Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චමත්කාරජනක වමත්කරුවන්

සුරත යනුවෙන් සිංහල සාහිත්‍යයේ බොහෝ තැන්වල හඳුන්වන්නේ දකුණු අතයි. එහි අර්ථය ‘හුරු’ අත යන්නයි. ලෝකයේ ඉපදෙන බහුතරයක් මිනිසුන්ට ඒ කාරණාව සත්‍ය වුණත් සුළුතරයක් පිරිස උපදින්නේ උපතින්ම සිය ‘හුරු’ අත වම් අත බවට පත් කරගෙනයි. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල සමහර පිරිස් මේ දරුවන් වාසනාවක් හැටියට සළකන විට තවත් සමහරුන් වමත හුරු වීම නොහොබිනා කමකැයි සිතා ඔවුනට දකුණත හුරු කරවන්නට යනවා. විශේෂයෙන් ලෝකයේ භාණ්ඩ බොහොමයක් දකුණත් කරුවන් වෙනුවෙන් සාදා ඇති නිසා ඒවා පාවිච්චි කිරීමේ අපහසුව මගහරවා ගන්නට එසේ කරනවා වන්නටත් පුළුවන්.

ඇත්තෙන්ම ලෝකයේ තොරතුරු විමසා බලන විට වමත් කරුවන් යනු සුවිශේෂී මිනිසුන් කොට්ඨාසයක් බව ඒත්තු ගැන්වෙනවා. ලෝකයේ බහුතරයක් මිනිසුන්ට දකුණත හුරු වන විට සුළුතරයකට, එනම් 10-15% කට පමණක් වමත හුරු වන්නේ ඇයි? එසේ වීමට ඔවුන් තුළ උපතින් ඇති වී තිබෙන වෙනස්කම් හා උපතින් පසු ප්‍රකට කරන වෙනස්කම් මොනවාද යන්න අපි විමසා බලමු.

කවුද මේ වමත්කරුවන්?

ලෝකයේ බොහෝ දෙනා සිතන පරිදි වමත් හෝ දකුණත්කාර බව මැනෙන්නේ ලිවීම කරන අත අනුවයි. නමුත් ඇත්තෙන්ම කෙනෙක් වමත් හෝ දකුණත් කරුවෙක් වශයෙන් කාණ්ඩගත වන්නේ තමා යෙදෙන ක්‍රියාකාරකම්වලදී බහුතරයක් අවස්ථාවල සියුම් හා වැඩි පාලනයක් සහිත ක්‍රියාකාරකම් කරන අත අනුවයි. උදාහරණයක් හැටියට ලෝකයේ බොහෝ වමත් ක්‍රිකට් පිතිකරුවන් සිටියත් ඔවුන් වැඩි දෙනා ලියන්නේ හා සියුම් කටයුතු කරන්නේ දකුණු අතින්. කෙනෙක් දකුණත්ද වමත්ද යන්න හරියටම තෝරාගැනීමට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියුම් ලෙස පරීක්ෂා කළ යුතු අතර, සාමාන්‍යයෙන් ලිවීම, ආහාර අනුභවය හා යමක් විසි කිරීම යන ප්‍රධාන ක්‍රියාකරකම් 3 ට අනුකූලව බොහෝ විට නිවැරදිව කාණ්ඩ ගත කිරීම කළ හැකියි.

සමාජයේ සමහර විට කුඩා කාලයේ බලහත්කාරයෙන් දකුණතින් ලිවීමට හුරු කළ වමත්කරුවන්ද සිටිය හැකියි. කලාතුරකින් අත් දෙකම සුහුරු අය හා අත් දෙකම නුහුරු අයත් සමාජයේ හමු වෙනවා. පිරිමින් අතර ගැහැණුන්ට වඩා වැඩි වමත්කරුවන් ප්‍රතිශතයක් සිටින අතර සම නිවුන්නු වමත්කරුවන් වීමේ ප්‍රතිශතයද ඉහලයි.

සමහරුන්ට අත් දෙකම හුරුයි (dailyroabox.com)

වමත්කරුවන් බිහිවන්නේ ඇයි?

විද්‍යාඥයින්ට අනුව උපදින දරුවෙක් වමත් හෝ දකුණත් වීමට ජීව විද්‍යාත්මක හෙවත් විශේෂයෙන් ජානමය කරුණු බලපානවා. මිනිසා අතර බහුතර දකුණත් ප්‍රජාවක් සිටීම හා සුළුතර වමත් ප්‍රජාවක් සිටීම පිළිබඳව නිශ්චිතම හේතුවක් තවමත් පිළි ගෙන නැතත් පරීක්ෂණ අාශ්‍රයෙන් දැනට ඇති පිළිගත හැකි මතය ලෙස ජානමය මතයක් ඉදිරිපත් වී තිබෙනවා.  එයට අනුව යම් ජානයක ඇලීල දෙකක් මඟින් මේ සුහුරු භාවය වෙනස් වන බවයි කියවෙන්නේ.

