විශේෂාංග

විනාඩි 4 ක කියවීමක්

ට්‍රැෆික් නැති කොළඹක්- තවත් එක හීනයක් විතරද?

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus
Amila Chathuranga

Amila Chathuranga

Contributor

ඝර්ම කලාපීය රටක් වන අපේ රටේ බස් වලින් ඈත් වී ජනතාව පුද්ගලික වාහන කරා එළඹීමේ තවත් එක හේතු නම් අධික තෙහෙට්ටුව සහ උෂ්ණත්වය වේ. නව වායුසමන බස් රථ පද්ධතියකට පුද්ගලික අංශයට හෝ බලපත් ලබා දෙන්නේ නම් ඔවුන් කොළඹ නගරයේ ජනප්‍රිය බස් මාර්ග සදහා වායුසමන බස් රිය කරළියට ගෙන එනු ඇත.

කාර්මීකරණය සමග නගර බිහිවීම ආරම්භ වූ අතර නගරයට කරා දිනපතා ඇදී එන පිරිස සීඝ්‍රයෙන් වැඩි විය. කොළඹ නගරය සැලකුවොත් එකල විසූ ජනකායට සරිලන ලෙස යටත්විජිත පාලකයෝ මාර්ග පද්ධති නිර්මාණය කොට තිබුනි.

එදා කොළඹ (1950 දී පමණ)

1946දී ලංකාවේ ජනගහනය මිලියන 6.6කි. අද වනවිට එය මිලියන 21ක මට්ටමට පැමිණ තිබේ. රටේ  ජනගහනය නිදහස ලබාගන්නා අවස්ථාවේ සිටියාක් මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබුණත් ඒ සියල්ලන්ගේම ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථානය වන  කොළඹ නගරය කාලයට සරිලන සේ සැලසුම් සහගතව සංවර්ධනය වූ‍යේ නැත. එබැවින් අද මාතර සිට කොට්ටාවට අධිවේගී මගේ කිලෝමීටර 160ක් පැය එකහමාරකින් පැමිණියත් එතැන් සිට මරදානට කිලෝමීටර 16ක් ගමන් කිරීමට සාමාන්‍ය අවස්ථාවකදී පැය එකහමාරක් ගතවන වාහන තදබයක් කොළඹ පවතී.

අධ්‍යාපන තදබදය

පාසැල් නිවාඩු කාලයේ රථවාහන තදබදය අඩු බව කොළඹ වාසය කරන අය අත්දැකීමෙන්ම දන්නා කරුණක්. 2015 වර්ශයේ සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටි කොළඹ දිස්ත්‍රික්කයේම සිසුන් ප්‍රමාණය 23,980කි.  එනම් සමස්ථ ලංකාවම සැලකුවහොත් සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් 12%ක්ම කොළඹ සිසුන්ය. මෙයින් බහුතරය අගනගරාසන්න ජනප්‍රිය සහ ජාතික පාසැල් වල සිසුන් විය යුතුය. මෙම ජනප්‍රිය පාසැල් තරගය නිසා එක් පාසැලක ළමුන් විශාල ප්‍රමාණයක් සිටින අතර එවැනි පාසැල් රැසක්ම කොළඹ ප්‍රධාන නගර සීමාවේම පිහිටා ඇත.

පාසැල් අධ්‍යාපනයෙන් පමණක් නොසෑහෙන ලාංකික දෙමාපියෝ සිසුන් ටියුෂන් කරාද පොළඹවති. ප්‍රකට ටියුෂන් මධ්‍යස්ථානයක් වූ නුගේගොඩ කරා සෙනසුරාදා ඉරිදා දිනවල ඇදෙන සිසුන් පිරිසද දහස් ගණනකි. ජයවර්ධනපුර, කොළඹ, කැළණිය සහ මොරටුව යන රජයේ විශ්ව විද්‍යාල 4 කොළඹ තදබද සීමාවේම පිහිටා තිබේ. අලුතින් ආරම්භ කරන ලද බොහෝ අධ්‍යාපනික ආයතන බොහොමයක්ද මේ කොළඹ නගර සීමාවට අයත් වේ.

