Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් යානා වලට එල්ල වන කුරුළු ප්‍රහාර

සුරක්ෂිතතාවය අතින් ඉතා ඉහළ මට්ටමක පවතින ප්‍රවාහන මාධ්‍යක් ලෙස සිවිල් ගුවන් සේවාව ලෝකය පුරා ඉතා ජනප්‍රියයි. ගුවන් මගියෙකු හෝ භාණ්ඩයක් ගුවන් තොටුපොළට පැමිණි මොහොතේ සිට ගමනාන්තයේ පිහිටි ගුවන් තොටුපොළෙන් නික්ම යන තුරු සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබනවා. මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන අතර ඒ ගුවන් මගියා ගමනට සුදානම් කිරීම හා ගුවන් යානය සුදානම් සුදානම් කිරීම ලෙසයි.අදාළ ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු අංශය මගින් ගුවන් යානය පිළිබඳව විශේෂ පිරික්සුම්, ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිකුත්කළ ජාතික ගුවන් සේවා ආයතනය විසින් අනුමත කරන ලද නඩත්තු පාලන අත්පොතේ (Maintenance control manual) දක්වා ඇති ක්‍රමවේදයන්ට සිදු කරන අතර ගුවන් ගතවීමෙන් අනතුරුව ගුවන් යානයේ හා මගීන්ගේ ආරක්ෂාව, කිසියම් අනතුරක් සිදු වුවහොත් ඒ හේතුවෙන් තෙවන පාර්ශවයට වන අනතුරු අවම කිරීම සඳහා ගුවන් ගමන් පාලකවරුන් දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. තාක්ෂණික දුර්වලතා, ත්‍රස්තවාදී ක්‍රියා හා අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් යානා අනතුරට පත්වෙන අවස්ථා පිළිබඳව ඔබ අසා ඇති. අද අප ඔබට කියන්නට සූදානම් වන්නේ ඊට වඩා වෙනස් දෙයක් පිළිබඳවයි. ගුවන් යානා පියාසර කිරීමේදී කුරුල්ලන් සමඟ ගැටීම හේතුවෙන් ඇතිවන අනතුරු හෙවත් ගුවනේදී සිදුවන කුරුළු ප්‍රහාර පිළිබඳවයි අද ලිපියෙන් අප විස්තර කරන්නේ.

කුරුළු ප්‍රහාරයක් (Bird Strikes) යනු

කුරුළු ප්‍රහාරයකට ලක් වූ ගුවන් යානයක ඉදිරිපස (CNN.com)

ගුවන් යානයක් ගුවන් ගත කරන අවස්ථාවේදී, ගොඩ බැස්සවීම සිදුකරන අවස්ථාවේදී හෝ පහළ උච්චයන්හි (පහළ උසක) ගමන් කරන අවස්ථාවන් වලදී පක්ෂීන් ගුවන් යානයේ ගැටීම සරලව කුරුළු ප්‍රහාරයක් ලෙස හදුන්වනවා. මෙවැනි ගැටීමකදී සාමාන්‍යයෙන් පක්ෂියා එම අවස්ථාවේම මිය යන අතර ගුවන් යානයටද අලාභහානි සිදු වෙනවා. දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව හෙලිවන පරිදි ගුවන් ගමන් වාර 2000කට එක් කුරුළු ප්‍රහාරයක් එල්ල වෙනවා .

පක්ෂියෙකුට දැවැන්ත ගුවන් යානා අනතුරකට ලක් කළ හැකිද

ඉස්තාන්බුල් ගුවන් තොටුපොළේ දර්ශනයක් (Business Insider)

සාමාන්‍යයෙන් ගුවන් යානාවක් පැයට කිලෝමීටර් 350ක වේගයෙන් පියාසර කරන අතර A 380 වැනි නවීන ගුවන් යානා වල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 500ක් පමණ වෙනවා. සාමාන්‍ය ගුවන් යානාවක් ගුවන්ගත කරන විට එහි වේගය පැයට කිලෝමීටර් 275ක් පමණ වෙනවා. භෞතික විද්‍යා මුලධර්ම අනුව මෙවන් විශාල වේගයක් සහිත වස්තුවක කුඩා ක්ෂේත්‍රඵලයක, ස්කන්ධය කුඩා අගයක් ගන්නා වස්තුවක් ගැටුණු විට සිදුවන හානිය තරමක් විශාලයි.

