විශේෂාංග

විනාඩි 5 ක කියවීමක්

වාර්ෂික ලියාපදිංචි බද්ද – විසඳුමක්ද ගැටලුවක්ද?

Published

විනාඩි 5 ක කියවීමක් to read

Facebook Twitter GPlus
English Translation Button Sinhala Translation Button

වාර්ෂික ලියාපදිංචි බද්ද, නැතිනම් කවුරුත් කියන විදිහට ARL එක (Annual Registration Levy) ගැන Roar ඉංග්‍රීසි වෙබ් අඩවියේ ලිපියක් පවා පළ කෙරුණේ මීට මාස තුනකට විතර කලින්. ඒ වගේම අවසාන වරට මේ බද්ද ගෙවන්න ලැබුණු දිනය පසුවට දීර්ඝ කළත් ඒ දවසත්  (ජූනි 30) පහුවෙලා මේ වෙනකොට සති කිහිපයක්ම ගෙවිලා අවසන්. කොහොම වුණත් මේ ARL එක ගැන සාමාන්‍ය ජනතාවටත්, විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවටත් තියෙන ගැටළු ගණනාවකට විසදුම් නම් ලැබිලා නැහැ.

රටේ ව්‍යාපාරික ප්‍රජාවට වගේම ආර්ථිකයටත් ඍජුවම බලපාන මේ ARL එක ගැන හොයලා බලද්දී අහන්න ලැබුණු ප්‍රධාන ගැටළු කිහිපයක් Roar පාඨක ඔබගේ අවධානයට යොමු කරන්නයි මේ ලිපියෙන් උත්සාහ කෙරෙන්නේ.

1 – සමාගම් රෙජිස්ට්‍රාර් ප්‍රායෝගිකව ARL එක සඳහා අය මුදල් භාරගන්නවාද?

ළඟදී හඳුන්වලා දීපු වාර්ෂික ලියාපදිංචි බද්ද ගැන තවමත් නොවිසඳුණු ප්‍රශ්න තියෙනවා. රූපය : cctca.com

ළඟදී හඳුන්වලා දීපු වාර්ෂික ලියාපදිංචි බද්ද ගැන තවමත් නොවිසඳුණු ප්‍රශ්න තියෙනවා. රූපය : cctca.com

ඔව්, සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් (ROC) විසින් පෞද්ගලික සමාගම්, ජනසතු සමාගම්, කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගම් සහ “විදේශ සමාගම්” (ඒ කියන්නේ විදේශ රටක සංස්ථාපිතව තියෙන, නමුත් ලංකාවෙත් ලියාපදිංචිගතව ව්‍යාපාර කටයුතු කරන සමාගම්, මේකට සම්බන්ධතා කාර්යාල අදාළ නැහැ) වල වාර්ෂික ලියාපදිංචි බද්ද සඳහා වන සියලු අය කිරීම් භාර ගනු ලබනවා.

නමුත් ඇපයක් මත සීමාසහිතවූ සමාගම් සහ එතෙර සමාගම් සඳහා වාර්ෂික ලියාපදිංචි බද්ද අය කෙරෙන්නේ නැහැ.

මේ විදිහට තමන්ගේ ARL අය මුදල් ගෙවීම වෙනුවෙන් ROC එක නිල වශයෙන් “අයබදු පෝරමයක්” (Levy Form) නිකුත් කරලා තියෙනවා. මේක පුරවද්දී මුලින්ම ROC ආයතනයේ වෙබ් අඩවියේ දක්වලා තියෙන අදාළ පෝරමය පුරවන්න අවශ්‍යයි. මෙය ඉලෙක්ට්‍රොනිකව අන්තර්ජාලය හරහා තමයි පුරවන්න තියෙන්නේ. ඉන් පස්සේ ලැබෙන සියලු කොටස් සම්පූර්ණ කරපු පෝරමයේ මුද්‍රිත පිටපතක් අරගෙන ඒක එක්කෝ සමාගමේ අධ්‍යක්ෂක කෙනෙක් හරි සමාගම් සභාපති හරි අත්සන් කරන්න අවශ්‍යයි. (පෞද්ගලික, ජනසතු හෝ කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම්) විදේශ සමාගමක නම් මුල් සමාගමේ ලිඛිත බලයලත් අධිකාරීවරයෙක් ඒ සඳහා අත්සන යොදන්න අවශ්‍යයි. මේ විදිහට මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වුණාට පස්සේ මේ මුද්‍රිත පෝරමය අදාළ ARL අය බදු මුදලත් එක්ක ROC වෙත යොමු කරන්න පුළුවන්.

