Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම ආයු අපේක්ෂාව සහිත සත්ත්වයින්

මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 120 ක් ලෙස පත පොතෙහි සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඊට සාපේක්ෂව ඉතා කෙටි හා දිගු ආයු අපේක්ෂා සහිත සත්ත්වයන් මේ ලොවෙහි ජීවත් වෙනවා. ලොව කෙටිම ආයු අපේක්ෂාව සහිත ජීවීන් විශේෂ කිහිපයක් ගැන අපි පසුගිය ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. ඔවුන්ගේ ආයු අපේක්ෂාව වසර 8 සිට එක් දිනක් දක්වා කෙටි වෙද්දී ලෝකයේ සමහර සත්ත්ව විශේෂ මිනිසා මෙන් දෙගුණයකටත් වඩා ආයු කාලයක් අත්විඳින බව ඔබ දැන සිටියාද?

ලොව සමහර ජීවීන් ජීව විද්‍යාත්මක වශයෙන් ‘අමරණීය’ බවත් ඔබ අසා තිබෙනවාද? මිනිසා සමඟ කරට කර සිටිමින් හා අභිබවමින් ලොව වැඩිම ආයු අපේක්ෂාව විඳින සත්ත්ව විශේෂ කිහිපයක් පිළිබඳව රසබර තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා.

ගොඉඩක්

seriouseats.com/Naomi Tomky

උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ හමුවන ගොඉඩක් (Geoduck) නම් ප්‍රමාණයෙන් විශාල දෙපියන් බෙල්ලන් විශේෂයේ සමහර සතුන් මිනිසාගේ පරමායුෂයද අභිබවා ජීවත් වී තිබෙනවා. මේ සතුන් විශේෂිත හැඩයකින් යුක්ත වන අතර සාමාන්‍ය දෙපියන් බෙල්ලෙකුගේ හැඩය සහිත විශාල කවචයක් දැරුවත් ඉන් ඉවතට විහිදුණු දිගැටි, විශාල බෙල්ලක් වැනි කොටසකින්ද යුක්තයි. මොවුන් වසර 160ක් පමණ කාලයක් ජීවත් වී ඇති බවට සාක්ෂි තිබෙනවා.

හොඳින් වැඩුණු මේ වර්ගයේ සාමාන්‍ය ප්‍රමාණයේ සත්ත්වයෙකු කිලෝග්‍රෑමයකටත් වඩා බරින් වැඩි වන අතර මීටරයක් පමණ දිගින් යුතු සත්ත්වයින්ද හමු වෙනවා. මේ සතුන් ජනප්‍රිය ආහාරයක් හැටියද භාවිතයට ගැනෙනවා. (1)

දිගු වරල සහිත ආඳා (Long finned eel )

en.wikipedia.org

මේ ආඳන් විශේෂය ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට ආවේණික ජීවී විශේෂයක්. බොහෝ ආඳන්ට සාපේක්ෂව ඉතා මන්දගාමී වර්ධනයක් හා පරිණතියක් පෙන්වන මේ ජීවී විශේෂය සාමාන්‍යයෙන් වසර 60 කට වඩා ජීවත් වන අතර දැනට වාර්තා වී ඇති වැඩිම ආයු අපේක්ෂාවක් විඳි මේ වර්ගයේ ආඳා වසර 106 ක් ජීවත් වී තිබෙනවා. (2)

Bowhead තල්මසුන්

worldwildlife.org

ආක්ටික් සාගර ප්‍රදේශයේ හමුවන මේ වර්ගයේ තල්මසුන් මෙතෙක් ලොව හඳුනාගෙන ඇති වැඩිම ආයු අපේක්ෂාව සහිත ක්ෂීයපායී විශේෂය වෙනවා. මේ සමහර තල්මසුන්ගේ සිරුරුවල අැනී තිබී වසර 200ක් පමණ පැරණි ඇත් දළ වලින් තැනූ හෙලි තුඩු පවා මෑතකදී හමු වී තිබෙනවා. ඒවා තැන්පත් වී ඇත්තේ ඔවුන්ව දඩයම් කිරීමට අතීතයේ උත්සාහ ගත් අවස්ථාවන් හී දියි. වැඩිම කාලයක් ජීවත් වූවා යැයි සැළකෙන මේ වර්ගයේ තල්මසා වසර 211 ක් ආයු වළඳා තිබෙනවා. (1)

රතු මුහුදු ඉකිරි

centralcoastbiodiversity.org

Strongylocentrotus franciscanus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන රතු මුහුදු ඉකිරින් හමුවන්නේ පැසිෆික් සාගරයේ, විශේෂයෙන් උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයේයි. මොවුන් දැකගත හැකි වන්නේ නොගැඹුරු වෙරළාසන්න පරිසරයේයි. මොවුන්ගෙන් සමහරක් වසර 200 කටත් වඩා කල් ජීවත් වී තිබෙනවා. (2)

ඉබ්බන්

Franco Banfi/NPL

ඉබ්බන් සැළකෙන්නේ සමස්ථයක් ලෙස ලොව වැඩිම කලක් ජීවත් වන පෘෂ්ඨ වංශිකයන් ලෙසයි. 2006 වසරේ දී මියගිය, ගැලපගෝස් දිවයිනේ ජීවත් වූ ‘හැරියට්’ නමින් හැඳින්වූ මේ වර්ගයේ සත්ත්වයෙක් මිය යන විට 175 වි‍යැති වුණා. මේ සත්ත්වයා, චාල්ස් ඩාවින් විසින් පරිණාමය පිළිබඳ පරීක්ෂණ කරන අවධියේ ජීවත් ව සිටියෙකු වනවා.  2006 වසරේදීම ඇල්ඩැබ්රා දිවයින්වල ජීවත්ව සිටි ‍යෝධ ඉබ්බෙක් 250 පමණ වියැතිව (විවාදිතයි) සිටියදී මියගියා. (1)

