විශේෂාංග

විනාඩි 3 ක කියවීමක්

ශිෂ්ඨාචාරයන් සමඟ සැඟව ගිය අභිරහස් තාක්ෂනයන් 5ක්

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

රාවණාගේ දඬුමොණර යන්ත්‍රය ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. නමුත් ඒ දඬුමොණර යන්ත්‍රය ඇත්තෙන්ම පැවතුනාද, එයට කුමක් වූවාද යන්න අදටත් අබිරහසක්. ඒ වගේ ලෝකයේ තවත් බොහෝ ශිෂ්ඨාචාර සතුව විස්මය දනවන තාක්ශණයන් පැවති බවට පෙන්වන සාක්ෂි කිහිපයක් ගැන තමයි මේ ලිපියෙන් විස්තර වෙන්නේ.

ගොබෙකායි ටෙපේ (Gobeklitepe)  – ලොව පලමු සිද්ධස්ථානය  –  තුර්කිය

ගොබෙකායි ටෙපේ සිද්ධස්ථානය. (gobeklitepe.info)

අපි කවුරුත් දන්නා ශෛලමය ස්මාරකයක් තමයි ස්ටෝන් හෙන්ජ් කියන්නේ. පුරා විද්‍යාඥයන් කියන විදිහට ස්ටෝන් හෙන්ජ් වල වයස අවුරුදු 6,000ක් විතර. ඒත් මෑත ඉතිහාසයේදි තුර්කියේ අරෆා නගරය ආසන්නයේ කැණීම් කරන පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තියෙනවා අවුරුදු 11,000කටත් වඩා පැරණි යයි සැලකෙන සිද්ධස්ථානයක්.

ශෛලමය නිර්මාණයක් වන මේ සිද්ධස්ථානය විශාල ගල් ඉතාමත් සියුම් ආකාරයට කපා එකිනෙක මත අතුරලා තමයි හදල තියෙන්නෙ. කාබන් පරික්ෂාවලින් සොයාගෙන තියෙන්නෙ මේ විශිෂ්ඨ නිර්මාණය නිමවලා තියෙන්නෙ ක්‍රි.පූ 9600- 7300 වගේ කාලයක කියලයි. පුදුමයට කරුණ මේ කාලයෙදි මානව ශිෂ්ටාචාරය ආයුධ පරිහරණය කරන තරමට දියුණු තත්වයක තිබුණු නැති එක.

ජර්මානු පුරාවිද්‍යා සංගමය කියන විදිහට මේ නිර්මාණය විවිධ පුදපූජා සදහා භාවිත කරපු සිද්ධස්ථාන සංකීර්ණයක්. මේ සැගවී ගිය ශිෂ්ටාචාරය සතුව කොතරම් දියුණු තාක්ෂණයක් තිබෙන්නට ඇත්ද?

අන්ටිකිතෙරා පුරාවස්තු (Antikythera) – පුරාතන පරිගණකය – ග්‍රීසිය

අන්ටිකිතෙරා පුරාවස්තු වල නෂ්ඨාවශේෂ. (perseus.gr)

ග්‍රීසියේ දුපතක් අසල ගිලී ගිය නැවක තිබී 1901දි සොයාගැනුණු මේ පුරාවස්තුව ලොව ප්‍රථම ඇනලොග් ආකාරයේ පරිගණකය ලෙස පුරා විද්‍යාඥයන් හදුනාගෙන තියෙනවා. ක්‍රි.පූ 250දි පමණ ග්‍රීසියේදි නිපදවුණු මේ නිර්මාණය ලෝකඩ ගියර් 30කින් සමන්විත පද්ධතියකින් වගේම සංකීර්ණ තාක්ෂණයකින් යුක්තයි.

