Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රස්ත ඉලක්ක සුනුවිසුණු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන්යානා තුනක්

LTTE ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් කල මෙහෙයුම් සියල්ලේදීම ගුවන් හමුදාව විසින් කළ මෙහෙය අති විශිෂ්ඨයි. LTTE ත්‍රස්ත සංවිධානය අඩපණ කිරීම සඳහාත් පාබල හමුදාවට ඉදිරියට යාම සදහාත් හදුනාගත් ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ගුවන් හමුදාවේ ප්‍රධානතම රාජකාරීන් අතරින් එකක්. ඒ සඳහා අධිවේගී ප්‍රහාරක ගුවන්යානා මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද ගුවන් හමුදාව විසින් යොදාගනු ලැබුවා.

මේ ආකාරයට සාර්ථක ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදාගත් ප්‍රහාරක ගුවන්යානා තුනක් පිළිබඳවයි අද ලිපිය. මෙම ප්‍රහාරක ගුවන්යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතුවුණු ආකාරය හා ඒවායේ විශේෂත්වය මේ ලිපිය මගින් විස්තර කරන්නට අපි උත්සාහ කළා.

ශබ්දයේ වේගය පරයා යන ගුවන් හමුදා ප්‍රථම ප්‍රහාරක ගුවන්යානය F-7

F-7 (GlobalSecurity.org)

චීනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ F-7 යානාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිලදීගත් ශබ්දයේ වේගය පරදවා ගමන් කළ හැකි ප්‍රථම ප්‍රහාරක ගුවන් යානය වෙනවා. LTTE ත්‍රස්තයන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ සාර්ථක ගුවන් ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් පැරණිම ප්‍රහාරක ගුවන් යානය වන්නේත් F-7 යානයයි.

1991 වසරේදී ගුවන් හමුදාවට එක් වූ මෙම යාන වර්ගය, උතුරු නැගෙනහිර සිව්වන ඊළාම් යුද්ධය අවසන් වනතුරු භාවිතයට ගනු ලැබුවා. 2008 වසරේ සැප්තැම්බර් මාසයේදී LTTE ගුවන් යානාවක් බිම හෙළන්නේද F-7 ප්‍රහාරක යානාවක් මගින්.

අධි වේගී ප්‍රහාරක යානා වන මිග් හා කෆීර් යානා සදහා ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කටයුතු සදහාද වර්තමානයේදී  F-7 යානය භාවිතා කරනු ලබනවා.

සිංහ පෝතකයා යන අරුත ඇති කෆීර් ප්‍රහාරක ගුවන්යානය

කෆීර් C2 යානයක් (Airliners.net)

ඩෙල්ටා හැඩති පියාපත් සහිත අහස දෙදරවමින් ගමන් කරන ”අහස් තලයේ සිංහ පෝතකයා” හෙවත් කෆීර් යානාව අප සියළු දෙනාටම හොදින් හුරු පුරුදුයි. ඊශ්‍රායල් ගුවන් සමාගමක් විසින් (Israel Aircraft Industries) නිෂ්පාදනය කර ඇති කෆීර් යානාව ඊශ්‍රායලය, ඉක්වදෝරය, කොලොම්බියාව හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් භාවිතා කරනු ලබන්නේ ක්ෂණිකව හදුනාගන්නා ලද සතුරු ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කර සතුරු අවි බලය, සතුරු කණ්ඩායම් අඩපණ කිරීම හා සැගවුණු ඉලක්ක වෙත පරිගණක තාක්ෂනය උපයෝගී කරගනිමින් ඉතා නිවැරදිව පහර දී සතුරාගේ බර අවි ප්‍රහාර සම්පුර්ණයෙන් නවතා පාබල හමුදාවට ඉදිරියට යෑම සදහා ඉඩ ලබා දිමටයි.

