Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මවිත කළ විශාලම මගී ගුවන් යානය – A380

දැනට ලෝකයේ නිපදවා ඇති විශාලම මගී ගුවන් යානය වන්නේ එයාර් බස් A 380 ගුවන් යානයයි. මෙහි විශාලත්වය නිසා සමහරක් ගුවන් තොටුපළවල් පවා විශාල කිරිමට සිදු වී තිබේ. මෙය සුවිශේෂී ගුවන් යානයක් ලෙස සැළකෙන්නේ එය දිගුදුර, අධිවේගී මගී ගුවන් යානයක් වීම, එකවර මගින් 853 කට ගමන් කළ හැකි වීම, සම්පූර්ණ දිග පුරා විහිදුණු තට්ටු 2ක් හා ප්‍රබල නමුත් කාර්යක්ෂම එන්ජින් 4කින් සමන්විත වීම ආදී කරුණු නිසාවෙනි.

මෙය නිෂ්පාදනය කිරීමේ ගෞරවය හිමි වන්නේ යුරෝපයේ එයාර් බස් සමාගමටයි. ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ A380 යානය ගැනත්, එය වෙළඳපොළ කරා ගෙන එ්මේදී ජය ගන්නට සිදු වූ අභියෝග ගැනත් මෙම ලිපියෙන් විස්තර කෙරේ.

නිපදවීමට මූලික වූ පසුබිම

බෝයිං 747 යානය ලොව පුරා ගුවන් සේවාවල ප්‍රධානතම තේරීම බවට පත් වීමෙන් පසු 1988 වන විටත් ඇමෙරිකානු බෝයිං සමාගමට වෙළඳපොළ තුළ ආධිපත්‍යයක් හිමිව තිබුණි. නමුත් එයාර් බස් සමාගමේ ඉංජිනේරුවරයෙකු වූ ජේන් රොජර් ට මෙය බිඳ දැමීමට අවශ්‍යතාව අවබෝධ විය. ඒ හේතුවෙන් ඔහු 747 යානයට වඩා වැඩි ධාරිතාවෙන් යුත් ගුවන් යානයක් නිපදවීමට කාටත් නොකියාම සැළසුම් සකස් කළේය.  කණ්ඩායම් 4 කින් යුත් එයාර් බස් සමාගම ඒ වන විට පැවති තනි තට්ටුවේ හෝ ඉදිරි කොටසේ පමණක් තට්ටු දෙකක් තිබූ ගුවන් යානා වෙනුවට සම්පූර්ණ දිග පුරාවට විහිදුණු තට්ටු 2 කින් යුත් යානාවක් නිපදවීම තම අරමුණ කර ගත්හ.

සැකැස්ම

තට්ටු දෙකේ ආසන පිහිටි ආකාරය (airlines-inform.com)

A380 යානයක අාසන සැකැස්ම ප්‍රධාන ක්‍රම 2කට සිදු කෙරේ. එ් සේවා පන්ති (classes) 3ක් යටතේ මගීන් 555ක් හෝ එකම සේවා පන්තිය යටතේ මගීන් 853 ක් (538ක් පහළ තට්ටුවේ හා 315ක් ඉහළ තට්ටුවේ) ලෙසිනි. A380F නමින් හැඳින්වෙන භාණ්‌ඩ ප්‍රවාහනය වෙනුවෙන් නිපදවන මාදිලියේ ටොන් 150 ක් පමණ භාණ්‌ඩ රැගෙන ය හැකිය.

ඉන්ධන කාර්යක්ෂමතාවය උපරිම වන ලෙස නිපදවා ඇති මෙහි දක්නට ලැබෙන තවත් වාසිදායක තත්වයක් වන්නේ ගුවන් යානයෙන් පිට වන ශබ්දය අනෙකුත් විශාල යානාවලට වඩා 50 %කින් පමණ අඩු වීමයි.

අමුද්‍රව්‍ය හා කොටස්

යානයේ තටු ප්‍රවාහනය කරමින් (maritimejournal.com)

මෙය නිෂ්පාදනයට යොදා ගත් අමුද්‍රව්‍ය හා නිෂ්පාදිත කොටස් ලබා ගැනීමට ලෝකය පුරාම විසිරී සිටි සැපයුම්කරුවන් දායක වී තිබේ. අවශ්‍ය කොටස්වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රධාන සැපයුම්කරුවන් 4 දෙනෙක්ගෙන් ලබා ගෙන ඇති අතර, අැතැම් කොටස් එකලස් මධ්‍යස්ථාන වෙත ගෙන්වා ගැනීම ඉතා අපහසු වන අතර, සමහර කොටස් බෙලුගා වැනි එ් වෙනුවෙන්ම නිෂ්පාදිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මගින්ද ගෙන්වා ගැනීමට සිදු වේ.

