Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ දැවැන්ත රසායනික අනතුර – Tianjin ඛේදවාචකය

2015 අගෝස්තු 12 වනදා චීනයේ Tianjin වරායේ කන්ටේනර් ගබඩා පරිශ්‍රයේ සිදු වූ විශාල පිපිරීම මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම කර්මාන්ත අනතුරු වලින් එකක් ලෙස හදුන්වා දිය හැකියි. සාමාන්‍යයෙන් කර්මාන්ත අනතුරු විරල වූ චීනයේ ඇති වූ මෙම විනාශයෙන් මියගිය ගණන 173ක්ද අතුරු දහන් වූ ගණන 8ක්ද, තුවාල ලැබූ ගණන 797ක් ලෙසද වාර්තා වෙනවා.

රසායන ද්‍රව හා වහා ගිනි ඇවිලෙන සුළු භයානක රසායනික ගබඩා කර තිබූ මෙම පරිශ්‍රයේ එක පිට එක සිදු වූ ප්‍රධාන පිපිරීම් දෙක ඇතුළු පිපුරුම් අටකට ආසන්න සංඛ්‍යාවක් හේතුවෙන් ඇති වූ මෙම කර්මාන්ත අනතුර  හා එයට වගකිය යුත්තන්ට අත්වූ ඉරණම පිළිබඳවයි අද ලිපිය. ඉතින් Tianjin ඛේදවාචකය පිළිබඳව ඔබේ අදහසත් සටහන් කර යන්න අමතක කරන්න එපා.

පිපිරීම ඇති වූ Ruihai International Logistics ගබඩා පරිශ්‍රය

Tianjin වරාය පරිශ්‍රය (PortVision)

මෙම අනතුරට හේතු වන්නේ  2011 වසරේදී චීනයේ ආරම්භ කරන ලද Ruihai International Logistics නම් පෞද්ගලික ආයතනයට අයත් Tianjin වරායේ රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ කන්ටේනර් ගබඩා පරිශ්‍රයේ ඇති වූ ගිනි ගැනීමක්.

වර්ග අඩි 50,000ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබූණු මෙම පරිශ්‍රයේ කන්ටේනර් පෙට්ටි පුරවා ගබඩා කර තිබූනේ කැල්සියම් කාබයිඩ්, සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රේට් හා සෝඩියම් සයනයිඩ් වැනි රසායනික ද්‍රව්‍යයි. වහා ගිනිගන්නා සුළු භයානක විෂ රසායන ගබඩා කිරීම හා ප්‍රවාහනය පිළිබඳව මෙම ආයතනය චීනයේ Tianjin Maritime Safety Administration ආයතනයෙන් අවසර ලබා ගෙන තිබූ බවත් සදහන් වෙනවා.

70 දෙනෙක් පමණ සේවය කළ රසායනික ද්‍රවය ගබඩාව 2014 වසරේදී චීන රජය විසින්  උපද්‍රව සහිත විෂ රසායන ගබඩාකරණය පිළිබඳව නිකුත් කළ නීති රීති අනුව ඉදිකර තිබූනත් සාමාන්‍ය ගොඩනැගිලි වලින් කිලෝමීටරයක් දුරින් විෂ රසායන ගබඩා ඉදිකර තිබිය යුතුයි යන නීතිය කඩ කර තිබූ අතර විෂ රසායනික මගින් සාමාන්‍ය ජනතාවට වන හානිය පිළිබඳව සැලකිලිමත් වීමක් දකින්නට නොවීය.

චීන රජයේ මාධ්‍යය පවසන් ආකාරයට ඉතා දුර්වල ගබඩාකරණයක් මෙහි පැවති අතර ඔවුන් නියමාකාරයෙන් රසායන ද්‍රව්‍ය ගබඩාකරණය පිළිබඳව අවසරපත් ලබාගෙන තිබූනේ මාස දෙකකට පෙරයි. එනම් 2014 වසරේ සිට ඒ දක්වා ඔවුන් සතුව තිබී ඇත්තේ තාවකාලික බලපතක්.

