Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිමාලයේ සිට බෙංගාල බොක්කට ඇදෙන දකුණු ආසියාවේ විශාලතම නදිය – බ්‍රහ්මපුත්‍ර

ඉන්දියාවේ විශාලතම නදිය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ ගංගා නම් නදිය යි. එහෙත් ඉන්දියාව හරහා ගලා යන බ්‍රහ්මපුත්‍ර නදිය ගංගා නම් ගඟට වඩා විශාලය. දිගින් වැඩිය. බ්‍රහ්මපුත්‍ර රැගෙන යන ජල කඳ ගංගා නම් ගඟට වඩා වැඩිය. රටවල් 4ක් හරහා කිලෝමීටර 2900ක් ගෙවා බංග්ලාදේශයෙන් මුහුදට ඇදෙන බ්‍රහ්මපුත්‍ර නදිය ගැන වටිනා කරුනු ටිකක් දැන ගමු.

බ්‍රහ්මපුත්‍රයේ අතු ගංගාවක් හරහා දිවෙන ඉන්දියාවේ දිගම පාලම භූපන් හසාරිකා (DHOLA SADIYA RIVER BRIDGE, Wikimedia Commons)

රටවල් 4ක් හරහා ගලන නදිය

මෙම ගංගාව ඉන්දියානු ඇසෑමය අරුනාචල් ආදී ප්‍රදේශ​ හරහා ගලායන විට එය ප්‍රමුඛ ලෙසම බ්‍රහ්මපුත්‍ර ලෙස හඳුන්වයි. එහෙත් මෙම නදියම චීනයේදී සහ ටිබෙටයේදී Yarlung Tsangpo ලෙස හැඳින්වේ. ගංගාව චීන ටිබෙටයෙන් ආරම්භ වී ඉන්දියාව හරහා ගොස් බංග්ලාදේශයට පිවිසේ. බංග්ලාදේශයේදී නදිය ජමුනා ලෙස හැඳින්වේ. ජමුනා නදිය අවසායේ බංග්ලාදේශයෙන් මුහුදට එකතු වන්නේ ගංගා නම් නදිය හා එකතුව පද්මා නදිය ඔස්සේය.

මෙම බ්‍රහ්මපුත්‍ර නදිය ඒ ඒ පලාත් වාසින් විවිධාකාර නම් රැසකින් ආමන්ත්‍රනය කරන්නේය. විවිධ සංස්කෘතින් රැසක් හරහා ගලාබසින බ්‍රහ්මපුත්‍ර නදිය ටිබෙටයේද ඊසානදිග ඉන්දියාවේද බංග්ලාදේශයේද ජීවය රඳාපවතින ප්‍රධාන ජල මාර්ගයකි.

ටිබෙටයේ අගනුවර වන ලාසා, ඉන්දීය ඇසෑමයේ අගනුවර වන ගුවාටි සහ බංග්ලාදේශයේ අගනුවර වන ධකා ආසන්නයෙන් මෙම නදිය ගලායයි. රටවල් තුනක ජන ජීවිතයට වැදගත් වූ මෙම බ්‍රහ්මපුත්‍ර නදියෙන් පෝෂණය​ වන ජනතාව මිලියන 300කට වඩා අධිකය.

චීන ටිබෙටයේදී බ්රහ්මපුත් නදියේ Yarlung  Tsangpo කොටස

Yarlung Tsangpo කොටස (mjjq.com)

මුහුදු මට්ටම අනුව ඉහලම ස්ථානයකින් ආරම්භ වන මහා නදී අතර අග්‍රස්ථානය හිමිවන්නේ මෙම යාලුන්/ බ්‍රහ්මපුත්‍ර නදියටයි. ආරම්භක අවස්ථාවේදී මෙම නදිය කිලෝමීටර සිය ගනනක් ඇදෙන්නේ මීටර 4000කටත් වඩා මුහුදු මට්ටමේ සිට උසවූ ග්ලැසියර කදු අතරිනි. Angsi නම් වූ ග්ලැසියරය මූලික වූ ග්ලැසියර මාලාවකින් මුල් අවස්ථාවේදී යාලුන් නදිය පෝෂණය​ වේ. මෙම යාලුන් නදිය ගලන ටිබෙට් සිමාව වූ කලී දකුනු ආසියානු මෝසම් වර්ශාවට පිටුපා පිහිටි හිමාල සීමාවයි. එවිට එම පලාත්වලට මෝසම් වැසි වැටෙන්නේ අඩුවෙනි.එ බැවින් ග්ලැසියර හිම මතින් ඇරඹෙන නදිය බොහෝ දුරක් ශීතල කාන්තාර පලාත් පසුකර ඉදිරියටම ඇදෙන්නීය.

