Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් යානා නිෂ්පාදනයේ ප්‍රමුඛයා – එයාර් බස්

එයාර් බස් (Airbus) ගුවන් යානා ශ්‍රී ලංකාවට ඉතා විශේෂයි. ඊට ප්‍රධානම හේතුව වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව මෙන්ම මිහින් ලංකා ගුවන් සේවාව විසින්ද භාවිතා කරනු ලබන්නේ එයාර් බස් ගුවන් සමාගමට අයත් ගුවන් යානා වීමයි. අතීතයේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව විසින් බෝයිං ගුවන් සමාගමට අයත් ගුවන් යානා භාවිතා කළත්, වර්තමානය වන විට පවතින සියළුම යානා අයත් වන්නේ එයාර් බස් සමාගමටයි.

ඉතින් අද අපි ගෙන එන්නට සැරසෙන්නේ ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන ආයතනයක් වන එයාර් බස් (Airbus) සමාගම පිළිබඳව විස්තරයක්. සමාගම ආරම්භ වුනු ආකාරය, ක්‍රමික විකාශනය, නිෂ්පාදනය කරන ගුවන් යානා, හා එයාර් බස් හි වත්මන් තත්වය පිළිබඳවයි මෙහි අන්තර්ගතය වන්නේ.

ප්‍රංශ, ජර්මන්, හා එංගලන්ත රජයන් ත්‍රිත්වය එක්ව ආරම්භ කළ එයාර් බස් සමාගම

Airbus A330-300 (Aircrafts online museum Barrie Aircraft Museum)

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් වන බෝයින්ග් (Boeing), මැක් ඩොනල් ඩග්ලස් (McDonnell Douglas), හා ලොක් හීඩ් (Lock heed) යන සමාගම් නිෂ්පාදනය අතින් ඉතා ඉහළ මට්ටමක සිටි කාල වකවානුවක තමයි එයාර් බස් සමාගම ආරම්භ වෙන්නේ. එයාර් බස් සමාගම ප්‍රංශය, ජර්මනිය, හා එංගලන්තය යන රජයන් ත්‍රිත්වය සමඟ එක්ව ආරම්භ වෙන්නේ 1970 වසරේ දෙසැම්බර් මාසයේ 18 වනදායි. ඒ යුරෝපියානු ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් කිහිපයක් කොටස් හවුලේ තබා ගනිමින්.

රටවල් කිහිපයක දායකත්වයෙන් නිර්මාණය වූ ප්‍රථම ගුවන් යානය – A 300

Airbus A 320 (airplane  Airplanes Gallery)

එයාර්බස් සමාගමේ ප්‍රථම ගුවන් යානය වන්නේ A 300 යානයයි. ප්‍රථම අදියර යටතේ නිපදවනු ලැබූ ප්‍රථම ගුවන් යානය ආසන 320ක් හා එන්ජින් දෙකකින් සමන්විත වෙනවා. නියමු කුටිය, පාලන උපාංග හා යානයේ බදෙහි පහළ තට්ටුව ප්‍රංශයේ නිෂ්පාදනය වූ අතර යානයේ තටු බ්‍රිතාන්‍යයේ Hawker Siddeley  සමාගම විසින්ද, බඳ කොටසෙහි ඉතිරිය ජර්මනියේ ද නිෂ්පාදනය වූ අතර නෙදර්ලන්තය හා ස්පාඤ්ඤය ද නිෂ්පාදන කටයුතු වලට දායකත්වය ලබා දී තිබෙනවා. මෙහි එන්ජිම නිෂ්පාදනය කරනු ලබන්නේ සුප්‍රසිද්ධ රෝල්ස් රෝයි සමාගම විසිනුයි.

මෙලෙස නිෂ්පාදනය වන ප්‍රථම ගුවන් යානය 1972 වසරේ වෙළදපොලට හදුන්වා දෙන නමුත් මෙම යානය එළි දක්වන අවධියේම අධිවේගී concorde යානයද හදුන්වා දීම නිසා A 300 යානය එතරම් ප්‍රසිද්ධියට පත් වෙන්නේ නෑ. මෙම යානය මුලින්ම මිලදී ගනු ලබන්නේ ඇමරිකානු ගුවන් සමාගමක් වන Eastern සමාගමයි. මේ ආකාරයට වර්ෂ 1979 වන විට යානය සඳහා ඇනවුම් වැඩි වන්නට පටන් ගන්නවා. ඒ සමඟම එයාර් බස් සමාගම විසින් නව ගුවන් යානා ලෙස A 310 හා A 320 නිපදවීම 1981 වසරේදී ආරම්භ කරනවා.

ක්‍රමික විකාශනය

Lufthansa Airbus A340-600 (YouTube)

A 320 යානයත් සමඟම ඔවුන්ටම ආවේණික Fly-by-wire නම් විශේෂ තාක්ෂණය ලොවට හඳුන්වා දීම හේතුවෙන් ලෝකය පුරා අවධානයට ලක්වෙනවා. ඊළඟ පියවර ලෙස එන්ජින් හතරක් සහිතව නිෂ්පාදනය කළ A 340 යානාවද සාර්ථකව අලෙවි වෙනවා. මේ සමඟම එයාර් බස් සමාගම ගුවන් යානා නිපදවීමේ කර්මාන්තය තුළ යම් ස්ථාවර බවක් රදවා ගැනීමට සමත් වෙනවා.

A 340 යානා මාලාවේ A 340-600 යානයේ දිග මීටර් 75.3ක් වන අතර එය දැනට ලෝකයේ නිපදවා ඇති දිගම මගී ගුවන් යානයයි. 1990 වසරේදී යුධ කටයුතු සඳහා ගුවන් යානා නිපදවීමට සැලසුම් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගුවනේදී තවත් ගුවන් යානයකට ඉන්ධන ලබා දිය හැකි A 310 MRTT හා A 330 MRTT යානා 2003 වසරේදී හා 2005 වසරේදී නිෂ්පාදනය කරනවා.

