Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිටපු CIA ඔත්තුකරුවා අල්ලා ගැනීමට ඇමරිකාව විසින් කළ පැනමා ආක්‍රමණය

පැනමාවේ හිටපු හමුදා පාලකයා වූ මැනුවෙල් නොරියේගා ඉකුත් මැයි 29 වනදා මිය ගියා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 83 ක් වුණා. 1980 දශකයෙන් වැඩි කොටසකදී පැනමාවේ සැබෑ පාලකයා වූ නොරියේගා දිගු කලක් තිස්සේ ඇමරිකාවේ සී.අයි.ඒ ඔත්තු සේවය සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූවා. කෙසේ නමුත් ඔහුගේ පාලනය අවසන් කළේ ද ඇමරිකානුවන් විසින් 1989 අග භාගයේදී සිදුකළ පැනමා ආක්‍රමණයයි.

නොරියේගා උපන්නේ 1934 දි. 1968 දී ඔමාර් ටොරියෝස් විසින් සිදු කළ හමුදා කුමන්ත්‍රණය අවස්ථාවේ නොරියේගා ටොරියෝස්ට සහය දුන් ප්‍රධානම පුද්ගලයකු වුණා. ඒ අනුව ටොරියෝස් විසින් ඔහුව ලුතිනන් කර්නල්වරයකු ලෙස උසස් කොට පැනමාවේ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස ද පත් කළා.

නොරියේගා ටොරියෝස් පාලනයේ ප්‍රධාන චරිතයක් වුණා. ඔහු පැනමා ඇලෙහි අයිතිය පිළිබඳ ටොරියෝස් – කාටර් ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලට ද සම්බන්ධ වුණා. එමෙන්ම ටොරියෝස්ට එරෙහිව දියත් වීමට ගිය හමුදා කුමන්ත්‍රණයක් ද ව්‍යර්ථ කිරීමට නොරියේගා දායක වුණා.

CIA ඔත්තුකරු

නොරියේගා සහ සී.අයි.ඒ. සංවිධානය අතර සබඳතා දිගු කලකට දිව යන බව විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් 1960 දශකයේ අවසන් භාගය වනවිට ඔවුන් අතර පැහැදිලි සබඳතාවක් තිබී තිබෙනවා.

නොරියේගා නිරවි යුද්ධ සමයේදී ඇමරිකානු කඳවුරේ පක්ෂය ගත් අයෙකු වුණා. නිකරාගුවාවේ සැන්ඩිනිස්ටා ව්‍යාපාරය විසින් පිහිටුවන ලද වාමාංශික රජයට එරෙහිව ක්‍රියාත්මක වූ කොන්ට්‍රා කැරලිකරුවන්ට ආධාර කිරීම සඳහා නොරියේගා ඇමරිකානු බලධාරීන්ට උපකාර කළා. එමෙන්ම එල් සැල්වදෝරයේ ෆරාබුන්ඩෝ මාර්ටි විමුක්ති ව්‍යාපාරයට එරෙහිව කෙරෙන කටයුතු සඳහා ද නොරියේගාගේ සහය හිමි වුණා.

මේ අතර දේශීයව සිය බලය තර කරගැනීමට නොරියේගාට උපකාරයක් වුණේ ඇමරිකානුවන් සමඟ වූ කිට්ටු සබඳතාවයයි.

නොරියේගා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ද සබඳතා පැවැත්වූ අතර ඒ ආශ්‍රයෙන් විශාල ආදායමක් ද ලබාගත්තා​. ඇමරිකානු ඔත්තු සේවය සමඟ ඔහු පැවැත්වූ සම්බන්ධතාව හේතුවෙන් නොරියේගාට මෙම ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට හැකියාව තිබීම ඊට හේතුව වුණා.

නොරියේගා බලයට පත් වීම​

1981 ජූලි 31 වනදා ජෙනරාල් ඔමාර් ටෙරියෝස් අභිරහස් ගුවන් අනතුරකින් මිය ගියා. ඉන්පසු ටික කලක් පැවති අභ්‍යන්තර බල අරගලයකින් පසු නොරියේගා හමුදාවේ ප්‍රධානියා බවට පත් වුණා. එතැන් පටන් 1989 අවසානය වනතුරු පැනමාවේ සැබෑ පාලකයා වූයේ ඔහුයි.