1973 වසරේදී නිර්මාණය කල, හීබෘ බසින් “සිංහ පෝතකයා” යන අරුත ගෙනෙන කෆීර් යානය මුලින්ම ප්‍රහාර සඳහා යොදා ගනු ලබන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් 1976 වසරේදීයි. කෆීර් යානය සියළුම කාලගුණ තත්ත්වයන්ට  ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කර ඇති අතර ප්‍රංශයේ ඩැසල්ට් මිරාජ් 5 (Dassault Mirage 5) ගුවන් යානයේ ආකෘතියට මදක් සමාන වෙනවා. ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරන General Electric J79 වර්ගයේ ප්‍රබල එන්ජිමක් මේ සදහා යොදාගෙන තිබෙනවා. එහි ප්‍ර‍ධානම අවි වන්නේ 30mm Rafael DEFA 5533 වර්ගයේ කාලතුවක්කු දෙක සහ  මිසයිල ගණනයි.

20 වසරක නොනවත්වා සේවාවෙන් පසුව කෆිර් ගුවන්යානා 1990 වසරේදී ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා බලඇණියෙන් ඉවත් කරන අතර කෆීර් යානා වසර 40 ක සේවා වගකිමක් සහිතව වෙනත් රටවල්  සදහා විකිණීමට එරට රජය විසින් තීරණය කරනවා.

ඒ අනුව 1996 වසරේදී පැවති දරුණු යුධ ගැටුම් හේතුවෙන් කෆීර් යානා ඊශ්‍රායලයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කරනවා. කෆීර් යානා 7ක් එම වසරේදී මිලදී ගන්නා අතර නැවතත් 2001 වර්ෂ වලදී කෆීර් C2 යානා 4 ක් කෆීර් C7 යානා 4 ක් හා කෆීර් TC2 යානා 1 ක් ගුවන් හමුදාව විසින් මිලදී ගනු ලබනවා. 2006 වසරේ පටන්ගත් සිව්වන ඊළාම් යුද්ධයේදී නැගෙනහිර මෙන්ම උතුරේ ත්‍රස්ත ඉලක්ක සුනුවිසුනු කරමින් ත්‍රස්තයන්ට මරබිය ඇතිකළ ප්‍රහාරක යානයක් ලෙස මෙය නම් කරන්නට පුළුවන්.

යුද්ධය අතරතුර කිසිදු කෆීර් යානාවකට ප්‍රහාර එල්ල කර බිම හෙලීමට LTTE සංවිධානයට හැකියාවක් ලැබෙන්නේ නෑ. ප්‍රහාරක ගුවන්යානා හා හෙලිකොප්ටර් යානා 11ක් විනාශ කරමින් 2001 ජූලි මාසයේ 24 දා කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ LTTE ප්‍රහාරයෙන් නවතා තිබූ කෆීර්C7 යානාවන් දෙකක් විනාශ වු අතර තවත් කෆීර් යානාවන් පහක් දැඩි හානියකට ලක් වෙනවා. තවද 2011 වසරේදී පුහුණුවක් අතර තුරදී සිදු වු අනතුරකින් කෆීර් C2 යානා දෙකක්  ගම්පහ ප්‍රදේශයට කඩා වැටෙනවා.

LTTE ඉලක්ක සුනුවිසුණු කල ප්‍රබල ප්‍රහාරකයා – මිග් 27

මිග් 27 – කටුනායක ගුවන්තොටුපොළේදී (Defence Blog)

සෝවියට් දේශය විසින් දෙවැනි ලෝක යුධ සමය තුළදී තම සතුරන් හට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීම සදහා නිර්මාණය කල ප්‍රහාරක යානා වර්ගයක් ලෙස මිග් ප්‍රහාරක යානා හදුන්වන්නට පුළුවන්. ඒ අනුව මිග් 1 යානය 1940 වසරේදී නිපදවනු ලබනවා.