පාසැල් අධ්‍යාපනය පිණිස දරුවන් දිනකට පැය ගනන් රස්තියාදු වීමට සැලැස්වීම දැන් දියුනු රටවල නම් ඉතාම කළාතුරකින් දකින්නට ලැබෙන සිරිතකි. උසස් අධ්‍යාපන කටයුතු වලදී වුව ටියුෂන් වැනි පසුගාමී අධ්‍යාපනික සංකල්ප හේතුවෙන් දරුවන්ගේ කාලය පමණක් නොව මග සිටින බොහෝ අයගේ කාලයද නාස්ති වීම සිදු වේ. දරුවන් ඇවිද යා හැකි දුරක ‍හොද පාසැලකට යවා තෘප්තිමත් වීමට හැකි වටපිටාවක් නිර්මාණය වන්නේ නම් එය දරුවන්ට සේම මාර්ග තදබදයට හොද ලකුනක්ම වනු ඇත.

විරෝධතා තදබදය

කොළඹ කොටුවේ විරෝධතාවයක්.

කොළඹ කොටුව ප්‍රදේශය පමණක් සැලකුවද එහි රජයේ කාර්යාල, හමුදා කදවුරු, සුපිරි වෙළදසැල්, පුද්ගලික ආයතන, සංචාරක හෝටල්, ක්ලබ්, බැංකු ආදී විශාල පරාසයක ඉදිකිරීම් එකිනෙකට යාබදව පිහිටා තිබේ. මේ නිසාම රජයේ පරිපාලනමය කටයුතු වලට එරෙහිව උද්ඝෝෂණ කරන පිරිස ඇදෙන්නේද මෙම අග්‍රාමාත්‍ය කාර්යාල, ජනාධිපති මැදුර, අමාත්‍යාංශ පිහිටා ඇති පටු සීමාව වෙතය. මෙම සීමාවේ හටගන්නා වාහන තදබදය මුලු කොළඹ නගරයට පිවිසෙන සෑම පිවිසුමක් දක්වාම විහිදී පැතිරී යයි.

රාජ්‍ය නායකයින්ගේ කටයුතු මෙන්ම සමස්ථ රාජ්‍ය පරිපාලන දේශපාලන මූලස්ථාන සියල්ලම බත්තරමුල්ල ‍පාර්ලිමේන්තු සංකීර්ණය අවට පෙදෙසට ගෙන යා හැකිනම් එය රටේ වෙළඳ නගර කොටසට කරන නොමද සැලකිල්ලකි. බත්තරමුල්ල කෝට්ටේ දෙසට සාමාන්‍ය ජනතාවට පිවිසීමට ඇති මාර්ග ප්‍රමාණය සීමිත වුවත් ඒ පෙදෙස් වලට එක් වූ නව ආගමන විගමන, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ ආයතනය සහ තවත් ආයතන නිසා මහජනයාට සියලු කටයුතු පහසුවෙන් කරගත හැකිව තිබේ.

අමාත්‍යාංශ කාර්යාල,මන්දිර වැනි දේශපාලන මූලස්ථාන කිහිපයද එක් පෙදෙසකට අනුගත කරගත හැකිනම් සංචාරකයින්ටද, කාර්යබහුල ව්‍යාපාරිකයින්ටද උද්ඝෝෂණ රැලි ආදී බාහිර බාධා වලින් තොරව එදිනෙදා කටයුත කරගෙන යෑමට හැකිය.

උත්සව තදබද

නුගේගොඩ හංදියේ වූ බසයක්.

උත්සව කලට ප්‍රධාන වීදි දෙපස වාහන නැවැත්වීම නිසා සාමාන්‍ය වාහනවලට සිදුවන්නේ ‍වාහන අතරින් සෙමෙන් ඉදිරියට ඇදෙන්නටය. විශාල වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, සිනමා ශාලා, මහා පරිමාණ විනෝද කටයුතු වලට නිමවි ඇති ඇතැම් ‍ස්ථාන තුල ප්‍රමාණවත් වාහන ගාල් කිරීමේ පහසුකම් නොමැත. නගර බළධාරීන් ගොඩනැගිලි අනුමත කරන අවස්ථාවේදී වාහන ගාල් කිරීමේ පහසුකම ගැනත් අවධානය වඩාත් යොමු කරන්නේ නම් මේ උත්සව කාලයේදී ඇතිවන අමතර තදබදය නැතිකරගත හැකිය.