ඔබ අපි මීට මාස කිහිපයකට කලින් Roar ඉංග්‍රීසි වෙබ් අඩවියේ පළ කරපු ලිපිය කියවලා තියෙනවා නම් එහි අඩංගු එක කරුණක් ගැන නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර්, නැතිනම් ROC එකේ උසස් නිලධාරියෙක් එක්ක කරපු කතාබහකින් දැන ගන්න ලැබුණු තොරතුරු අනුව යම් සමාගමක ARL එක වෙනුවෙන් කරනු ලබන ගෙවීම් අමතර බදු එකතු කිරීම මගින් වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. (බදු මුදල වෙනත් බදු වලට ලක් වෙන්නේ නැහැ)

ROC එක ඒ වෙත ගෙවනු ලබන ඕනෑම ගෙවීමක් සඳහා නිල කුවිතාන්සියක් නිකුත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරනවා. වාර්ෂික ලියාපදිංචි බද්ද (ARL) එක වෙනුවෙන් ගෙවීමක් කළත් මේ කුවිතාන්සිය ලැබෙනවා.

2 – ARL එක නීති කෙටුම්පතකින් රෙගුලාසිගත කරලා තියෙනවාද?

තවම නැහැ. මේ ලිපිය ලියන මොහොත දක්වා යම් ආයතනයක් වාර්ෂික ලියාපදිංචි බද්ද ගෙවිය යුතුයි කියලා අනිවාර්ය කරන නීතිමය ලියවිල්ලක් හෝ රජයේ ගැසට් පත්‍රයක් නිකුත් වෙලා නැහැ.

3 – සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර්ට (ROC එකට) ARL එක ගෙවන්න කියලා දැනුම් දෙන්න තියෙන බලතලය මොකක්ද?

වාර්ෂික ලියාපදිංචි බද්ද (ARL) ගැන නීතිමය ලියවිල්ලක් හෝ වෙනත් රෙගුලාසියක් නැති නිසා ROC එක අදාළ අමාත්‍යාංශයෙන් ලැබෙන උපදෙස් පිළිපදින්න තියෙන බලතල පාවිච්චි කරලා ARL එක සඳහා අය මුදල් කැඳවනවා කියලා තමයි කියවෙන්නේ.