D හා C යනුවෙන් හැඳින්වෙන මේ ඇලීල දෙක අනුව D පවතින විට ජීවියා දකුණත් කරුවෙක් වන අතර C ඇලීලය පමණක් පිහිටි විට වමත් කරුවෙක් වීමේ 50%  ක සම්භාවිතාවයක් තිබෙනවා. එනම් D හා D ඇලීල යුගල ඇති විට ඉතාම තද දකුණත් කරුවන්ද, D හා C ඇති විට සාමාන්‍ය දකුණත් කරුවන්ද, C හා C ඇති විට 50% වමත් කරුවන්ද ඇති වෙනවා. පාරිසරික හා සමාජීය බලපෑම මත සමහරු සිය සුහුරු භාවය ආයාසයෙන් වෙනස් කරගන්නා නිසා මේ සම්භාවිතාව තවත් අඩු විය හැකියි. දකුණත් මාපිය යුවලකට වමත් දරුවන් බිහි වීමත් මේ මඟින් පහදන්නට පිළිවන්.

Oksana Kuzmina/ shutterstock.com

මනසේ වෙනස්කම්

මිනිස් මොළය තරමක් සමාන කොටස් දෙකකට බෙදී ඇතත් ඇත්තෙන්ම ඒ ඒ කොටස් විභේදනය වීම අනුව සර්ව සම වෙන්නේ නැහැ. සිරුරේ වම් පස මොළයේ දකුණු අර්ධගෝලයෙනුත්, දකුණු පස වම් අර්ධගෝලයෙනුත් පාලනය වෙනවා යන කියමන සත්‍ය වන්නේ යම් පමණකට පමණක් වුණත් විභේදනය වී ඇති ප්‍රදේශවල වෙනස නිසා වම් හා දකුණු අර්ධගෝලවල විශේෂ ප්‍රදේශවලින් විවිධ ක්‍රියාකාරකම් ප්‍රමුඛව පාලනය වෙනවා. කැලෝස දේහය මඟින් අන්තර් අර්ධගෝල පණිවුඩ හුවමාරුවකුත් වෙනවා.

සාමන්‍යයෙන් මොළයේ වම් අර්ධගෝලයෙන් ගණිතමය ඥානයත්, විශ්ලේෂණ හැකියාවත්, තර්කනයත් ප්‍රමුඛව පාලනය වන අතර දකුණු අර්ධගෝලයෙන් අවකාශ භාවිතය, මුහුණු හඳුනා ගැනීම, හැඟීම් පාලනය, කලාත්මක හැකියාව වැනි දෑ පාලනය වෙනවා.සම්පූර්ණයෙන් සත්‍ය නොවුණත් වමත් කරුවෙකුගේ මොළයේ දකුණු අර්ධගෝලය යම් තාක් දුරකට දකුණත් කරුවෙක්ට වඩා විකසනය වී තිබෙනවා. මේ නිසා වමත් කරුවන් අවකාශ භාවිතයට, හැඟීම් දැනවීමට හා භාෂා භාවිතයට දකුණත් කරුවෙක්ට වඩා වැඩි ශක්‍යතාවයක් පෙන්වනවා.

නිස් මනසක දළ කාර්යය විභේදනය (evolveconsciousness.org)

වමත් කරුවෙක්ගේ මොළය පිහිටා ඇති වෙනස් ආකාරය නිසා බුද්ධිමත් භාවය පිළිබඳ මැනීමේ දී ඉහළ බුද්ධිමතුන් හා මානසික හැකියාව ඉතා ඉහළ අය හමු වෙනවා. ලෝ ප්‍රකට විද්‍යාඥයන් වන ඇල්බට් අයින්ස්ටයින්, ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් වැන්නවුන් ද වමත් කරුවන්. වමත් කරුවන් වඩා බුද්ධිමත් වීමට තවත් හේතුවක් ලෙස දකුණත් ලෝකයකට හුරු වීමේදී යම් යම් දේ දකුණත්ව කිරීමට සිදු වීමත්, ඒ නිසා දකුණත් කරුවෙක්ගේ මොළයේ හොඳින් දියුණු වී ඇති ප්‍රදේශ යම් පමණකට හෝ වර්ධනය වීමත් බැහැර කළ නොහැකියි.