රසායනික පිපිරීම් මාලාවක්

ප්‍රදේශයම රත්පැහැ ගැන්වූ පිපිරීම (CNN.com)

ගබඩා පරිශ්‍රයේ පළමු ගින්න අගෝස්තු 12 වනදා ඇති වන අතර ගින්න මැඩ පවත්වන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නෑ. පසුව ගිනි නිවන භටයන් පැමිණ ගින්න මැඩපැවැත්වීම සඳහා ජලය භාවිතා කරන්නේ ගබඩාවේ ඇති භයානක රසායන ද්‍රවය පිළිබඳව නොදැනයි.

ජලය සමඟ රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් පළමු පිපිරිම රාත්‍රී 11.20ට පමණ වාර්තා වෙන අතර  එය රික්ටර් මාපක 2.3ක භූමිකම්පාවක් ලෙසද භූ කම්පන තරංග ශක්තිය TNT ටොන් 2.9 ජවබලයක්ද ජනනය කරනවා. මෙයින් තත්පර 30කට පසු දෙවන පිපුරුම සිදු වෙන අතර එය රික්ටර් මාපක 2.9 ක භූ කම්පාවක් ලෙසත් TNT ටොන් 21.9ක පිපුරුමකටත් සමාන වෙනවා. මෙම විශාල පිපුරුමත් සමඟ මීටර් සිය ගණනක් ඉහළට ගිනිදැල් විසි වූ බවත් කිලෝමීටර් ගණනාවක් දුරකට අලාභහානී සිදු වූ බවත් සදහන්. මේ ආකාරයට අගෝස්තු 15 වනදා දක්වා තවත් කුඩා පිපුරුම් මාලාවක් සිදු වූ අතර එම  පිපුරුම් ගණන 8ක් පමණ වෙනවා.

පිපිරීමෙන් අනතුරුව

දින කිහිපයක් තිස්සේ දුම් දමමින් තිබූ අයුරු (The Boston Globe)

පිපුරුම කොතරම් බරපතලද යන්න පවසනවානම්  Japan Meteorological Agency මගින් ගුවන් ගත කර තිබූ Himawari නම් කාලගුණ දත්ත රැස් කරන චන්ද්‍රිකාවේ පවා මෙම පිපුරුමේ අවස්ථා ජයාරූපගත වී තිබූණා. දෙවන පිපිරීමේදී ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 800ක් පමණ ස්පෝටනය වී ඇති බව විමර්ශන කණ්ඩායම් විසින් සනාථ කරන්නේ පිපිරුම හේතුවෙන් හටගෙන තිබූ විශාල ආවාටය හා එහි විෂ්කම්භය පදනම් කරගෙනයි.

රජයේ වාර්තා වලට අනුව මියගිය ගණන 173ක්ද අතුරුදහන් වූ ගණන 8ක්ද, තුවාල ලැබූ ගණන 797ක් ලෙස සටහන් වී තිබෙනවා. නමුත් චීනයේ මාධ්‍ය විසින් පවසන්නේ මෙම ගණන ඊට වඩා වැඩි විය යුතු බවත් අනතුර සිදු වූ ස්ථානයේ සිට අරය 1.5Km වූ ප්‍රදේශයක් පුරාවටම මේ පිපිරුමෙන් හානි සිදු වී ඇති බවත් එහි පවුල් 5600ක් පමණ ජිවත්වෙන බවත්ය.

ගිනි නිවීමේ නිරතව සිටි 1000කට අධික ගිනි නිවන භටයන් පිරිසක් අතරින් 95 දෙනෙක් මරණය පත්වෙන අතර පොලිස් නිලධාරීන් 11 දෙනෙකුද මිය ගිය පිරිස අතරට ඇතුළත් වෙනවා. ඒ හේතුවෙන් මෙම විශාල ඛේදවාචකය චීන සමුහාණ්ඩුවේ ඇති වූ දරුණුම තත්වයක් ලෙස නම් කරනු ලබනවා.

දේපළ හානි

විනාශයට පත් වූ මෝටර් රථ (The Telegraph)

පිපුරුම සිදු වූ ගොඩනැගිල්ල අවට තිබූ තවත් ගබඩා ගොඩනැගිලි 7ක් ඒවායේ තිබූ භාණ්ඩ සහිත කන්ටේනර් සමඟ සම්පුර්ණයෙන්ම විනාශ වී තිබූ අතර Hyundai, Kia, Renault, Volkswagen හා Toyota යන සමාගම් වලට අයත් මෝටර් රථ 8000කට අධික ප්‍රමාණයක් ඒ අතර වෙනවා.