  • ROC එකේ කවුන්ටරයක දක්වලා තියෙන දැන්වීමකට අනුව ARL එක ගෙවා අවසන් කිරීම සඳහා කලින් ලබා දී තිබුණු අවසන් දිනය (මාර්තු 31 වැනිදා) දක්වා ROC එක ARL එක අය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ උපදෙස් යටතේ. (වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය තමයි සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් – ROC එක අධීක්ෂණය කරන්නේ)
  • ඒ වගේම සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් හෙවත් ROC එකේ උසස් නිලධාරියෙක් අපිට කියපු තොරතුරු අනුව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය වාර්ෂික ලියාපදිංචි බද්ද අය කිරීම සඳහා ROC එකට උපදෙස් දෙන අතරේම 2016 අයවැය වාර්තාවේ (මුල්‍ය විසර්ජන පනතේ) නිර්දේශ වලට අනුව මුදල් අමාත්‍යාංශයේද උපදෙස් යටතේ ක්‍රියාත්මක වෙනවා.
  • ඒ වගේම ROC එකට මුදල් අමාත්‍යාංශය 2016 පෙබරවාරි 15 වැනිදා නිකුත් කළ පිස්කල් ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 2005/01 යටතේ ඍජු උපදෙස්ද ලබා දී තිබෙනවා. මෙහිදී වෙනත් කොන්දේසි වලට යටත්ව වාර්ෂික ලියාපදිංචි අයබද්ද හෙවත් ARL එක “අයබදු වර්ගීකරණයේ ලැයිස්තු අංක 1 යටතේ සංස්ථාපිත කරන ලද” බවත්, “ARL එක සඳහා වන ව්‍යවස්ථානුකූල විධිවිධාන ශ්‍රී ලංකා මුදල් පනත යටතේ පවරනු ලබන” බවත් සඳහන් වෙනවා. මුදල් අමාත්‍යාංශය මගින් සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් (ROC) ව ARL එක නැත්නම් වාර්ෂික ලියාපදිංචි බද්ද සඳහා “නීත්‍යානුකූල ගිණුම් තැබීමේ ආයතනය” කියලත් පැහැදිලිව නම් කරලා තියෙනවා. ඒ වගේම ARL එක සඳහා “අදාළ වන සියලු ආදායම් ගිණුම් තැබීමේ කටයුතු” සිදු කරන්න කියලා ROC එක වෙත ඉල්ලීමකුත් මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ වගේම ඔබේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් තවත් කාරණාවක් තමයි ARL එක සඳහා වන අයබදු පෝරමයේ දැක්වෙන “2016 වර්ෂයට අදාළ මුදල් විසර්ජන පනතේ 581 වන වගන්තියට අදාලවයි” කියන වාක්‍යය. සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් නිකුත් කරන පෝරම අතරින් නීතිමය විධිවිධානයක් පදනම් නොවුණු එකම අයබදු පෝරමය ARL හෙවත් වාර්ෂික ලියාපදිංචි බද්ද සඳහා වන පෝරමය විතරයි!

4 – යම් සමාගමක් වාර්ෂික ලියාපදිංචි බද්ද (ARL එක) නියමිත වෙලාවට ගෙවලා අවසන් නොකළොත් ඇති වෙන්න පුළුවන් ගැටළු මොනවාද?

ARL එක නොගෙවීම සම්බන්ධව දැනට නම් නීතිමය වශයෙන් ගැටළුවක් ඇති වෙන්න ඉඩකඩක් නෑ, හැබැයි මේ තත්වය ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්.රූපය : dollarsandcommoncents.net

ARL එක නොගෙවීම සම්බන්ධව දැනට නම් නීතිමය වශයෙන් ගැටළුවක් ඇති වෙන්න ඉඩකඩක් නෑ, හැබැයි මේ තත්වය ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්.රූපය : dollarsandcommoncents.net

අපි සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් (ROC) එකේ ඉහළ නිලධාරීන් එක්ක කරපු සාකච්ඡාවේදී මේ කරුණ මතු කළා. මීට කලින් අපේ ඉංග්‍රීසි වෙබ් අඩවියේ පළ වුණු ලිපිය සඳහා කරපු සාකච්ඡාවේදී වගේම මේ සැරෙත් ලැබුණු එකම පිළිතුර වුණේ ARL එක ගෙවීම පැහැර හැරීමට, නැතිනම් නියමිත කාලය තුලදී ගෙවා නිම නොකිරීම වගේ දේවල් වලට නීතිමය ගැටළුවක් ඇති වෙන්න බැහැ කියන එකයි. නමුත් මේකෙදී සැලකිය යුතු කාරණාවක් තියෙනවා. ROC එකේ උසස් නිලධාරීන්ට අනුව ඔවුන් මෙහෙම කියන්න එකම හේතුව ඒ විදිහට ARL නොගෙවීමේ ප්‍රතිවිපාක ගැන ROC එක වෙත කිසිදු නිල උපදෙසක් ලැබිලා නැති එකයි. ඒ වගේ අවස්ථාවකදී ඔවුන් ක්‍රියා කරන්න අවශ්‍ය විදිහ ගැන ඔවුන්ට දැනුම්දීමක් කරලා නැහැ.

