තියි.

මෙලෙස වෙඩි උණ්ඩ පහක් එල්ල වූ පසුත් රොනල්ඩ් රේගන් නිරුපද්‍රිතව සිටි අතර ඝාතකයා විසින් එල්ල කල අවසන් වෙඩිල්ල ජනපතිවරයාගේ වෙඩි නොවදින රථයේ වැදී නැවත පැමිණ රොනල්ඩ් රේගන්ගේ වම් පෙනහැල්ල තුළට කිදා බසිනවා. ඝාතකයා විසින් මෙම වෙඩි උණ්ඩ සියල්ලම එල්ල කරන්නේ තත්පර 1.7ක් වැනි කාලයක් තුළදී බව පසුව පරීක්ෂණ වලදී අනාවරණය වෙනවා. චිත්‍රපටයක ජවනිකාවක් මෙන් වූ මෙම සිදුවීම අවසාන වනවාත් සමඟම වෙඩි තැබූ ජෝන් හින්ක්‌ලි නම් පුද්ගලයා අත්අඩංගුවට පත් වෙනවා. හෘදයට ආසන්නව වම් පෙනහැල්ල තුළ සිරවී තිබූ උණ්ඩය හේතුවෙන් මරණාසන්න තුවාල ලැබූ රොනල්ඩ් රේගන් පසුව සම්පුර්ණයෙන්ම සුවය ලබනවා.

වෙඩි තැබීමට මුල් වූයේ “ටැක්‌සි ඩ්‍රයිවර්” චිත්‍රපටය බවට ප්‍රකාශයක්

වෙඩි තැබීමෙන් අනතුරුව (Rare Historical Photo)

අත්අඩංගුවට පත්වන හින්ක්ලි ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා ඝාතනය සඳහා ක්‍රියාකළේ “ටැක්‌සි ඩ්‍රයිවර්”නම් චිත්‍රපටය නැරඹීමෙන් පසුව බවයි. මෙම ප්‍රකාශයත් සමඟ පුදුමයට පත්වෙන විමර්ශනය නිලධාරීන් එම චිත්‍රපටය වහාම නරඹනවා.

මැරීන් භටයෙකු ලෙස වියට්‌නාම් යුද්ධයට යන ට්‍රැවිස්‌ නම් සෙබළෙක් ආපසු පැමිණෙන්නේ මානසික අවපීඩනයට ලක්‌ වූ පුද්ගලයෙකු ලෙසයි. ප්‍රචණ්ඩත්වයට ප්‍රිය කරන ඔහු බෙට්සි නම් කාන්තාවකට ප්‍රේමය සඳහා ආරාධනා කරන අතර ඇය විසින් එය ප්‍රතික්ෂේප කරනවා. ඒ හේතුවෙන් බෙට්සි සමඟ වෛරයෙන් පසුවන ඔහු ඇයට උදව් කරන ජනාධිපති අපේක්ෂකයෙක් ඝාතනය කරන්නට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නෑ. පසුව නිව්යෝර්ක් නගරයේ ටැක්සි රියදුරෙකු ලෙස සේවය කරන ඔහුට එහිදී අයිරීස් නම් ළමා ගණිකාවක් මුණ ගැසෙනවා. තමාට කරදර කරන පුද්ගලයන්ගෙන් තමාව බේරා ගන්නා ලෙස අයිරීස් විසින් ට්‍රැවිස්ට පවසනවා.

ගිනි අවියක් අතැතිව ගොස් එම පුද්ගලයන් සියළු දෙනා මරා දමන ට්‍රැවිස් අවසානයේ අයිරීස්ව මුණගැසෙනවා. මානසික අවපීඩනයෙන් පෙළෙන ට්‍රැවිස්‌ට අවශ්‍ය වනුයේ කෙසේ හෝ වීරයකු වීමට බව චිත්‍රපටයේ මූලික අදහසයි.

“ටැක්‌සි ඩ්‍රයිවර්” චිත්‍රපටය තම ජිවිතයට ඈදා ගත් ජෝන් හින්ක්‌ලි

“ටැක්‌සි ඩ්‍රයිවර්” චිත්‍රපටයේ රූප රාමුවක් (Hollywood Reporter)

මෙම චිත්‍රපටයේ ළමා ගණිකා චරිතයට බෙහෙවින් ඇළුම් කරන ඔහු තමන් ට්‍රැවිස් නම් පුද්ගලයා අනුකරණය කල යුතු බව සිතනවා. චිත්‍රපටය අනුව කටයුතු කරන ඔහු ළමා ගණිකාවගේ චරිතය රඟපෑ ජූඩි ෆොස්‌ටර් නම් නිළිය සොයාගෙන යන්නේ තමන්ගේ උපාධිය ලබා ගැනීමේ අපේක්ෂාවද ඉවතට දමමින්.

ජූඩි සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගැනීම තම ජිවිතයේ එකම ඉලක්කය බවට පත් කර ගත් ඔහු යේල් විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක්‌ හදාරමින් සිටි ජූඩි සොයාගොස් ඒ බව ප්‍රකාශ කරනවා. තමන් ඊට අකමැති බව ජූඩි පැවසුවත් මොහු විසින් ඇයට දිගින් දිගටම ආදරය ඉල්ලා කරදර කරනවා.

අයගේ ආදරය දිනා ගැනීමට වීරයෙක් විය යුතු බව තීරණය කරන හින්ක්‌ලි චිත්‍රපටයේ මෙන් සැබෑ ජීවිතයේ ඇයට කරදර කරන පුද්ගලයන් පිළිබඳව සොයා බලනවා. එවැනි පුද්ගලයන් නොවූ බැවින් චිත්‍රපටයට අනුව ජනාධිපති අපේක්ෂකයෙක් මරණය පත් කර ජනප්‍රිය වීමට මොහු තීරණය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඔහු රොනල්ඩ් රේගන් ඝාතනය කිරීම සඳහා පැමිණෙන්නේ.

වෙඩි තැබීමෙන් පසු

මානසික රෝහලෙන් නිදහස් වූ හින්ක්ලි (NY Daily News)

මෙම සිදුවීම අනාවරණය කරගැනීමෙන් පසුව අධිකරණ මනෝවෛද්‍ය චිකිත්සකවරයා විසින් හින්ක්‌ලි උන්මාදයකින් පෙළෙන බව තහවුරු කරන අතර ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ නෑ. වොෂින්ටනයේ මානසික වෛද්‍ය රෝහලක ප්‍රතිකාර සදහා යොමු කරන ඔහුව වෙඩි තැබීමෙන් වසර 35කට පසු එනම් 2016 වසරේදී රෝහලෙන් නිදහස් කරනු ලබන්නේ අධිකරණයේ පරික්ෂාව යටතේ තවදුරටත් මානසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එකඟ වීමෙන් අනතුරුවයි. නිදහස් වූ පසුව හින්ක්ලි පවසන්නේ සිදු වූ කිසිම දෙයක් පිළිබඳව කණගාටු නොවන බවත් තමන් මෙම සියල්ල කලේ ප්‍රේමය වෙනුවෙන් බවත්ය.

කවරයේ ජායාරූපය – Rare Historical Photos

මුලාශ්‍ර – Wikipedia, www.whitehouse.gov, www.biography.com, www.history.com, www.latimes.com, www.cbsnews.com

Related Articles