මෙහි බඳ කොටස ගුවන් යානා ප්‍රමිතියේ ඇලුමිනියම් මගින් නිපදවා ඇත. මෙම බඳ කොටස නිපදවීමට ලෝකයේ දැනට ඇති නවීනතම ලේසර් වෑල්ඩින් ක්‍රම භාවිතා කර ඇති බව වාර්තා වන අතර, මේ හේතුවෙන් අැණවලින් සවි කළ කොටස් ප්‍රමාණය අඩු වී යානයේ බර අඩු කර ගැනීමටත් ශක්තිමත් බව  වැඩි කර ගැනීමටත් හැකියාව ලැබී ඇත.

මෙහි දොරවල් හා තටු සදහා යොදා ගෙන ඇත්තේ Carbon-fibre, Glass-fibre සහ Quartz-fibre වැනි කෘත්‍රීම කෙඳිවර්ගවලින් සවිගන්වන ලද මිශ්‍ර ප්ලාස්ටික් වර්ගයි. නමුත් පසුකාලීනව කාබන් ෆයිබර් මිශ්‍ර ප්ලාස්ටික් සම්බන්ධයෙන් යම් යම් ගැටළු මතු වූ අතර ඒ හේතුවෙන් ඇලුමිනියම් යොදා ගන්නා ලද අතර, එම නිසා A380 යානයේ බර කිලෝ 90 කින් පමණ වැඩි විය.

යානයේ හැඩරුව 2001 වසරේ මුල් භාගයේ අවසන් කරන ලද අතර පළමුවැනි ගුවන් යානා තට්ටුව නිපදවීම 2002 ජනවාරි මස 23 ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝ බිලියන 11 ක මුදලක් අායෝජනය කර තිබුණි.

ගුවන් යානයේ තටු උතුරු වෙල්සයේ නිපදවන අතර, ඉදිරිපස හා පසුපස ජර්මනියේ සිට එක්සත් රාජධානිය දක්වා ද, අවශ්‍ය සමහර කොටස් නැව් මගින් ලන්ඩනය දක්වා ද, අවසානයේ තීන්ත ගැල්වීමට ජර්මනිය දක්වා ද නැව් මගින් ප්‍රවාහනය කරන්නට සිදු වී ඇත.

ගුවන් යෝග්‍යතා පරීක්ෂණ

A 380 ගුවන් යානය මගී ප්‍රවාහන සේවා වෙත යොමු කිරීමට පෙර පරීක්ෂණ වාර 5කට භාජනය කරන ලද අතර, 2005 ජනවරි 18 දා උදෑසන 10.29ට පළමුවැනි යානය Toulouse Blagnac අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ගුවන් ගත කරන ලදී. මේ සඳහා ප්‍රධාන ගුවන් නියමු Jacques Rosay ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් සහභාගී වූ අතර මේ පරීක්ෂණ ගමන් වාරය පැය 3 සහ විනාඩි 54 කාලයක් පුරා සිදු විය. 2006 වසරේදී මගීන් ද සහිතව පැය 150ක පරීක්ෂණ ගමන් වාරයක් සිදු කරන ලදී.

A 380 යානයේ ඇති සුවිශේෂතා

අහසේදී භාවිත කළ හැකි බීම හල (aviationcv. com)

මෙම යානය කිරුළු දරා ඇත්තේ ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය ලෙස වුවත් මෙම යානයේ නිෂ්පාදක කණ්ඩායම මගීන්ගේ සුවපහසුව ගැනත් අමතක කර නැත. අනිකුත් යානාවලින් වෙනස් වීමට නව අංග කිහිපයක්ම මීට ඇතුළත් කර තිබේ.

තට්ටු දෙකකින් සමන්විත මෙම යානයේ අැති පුළුල් පඩිපෙළ මගින් තට්ටු දෙක සම්බන්ධ කොට තිබේ. එමෙන්ම මෙම පඩිපෙළේ ඉතාමත් පහසුවෙන් පුද්ගලයන් දෙදෙනෙක්ට එකවර ගමන් කිරීමට හැකියි.

අැතැම් ගුවන් සේවා මෙම යානය තුළ බීම හල් හා රූපලාවණ්‍යාගාර ද සකස් කර තිබෙනු දක්නට ඇත. මෙම යානයේ මගීන් සඳහා විවේක කුටියක් දක්නට ලැබෙන අතර එය මගීන්ගේ මහන්සිය අඩු කර ගැනීම සඳහා විශේෂයෙන් නිපදවා තිබේ. එහි විශේෂත්වය වන්නේ එම කුටියට එන්ජින්වල ශබ්දය ඉතා අඩුවෙන් ඇසෙන පරිදි නිපදවා තිබීමයි.