1984 මැයි මාසයේදී ඔහු සිය පාලනයට නෛතිකභාවයක් ආරෝපණය කිරීම සඳහා වසර 16 කට පසු පැවති පළමු ජනාධිපතිවරණය පැවැත්වූවා. මෙහිදී හිටපු ජනාධිපති ආර්නුල්ෆෝ අරියාස් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බව පැහැදිලි වූ අතර එම අවස්ථාවේ නොරියේගා මැතිවරණ ප්‍රතිඵල විකෘති කොට ඔහුට හිතවාදී වූ නිකොලස් බාර්ලෙටා ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළා.

ඇමරිකාව හා හොඳහිත පළුදු වෙයි

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු ද වූ හියුගෝ ස්පැඩැෆෝරා, නොරියේගා ගෙනගිය ඒකාධිපති පාලනයට සහ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ පැවැත්වූ සම්බන්ධතාවලට එරෙහිව පිටරට සිට සටන් කළා. 1985 දී ඔහු යළි පැනමාවට පැමිණි නමුත් කොස්ටාරිකාවේ සිට පැනමාවට ඇතුලු වනවිට නොරියේගාගේ සහචරයින් විසින් අල්ලාගනු ලැබුණා. ඔහුට දරුණු ලෙස වධ හිංසා කර මරා දමනු ලැබුණ අතර ඔහුගේ කවන්ධ (හිසසුන්) මළ සිරුර පොහොර බෑගයක වැනි බාගයක තිබී හමු වුණා. නමුත් මෙම ඝාතනය පිළිබඳ නිසි ආකාර පරීක්ෂණයක් පවත්වනු ලැබුණේ නැහැ.

මෙම සමය වනවිට නොරියේගා සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ප්‍රශ්න මතුවෙමින් පැවතුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ නොරියේගාගේ සබඳතා පිළිබඳ මාධ්‍යවලින් වාර්තා වීම මීට ප්‍රධාන වශයෙන් බලපෑවා. එසමයෙහි වූ ඉරාන – කොන්ට්‍රා ගනුදෙනුව සම්බන්ධයෙන් ද නොරියේගාගේ නම ගෑවී තිබුණේ කොන්ට්‍රා කැරලිකරුවන්ට මුදල්, අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සැපයීමේ මාර්ග නොරියේගා හරහා ද වැටී තිබූ හෙයින්. 1988 දී නොරියේගාට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ ඇමරිකාවේදී අධිචෝදනා ගොනු කෙරුණා.

ඇමරිකානු රූ රැජිණ ක්‍රිස්ටි ෆිෂ්නර් සහ පැනමා රූ රැජිණ ගිල්ඩා ගාර්සියා මාර්කේස් සමඟ (AP)

මෙසේ නොරියේගා සහ ඇමරිකානු පරිපාලනය අතර මතුවෙමින් පැවති ගැටුම නව ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් 1989 මුලදී වැඩ බාර ගැනීමත් සමඟ උත්සන්න වුණා.

මේ අතර 1989 මැයි මාසයේදී පැනමාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුණ අතර එහිදී ද නොරියේගාගේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබන බව පැහැදිලි වුණා. ඔහුගේ ප්‍රතිවාදීන් ප්‍රකාශ කළේ මූලික ප්‍රතිඵල අනුව ප්‍රතිවාදී අපේක්ෂක ගිලර්මෝ එන්දාරා 3 – 1 ක අනුපාතයකින් මැතිවරණය ජයගන්නා බවයි. මෙම අවස්ථාවේදී නොරියේගා ඡන්ද ප්‍රතිඵල අහෝසි කළේ බාහිර බලවේග විසින් මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බව පවසමින්.

මෙයින් පසු නොරියේගා සිය හිතවතෙකු වැඩ බලන ජනාධිපති ලෙස පත් කළ නමුත් ඔහු ජනාධිපති ලෙස ඇමරිකාව විසින් පිළිගැනුණේ නැහැ.

එම වසරේ ඔක්තෝබරයේදී නොරියේගා පාලනයට එරෙහිව මතුවූ හමුදා කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කෙරුණා. මේ අතර පැනමාව පිළිබඳ කිසිත් නොකරන බවට ඇමරිකානු පාලනය වෙත එල්ල වන චෝදනා ද උත්සන්න වීමට පටන් ගත්තා.

ඇමරිකන් ආක්‍රමණය​

1989 දෙසැම්බර් 15 වනදා පැනමා ව්‍යවස්ථාදායකය විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ ඇමරිකානු රජයේ ක්‍රියාකාරකම් සිය රජයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් ලෙස සැලකිය හැකි බවයි. මේ අතර ඇමරිකානු – පැනමා ඒකාබද්ධ පාලනය යටතේ පැවති පැනමා ඇළ ප්‍රදේශයේ සිටි ඇමරිකානු හමුදා සහ පැනමා හමුදා සෙබලුන් අතර ද සුලු ගැටුම් ඇති වෙමින් පැවතුණා.