කුරුළු ප්‍රහාර වලට සෑම විටම පාහේ ලක් වන්නේ උපරිම බලයක් ජනනය කරමින් ගුවන් යානය ඉහළ උච්ච්ච්යන්ට යොමුවෙන අවස්ථාවලදී හෝ ජවය පාලනය කරමින් ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්සවන අවස්ථාවන් වලදීයි. පියාසර කරන පක්ෂියා ගුවන් යානයේ මුහුණ කලාපයේ (Nose Corn), බඳෙහි, පියාපත්වල ඉදිරි මුහුණතේ හෝ ගුවන් යානාවේ එන්ජින් මත බහුල වශයෙන් ගැටීම සිදුවන අතර මෙමඟින් ගුවන් යානයේ ගමන් මගට මෙන්ම ජව සැපයුමටද​ බාධා එල්ල වෙනවා. විශේෂයෙන් පක්ෂීන් එන්ජිමේ ගැටීම හේතුවෙන් එන්ජිම ක්‍රියා විරහිත වීම හෝ ජව සැපයුම අපේක්ෂිත මට්ටමින් පවත්වා ගැනීමට හැකියාව නොලැබීම හෝ සිදුවිය හැකියි. බොහෝ විට මෙවැනි අවස්ථා වලදී ගුවන් ගමන අත් හිටුවා ආපසු ආරම්භක ගුවන් තොටුපොළට පැමිණීම හෝ ආසන්නයේ ඇති වෙනත් ගුවන් තොටුපොළකට ගොඩ බැස්සවීම සිදු කරනු ලබනවා.

එන්ජිමක ෆෑන් තල (Fan blade) මිනිත්තුවට වට 30000 ත් 4000ත් අතර ප්‍රමාණයක් භ්‍රමණය වන අතර පක්ෂීන් එහි ගැටීමෙන් ඒවාට දැඩි හානි සිදුවන අතර ගුවන් ගත කිරීමට අවශ්‍ය ජවය ලබා ගැනීමටද හැකියාව ලැබෙන්නේ නෑ. ගුවන් යානා වල ගැටීමෙන් සිදු වූ අනතුරු විශ්ලේෂණය කිරීමේදී, ගුවන් යානා එන්ජිමේ ගැටීමෙන් 44%ක්ද​, යානයේ පියාපත් කොටසේ (Wing) ගැටීම නිසා 31%ක්ද, ගුවන් නියමු කුටියේ පිහිටි වාමුවාවෙහි (Windshield) ගැටීම නිසා 13%ක්ද, ඉදිරිපස කලාපයේ ගැටීම හේතුවෙන් 8%ද, ගුවන් බදෙහි(Fuselage) ගැටීම හේතුවෙන් 4%ක්ද වශයෙන් ගුවන් අනතුරු ප්‍රතිශතයන් වාර්ථා වී තිබෙනවා.

කුරුළු ප්‍රහාර වලට ලක්වීමේදී ගුවන් යානය ගුවනේ පවතින අවධිය පිළිබඳව සැලකීමේදී 30%ක් යානය ගොඩ බැස්සවීම (landing roal) සිදු කරන අවස්ථාවේත් 29%ක් යානය ගුවන් ගත කරන (take off) අවස්ථාවේදීත්, 28%ක් යානය ගොඩ බැස්වීමට සුදානම් කරන අවස්ථාවේදීත්,10%ක් යානය ගුවන් ගත කර ඉහළ උච්ච්යන්ට යොමු වන අවස්ථාවන් වලදීත් කුරුළු ප්‍රහාර වලට ගොදුරුව තිබෙනවා.

කුරුළු ප්‍රහාර ඉතිහාසය

සිවිල් ගුවන් ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් යානයක පක්ෂියෙකු ගැටුණු බවට වාර්ථා වන්නේ 1905 වසරේ රයිට් සහෝදරයෙකු විසින් ගුවන් යානය පදවන අවස්ථාවකදීයි. ඒ බව ඕවිල් රයිට් තම දිනපොතේ සටහන් කර තිබෙනවා. පක්ෂියෙකු ගුවන් යානයක ගැටීම හේතුවෙන් ප්‍රථම වරට මිනිස් ජිවිතයක් අහිමි වන්නේ 1912 වසරේ කැලිෆෝනියාවේදීයි. 1960 වසරේ ඔක්තෝම්බර් මස 4 වන දින බොස්ටන් සිට ගුවන් ගතවන ඊස්ටන් ගුවන් සමාගමට අයත් ලොක්හීඩ් වර්ගයේ ගුවන් යානාවක්, මගීන් 72ක් සමඟ කුරුළු ප්‍රහාර රැසකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ හේතුවෙන් යානයේ එන්ජින් හතරම අක්‍රිය වී කඩා වැටෙන අතර මගීන් 62ක් මෙම අනතුරෙන් මරණයට පත්වෙනවා. පක්ෂීන් ගැටීම හේතුවෙන් ලොව මෙතෙක් සිදු වූ බිහිසුණම අනතුර ලෙස මෙය ඉතිහාසයට එකතු වෙනවා.

2009 වසරේදී ඇමරිකානු ගුවන් සමාගමට අයත් A 320 වර්ගයේ ගුවන් යානාවක් කුරුළු ප්‍රහාර රැසක් හේතුවෙන් එන්ජින් අක්‍රිය වීම සිදු වෙනවා. නමුත් ගුවන් නියමුවා දක්ෂ ලෙස හඩ්සන් ගංගාව වෙත යානය ගොඩ බැස්වීමට සමත් වීම හේතුවෙන් මගීන් 150ක ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.