වමත් කරුවෙක් වීමේ වාසි හා අවාසි

වමත්කරුවෙක් වීමේ වාසි හා අවාසි කිහිපයක්ම තිබෙනවා. වමත හුරු අයෙක් වීමේ වාසි සැලකුවොත් ඔවුන් සාමාන්‍යයෙන් දකුණත් කරුවෙක්ට වඩා මොළයේ අර්ධගෝල දෙකම පාවිච්චි කරන නිසා වැඩි වේගයකින් සිතනවා. වමත්කරුවෙකුගේ මොළයේ අර්ධගෝල අතර පණිවුඩ සම්ප්‍රේෂණය දකුණත් කරුවෙක්ට වඩා ඉක්මන් නිසා ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මේ නිසා ක්‍රීඩා වලදී වමත් කරුවන් වැඩි දස්කම් දක්වනවා.

මීට අමතරව බොක්සිං වැනි ක්‍රීඩා වලදී ප්‍රතිවාදියාට නුහුරු කෝණවලින් පහර එල්ල කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන වැඩි දස්කම් දැක්වීමටත් වමත් කරුවෙක්ට පුළුවන්.

වමත් ක්‍රීඩකයෙක්ට බොහෝ අයට නුහුරු කෝණවලින් ක්‍රීඩා කළ හැකියි (thepapare.com)

වමත්කරුවන් නිර්මාණශීලීත්වය අතින් දකුණත් කරුවන්ට වඩා ඉදිරියෙන් සිටින්නට හැකි බව පර්යේෂණ මඟින් පෙන්නුම් කර තිබෙනවා, විශේෂයෙන් නිර්මාණශීලීත්වය සඳහා ක්‍රියාත්මක වෙන මොළයේ ප්‍රදේශ වැඩිමනක් පිහිටා ඇත්තේ දකුණු පස වීමත්, වමත් කරුවෙකුගේ මොළයේ දකුණු කොටස හොඳින් වර්ධනය වී තිබීමත් නිසා විවිධ නිර්මාණශීලී අදහස් දකුණත් කරුවෙකුට වඩා වමත් කරුවෙක් ට පැමිණෙනවා.

සමහර විට වමත් කරුවෙක් ට හැඟීම් දැනීම් දැනීම සිදු වන්නේ දකුණත් කරුවෙක්ට වඩා හාත්පසින්ම වෙනත් ආකාරයකට වි‍ය හැකියි. හැඟීම උකහාගන්නා මොළයේ ප්‍රදේශ අතරින් වමත් කරුවෙක්ගේ දකුණු පස හොඳින් වැඩී අතර වමත් කරුවෙක්ට එහි වම් පස හොඳින් වැඩී තිබෙනවා. මේ නිසා දකුණත් කරුවෙක්ට යම් හැඟීමක් ජනනය කිරීමට සිදු කළ යුතු ක්‍රියා පිළිවෙත් වමත් කරුවෙක් වෙනුවෙන් කිසි සේත්ම වලංගු නොවෙන්න පුළුවන්.

වමත්කරුවන් වැඩිපුර මානසික ආබාධ වලට ගොදුරු වෙනවා (empowher.com)

වමත් කරුවෙක් වීමේ අවාසියක් වන්නේ මොළය පිහිටා ඇති ආකාරය අනුව වමත් කරුවෙකුට විවිධ මානසික ආබාධ සෑදීමේ වැඩි සම්භාවිතාවයක් තිබීමයි. මීට අමතරව දකුණත් උපකරණවලට හුරු වීමට ගොස් ලොව පුරා වමත් කරුවන් නිතරම අනතුරට ලක් වෙනවා. මේ නිසා ජීවිත හානි පවා සිදු වෙන්න පුළුවන්. මේ නිසා සමස්ථයක් වශයෙන් ලෝකයේ වමත් කරුවන්ගේ ජීවිත අපේක්ෂාව දකුණත් කරුවෙක්ට වඩා වසර කීපයක් අඩුයි.

ලොව ප්‍රකට වමත්කරුවන්

හිටපු ඇමෙරිකනු ජනපති බැරැක් ඔබාමා ද වමත් කරුවෙක් (AFP Photo/Brendan Smialowsky)

ලොව ප්‍රකට වමත්කරුවන් රාශියක් සිටිනවා: කලාකරුවන්, විද්‍යාඥයින් රැසක්ම වමත් කරුවන්. බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් වැනි රාජ්‍ය නායකයන්, ඇන්ජලීනා ජොලී, ලියනාඩෝ ඩා වින්චි වැනි කලාකරුවෙන් මෙන්ම බිල් ගේට්ස් වැනි ව්‍යාපාරිකයන්ද, ඇල්බට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයින්ද මේ කුලකයට අයත්. මීට අමතරව ශ්‍රී ලංකා නාමය ලොවට ගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩකයින් වන චමින්ද වාස්, රංගන හේරත් හා සනත් ජයසූරියත් වමත් කරුවන්.

අගෝස්තු 13 වෙනිදා ලෝක වමත් කරුවන්ගේ දිනය ලෙස නම් කර තිබෙනවා.

කවරයේ පින්තූරය (independent.co.uk)

Related Articles