මේ අනුව දෙසැම්බර් 20 වනදා පාන්දර 1.00 ට ඇමරිකානු හමුදා පැනමාව අල්ලා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඊට පැය කිහිපයකට පසු එම තීරණය පිළිබඳ පැහැදිලි කරමින් ඇමරිකානු රජය සඳහන් කළේ තමන් එම පියවර ගත්තේ කරුණු කිහිපයක් මත පදනම් ව බවයි.

මූලික වශයෙන් පැනමාවේ ඒ වනවිට සිටි ඇමරිකන් ජාතිකයන් 35,000 කගේ ජීවිත ආරක්ෂා කිරීම ප්‍රධාන වූ අතර ඒ සමගම පැනමාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ද ප්‍රකාශ කෙරුණා. පැනමා පාලකයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම ද තවත් හේතුවක් ලෙස දැක්වුණා.

එමෙන්ම ටොරියෝස් – කාටර් ගිවිසුම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද ඇමරිකානුවන් සිය ක්‍රියාන්විතයට හේතුවක් ලෙස දැක්වූවා. ඇමරිකාවේ චෝදනාව වූයේ නොරියේගා එම ගිවිසුම අහෝසි කිරීමට මාන බලන බවයි.

2011 දී ආපසු පැනමාවට පැමිණි අවස්ථාව (Reuters)

ආරම්භක ප්‍රහාරවලින් වැදගත් මූලෝපායික ස්ථාන අල්ලා ගැනීම ඇමරිකානුවන් ගේ ඉලක්කය වුණා. මේ අනුව පැනමා සිටි හි පුන්ටා පයිතිල්ලා ගුවන් තොටුපළ ද හමුදා මූලස්ථානය ද මුල් ම ඉලක්ක අතර වුණා.

මේ අතර ඇමරිකානු ආක්‍රමණය ඇරඹී පැය කිහිපයකට පසු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස පිළිගත් ගිලර්මෝ එන්දාරා එම ධූරයේ දිවුරුම් දුන්නා.

මූලික අවස්ථාවල දී පැනමා හමුදා සේනාංකවලින් ද ඇමරිකානුවන්ට සැළකිය යුතු ප්‍රතිරෝධයක් එල්ල වුණා. කෙසේ නමුත් දින කිහිපයකදී පැනමාවේ හමුදා පරාජය වුණා. නොරියේගා වතිකානු තානාපති කාර්යාලයේ සැඟවුණා.

යුද්ධ සිරකරු

දින කිහිපයක් එහි රැඳී සිටි නොරියේගා 1990 ජනවාරි 3 වනදා ඇමරිකානු හමුදාවනට භාර වුණා. ඔහුව මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුවේ භාරයට පත් කරන ලද අතර නඩු ඇසීම සඳහා ඇමරිකාවට ගෙනෙනු ලැබුණා. නොරියේගා සළකන ලද්දේ යුද්ධ සිරකරුවකු වශයෙනුයි.

ඇමරිකාවේ පැවති නඩු විභාගයෙන් පසු ඔහු සිර දඬුවමකට යටත් කෙරුණු අතර 2010 දී එරටින් ප්‍රංශයට පිටුවහල් කෙරුණේ එරටේ අධිකරණයක විභාග වූ තවත් නඩුවකටයි. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේයි. එම නඩුව මුලින් නොරියේගා නොමැතිව අසන ලද්දක් වුවද පසුව ඔහු ප්‍රංශ නිලධාරීන් ගේ අත් අඩංගුවට පත් වීම නිසා නැවත එම නඩුව විභාග කරනු ලැබුණා. එයින් ද ඔහු වරදකරු වුණා.

2011 දී නොරියේගා පැනමාවට එවන ලද අතර එහිදී තම රාජකාරී සමයේ කළ අපරාධ වලට නඩුවකින් වරදකරු ව සිරගත කෙරුණා. 2017 මුලදී ඔහුව නිවාස අඩස්සියට පත් කෙරුණේ වෛද්‍ය ප්‍රතිකාර සඳහායි. නොරියේගා මොළයේ කරන ලද ශල්‍යකර්මයකින් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ඉකුත් මැයි 29 වනදා මරණයට පත් වුණා.

මූලාශ්‍ර​

  1. Former Panamanian dictator Manuel Noriega dead at 83, NY Daily News
  2. wikipedia

Cover Image: AFP

Related Articles