කාර්යාල සේවක තදබද

කොටුව දුම්රිය ස්ථානය

බොහෝ පුද්ගලික සහ රජයේ ආයතන වල වාහන මිලදී ගැනීමටත් වාහන වලට ඉන්ධන ලබාගැනීමටත් දිරි දීමනා ගෙවනු ලබන්නේ කොළඹ නගරය තුල ප්‍රවාහන අපහසුතා සලකා බැලීමෙන් විය හැකිය.

ආයතන මගින් පුද්ගලික වාහන භාවිතයට නිළධාරින් යොමු කිරීම හේතුවෙන් බොහෝ දෙනා කාර් රථ ගෙන සිය වාහනයේ කොළඹ නගරයට පැමිණෙන්නට පටන් ගෙන තිබේ. නිළධාරීන්ට සැපපහසුව සිය සේවයට වාර්ථා කිරීමට අවශ්‍යතාවය පැහැදිලිය. එහෙත් ඒ වෙනුවෙන් සුඛෝපබෝගී බස් රිය. වැඩිදියුනු කල දුම්රිය සේවාවන් වැනි පොදු සේවා භාවිත කල හැකිනම් එය මාර්ග තදබදය අඩුවීම කෙරෙහි බලපානු ඇත.

වරාය තදබදය

කොළඹ ට්‍රැෆික් වලට තවත් හේතුවක් වූ වරාය

වරායේ බහාලුම් ගෙන ඒම සහ වරායට බහාලුම් ගෙනයෑමට ඇත්තේ උතුරු කොළඹ ප්‍රදේශයෙනි. මෙම කන්ටේනර් විශාල සංඛ්‍යාවක් එකවර වරායට ඇතුල්වීම සහ පිටවීම හේතුවෙන් විශාල මාර්ග තදබදයක් ඇතැම් විට උතුරු කොළඹ ප්‍රදේශය පුරා පැතිරේ. දැනට මට්ටක්කුලිය දෙසින් වත්තල දෙසට යොමුවන මාර්ගය සංවර්ධනය කරමින් පවතී. ඉදිරියේදී  හෝ අධිවේගී මාර්ග ජාලයට කෙලින්ම වරාය සම්බන්ධ කරගත හැකි නව මාර්ග ඇතිවේ නම් සාමාන්‍ය ජනතාවට අපහසුවකින් තොරව ගමනාගමනයේ යෙදීමට ඉඩකඩ හිමිවෙනවා ඇත.

වරායෙන් එපිටට බහාලුම් දුම්රිය මගින් ගෙන ආ හැකිනම් එය වාහන තදබදයට එක් විසදුමක් වනු ඇත. එහෙත් දශක කීපයක සිට අපේ දුම්රිය මාර්ග වල බහාලුම් ප්‍රවාහනය සිදු වන්නේ ඉතාම කළාතුරකිනි.

ට්‍රැෆික් අඩුකිරීමට දුම්රිය

කැළණිවැලි මාර්ගයේ නුගේගොඩ දුම්රිය ස්ථානය

දුම්රිය යනු ගොඩබිම තුල වඩාත්ම පරිසර හිතකාමී ප්‍රවාහන මාදිලිය වේ. දැනට කැළණිවැලි මාර්ගයේ පැයකට ධාවනය කල හැකි උපරිම දුම්රිය සංඛ්‍යාව 4කි. ඉතා පැරණි සංඥා ක්‍රමයක් සහිත වක්‍ර සහිත දුර්වල ට්‍රැක් එකක් වන කැළණිවැලි දුම්රිය මාර්ගය මරදාන , බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ, මහරගම, කොට්ටාව ආදී නගර රැසක් යාකරන වැදගත් වූ මාර්ගයකි. විනාඩි 10කට වරක්වත් දුම්රියක් යැවිය හැකි ලෙස සංඥා පද්ධති නවීකරණය වන්නේ නම් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගණන වැඩිකොට හයිලෙවල් මාර්ගය හරහා කොළඹ එන ජනතාව දුම්රියෙන් කොළඹට ගෙන ආ හැකිය.