කොහොම නමුත් ඔවුන් කිව්වේ මේ විදිහට ගැටළු ඇති නොවී ARL ගෙවීමෙන් වැළකෙන වැඩේ අනාගතයේදී කරන්න බැරි වෙන්න ඉඩ තියෙන බවයි. අනාගතයේ යම් දවසක මුල්‍ය පනත ARL එකත් අන්තර්ගත වන විදිහට සංශෝධනය කෙරුණොත් හරි, ඒ විදිහට ARL එක නොගෙවීමකදී ක්‍රියා කළ යුතු විදිහ රජයේ ගැසට් නිවේදනයක අන්තර්ගත වුණොත් හරි ARL එක නොගෙවන ආයතන වලට දැනට විවිධ බදු වර්ග නොගෙවීමට අදාළව ඇති වෙන්න පුළුවන් ගැටළු වලට සමාන නීතිමය ප්‍රශ්න වලට හෝ, අලුත් රෙගුලාසි වලින් දැනුම් දෙන යම් ප්‍රතිවිපාකයක් විඳින්න සිද්ධ වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

5 – ඈවර කිරීමට, නැත්නම් මුදල් වෙනුවෙන් විසුරුවා හැරීමට බලාපොරොත්තු වෙන සමාගම් මත බද්දක් අය කෙරෙනවා කියන්නේ ඇත්තද?

මේ විදිහට උවමනාවෙන්ම මුදල් වෙනුවෙන් විසුරුවා හරින්න බලාපොරොත්තු වෙන (ඈවර කරන) සමාගම් වෙනුවෙන් රුපියල් 500,000ක අයබද්දක් (පසුව මේක 50,000 දක්වා පහත දැමුණා) අය කරන්න අයවැය යෝජනාවක් ආපු බව සමහරුන්ට මතකත් ඇති. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අනුව මේ බද්දෙන් බලාපොරොත්තු වුණේ නිකරුණේ සමාගම් ලියාපදිංචි කිරීම් සහ විසුරුවා හැරීම් අවම කරන එකයි. (2016 අයවැය වාර්තාවේ 581 වැනි වගන්තිය ප්‍රකාරව) කොහොම වුණත් මේ විදිහේ බද්දක් අලුතෙන් ඇති කිරීමට හේතු වශයෙන් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු සමහර කරුණු වලත් අපැහැදිලි තැන් තියෙනවා.

කොහොම වුණත් සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් (ROC) එකේ ඉහල නිලධාරියෙක්ට අනුව මේ රුපියල් 50,000ක බද්ද අය කිරීම මේ වන විටත් ක්‍රියාකාරීව සිදු වෙන කාරණාවක්.

මුදල් අමාත්‍යවරයා පහුගිය අවුරුද්දේ කරපු අයවැය කතාවට අනුව මේ බද්දෙන් බලාපොරොත්තු වුණේ නිකරුණේ සමාගම් ලියාපදිංචි කිරීම් සහ විසුරුවා හැරීම් අවම කරන එකයි. රූපය : asiantribune.com

මුදල් අමාත්‍යවරයා පහුගිය අවුරුද්දේ කරපු අයවැය කතාවට අනුව මේ බද්දෙන් බලාපොරොත්තු වුණේ නිකරුණේ සමාගම් ලියාපදිංචි කිරීම් සහ විසුරුවා හැරීම් අවම කරන එකයි. රූපය : asiantribune.com