මේ උපකරණය තරු රටා අධ්‍යනය කරන්න වගේම දින දර්ශනයක් විදිහටත් භාවිතා කර තිබෙනවා. මේ උපකරණයට යොදාගෙන තියෙන තාක්ෂණය ඒ වගේ ඈත අතීතයේ ජිවත් වුනු මිනිසුන්ට කොහොම ලැබුනද කියන දේ ප්‍රශ්නයක්. සමහරු කියන්නේ  ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ ගින්නත් එක්කම පැරණි ග්‍රීසියේ තිබුණු මේ සංකීර්ණ දියුණු තාක්ෂණය නුතන ලෝකයට නැතිවුණා කියල. මේ උපකරණයට සමාන තාක්ෂණයක් නැවත ලෝකයට දකින්න ලැබෙන්නේ 14 වෙනි සියවසේදී.

මෙය පරික්ෂා කල විද්වතුන් කියන විදිහට තරු රටා වල පිහිටිම ඉතාමත් නිවැරදි විදිහට මේ උපකරණයෙන් ලබාගන්න පුළුවන්ලු. ඒ වගේම ගියර් පද්ධතිය ඉතාමත් සුක්ෂම විදිහට හදල තියෙන බව තමයි හොයාගෙන තියෙන්නෙ.

පුමා පුන්කු (Puma Punku) ගොඩනැගිලි – බොලිවියාව

පුමා පුන්කු. (thebiggestsecretsoftheworld.blogspot.com)

මෙට්‍රික් ටොන් සියයකට වඩා වැඩි ශෛලමය කොටස් මිලිමීටරයක නිරවද්‍යතාවයකට කපාගෙන අති විශාල ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්නට කොතරම් තාක්ෂණික දැනුමක් අවශ්‍යද? ක්‍රි.පූ. 200 ටත් පෙර කාලයක නිර්මාණය කල මේ ගොඩනැගිලි වල බිත්ති වගේම ඒ ආශ්‍රිතව දකින්නට ලැබෙන විවිධ හැඩයන්ගෙන් යුක්ත සිදුරු සහිත ශිලාමය නිර්මාණත් මේ ආකාරයෙන්ම ඉතාමත් නිරවද්‍ය මිනුම් වලින් යුක්තයි.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස 2000 වර්ෂයේදී නම් කරන මේ ගොඩනැගිලි සංකීර්ණය අද ඉංජිනේරුවන් මවිතයට පත් කරල තිබෙන බව තමයි පැවසෙන්නෙ. මේ පුදුම නිර්මාණ අතර ජලය කාන්දු නොවන ජලාප්‍රවාහන පද්ධතියක්, ජලපීඩන උපකරණ වගේම ඉතා සංකීර්ණ නගර සැලසුම්ද ඇතුලත්. ටිවනාකු ශිෂ්ඨාචාරය අභාවයට යාමත් එක්කම මේ තාක්ෂණය ලෝකය‍ට අහිමි වෙලා ගිහින් තියෙනවා.

ඩේරින්කුයු භූගත නගරය (Derinkuyu underground city) – තුර්කිය

ඩේරින්කුයු භූගත නගරය. (ancientufo.org)

ඩේරින්කුයු කියන්නේ සැබෑ ලෝකයේ උමං නගරයක්. මේ නගරය හොයාගෙන ආයෙමත් අපි යන්නේ තුර්කියට, මිනිසුන් 20,000කට ඉතාමත් ලේසියෙන් වාසය කරන්න පුළුවන් විදිහට මීටර් 60ක් පොළොවට යටින් ඇති මේ නගරය ස්ථර 18කින් සමන්විතයි.

ඩේරින්කුයු භූගත නගරය. (steemit.com)

නගරයට වාතාශ්‍රය සපයන්න වාකවුළු 55කින් යුක්ත වුණු පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. නගරය නිර්මාණය කරලා තියෙන කාලය වගේම කවුරුන් විසින් නිර්මාණය කලාද කියන කාරණා තවමත් සොයාගෙන නැතත් පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන විදිහට ක්‍රි.පූ. 8 වන සියවසට තමයි මේ නිර්මාණය අයිති වෙන්නේ. නගර නිර්මාණය සැලකුවොත් ස්තාල, ආහාර ගබඩා වගේම භූගත ළිං පද්ධතියකිනුත් නගරය සන්නද්ධ වෙලා තියෙනවා. ඉතිහාසඥයන් කියන විදිහට ඩේරින්කුයු බාවිතා කරලා තියෙන්නෙ යුද කාලයන්ගේ වගේම ස්වභාවික ව්‍යසන වලින් ආරක්ෂා වෙන්න.