කුරුළු ප්‍රහාරයකින් අනතුරුව හඩ්සන් ගංගාව වෙත A320 යානය ගොඩ බැස්සවීම (spoki.tvnet.lv)

2015 වසරේ මැයි 3 වනදා තුර්කි එයාර් ලයින් සමාගමට අයත් ගුවන් යානයක් කුරුළු ප්‍රහාරයට ලක් වීම, 2016 වසරේ මාර්තු 11 වනදා ඊජිප්තු ගුවන් සමාගමට අයත් Boeing 737-800 ගුවන් යානය කුරුළු ප්‍රහාරයකට ලක් වීම මෑත කාලයේදී සිදු වූ කුරුළු ප්‍රහාර අතරින් දෙකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.

කුරුළු ප්‍රහාරයන්ට හේතූන් හා ඒවා වැලක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

කුරුළු ප්‍රහාර හේතුවෙන් ඉදිරිපස වීදුරු පුපුරා ගොස් ඇති අන්දම (Bird Strike News)

කුරුළු ප්‍රහාරයන්ට ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන තිබෙන්නේ නගර ආශ්‍රිත ආකර්ශණිය ගුවන් තොටුපොළවල් ඉදිවීමයි. වර්තමානය වන විට තෘණ හා ශාක වර්ග යොදා ගනිමින් ආකර්ශනීය රටාවන්ට සැකසූ ගුවන්තොටුපොළවල් පක්ෂීන්ට වාසස්ථාන නිර්මාණය කර දෙනවා. අක්‍රමවත් ලෙස ගුවන්තොටුපොළ අවට පිහිටා තිබෙන දිය කඩිති හා කළමනාකරණයක් නොමැති විවෘත ජල පද්ධතින්ද තවත් එක් සාධකයක් වෙනවා. ශබ්ධය ඉතා අවම වන ලෙස ගුවන් යානා නිර්මාණය කර තිබීමත් සංක්‍රමණික පක්ෂීන්හට ගුවන් තොටුපොළක් පිළිබඳව හරි හැටි අවබෝධයක් නොමැති වීම තවත් කරුණු වෙනවා.

කුරුළු ප්‍රහාර වැලක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග අතුරෙන් වන සතුන්ගේ ක්‍රියාවන් පාලනය කිරීම වෙනුවෙන් පුහුණු කාර්ය මණ්ඩලයක් යෙදවීම හදුන්වා දිය හැකියි. මෙහිදී කුරුළු වාසස්ථාන නිර්මාණය කළ හැකි ස්ථාන ඉවත් කිරීම, ආහාර සපයා ගැනීමට හැකි ස්ථාන ඉවත් කිරීම හා දිය කඩිති වැනි ජල පෘෂ්ඨයන් ඉවත් කිරීම මෙන්ම මනා අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම සිදු කරනවා. පක්ෂීන් පලවා හැරීමට බොහෝ රටවල ගිනිකෙළි වර්ග හා ආලෝක ධාරා භාවිතා කරන අතර පුහුණු කරන ලද සුනඛයන් හා උකුස්සන්ද යොදා ගන්නවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් (ICAO) මෙන්ම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයෙන් (IATA) ලබා දෙනවා.

ස්භාවික සෞන්දර්යයෙන් යුත් පරිසර පද්ධතීන් පවතින කලාපයක පිහිටා තිබෙන ගුවන් තොටුපොළකට කුරුළු ප්‍රහාර එල්ල වීමේ වැඩි අවධානමක් පවතින අතර ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ මෙන්ම මත්තල ගුවන් තොටුපොළටත් එම තත්වය පොදුයි. 2012 වසරේ කාටුනයක ගුවන්තොටුපොළේ සිදු වූ කුරුළු ප්‍රහාර 16ක් ලෙසද 2013 වසරේ 30ක් ලෙසද සදහන් වෙනවා. 2014 වසරේ මත්තල ගුවන්තොටුපොළේ කුරුළු ප්‍රහාර 15ක් වාර්ථා වී තිබෙනවා.

කෙසේ නමුත් ගුවන් සේවා කර්මාන්තයේ සාර්ථකත්වය රදා පවතින්නේ කුරුළු ප්‍රහාර නැවත්වීම සඳහා ක්ෂණික හා කෘතීම විසදුම් ඉදිරිපත් කිරීමෙන් නොව සොබා දහම සමඟ බද්ධ වෙමින් මෙම ප්‍රහාර සඳහා තිරසාර විසදුම් ගෙන එමෙන් පමණක් බවත් අවසානයේ සටහන් කළ යුතුයි.

කවරයේ ජායාරූපය – The Telegraph

Related Articles