1994 වසරේදී එවකට ලෝකයේ තිබූ විශාලතම මගී ගුවන් යානය වන බෝයිං (Boeing) 747 යානයට අභියෝගයක් ලෙස ලෝකයේ විශාලම මගී ගුවන් යානය නිපදවීම සඳහා සැලසුම් සකස් කරනවා. සැලසුමට අනුව 2002 වසරේදී එයාර් බස් A 380 යානයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2005 වසරේදී ලෝකයේ මෙතෙක් බිහි වූ විශාලම මගී ගුවන් යානය වන A 380 යානය ප්‍රථම වරට ගුවන් ගත වීම සිදු වෙනවා.

එක් එක් රටවලදී විවිධ කොටස් නිර්මාණය කළත්, ඒවා ඒ ඒ රටවලදීම එකලස් කරන්නේ නැහැ. එයාර් බස් සමාගම සතුව A 300-600ST Beluga නම් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ඇති අතර එමගින් එක් එක් රටවලදී නිපදවනු ලැබූ කොටස් එක් ස්ථානයකට ගෙන යාම සඳහා මෙම යානා භාවිතා කරනු ලබනවා. එයාර්බස් සමාගම 500000ක් පමණ සේවක පිරිසක් යොදාගෙන වර්තමානය වන විට ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය හා එංගලන්තය වැනි රටවලදී නිෂ්පදාන කටයුතු කරන අතර එකලස් කිරීම සිදු වන්නේ ප්‍රංශයේ හා ජර්මනියෙදී පමණයි. මීට අමතරව 2009 වසරේ සිට ඇමරිකාව, ඉන්දියාව හා චීනය යන රටවල වලද එයාර් බස් සමාගමේ මූලස්ථාන පිහිටුවා තිබෙනවා.

වර්තමානය වන විට ලොව ප්‍රබල රටවල් වල සිය මූලස්ථාන පවත්වාගෙන යන එයාර්බස් සමාගම ලොව පුරා ජනප්‍රිය වන්නට එක හේතුවක් ලෙස ඔවුන්ගේ යානාවල අනතුරු අනුපාතය ඉතා පහළ අගයක් ගැනීම ලෙස ලියා දැක්විය හැකියි.

එයාර් බස් හා බෝයිං

Airbus හා Boeing ගුවන් යානා අතර තරඟය (Leeham News)

එයාර්බස් හා බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙක අතර නිතරම තරඟයක් පවතිනවා. සමාගම් දෙකම එකම කාලයේදී එකම වර්ගයේ ගුවන් යානා නිපදවනු ලබන්නේ අධික තරඟකාරීත්වය හේතුවෙන්. Boing 747 දීර්ඝ කාලයක් පුරාවට ලෝකයේ විශාලම මගී ගුවන් යානය ලෙස පැවති අතර එය අභිබවා යමින් එයාර්බස් සමාගම විසින් A 380 ගුවන් යානය නිපදවනවා. තවද එයාර් බස් සමාගමේ නවතම යානයක් වන A 350 බෝයිං සමාගමේ නවතම යානය වන Boeing 787 Dreamliner යානා අතරද පවතින්නේ තරඟයක්. මෙම දෙකම ගුණාංග අතරින් බොහෝ දුරට සමානයි.

ගුවන් යානා

A 380 යානය (Aircraft Info)

එයාර් බස් සමාගම විසින් නිපදවනු ලැබූ ගුවන් යානා අතරින් A 320 පවුලට අයත් ගුවන් යානා මාදිලි 4ක් තිබෙනවා. ඒ A 318, A 319, A 320 හා A 321 ලෙසයි. මෙම යානාවන් වල විශේෂත්වය වන්නේ අවම ඉන්ධන වැය වීම, නොනවතින නවීකරණය, ශබ්ධය අවම වීම, හා fly-by-wire තාක්ෂණයයි. තවද මේවායේ නඩත්තු කිරීම, නියමු කුටිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් හා පාලන ක්‍රමවේදයන් එකිනෙකට  සමානයි. මේ වන විට A 320 පවුලේ ගුවන් යානා 7000කට වඩා විකිණී ඇති අතර 4500කට ඉහළ ප්‍රමාණයක් වත්මන් පියාසර කටයුතු වලට දායක වෙනවා.

පළල් බඳක් සහිත A 330 යානාව වැඩිම ඉල්ලුම පවතින එයාර් බස් යානාවයි. තවත් නිෂ්පාදනයක් වන A 340 ගුවන් යානා මේ වන විට 400ක් පමණ විකිණී අවසන්. ඉතා ඉහළ ඉල්ලුමක් පවතින ගුවන් මාර්ග වල ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් සඳහා මෙම ගුවන් යානාව යොදා ගන්නේ එහි ඇති සුරක්ෂිතතාව හා පහසුකම් ප්‍රමාණයේ ඉහළ බව හේතුවෙන්.

පවතින නව පරිසර හිතකාමී නීති රීතීන්ට අනුව මගීන්ගේ දැඩි ආකර්ශණයට ලක්වෙන ලෙස නිර්මාණය කර ඇති A 380 යානය එයාර්බස් ගුවන් සමාගම විසින් නිර්මාණය කරන ලද 21 වන සියවසේ විශේෂතම නිර්මාණය ලෙස හදුන්වා දිය හැකියි.

කවරයේ ජායාරූපය –  Airbus A380 යානය (Air Charter Service)

Related Articles