Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිත බේරා ගැනීමට උපන් ලෝක ඔලිම්පික් ශූරයා

තම හැකියාව හුදෙක් ක්‍රීඩා ජයග්‍රහණ සදහා පමණක් භාවිතා නොකරමින් ඉන් ඔබ්බට ගොස් මනුෂ්‍ය යහපත සඳහා භාවිතා කළ ජනතාවගේ ක්‍රීඩකයන් සිටීනම් එම ගණන තනි ඉලක්කමක සංඛ්‍යාවකට වඩා ඉහළ නොයන බව ලෝක ක්‍රීඩා ඉතිහාසය අධ්‍යනය කිරීමේදී පෙනී යන දෙයක්.

සෝවියට් දේශය නියෝජනය කරමින් ඔලිම්පික් තරඟ වලදී 17 වතාවක් ශූරයා බවට පත් වූ ආර්මේනියානු පිහිනුම් ක්‍රීඩක ශවාස් කර්පෙත්යාන් යනු එවැනි විරල ගණයේ ක්‍රීඩකයෙක්. අද මේ ලිපිය තුලින් අපි කතා කරන්න යන්නේ ඔහුගේ ක්‍රීඩා කුසලතාවයන් පිළිබඳව නම් නොවේ. මේ සෝවියට් වීරයා වරෙක දියේ ගිලිමින් සිටි හා තවත් වරෙක ගොඩනැගිල්ලක් තුළ ගින්නකට හසු වී සිටි මිනිසුන් ගණනාවක් බේරා ගත් ආකාරය පිළිබඳවයි. තම දිවිය දෙවන කොට සිතමින් මිනිස් ජීවිත බේරා ගැනීමේ නිරත වූ ශවාස් කර්පෙත්යාන් ලොව උතුම් මනුෂ්‍යත්වයෙන් යුතු ක්‍රීඩකයෙක් ලෙස හදුන්වනවා.

ලෝක වාර්තා 11ක් සමඟින් 17 වතාවක් ඔලිම්පික් ශූරයා

එක් ඔලිම්පික් තරඟයකදී පදක්කම් කිහිපයක් දිනූ කර්පෙත්යාන් (mocak.am)

එක් ඔලිම්පික් තරඟයකදී පදක්කම් කිහිපයක් දිනූ කර්පෙත්යාන් (mocak.am)

1922 සිට 1991 දක්වා වූ කාල සීමාවේදී රුමේනියාව, කසකස්ථානය හා උස්බෙකිස්ථානය ඇතුළු රටවල් 15ක් එක් වී තිබුනේ සෝවියට් රුසියාවටයි. ශර්වාස් කර්පෙත්යාන් 1953 මැයි 19 වන දින රුමේනියාවේ  උපත ලබනවා.

24 හැවිරිදි වියේදී ශවාස් කර්පෙත්යාන් සෝවියට් දේශය නියෝජනය කරමින් පිහිනුම් ලෝක වාර්තා 10ක් බිද හෙළා 11 වතාවක් ලෝක වාර්තා හිමි කරගෙන සිටියා. යුරෝපියානු පිහිනුම් ශූරතාව 13 වතාවක්, සෝවියට් පිහිනුම් තරඟාවලිය13 වතාවක් වගේම ඔලිම්පික් තරඟ වලදී 17 වතාවක්ම ලෝක ශූරයා වෙමින් එවකට ලෝක පිහිනුම් ශූරයා බවට පත් වී සිටියේ මොහුයි.

යෙර්වාන් ජලාශයට වැටුණු ට්‍රොලි බසය

කර්පෙත්යාන් සිය සොයුරන් සමඟ - මැද සිටින්නේ ඔහුයි. දකුණු පස සිටින්නේ කමෝ යි   (2014.rt.com)

කර්පෙත්යාන් සිය සොයුරන් සමඟ – මැද සිටින්නේ ඔහුයි. දකුණු පස සිටින්නේ කමෝ යි   (2014.rt.com)

සුපුරුදු පරිදි 1976 සැප්තැම්බර් 16 වනදා ශවාස් කර්පෙත්යාන් තම සොයුරා වන කමෝ සමඟ කිලෝ මීටර් 20ක් පමණ දුර දුවා අවසන් කර රුමේනියාවේ යෙර්වාන් ජලාශ වේල්ල අසළ ශරීර අභ්‍යාස වල නිරත වෙමින් සිටියා. මේ වන විටත් ඔවුන් අධික වෙහෙස නිසා හෙම්බත් වී සිටියා.