මෙම ටිබෙට් සීමාවේදී නදියේ පාවෙන බෝට්ටු පැදීමද වර්ථමානයේ ජනප්‍රිය වී තිබේ. වෝටර් රාෆ්ටින් (Water Rafting), කයාකින් ආදී ඉසව් ජනප්‍රිය වී ඇතත් විටෙක භයංකර රැලි සහ ඉතා වේගයෙන් ගලන නදී දිය කඳ​ හමුවේ මෙම ජල ක්‍රීඩා කිරිම ජීවිතයත් මරණයත් අතර කරන සටනකි. බෝට්ටු පදින්නන්ට​ ටිබෙටයේ යාලුන් නදියේ සැඩ පහර යනු තවත් එක් අනතුරුදායක ඉසව්වකි.

යාලුන් නදියේ ආරම්භක කොටස නාසා ඇසින් (NASA)

ඉන්දීය බ්රහ්මපුත් කොටස

ඉන්දියාවේ දීර්ඝතම පාලම කිලෝමීටර 9.15ක් වූ භූපන් හසාරිකා පාලමයි. එය ලෝහිත් නම් බ්‍රහ්මපුත්‍ර නදියේ අතු ගංගාවක් හරහා ඉදිවූ පාලමකි. මෙම පාලම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 2017 දී විවෘත කරන ලදී. බ්‍රහ්මපුත්‍ර නදිය ලෝකයේ ගංගා අතර පළලින් 5 වන ස්ථානයේ පසු වෙයි. ගංගාව බොහෝ ස්ථානවලදී කඹයක් මෙන් වූ උප ගංගා රැසකින් සමන්විත වන හෙයින් ගංගාවට විශාල භූමි ප්‍රදේශයක් අයිති වේ.

මෙම මහා නදියේ ටිබෙට් කොටසේද මීටර 3000ක උස මට්ටම දක්වා බෝට්ටු ධාවනය කල හැකිය. ඉන්දීය බ්‍රහ්මපුත්‍රයේ නම් කුඩා ප්‍රමාණයේ නැව්ද ධාවනය වේ.ගංගාව තුල නැව් බෝට්ටු මගින් මගින් සහ භාණ්ඩ​ ප්‍රවාහනය තවමත් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේදී සිදු වේ. ඉන්දීය බ්‍රහ්මපුත්‍ර නදිය වැසි සමයේදී වර්ග කිලෝමීඨර ලක්ෂ ගණනක විශාල භූමි ප්‍රදේශයක් ගංවතුරට හසු කරනු ලබයි. මෙම ගංවතුර තත්වය මිනිසාට නරක අතට බලපාන නමුදු සත්ව හා වගුරුබිම් ආශ්‍රිත ජීව පද්ධති වලට නම් එය සාමාන්‍ය කරුණකි. මෙම වගුරුබිම් ආශ්‍රිතව මී හරකා, රයිනෝසිරස්, මුවන් හාවුන් වැනි සිව්පාවුන් ද වාසය කරති. බ්‍රහ්මපුත්‍රය අසබඩ ඉන්දියානු ඇසෑමයේ පිහිටි කාසිරංගා ජාතික වනෝද්‍යානය රයිනෝ,කොටිවලුන්, අලින් ඇතුළු වනසතුන් රැසක් එකවර දැකගත හැකි වනෝද්‍යානයකි.

බ්‍රහ්මපුත්‍ර සහ ගංගා සිතියම. (evartha.in)

බෙංගාල බ්රහ්මපුත් නදිය

ඉන්දියාවේ සිට පැමිණෙන ගංගා නම් ගඟ හා එකතුව බ්‍රහ්මපුත්‍රය බෙංගාල බොක්ක කරා පද්මා නම් වූ එකම මගක ඇදෙන්නේ 18 වන සියවසේදී වූ භූමිකම්පාවකින් පසුව බව කියනු ලබයි. ලොව ගංගා ඩෙල්ටාවන් අතර විශාලතම ඩෙල්ටාව මෙම ගංගානම් ගග සහ බ්‍රහ්මපුත්‍රය මුහුදට වැටෙන බංගලිදේශ ඉන්දීය ඩෙල්ටාවය. එය සමස්ථ බංගලිදේශ මුහුදු සීමාව පමණක් නොව ඉන්දීය කල්කටාව දක්වාද වපසරියක පැතිර පවතී.

