Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමසන් වනාන්තරයේ වෙසෙන බෝරා ගෝත්‍රිකයන්ගේ ජිවිත

ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ජීවත් වෙන ගෝත්‍ර කිහිපයක් සිටිනවා. මේ අතරින් එක් ගෝත්‍රයක් ලෙස බෝරා ගෝත්‍රය හැඳින්විය හැකියි. බෝරාවන්ගේ ඇඳුම් පැළදුම්, නිවාස, සංස්කෘතිකමය, ආහාරමය හා විලාසිතවන්ද ඉතාමත් සරල බවින් යුක්ත වනවා. මේ ආකාරයට සරල දිවි පෙවෙතකට උරුමකම් කියන මොවුන් ගේ ජීවිත කතාව ගැන දැන කියා ගැනීමට මෙම ලිපිය මඟින් හැකියාව ලැබෙනවා.

ජනාවාස වල පිහිටීම

worldhelp.net( බෝරාවරුන් තිදෙනෙක්)

ඉක්‍යුටස් (Iquitos) නමැති ප්‍රදේශයේ සිට පැයක පමණ දුරකට වන්නට මෙම මොමොං ගඟ(Momon)  පිහිටා තිබෙනවා. ඒ අනුව බෝරාවරුන්ගේ ජනාවාස පිහිටුවා ගෙන තිබෙන්නේ මෙම මොමොං ගඟ පාදක කර ගෙනයි.

ඒ වගේම Putumayo and Napo යන ගංගාවන් දෙක අතර ජීවත් වන පේරු, බ්‍රසීල, කොලොම්බියා ආදී ඇමේසන් වනාන්තර ආශ්‍රිත ජීවත් වන දේශීය ජනතාව වන බවද දැක්වෙනවා.

නමුත් බෝරා ගෝත්‍රිකයන්ගේ මුල්ම ජනාවාස පිහිටුවා ගැනීම ලෙස හැඳින්වෙන්නේ මෙම අවසථාව නොවේ. මීට පෙරාතුව ඔවුන් උතුරට වන්නට ජිවත් වී තිබෙනවා. නමුත් පසු කාලීනව ඇමසන් වනයේ රබර් වැවීම සිදු වූවා. ඒ මහා පරිමාණ රබර් ව්‍යාපාරිකයන්ගේ පැමිණීමත් සමඟයි. මේ හේතුවෙන් මෙම ගෝත්‍ර වාසීන්ට මොවුන් කාලාන්තරයක් තිස්සේ භුක්ති විඳි ඉඩ කඩම් අහිමි වීමක් සිදු වුණා. ඒ 20 වන සියවසයේ පමණ බව වාර්තා වනවා. අනතුරුව ගංගාව දිගේ පහළට වන්නට ගමන් කල බෝරාවරුන්ට ඉක්‍යුටස් නම් ප්‍රදේශය හමු වීමත් සමඟ එහි ජනාවාස පිහිටුවා ගැනීම සිදු කර ගෙන තිබෙනවා.

මෙම ගෝත්‍රිකයන්ගේ ජනගහනය ගැන අවධානය යොමු කිරීමේදී එය 3500 ට වඩා වැඩි නොවෙන බව දැක්වෙනවා. නමුත් 1900 දී පමණ බෝරාවරුන් 35000 ක් පමණ ජීවත් වී තිබෙනවා. මෙසේ ජනගහනය අඩු වීමට හේතුව ලෙස දැක්වෙන්නේ රබර් වැවීමට පැමිණෙද්දී සමහරක් බෝරා තරුණයින් එම සමාගම් හා එක්වීමයි.

මේ ආකාරයට වනාන්තර ආශ්‍රිතව ජිවත් වන මොවුන්ට ලී දඬු හා මැටි ආදිය භාවිත කරමින් ගෙවල් සාදා ගැනීමේ නිපුණත්වයක් හිමි වී තිබෙනවා. ඒ වගේම රූස්ස කැලයේ තිබෙන ශක්තිමත් ගස් උපයෝගී කරගෙන පාරු සාදා ගඟ දිගේ ප්‍රවාහනය කිරීම් ද සිදු කරනු ලබනවා.

ඇඳුම් පැළඳුම් හා අත්කම්

alexinwanderland.com( බෝරා ගෝත්‍රිකයන් විසින් නිර්මාණය කරන ලද වෙස්මුහුණු)

බෝරා ගෝත්‍රිකයන්ගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කිරීමේදී මොවුන් යටි කය පමණක් ආවරණය කිරීම සිදු කරනු ලබනවා. එසේ යටි කය ආවරණය කිරීම සිදු කර ගනු ලබන්නේ ශාක පත්‍ර ආශ්‍රයෙන් නිපදවා ගනු ලබන තුවා බඳු රෙදි විශේෂයක් මාර්ගයෙනි. එය ඇත්ත වශයෙන්ම සායක් වැනිය. මෙය ගැහැණු පිරිමි යන දෙපක්ෂයම විසින් අඳිනු ලබන ඉතාමත් විචිත්‍රවත් ඇඳුමකි. විවිධ වර්ණ උපයෝගී කර ගනිමින් අඳිනු ලබන මෝස්‌තර මේවායේ අන්තර්ගත වනවා.