ක්‍රමක්‍රමයෙන් මිග් 1 යානය තාක්ෂණිකව දියුණු කර මිග්3 යානය නිපදවන අතර ඒ ආකාරයට මිග් 5, මිග් 7 හා මිග් 9 ආදී ඔත්තේ සංඛ්‍යා වලින් දිගින් දිගටම රුසියාව විසින් මිග් යානා නිර්මාණය කරනවා. වර්තමානය වන විට මිග් 35 නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2000 වසරේ සිට භාවිතා කරන්නේ මිග් 27 යානාවයි.

1975 වසරේදී සෝවියට් රුසියාවේ Mikoyan OKB සමාගම විසින් මිග් 27 යානා නිර්මාණය කිරීම ආරම්භ කරනු ලබනවා. ගුවනේ සිට ගොඩබිමට මිසයිල ප්‍රහාර එල්ල කිරීමටත් ගුවනේදී අනෙකුත් ප්‍රහාරක යානා සමඟ සටන් කිරීමටත් උචිත වන ආකාරයෙන් මෙම යානය නිපදවා තිබෙනවා.

මිග් 27යානය සඳහා මිග් 23 යානයේම බාහිර සැකැස්ම යොදා ගෙන තිබෙනවා. සතුරු ඉලක්ක හදුනා ගැනිමට හා විනාශ කිරිමට යොදා ගන්නා ප්‍රහාරක පද්ධතිය සදහා නවීනතම සංවේදන යොදා ඇති අතර නියමු කුටියේ අමතර ආරක්ෂක ආවරණයක් යොදා තිබෙනවා. මිග් 27 යානා ඉතා පහළින් පියාසර කර සතුරු ඉලක්ක විනාශ කිරිමට බොහෝ විට යොදා ගන්නවා. LTTE ත්‍රස්ත ඉලක්ක විනාශ කිරීම සදහා සාමාන්‍යයෙන් මීටර් 4000ක් දක්වා යානය පහත් කරන අතර තවත් ඉලක්ක සදහා මීටර් 30ක් දක්වා යානය පහත් කරන්නට සිදු වූ බව ගුවන් නියමු ක්‍රිෂාන්ත කපුගම පවසා තිබෙනවා. තවද මෙහි ඇති විශාල හා සවිමත් රෝද පද්ධතිය නිසා ඕනෑම රළු ගුවන් පථයක වුවද ගොඩබැස්සවිමේ හැකියාවද පවතිනවා.

LTTE ප්‍රධාන මර්මස්ථානයක් වූ චාවකච්චේරියේ ඉලක්ක කිහිපයකට මුලින්ම ප්‍රහාර එල්ල කරමින් තම සංග්‍රාමය පටන් ගත් මිග් 27 යානා පාබල හමුදාවන්ට අවශය ගුවන් සහාය ලබා දෙමින් උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වන තුරු සාර්ථක ගුවන් ප්‍රහාර විශාල ගණනාවක් සිදු කර තිබෙනවා. LTTE ප්‍රහාර වලින් කිසිදා මිග් 27 යානා බිම හෙළිය නොහැකි වූ අතර 2001 වසරේ කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ලවූ ප්‍රහාරයෙන් නවතා තිබූ මිග් 27 යානයක් විනාශයට පත්වෙන අතර තවත් යානයකට අලාභහානි සිදු වෙනවා. පසුගිය යුධ සමයේ වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් එල්ල කරමින් සතුරාට මරබිය ඇතිකළ ප්‍රධානම ප්‍රහාරක යානය ලෙස මිග් 27 හදුන්වා දිය හැකියි.

ඉතින් මේ අපි කතාකලේ ගුවන් හමුදාව භාවිතා කල ගුවන්යානා කිහිපයක් ගැන පමණයි. මේ මාතෘකා ආශ්‍රිතව තවත් තොරතුරු දැනගන්න අපිත් එක්ක දිගටම රැඳී සිටින්න.

කවරයේ ජායාරූපය – Google Plus

මුලාශ්‍ර – ගුවන් හමුදා වෙබ් අඩවිය, Wikipedia, www.militaryfactory.com

Related Articles