කොඉ මත්ස්‍යයින්

koistory.com

කොඉ නම් කාෆ් වර්ගයේ මසුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 25 -30 අතර වුණත් ඉතා කලාතුරකින් වසර 200 ඉක්මවා ජීවත් වූ කොඉ මත්ස්‍යයන් ගැන අසන්නට ලැබෙනවා. ජපානයේ ජීවත් වූ ‘හනකෝ’ නම් මේ වර්ගයේ මත්ස්‍යයෙකු 1977 වසරේ මිය යන විට 226 වියෙහි පසු වුණා. ඒ අනුව එම සත්ත්වයා ඉප්දී ඇත්තේ 1751 වසරේ දීයි. (2)

Tuatara

animals.sandiegozoo.org

නවසීලන්තයෙන් හමුවන මේ උරගයා මීට වසර මිලියන 200 කට පෙර ලොව බිහිවූ ඩයිනසෝරයන් ට ආසන්නම නෑකමක් දක්වන ජීවීන් විශේෂයක් වනවා. මොවුන් වර්තමානයේ ලොව වෙසෙන පෘෂ්ඨ වංශික ජීවී විශේෂ අතරින් දීර්ඝතම ආයු අපේක්ෂාවක් සහිත විශේෂ කිහිපයට අයත්. මේ සත්ත්වයෙකු වසර 100 ත් 200 ත් අතර කාලයක් සිය පරමායුෂ වශයෙන් ගත කරනවා. (1)

Ocean Quahog

animalnewyork.com

Arctica islandica යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ මොලුස්කාවන් සාමාන්‍ය වශයෙන් වසර 400ක් පමණ කාලයක් ජීවත් වෙනවා.  මොවුන්ගේ කවචයේ වැටී ඇති වලයාකාර සළකුණු විද්‍යාඥයන්ට ඔවුන්ගේ වයස නිර්ණය කිරීමට සහය වෙනවා.

ලොව වැඩිම කාලයක් ජීවත් වූ මේ වර්ගයේ සත්ත්වයා ‘මින්ග්’ නමින් හැඳින්වෙන අතර එයට හේතුව වශයෙන් විශ්වාස කෙරෙන්නේ චීනයේ මින්ග් රාජධානිය පැවති සමය වන විටත් එම ජීවියා ජීවත්ව සිට ඇති බවයි. ‘මින්ග්’ ගේ වයස වසර 507 ක් ලෙස පර්යේෂකයන් විසින් නිර්ණය කර තිබෙනවා. (2)

ග්‍රීන්ලන්ත මෝරා

sharkopedia.discovery.com

ග්‍රීන්ලන්තය ආසන්න මුහුදේ හමුවන ග්‍රීන්ලන්ත මෝරාත් ලෝකයේ දීර්ඝතම ආයු කාලයකට උරුමකම් කියන පෘෂ්ඨ වංශික ජීවියෙක් වෙනවා. සාමාන්‍යයෙන් මොවුන්ගේ ආයු අපේක්ෂාව වසර 100 සිට 200 අතර වූවත් දැනට හමු වී ඇති වයස්ගතම ග්‍රීන්ලන්ත මෝරා වසර 400ක් පමණ කාලයක් ජීවත්ව තිබෙනවා. (2)

ඇන්ටාක්ටිකාවේ ස්පොන්ජි

edition.cnn.com

ඇන්ටාක්ටිකාවේ ගොඩබිම් ප්‍රදේශයට ආසන්නව ඇන්ටාක්ටික් සාගරයේ හමුවන ස්පොන්ජි මෙලොව වෙසෙන, ඉතාම දිගු ජීවිත කාලයකට උරුමකම් කියන ජීවීන් විශේෂයක් ලෙස සැළකෙනවා. මෙයට හේතුවක් ලෙස ඇන්ටාක්ටික් සාගරයේ සාමන්‍යයෙන් පවතින අඩු ජල උෂ්ණත්වයත් හේතු වන බව පැවසෙනවා. සංචරණය නොකරන මේ ජීවීන් විශේෂය ඉතා මන්දගාමී වර්ධන වේගයකට උරුම කම් කියනවා. දැනට හඳුනාගෙන ඇති වයස්ගතම ජීවියා වසර 1550ක් තරම් පැරණියි. (1)

අමරණීය ජෙලිෆිෂ්

boredpanda.com/ Takashi Murai

Turritopsis nutricula යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන හයිඩ්‍රසෝවාවෙකු වන මේ ජෙලිෆිෂ් විශේෂය හැඳින්වෙන්නේ ‘අමරණීය’ ජීවීන් විශේෂයක් ලෙසයි. සිය ජීවන චක්‍රයේ සුහුඹුල් අවධියේ සිට නැවත වර්ධක අවධියට වරින් වර මාරු වෙමින් ජීවත් වීමට හැකියාව ඇති මේ ජීවීන්ට මෙතෙක් යැයි කිව හැකි සීමිත ආයු කාලයක් නැහැ. මේ නිසා වෙනයම් බලපෑමක් බාහිර බලපෑමක් සිදු වී මිය ගියහොත් හැරෙන්නට වසර දහස් ගණනක් වුවද පැවතීමේ හැකියාව මේ ජීවීන් සතුයි. (1)

කවරයේ පින්තූරය (Ralph Clevenger/Corbis)

මූලාශ්‍ර:

  1. mnn.com
  2. onekindplanet.org

Related Articles