1800 ගනන් වලදී ඇමරිකාවේ දුම්රිය ගමනාගමනය ආරම්භවීමත් සමගම දුම්රිය යනු එවකට පැවති මිල අධිකම ගමන් මාධ්‍යයක් විය. එම නිසා දුම්රිය මග දෙපස දුම්රිය ස්ථාන අාසන්නයේ පදිංචි වූ ජනයා වඩාත් පොහොසත් වත්කම් සහිත ඇතිහැකි ජනතාවක් වූයේය.

ලංකාවේ දැනට වනවාසල, කැළනිය වැනි ප්‍රධාන මාර්ගයේ දුම්රිය පිවිසුම් වල බොහෝ විට දිවි ගෙවන්නේ පහල මධ්‍යම පාන්තික නවාතැන් කරුවෝ වෙති. වායුසමනය කරන ලද දුම්රිය මැදිරිවල වැඩි අපහසුවකින් තොරව ගමනාගමනයේ යෙදිය හැකි මට්ටමට දුම්රිය සේවය දියුනු වන්නේ නම් සැප දුම්රිය ගාස්තු කිහිප ගුණයකින් වැඩි වුවද පිරිස දුම්රිය සේවය කරා ඇදී එනු ඇත.

ප්‍රායෝගික සැලසුම්

කොළඹ නගරය සංවර්ධනය තදබද අඩු කිරීම යනු දේශපාලකයින්ගේ ප්‍රියතම වාක්‍ය පේලි කිහිපයකි. ඔවුන් සෑම විටම උත්සාහ කරන්නේ පරිපාලනමය, ව්‍යුහාත්මක වෙනස්කම් වෙනුවට  සුවිසල් ඉදිකිරීම් සහ මාර්ග පද්ධති වෙනුවෙන් විශාල මුදල් වියදම් වන ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීමටය. වර්ථමාන දුම්රිය පද්ධතියෙන් මීට වඩා ගුණාත්මක වේගවත් සේවාවක් සැපයීමට, උමං මාර්ග තැනිමට තරම් විශාල මුදලක් වැය වන්නේ නැත.

ඝර්ම කලාපීය රටක් වන අපේ රටේ බස් වලින් ඈත් වී ජනතාව පුද්ගලික වාහන කරා එළඹීමේ තවත් එක හේතු නම් අධික තෙහෙට්ටුව සහ උෂ්ණත්වය වේ. නව වායුසමන බස් රථ පද්ධතියකට පුද්ගලික අංශයට හෝ බලපත් ලබා දෙන්නේ නම් ඔවුන් කොළඹ නගරයේ ජනප්‍රිය බස් මාර්ග සදහා වායුසමන බස් රිය කරළියට ගෙන එනු ඇත.

ප්‍රශ්ණය වාහන තදබදය නම් එහි වැරදිකරුවන් වන්නේ  සිය සේවාදායකයා ඉක්මනින්ම තැනකට ගෙනගොස් දමන්නට වෙරදරන ත්‍රී රෝද රථ රියදුරු මහතා හෝ බස්රිය සේවක මහත්වරුන් පමණක්ම නොවේ. තදබදය ඇතිවීම සහ එයට හේතුන් සහ තදබදය ඉවත්කල හැකි නිර්මාණශිලි ප්‍රවේශයනුත් බොහෝ ගණනක් තිබේ. සැලසුම් සහගතව අධ්‍යනය කර නිසි ක්‍රියාමර්ග ඉක්මනින්ම ගන්නේ නම් වසර කිහිපයක් තුල කොළඹ මාර්ග තදබදය අඩුකිරීම සැබැවින්ම මේ ආත්මයේදීම අපිට සැබෑකරගත හැකි සිහිනයක් වනු ඇත.

කවරයේ පින්තුරය: (static.panoramio.com)

අයිතිය දක්වා නැති සියලු පින්තුර කතෘ සතුය.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්