එකවරම අධික ශබ්දයක් සමඟින් වේල්ල මතින් ගමන් කරමින් තිබූ ට්‍රොලි බසයක් කිසියම් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් යෙර්වාන් ජලාශයට වැටෙන ආකාරයත් ඒ සමඟම වේල්ල අවට මිනිසුන් ගෙන් පිරී යන ආකාරයත් සහෝදරයන් දෙදෙනාට දැක ගන්නට ලැබුණා. මිනිසුන් මරණ බියෙන් කෑ ගසන හඬ කර්පෙත්යාන් මෙන්ම එතන සිටි සියල්ලන්ටම ඇසුණා. නමුත් මිනිසුන් බේරා ගැනීමට කිසිවකු ඉදිරිපත් වූයේ නෑ. දෙවරක් කල්පනා නොකළ ඔහු පාවහන් ගලවා අධික ශිතලකින් යුත් වතුරට පැන්නේ තමන්ගේ තෙහෙට්ටුව මදක්වත් මායිම් නොකරමින්. කමෝ ද තම අයියා අනුගමනය කරන්නට වුණා.

මීටර් 10ක් ගැඹුරට කිමිදී ජිවිත බේරාගත් ශවාස් කර්පෙත්යාන්

ට්‍රොලි බසය ගොඩට අදිමින් (Grantland)

ට්‍රොලි බසය ගොඩට අදිමින් (Grantland)

බස් රථය ගිලී තිබුනේ වේල්ලේ සිට මීටර් 25 ක් දුරින්  මීටර් 10ක් ගැඹුරු ස්ථානයක. තම සොයුරාට බසය ගිලුණු ස්ථානයේ මතු පිට රැදෙන ලෙස උපදෙස් දුන් කර්පෙත්යාන් මඩ පැහෙයෙන් යුත් දුර්වර්ණ වතුරේ මීටර් 10ක් කිමිදී බසය සොයා යන්නට පටන් ගත්තා. බස් රථය සොයා ගත් ඔහු එහි පසු පස වීදුරුවට පා පහරක් එල්ල කර පළමු පුද්ගලයාව මතුපිටට රැගෙන විත් කමෝට භාර දුන්නා. මේ වන විටත් වීදුරුවට එල්ල කල පා පහර හේතුවෙන් ගැඹුරු ලෙස තුවාල වූ ඔහුගේ පාදයෙන් නොනවත්වා ලේ ගලන්නට විය.

මේ ආකාරයට කර්පෙත්යාන් විසින් දෙවනියා, තෙවැනියා, සිවු වෙනියා ආදී වශයෙන් මතු පිටට ගෙන එන්නට විය. මේ වන විට ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් අනතුර වූ ස්ථානයට ළඟා වී තිබුනත් මීටර 10ක් කිමිදී  මිනිසුන් බේරා ගැනීමට කිසිවකුට හැකියාව ලැබුනේ නෑ. විනාඩි 20ක් පමණ වන විට 20 දෙනෙක් ඔහු විසින් ගොඩට ගෙනෙනු ලැබුවා.

ටික වේලාවකින් ඉවුරට ළඟා වූ දොඹකර වල දම් වැල් බසයේ ඇමුණුම් කොක්කට සම්බන්ධ කිරීමට ගිය ඔහුට දකින්නට ලැබුනේ ඇමුණුම් කොක්ක සොයා ගත නොහැකි වන සේ මඩේ එරී ඇති බවයි. නැවත වරක් අලවංගුවක් රැගෙන ගිය ඔහු ජනෙලයක්  බිඳ දමා දම් වැල ඊට සම්බන්ධ කරන්නට විය. අනතුරුව බසය ගොඩ ගැනීමේ කාර්ය දොඹකරයට භාර දී ගොඩට ඒමත් සමඟම කර්පෙත්යාන් සිහිසුන්ව බිම පතිත විය. ගිලන් රියකින් ඔහු වහාම රෝහල් ගත කරන ලදී.

දින 45ක් රෝහල් ගතව

අධිකව මහන්සි වී සිටි අවස්ථාවක වතුරට පැනීම නිසාත්, වීදුරු වලට කැපීමෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසාත් ඇති වූ සංකූලතාවය හේතුවෙන් දින ගණනාවක් යන තුරු ඔහු පියවී සිහියට පැමිණියේ නෑ. ජලයේ පැවති අපද්‍රව්‍ය ඔහුව උණ, නිවුමොනියව, පෙනහළු වල අසාදනය, ලේ විෂ වීම හා අසාත්මිකතාවයන් වැනි රෝග ගණනාවකින් බරපතල ලෙස දුර්වල කරන ලදී. දින 45ක් රෝහලේ ගත කල ශවාස් කර්පෙත්යාන් මාස 4කින් පසුව සුපුරුදු පරිදි පිහිනුම් තටාකයේ නව වාර්තා තබන්නට පටන් ගත්තා.