ඩේරින්කුයු භූගත නගරය. (steemit.com)

1965 දි සංචාරකයන් සදහා මුළු නගරයෙන් 10% පමණ විවෘත කරලා තියෙනවා. ඒ වගේම සංකීර්ණ උමං පද්ධතියකින් තවත් භූගත නගරයකට සම්බන්ධ වෙන ක්‍රමයකුත් නිර්මාණය වෙලා තියෙනවා. මේ නගරයේ සැම කොටසක්ම අනිත් කොටස් වලින් වෙන් කරලා මුද්‍රා තියන්න පුළුවන්. සතුරු ආක්‍රමණයකට ඉතාමත් සාර්ථක විදිහට මුහුණ දෙන්න පුළුවන් වගේම මේ නගරය තුලම වෙළද සංකීර්ණයකුත් තියෙනවා. ඔබත් තුර්කියේ සංචාරයක යනවා නම් මේ නගරය බලන්න යන්නත් අමතක කරන්න එපා.

රෝමානු කොන්ක්‍රීට් රෝම අධිරාජ්‍යය

රෝමානු කොලෝසියම. (ancientfacts.net)

ඔබ දැනටමත් දැක ඇති රෝම අධිරාජ්‍යයේ විශිෂ්ඨ නගර නිර්මාණ, රෝමානු කොලෝසියම, පෙන්තියම් ශාලාව වගේ ලෝක පුදුම නිර්මාණ කරන්න රෝම ඉංජිනේරුවන් යොදාගෙන තියෙන්නේ විශේෂ කොන්ක්‍රීට් මිශ්‍රණයක්. අදටත් අභිරහසක් වෙලා තියෙන මේ මිශ්‍රණය හදන්න ලෝකයේ ගොඩක් පරීක්ෂණ කෙරුණත් අසාර්ථක වෙලා තියෙනවා.

පෙන්තියම් ශාලාව. (ancientfacts.net)

නුතන කොන්ක්‍රීට්‌ වල උපරිම ආයු කාලය අවුරුදු 150 වගේ වෙනකොට රෝමානු කොන්ක්‍රීට් වලින් නිර්මාණය කෙරුණු ගොඩනැගිලි අවුරුදු 22,000ක් පමණ වෙලත් තවමත් නිරුපද්‍රිතව තියෙනවා. ගිනිකදු වලින් නිකුත් වෙන ලාවා සහ තවත් විවිධ මුලද්‍රව්‍ය එකට එකතු කරලා තමයි මේ මිශ්‍රණය හදල තියෙන්නෙ. ඒ වගේම තමයි අදටත් ඉංජිනේරුවන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන ජලය තුල සවිවන කොන්ක්‍රීට් එදා රෝමානු ඉංජිනේරුවන්ට නම් ප්‍රශ්නයක් වෙලා තිබුණේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 50ක ආයුකාලයක් තියෙන නුතන ජලය තුල සවිවන කොන්ක්‍රීට් එක්ක සංසන්දනය කරද්දී අවුරුදු 2000කට වැඩි කාලයක් නිරුපද්‍රිතව පවතින විදිහට පාලම් වගේ නිර්මාණ කරන්න කොතරම් දැනුමක් පවතින්නට ඇත්ද? රෝම අධිරාජ්‍යයේ බිදවැටීමත් එක්කම මේ මිශ්‍රණයේ රහසත් අපට අහිමි වෙලා ගියා.

මූලාශ්‍ර: gobeklitepe.info, smithsonianmag.com, whc.unesco.org, anthropology.msu.edu, crystalinks.com, ancient-wisdom.com, history.com, archserve.id.ucsb.edu            

කවරයේ පිංතූරය – thegreatcourses.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්