මේ හින්දා කලින් කියපු විදිහටම දැනට සමාගම් ලියාපදිංචි රෙජිස්ට්‍රාර් හෙවත් ROC එක ARL එකේ නැතිනම් වාර්ෂික ලියාපදිංචි බද්දේ නීතිමය වලංගුභාවය කොහොම වුණත් ඒ බද්ද සමාගම් මත පැනවීම වගේම ඒ සඳහා අයබදු එකකු කරන කරලා නිල කුවිතාන්සි පත් නිකුත් කරන එකත් මේ වන විටත් සිදු කරමින් සිටිනවා. ඒ වගේම මේ වන විටත් දැනුම් දී තිබෙන අවසාන දිනයට කලින් ARL එක සඳහා මුදල් ගෙවා අවසන් කරන්න සමාගම් නියෝජිතවරුන් ROC එකට විශාල වශයෙන් පැමිණෙනවා. ඔවුන් බොහෝ වෙලාවට මෙම ARL එක නොගෙවා සිටීම හරි නියමිත වෙලාවට ගෙවා අවසන් නොකිරීම හරි නිසා මෑත කාලීනවම නීතිමය ගැටළු බාධක ඇති වෙයි කියන (වැරදි වුණත් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්) උපකල්පනය මත මේ විදිහට ගෙවීම් කඩිනම් කරනවා කියලා අපිට හිතන්න පුළුවන්.

ඔවුන් කොහොම වුණත් මේ විදිහට අලුත් බද්දක් ගෙවන්න ප්‍රතිපාදන නැති, ඒ වගේ අමතර බද්දක් (විශේෂයෙන්ම නීතිමය අවශ්‍යතාවක් නොවන බද්දක්) ගෙවන්න බැරි සමාගම් වලට වෙන්නේ මොකක්ද? විශේෂයෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාර සහ සමාගම් මේ වගේ බද්දක් ගෙවන්න මුදල් වෙන් කරන්න ගිහින් ඔවුන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න තියෙන හැකියාව අනතුරට ලක් කර ගන්න අවශ්‍යමද? මේ වගේ හේතූන් නිසා ARL එක ගෙවීම කල් දමමින් සිටින සමාගම් වලට අනාගතයේදී ඔවුන්ගේ ප්‍රමාදය වෙනුවෙන් අමතර මුදලක් දඩ වශයෙන් ගෙවන්න සිදු වෙයිද? යම් විදිහකින් මේ ARL එකට නඩුවක් වැටිලා අධිකරණ නියෝගයක් මගින් මොකක් හරි විසඳුමක්, නැතිනම් අර්ථකතනයක් ලබා දේවිද? (ටික දවසකට කලින් වැට් බදු වැඩි කිරීමට එරෙහිව වගේ) වඩාත්ම වැදගත් දේ, ලංකාවේ පවතින ව්‍යාපාර විශාල ගණනකට බලපාන ARL එක වගේ කාරණාවක් මේ තරම් අපැහැදිලි තත්වයක තිබීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වර්ධනය වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්ද?

රටේ පුරවැසියන් විදිහට, නැතිනම් මහජනතාව හැටියට ඔබ අහන ඒ වගේ ප්‍රශ්න වලට මේ ලිපිය ලියන Roar අපිට වුණත් පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න විදිහක් නැහැ. නමුත් මේ වගේ ලිපි පළ කිරීම තුලින් සහා මේ ප්‍රශ්න වලට මාධ්‍ය ආවරණයක් ලබා දීමෙන් වගේම, මේ වගේ ගැටලුකාරී තැන් අනාවරණය කිරීමෙන් මේ ගැන රට පුරා කතිකාවතක් ගොඩ නැගිලා රටේ ආර්ථිකයට දැඩිව බලපාන ARL එක වගේ කාරණා වලට විසඳුමක් ලැබේවි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඒ ලැබෙන විසඳුම කාටත් පිළිගන්න පුළුවන් සාධාරණ එකක් වේවි කියලත් අපි ප්‍රාර්ථනා කරමු.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

කවරයේ පින්තුරය: wikipedia.org

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්