තවද පිපිරීම සිදු වූ ස්ථානය අවට පිහිටා තිබූ ගොඩනැගිලි 304ක් හා අවට නවතා තිබූ මෝටර්රථ 12,428ක් හා කන්ටේනර් 7533ක් සම්පුර්ණයෙන් විනාශ වෙනවා. 2km දුරින් පිහිටා තිබූ ගොඩනැගිලි වලද සිවිලිම් කඩා වැටීම් වැනි කුඩා හානි වීම් සිදු වෙනවා.

පිපිරීමට බලපෑ හේතූන්

පිපිරීම හේතුවෙන් ඇති වූ ආවාටය (The Independent)

මෙහි ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍යයන්හි ස්කන්ධය නිශ්චිතව ගණනය කර නොතිබූ නමුත් එය ආසන්න ලෙස ටොන් 3000ක් වන බව සොයා ගනු ලබනවා. ඇමෝනියම් නයිට්‍රේට් මාරාන්තික පිපුරුම් කිහිපයකට බලපෑ බව සොයා ගන්නා අතර ගිනි නිවන භටයින් විසින් භාවිතා කල ජලය කැල්සියම් කාබයිඩ් මතට වැදීමෙන් නිකුත් වූ ඇසිටලීන් වායුව මගින් ඇමෝනියම් නයිට්‍රේට් සක්‍රීය වී ඇති බවට සැක පළ කරනවා.

පරිසරයට ඇති කල බලපෑම

විමර්ෂණ කණ්ඩායම් විසින් අනතුරට ලක් වූ ප්‍රදේශය පරික්ෂා කරමින් (The New York Times)

පිපිරීමෙන් අනතුරුව අධික විෂ සහිත සෝඩියම් සයනයිඩ් පරිසරයට එකතු වෙන අතර පිපිරීමෙන් මීටර් 500 ඇතුළත විෂ සහිත වායුන් වන සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් හා නයිට්‍රජන් ඔක්සයිඩ් ඇති බවට අනාවරණය වෙනවා.

අනතුරෙන් පසු පළමු වර්ෂාව අගෝස්තු 18 වැනිදා ඇති වූ අතර වර්ෂාවෙන් පසුව මාවත් පුරා සුදු පැහැති රසායනික පෙන දකින්නට ලැබෙනවා. වර්ෂාවට නිරාවරණය වූ පුද්ගලයන්ගේ සමෙහි විවිධ චර්ම රෝග හටගත් බවද අනාවරණය වෙනවා.

වරදකරුවන්ට දඩුවම් ලබා දීම

මරණ දඩුවම නියම වූ Ruihai Logistics සමාගමේ සභාපතිවරයා (South China Morning Post)

එම වසරේ අගෝස්තු 27 වනදා චීනයේ Xinhua පොලීසිය මගින් Ruihai Logistics සමාගමේ සභාපති, උපසභාපති හා කළමනාකරුවන් ඇතුළු 12 දෙනෙක් වරදකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා අතර 2016 වසරේ පෙබරවාරී 5 දින නිකුත් කරන ලද පිපිරීම් පරීක්ෂණ වාර්තාවට අනුව 2016 වසරේ නොවැම්බර් 8 වනදින පැවති නඩු විභාගයෙන් සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා ගබඩාවේ විධායක නිලධාරීන් ඇතුළු 49 දෙනෙකුට සිර දඩුවම් නියම කරනවා.

ඒ සමගම Ruihai Logistics සමාගමේ සභාපතිවරයාට මරණ දණ්ඩනය නියම කිරීමට චීන අධිකරණය විසින් තීරණය කරන්නේ මරණ හා දේපළ හානියට වගකිය යුත්තා ලෙස ඔහුව නම් කරමින්.

කවරයේ ජායාරූපය – Manufacturing.net

මුලාශ්‍ර – Wikipedia, www.bbc.com, www.scmp.com, www.independent.co.uk

Related Articles