නන් දෙසින් උපහාර

මැද- කර්පෙත්යාන්, වම් පස- කමෝ. පිහිනුම් තරඟයක පදක්කම් ලබමින් (Grantland)

මැද- කර්පෙත්යාන්, වම් පස- කමෝ. පිහිනුම් තරඟයක පදක්කම් ලබමින් (Grantland)

ඔහු ඇති විශිෂ්ට කැපවීමෙන් කළ බිහිසුණු වීර ක්‍රියාව සඳහා සෝවියට් සමුහාණ්ඩුව විසින් “ගිලෙන්නට ගිය මිනිසුන් බේරා ගැනීම ” නමින් විශේෂ සම්මානයක් ඔහුට ලබා දෙනවා. එසේම “ගෞරවයේ පදක්කම (Order of the Badge of the Honor )” යන සම්මානයෙන් පිදුම් ලබනවා.

පසුව මෙම සිදුවීම පදනම් කරගෙන ප්‍රව්දා නම් සෝවියට් පුවත්පතේ පළවූ “ශූරයන්ගේ දිය යට සටන (The underwater Battle of the Champions)” නම් ලිපිය හේතුවෙන් මෙම වීර ක්‍රියාව සඳහා සුභ පැතුම් ලිපි 60,000ක් පමණ ලැබුණු බව ශවාස් කර්පෙත්යාන් සදහන් කරනවා.

ගින්නට කොටු වූ මිනිසුන් බේරා ගැනීම   

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යමින් (www.huffingtonpost.com)

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යමින් (www.huffingtonpost.com)

1985 පෙබරවාරි 19 වැනි දිනද ඒ හා සමානම සිද්ධියකට කර්පෙත්යාන්ට මුහුණ දෙන්නට ලැබුණා. රුසියාවේ ඔහු ගමන් ගත් වීදියක පිහිටි උස ගොඩනැගිල්ලක හට ගත් ගින්නක් හේතුවෙන් මිනිසුන් විශාල ප්‍රමාණයක් ගොඩනැගිල්ල තුළ හිර විය. දෙවරක් කල්පනා නොකළ ශවාස් කර්පෙත්යාන් ගින්නට පැන සිර වී සිටි සියල්ලම බේරා ගැනීමේ උත්සාහයක නිරත වුණා. මේ හේතුවෙන් ශරීරය පිලිස්සී බරපතළ තුවාල ලැබූ ඔහුට ගිය වරටත් වඩා වැඩි කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබන්නට සිදු වුණා.

මේ බිහිසුණු වික්‍රමාන්විතය හේතුවෙන් ඔහුව UNESCO සම්මානයෙන් පුදනු ලැබුවා. එසේම සෝවියට් දේශයේ “සාධාරණ ක්‍රීඩකයා (Fair Player)” නම් සම්මානයත් ඔහුට ලැබුණා. අනතුරුව තරුවක්ද ඔහුගේ නමින් නම් කරන්නට රුසියානු රජය පියවර ගනු ලබනවා. 1986 දී Minor Planet Center (MPC) ඔහුගේ නම එම තරුව සඳහා අනුමත කරනු ලබනවා. පසු කාලයේදී රුසියානු සමුහාණ්ඩුව රටවල් කීපයකට කැඩී වෙන් වී ගියත් සෝවියට් දේශයට ඔහු දැක් වූ අපමණ ආදරය හේතුවෙන් මොස්කව් හි ස්ථිර පදිංචිය සඳහා පැමිණෙනවා. ඔහු 2014 වර්ෂයේ ඔලිම්පික් තරඟාවලියේදී ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන අවස්ථාවේ මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අසන ප්‍රශ්නයකට අපූරු උත්තරයක් ලබා දෙනවා.

මාධ්‍යවේදියා – ඔබ නියෝජනය කරන්නේ රුසියාවද නැතිනම් ආර්මේනියාවද?

කර්පෙත්යාන් – මම රුසියාව නියෝජනය කරනවා ඒ වගේම ආර්මේනියාවත්

ඒ ඔහුගේ අපූරු පිළිතුරයි.

ජනප්‍රිය යැයි සිතාගෙන මව් බිම හා තම ජනතාව අමතක කර මුදල් පසු පස හඹා යන වර්තමාන ක්‍රීඩකයන්ට කර්පෙත්යාන්ගේ දිවියෙන් බොහෝ ආදර්ශ ගත හැකි බව ඔබටත් වැටහෙනවා ඇති.

ඉතින් ලංකාවේ මෙවන් ක්‍රීඩකයින් ගැන අසා ඇත්නම් අපිට ඔවුන් ගැන කියන්නටත් අමතක කරන්න  එපා.

මුලාශ්‍ර –wikipedia.org

Related Articles