ගංවතුර අනතුර

ගංවතුර අවස්ථාවක කෙහෙල්කොට පාරුවක් පැදයන දරුවන් (leher.org)

බංග්ලාදේශයේ ජමුනා (බ්‍රහ්මපුත්‍ර බංගලි කොටස) නදී ආසන්නයේ සහ දූපත් වල පමණක් වාසය කරන ජනතාව ලක්ෂ 6කට වඩා වැඩිය. මෙම ජනයා ගංගාව සමග සිය ජීවිතය බෙදාහදා ගනිමින් ජීවත් වෙති. මෝසම් සමයේදී ජලයෙන් පිරෙන ඇතැම් භූමි වෙනත් කාලවලදී වැලි වැටි සහ මඩවැටි ආදි ලෙස විශාල පලාත් වසාගෙන පවතී. බංග්ලාදේශය යනු ජන ඝනත්වය අධිකතරම විශාල දුප්පත් රටකි. එබැවින් ජනයා මේ ගංගාව නම් වැසි කල ගලන්නේය, මේ ප්‍රෙද්ශ යටවන්නේය යන්න විශාල කොට සැලකිමක් නැතිව තැන් තැන් හි පැල් අටවාගෙන දුකසේ ජීවත් වෙති.

මෝසම් වැසිකල චීනයේ සහ ඉන්දියාවේ බ්‍රහ්මප්‍රත්‍ර ඉහල පලාත් ජලයෙන් යට වන විට බංග්ලාදේශ බලධාරීහු ගංගා අසබඩ ජනයාට එම අනතුර දැනුම් දෙති. එවිට පෙර වසරවල් ගනනාවක් තිස්සේ කලාක් මෙන් ඔවුහු සිය බඩු පොදි ගසාගෙන උස් මුදුන් කරා යන්නේය. ඇතැම් විට එම කාලයේදී එන ගංවතුර මටටමට ඔරොත්තු දෙන ලෙස උසින් තැනූ අට්ටාල වැනි ඒවායේ ඔවුන් බෝට්ටුවලින් සිය ප්‍රවාහන පහසුකම සලසාගෙන වාසය කරන්නේය. මෙම ගංවතුර උවදුර දිනක් පැමිණ ඊලග දිනයේ පාන්දර පහව යන්නක් නොවේ. ඇතැම් කාලවලදී මසක් දෙකක් යනතුරු මෙලෙස සමස්ථ භූමියම ජලයෙන් යට ව පවතී.

මසක් දෙකක් ජලයෙන් යට වී සාරවත් ගංගා ජලයෙන් පෝශණය වූ මෙම භූමිය ගොවිතැන් වැඩට යෝග්‍යය. වැඩි වේගයක් නැති නිසල ජල තලා මිරිදිය මසුන් ඇතිකිරීමට සුදුසුය. ගංගා අසබඩ දුප්පත් ජනයා වට්ටක්කා, කැකිරි, රටකජු වැනි ගොඩබෝග වර්ග කිලෝමීටර සිය දහස් ගනනාවක් පුරා පැතිරී ඇති ගංගා වැලි වැටි සහ මඩ වැටි වල සිටුවති. වට්ටක්කා වැනි බෝග ඉක්මනින් පලදරන නිසාත් ගබඩාකරගෙන බොහෝ කලක් තබාගත හැකි නිසාත් වට්ටක්කා වගාව වඩාත් මෙම ගංගා දාරයන්හි ජනප්‍රිය වි තිබේ.

මහා නදිය

මෙම නදිය චීන ටිබෙටයෙන් බැමි බැඳ හරවා ගෝබි කාන්තාරයේ කොටසකට ජලය ගෙනයෑමට චීනය සැලසුම් කර තිබුනි. ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෙම මහා නදිය මගින් මෙගාවොට් 5000ක් තරම් විශාල බලයක් ලබාගත හැකි විදුලි බලාගාරයක් සැලසුම් කිරීමට ඉන්දියාව උත්සාහ ගත්තේය. එහෙත් ඒ දෙකම ව්‍යර්ථ වී ගියේය. ජනතා විරෝධතාද ඒ යෝධ සැලසුම් අකුලාගන්නට හේතු වන්නට ඇත. සක්‍රිය භූමිකම්පා කලාපයක් ඔස්සේ මෙම නදියේ චීන සහ ඉන්දිය මායිම් පිහිටා තිබේ. බ්‍රහ්මපුත්‍ර නදිය හරස් කිරීමෙන් ජනතාවට භූ කම්පාවකදී ඇතිවිය හැකි බලපෑම ගණනය කිරීමට නොහැකි තරමේ විශාලතර එකක් වන්නටද පුලුවන. කෙසේ වෙතත් තවමත් සම්පූර්ණයෙන්ම හරස් නොකල නොඉදුල් මහා ගංගාවන් අතරින් එකක් ලෙස බ්‍රහ්මපුත්‍රය විශාල පදාසයකට ජීවය සපයමින් බෙංගාල බොක්ක කරා ඇදේ.

Cover Image: ගැන්ඩන් පන්සලේ සිට පෙනෙන බ්‍රහ්මපුත්‍ර නදිය (Antoine Tavaneux)

Related Articles