මේ ආකාරයට විවිධ වර්ණ හා මෝස්‌තර යොදා ගැනීම සිදු කරන ආකාරය ඉතාමත් අපුරුයි. එයට හේතුව ඒ සියල්ලක්ම පරිසරය මඟින් ලබා ගන්නා ස්වාභාවික දේවල් වීමයි. ඉඟුරු යොදා ගනිමින් කහ පැහැය ලබා ගනු ලබනවා. ඒ වගේම කළු වර්ණය හුයිටෝ නමැති ශාකයේ ඵල මඟින් ලබා ගන්නවා. වාතය සමඟ ටික වෙලාවක් තිබීමෙන් අනතුරුව මෙසේ කළු වර්ණය ලබා ගැනීමට හැකි වනවා. මේ ආකාරයට සලකා බැලූ විට වර්ණ ලබා ගැනීම ශාක පත්‍ර හා ගෙඩි සිදු කර ගනු ලබනවා.

බෝරා වරුන් විසින් සිදු කරනු ලබන තවත් සුවිශේෂී නිර්මාණ අතර විවිධ අත්කම්ද වනවා. මේ අතර බෝනික්කන්, වෙස්මුහුණු, විදින තුවක්කු ආදිය වනවා. මේ ආකාරයට නිෂ්පාදනය කරන අත්කම් මෙම ගෝත්‍රිකයන් බැලීමට එන සංචාරකයන්ට ලබා දී කාසි ලබා ගන්නා බවද දැක්වෙනවා.

බෝරා වරුන්ගේ සංස්කෘතිය

බෝරා වරුන්ගේ සංස්කෘතිය ගැන ඔවුන් මහත් ආඩම්බරයට පත් වෙනවා. මෙසේ ආඩම්බරයට පත් වෙන සංස්කෘතිය අතරින් ඔවුන්ගේ නැටුම් වලට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. ඒ වගේම මොවුන් විසින්ම නිෂ්පානය කර ගනු ලබන බෙර වර්ගද තිබෙනවා. මෙසේ බෙර වර්ග ආදී වාද්‍ය භාණ්ඩ භාවිතා කර ගනිමින් පවත්වනු ලබන උත්සව අවස්ථාවන් වල බෝරාවරුන් රැය පුරාම නටන බවද දැක්වෙනවා. බෝරා නැටුම් සිදු කරනු ලබන්නේ දිගු රිටක් ගෙන එය පොළොවට අනිමින් රවුමට ඇවිදීම, දිවීම ආදී ඇඟ සෙලවීම් මඟිනුයි.

තවත් සංස්කෘතික අංගයක් ලෙස විචිත්‍රවත් හිස් වැසුම් පැළඳීම දැක්විය හැකියි. ශාක පට්ට වලින් හා මැකෝ නමැති ගිරවුන්ගේ නොයෙක් වර්ණයෙන් යුත් පිහාටු වලින් මෙම හිස්වැසුම් සාදා ගනු ලබනවා. ඒ වගේම මෙසේ සාදා ගනු ලබන හිස් වැසුම් කාන්තා, පිරිමි දෙපක්ෂයම පළඳිනු ලබන්නේ මහත් ආඩම්බරයෙන් යුක්තවයි.

ඒ වගේම බෝරා ගෑනු ළමයි කම්මුල්, දෙතොල්, ශරීරය විවිධ වර්ණ වලින් පින්තාරු කර ගැනීමද සිදු කරනු ලබනවා.

බෝරා වරුන්ගේ ආහාර රටා හා දඩයම්

දඩයම් කිරීම මඟින් මෙන්ම ගොවිතැන් කිරීම මඟින්ද මොවුන් සිය ආහාර සපයා ගැනීම සිදු කරනු ලබනවා. ඔවුන් විසින්ම නිෂ්පාදනය කරනු ලබන විදින තුවක්කු මඟින් ගංගාවේ මත්ස්‍යයින්ට විද, ආහාරය සඳහා සපයා ගනු ලබනවා. ඒ වගේම කුඩා කුඩා සතුන් විශේෂද මරා ආහාර ලෙස ගනු ලබනවා.

ළමා අවදියේ සිටම බෝරාවරුන් ඔවුන්ගේ පිරිමි දරුවන් දඩයමට පුහුණු කරනු ලබනවා. ගැහැණු දරුවන් ගැන සලකා බැලීමේදී ඔවුන් අත්කම් වලට යොමු වෙනු ලබනවා. දඩයමට දක්ෂ තරුණයෙකුගේ පතිනියක් බවට පත් කොට දරුවන් හදා ගැනීම මොවුන්ගේ අවසන් බලාපොරොත්තුව වෙනවා.

බෝරා වරුන්ගේ බෙහෙත්

අනිකුත් මනුස්‍ය වර්ගයා මෙන්ම මොවුන්ද අසනීප වීම ලෝක ස්වභාවයයි. නමුත් මෙවැනි අවස්ථාවක ඔවුන් භාවිතා කරනු ලබන්නේ කොකා නම් පැළෑටියකුයි. මෙම ශාකයේ කොළ කොටා ලබා ගන්නා යුෂය ප්‍රතිකාරය ලෙස ගන්නවා.

මේ ආකාරයට ජීවත් වන බෝරා ගෝත්‍රය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරල ගති ඇති මිහිපිට වාසය කරන අපි වැනි තවත් මිනිසුන් කොටසක් වෙනවා.

කවරයේ පින්තුරය: gloriarising.com

Related Articles