Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ දරුවන් කුලවද්දා ගැනීමට අදාළ නීතිය

ස්වභාවික දෙමව්පියන් හැර වෙනත් අයෙක් විසින් දරුවෙකු දරුකමට හදාගැනීම ‘දරුවෙක් කුලවද්දා ගැනීම’ යන්නෙහි සාමාන්‍ය අරුතයි. දරුවෙක් දරුකමට හදා ගැනීමේදී රටේ සාමාන්‍ය නීතියට යටත්ව කටයුතු කළ යුතු වේ. නමුත් මේ සම්බන්ධයෙන් පෞද්ගලික නීති බලපවත්වන අවස්ථා ද නැතුවාම නොවේ. පෞද්ගලික නීති යටතේ දරුවන් කුලවද්දා ගන්නා ආකාරය පිළිබඳ වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.

සාමාන්‍ය (පොදු) නීතිය යටතේ දරුවන් කුලවද්දා ගැනීම

මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතයි. ඊට අමතරව 1943 අංක 53, 1964 අංක 1, 1977 අංක 6, සහ 1992 අංක 15 දරණ පනත් ද වැදගත් වේ.

1941 අංක 24 දරණ පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී පහත නීතිමය අවශ්‍යතා සපුරා තිබිය යුතු වේ.

  • දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන දරුවා වයස අවුරුදු 14 ට අඩු විය යුතුයි.
  • වයස අවුරුදු 10 ට වැඩි දරුවෙක් දරුකමට හදා ගැනීමට ගැනීමේදී, දරුවාගේ කැමැත්ත විමසීමට අධිකරණයට  හැකියි.
  • දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන පාර්ශවය, එනම් යුවල හෝ තනි ‍පුද්ගලයා අවුරුදු 25 සම්පුර්ණ කර තිබිය යුතුයි.
  • දරුකමට හදා ගැනීමට ගන්නා පාර්ශවය සහ දරුවා අතර වයස පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුයි.

නමුත් අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් කෙලින්ම පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කරුගේ පුර්ණ හෝ අර්ධ සහෝදරයෙක් හෝ සහෝදරියක් වන විට හෝ ඔවුන්ගෙන් පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කාර පාර්ශවයේ සැමියාගේ හෝ බිරිඳගේ වෙනත් විවාහයක දරුවකු වන විට ඔවුන් අතර තිබිය යුතු අවුරුදු 21 වයස් පරතරය අත්‍යවශ්‍ය නොවේ.

  • ගැහැණු දරුවෙකු දරුකමට හදා ගැනීමේදී හදා ගැනීමට ඉල්ලුම් කරන පාර්ශවය තනි පිරිමි පුද්ගලයෙකු නම්, ඔහුට ඒ සඳහා අවසර ලැබෙන්නේ නැත.

(එසේ වුවත් විශේෂ ඥාති සම්බන්ධතා මත අවසර ලබා දීමට අධිකරණයට අභිමතයක් තිබේ.)

  • යුවලක් විසින් ඉල්ලුම් කරන විටෙක, දරුවා හදා ගැනීමට දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ.

(එහෙත් ඔවුන් දික්කසාද වී සිටී නම් හෝ එක් පාර්ශවයක් සොයාගත නොහැකි නම් හෝ කලත්‍රයා මානසික ආබාධයකින් පසුවෙයි නම්, දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය නොවේ.)

  • දරුවෙක් හදාගැනීමට ගැනීමක දී, ඔහුගේ/ ඇයගේ ස්වාභාවික දෙමවුපියන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්යය වේ. දරුවාගේ දෙමව්පියන් විවාහක නම් දෙමාපිය දෙදෙනාගේම කැමැත්තද, අවිවාහජ දරුවකු නම් (පියෙකු නොමැති නම්) මවගේ කැමැත්ත ද අවශ්‍ය වන අතර, භාරකරුවෙක් යටතේ දරුවා සිටින විටෙකදී, එම භාරකරුගේ කැමැත්ත ද අවශ්‍ය වේ.

නමුත් මෙසේ කැමැත්ත ලබාගත යුතු පුද්ගලයා දරුවාව ඇත හැර ගොස් සිටි නම් හෝ දරුවා නඩත්තු කිරීම පැහැර හැර ඇත්නම් හෝ සිහි විකල් වුවෙක් නම්, ඔහුගේ/ ඇයගේ කැමැත්ත විමසීමක් අවශ්‍ය නොවන අතර දිසා අධිකරණයට දරුවා පිළිබඳ තීරණයක් ගත හැකි වේ. ඒ දිසා අධිකරණය දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් සළකන බැවිණි.

  • දරුවා හදාගැනීමට ගැනීමෙන් පසුව දරුවාට නමක් යෝජනා කිරිමට කුලවද්දා ගත් දෙමාපියන්ට හැකි අතර, කුලවද්දා ගත් පියාගේ පෙළපත් නාමය දරුවාට ලබා දිය හැකියි.
  • දරුවෙකු හදා ගැනීමට ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ ස්වභාවික දෙමව්පියන් හෝ භාරකරු වෙත මුදලක් හෝ ත්‍යාගයක් හිලවු වශයෙන් දීම හෝ දීමට පොරොන්දු විය නොහැක.

දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය

adoption.ca

දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් වැදගත් වේ.

දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් සළකන්නේ දිසා අධිකරණයයි. ඒ අනුව කුලවද්දා ගැනීමකදී දිසා අධිකරණය විසින් දරුවාගේ ‘උපරිම යහපත පිළිබඳ සංකල්පය’ සළකා බලයි. ඒ අනුව අධිකරණය දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් දරුවාගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.

දරුවාගේ උපරිම යහපත යන්නේ දී මුලික වශයෙන් දරුවාගේ කායික මානසික යහපත අපේක්ෂා කෙරේ. දරුවාගේ කායික හා මානසික යහපත මෙන්ම දරුවාගේ සදාචාරාත්මක පැවැත්මට අදාළ යහපත, දරුවාගේ සෞඛ්‍යමය යහපත, දරුවාගේ මුල්‍යමය තත්වයට අදාළ යහපත ආදිය සොයා බැලීම ද මෙහිදී වැදගත් වේ.

ළමා නිවාස වල සිටින දරුවන් කුලවද්දා ගැනීම

nightlight.org

ළමා නිවාස වල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම පවතින්නේ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයා වෙතටයි. එම නිසා ළමා නිවාසයක සිටින දරුවෙකු හදා ගැනීමට ගැනීමේදී ප්‍රථමයෙන් අවසර ලබා ගත යුත්තේ පරිවාස හා ළමා කොමසාරිස්වරයාගෙන් ය. ඒ අනුව එවැනි අවස්ථාවකදී අදාළ ළමා නිවාසය පිහිටි බල ප්‍රදේශයේ ළමා හා පරිවාස කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කල යුතුයි. එහිදී ඉල්ලුම්කාර පාර්ශවය නිත්‍යානුකුලව විවාහ වී සිටීම අවශ්‍ය වේ.

ඉල්ලුම්කරුවන් අදාළ අධිකරණ බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් විය යුතුයි. මෙහිදී පිරිමි ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 25ත් 55ත්  අතර විය යුතු අතර, කාන්තා ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 25 ත් 50 ත් අතර විය යුතුයි. ඔවුන්ට දරු ඵල නොමැති බව වෛද්‍ය සහතිකයකින් පෙන්වා දී තිබිය යුතුයි. අදාළ පාර්ශවයට දරුවෙකු හදා ගැනීමට තරම් වත්කමක්, ආර්ථික තත්වයක් පවතින බව පෙන්වා දී තිබිය යුතු අතර කායික මානසික යහ පැවැත්මෙන් යුක්ත බව පෙන්වා දීම ද අවශ්‍ය වේ. දරුවාගේ සුභසාධනය වෙනුවෙන් දරුවාගේ නමින් බැංකු ගිණුමක් අරඹා පවත්වා ගෙන යාමේ කොන්දේසියට  ද ඔවුන් එකඟ විය යුතුයි.

දරුවෙකු හදා ගැනීමට ගැනීම සඳහා තාවකාලික ආඥාවක් පමණක් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ද ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් කළ පසුව එසේ කළ නොහැකි වේ.

විදේශිකයෙකු විසින් දරුවෙකු කුලවද්දා ගැනීමට අදාළ නීති

fostercrg.org

විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුවත් මෙරට දරුවෙක් හදාගැනීමට ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකියි. එහිදී පහත කොන්දේසි සපුරා තිබීම අවශ්‍ය වේ.

  • අදාළ දරුවා රජයේ අනත්දරු ආඥා පනත යටතේ ලියාපදිංචි රජයේ අනාථ නිවාසයක සිටින දරුවෙක් විය යුතුයි.
  • එම දරුවා තෝරා දීමේ කාර්යය පරිවාස හා ළමා කොමසාරිස් විසින් සිදු කර තිබිය යුතුයි.
  • විදේශීය ඉල්ලුම්කරු සම්බන්ධයෙන් ඔහුගේ රටේ වගකිවයුතු ආයතනයකින් ලබාගත් පරිසර වාර්තාවක්, පොලිස් වාර්තාවක්, සහ එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් ලබාගත් වාර්තා ද ඉදිරිපත් කළ යුතු වේ.

මීට අමතරව විදේශිකයෙක් මෙරට දරුවෙකු හදාගැනීමට ගැනීමෙන් පසු එම දරුවාට වයස අවුරුදු 10 වන තෙක්ම මාස 6 කට වරක් දරුවා පිළිබඳ ප්‍රගති වාර්තා අදාළ පින්තුර ද සමඟ පරිවාස හා ළමා කොමසාරිස් වෙත එවීම අවශ්‍ය වේ.

කවරයේ පින්තූරය- parenting.com

Sources

Adoption of Children Ordinance No 24 of 1941

http://slembassyusa.org/consular/child-adoption-procedure-for-the-guidance-of-foreign-applicants/

http://www.babyspace.lk/pregnancy/pre-pregnancy/adopting-a-baby-or-child-in-sri-lanka/

http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1604&task=info&lang=en

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=3539

Related Articles