A380 යානය විශාල ජනෙල් වලින් යුක්ත වන අතරම ඉහළට වන්නට ගමන් මලු තැබීමට ප්‍රමාණයෙන් විශාල බහාලුම් සකස් කර ඇත. අාලෝක තත්ත්වය අඳුරු, අාලෝකමත් හෝ අතරමැදි ලෙස මගීන්ට කැමති ආකාරයට සකස් කළ හැකි LED බල්බ මගින් මගී කුටිය ආලෝක කර ඇත. එමෙන්ම මගින් 853 දෙනෙකුට සාමාන්‍ය පන්තියේ එකවිට ගමන් කිරීමට හැකියාව පවතී.

වාණිජ ගුවන් සේවාවන්වල අාරම්භය

සිංගප්පුරු ගුවන් සමාගමේ A380 ගුවන් යානය ගුවන් ගත වීමට සුදානම් ව සිටින අයුරු (commons.wikimedia.org)

මුල්ම වාණිජ A380 ගුවන් යානය වූයේ 2007 වසරේ ඔක්තෝබර් 25 දින සිංගප්පූරුවේ සිට සිඩ්නි දක්වා ගුවන් ගමන් වාරයට එක් වූ සිංගප්පූරු ගුවන් සේවාවට අයත් SQ380 ගුවන් යානයයි. ඉන් අනතුරුව තවත් ගුවන් සේවා කිහිපයක්ම මෙම A380 යානා තමන්ගේ ගුවන් යානාවල සේවයට එක් කර ගත්හ.

නවීකරණය වූ මාදිලි

A380 ගුවන් යානය 2010 වර්ෂයේදී A380-800 ලෙස නව මුහුණුවරකින් යුක්තව ඉදිරිපත් කරන ලද අතරඑහි රැගෙන යා හැකි බර තවත් වැඩි කළ බව එයාර් බස් සමාගම සඳහන් කළේය. මෙම නව්‍යකරණය වූ ගුවන් යානා මුල් වතාවට සිය ගුවන් සේවාවගට එක් කර ගත්තේ බ්‍රිතාන්‍ය හා එමිරේට් ගුවන් සමාගම් මගිනි. පසුව ඉදිරිපත් කරන ලද A380-900 මාදිලියේ සේවා පන්ති තුනක් යටතේ ගමන් කළ හැකි මගීන් ප්‍රමාණය 650 දක්වාත්, සාමාන්‍ය පන්තිය පමණක් අැති සැකැස්ම යටතේ මගීන් ප්‍රමාණය 900ක් දක්වාත් ඉහළ නංවා අැත.

A380F ලෙස නම් කර ඇති මෙහි භාණ්ඩ ප්‍රවාහන මාදිලියට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගෙන යා හැකි එකම ගුවන් යානය අැන්ටනොව් 225 යානය වන අතර, එහි නිෂ්පාදනය කර අැත්තේ එකම එක යානයක් පමණක් බැවින් ප්‍රායෝගිකව වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ගෙන යා හැකි ගුවන් යානා මාදිලිය ලෙස A380 යානා අදටත් කිරුළු දරා සිටී.

ඉල්ලුම

2014 වර්ෂයේ පෙබරවාරි වන විට මෙම යානය සදහා ඇණවුම් 324ක ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් 140 ක්ම එමිරේට් ගුවන් සමාගම විසින් කරන ලද ඇණවුම් වේ. ඒ අනුව එමිරේට්ස් ගුවන් සමාගම විශාලම පාරිභෝගිකයා බවට පත්ව ඇත. අදටත් ඉහළම පහසුකම් සහිතව, වැඩිම A380 යානා ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ එමිරේට්ස් සමාගම මගිනි.

ලොව පුරා ගුවන් සේවයේ යෙදෙන A380 යානා

ලෝකය පුරා ගුවන් සේවා සමාගම් 10ක් යටතේ A380 ගුවන් යානා 123ක් වර්තමානය වන විටත් සේවයට එක් වී. ඒ අනුව,

  • එමිරේට්ස් – 44
  • සිංගප්පූරු ගුවන් සේවය – 19
  • ක්වන්ටාස් – 12
  • ලුෆ්තාන්සා – 10
  • එයාර් ෆ්‍රාන්ස් – 9
  • කොරියන් එයාර් – 8
  • මැලේසියා ගුවන් සේවය – 12
  • තායි ගුවන් සේවය – 6
  • චීන ගුවන් සේවය -5
  • බ්‍රිතාන්‍ය ගුවන් සේවය – 4

ලොව මවිතයට මවිත කරමින් එයාර් බස් සමාගම කරන ලද මෙම නිර්මාණය සම්බන්ධයෙන් ඔබත් යම් දැනුමක් ලබා ගන්නට ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

කවරයේ පින්තුරය: wired.com

මුලාශ්‍ර:

  1. wikimedia.org
  2. singaporeair.com
  3. bloomberg.com
  4. blogspot.com

Related Articles