Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රාග් හි පිහිටි යුදෙව්වන්ගේ සදාකාලික නවාතැන්පොළ

ක්‍රිස්තු පූර්ව දෙවැනි සහස්‍රයේ දී පමණ වත්මන් ඊශ්‍රායලය ආශ්‍රිත ප්‍රදේශය තම නිජබිම කර ගනිමින් බිහි වූ යුදෙව්වන්, ඔවුන්ට ආවේණික විවිධ සිරිත් විරිත් මෙන් ම ඔවුන්ගේ ඉහළ බුද්ධි මට්ටම නිසා ලෝක ප්‍රසිද්ධ යි. හීබෘෘවරුන්ගෙන් පැවත එන බව සැලකෙන යුදෙව්වන් හුදෙක් ම ආගමික කණ්ඩායමක් නො ව ජාතියක් ද වෙනවා. ඔවුන් විසින් අනුගමනය කරනු ලබන නොයෙකුත් චාරිත්‍ර අතරින් යුදෙව් භක්තිකයන් සඳහා ම වෙන් වූ සොහොන් බිම් තැනීම ද සුවිශේෂී වෙනවා.

(flickr.com)

යුදෙව් සාම්ප්‍රදායන්ට අනුව යුදෙව් භක්තිය අනුගමනය කරමින් සිටිය දී මිය ගිය අය මිහිදන් කරනු පිණිස විශේෂයෙන් ගොඩ නංවන යුදෙව් සුසාන භූමියක් සලකන්නේ ඉතාමත් පවිත්‍ර ස්ථානයක් ලෙස යි. අලුතෙන් ඉදි කරන ලද යුදෙව් සොහොන් බිමක් විවෘත කිරීමේ දී එය මළ ගිය ඇත්තන්ට කැප කිරීම සඳහා විශේෂ උත්සවයක් ද පවත්වනු ලබනවා. යුදෙව් සාම්ප්‍රදායන්ට අනුව යුදෙව් සොහොන් බිම් පූජනීය වන අතර ඒවා සදාකාලික ව ම කිසිවෙකුගේ බාධාවන්ට ලක් නොවිය යුතු යි. එසේ ම හා හා පුරා යුදෙව් සමාජයක් පිහිටු වීමේ දී සිදු කරනු ලබන මූලික ම කටයුතුවලින් එකක් ලෙස සොහොන් බිමක් ඉදි කිරීම හඳුන්වා දිය හැකි අතර එය නඩත්තුව සඳහා වෙනම ම ප්‍රජා අරමුදලක් ද ආරම්භ කරනවා.

(en.wikipedia.org)

මෙසේ මුල් කාලීනව යුදෙව් සාම්ප්‍රදායන් අනුගමනය කරමින් ඉදි කරන ලද සොහොන් බිම් අතරින් අද වන විට ඉතිරි ව ඇති පැරණිත ම සහ විශාලත ම සුසාන භූමියක් ලෙස ප්‍රාග් හි පුරාණ යුදෙව් සොහොන් බිම නම් කළ හැකි යි. මේ ඒ පිළිබඳ තොරතුරු ස්වල්පයක්.

ප්‍රාග් හි පුරාණ යුදෙව් සොහොන් බිමේ අතීත කතාව

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර පිහිටා ඇති ඓතිහාසික ස්මාරක අතරින් ඉහළ ම ස්ථානයක වැජඹෙන ප්‍රාග් හි පුරාණ යුදෙව් සොහොන් බිමේ දී දක්නට ලැබෙන පැරණිත ම සොහොන් ගලේ සඳහන්ව ඇති වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1439 වුවත් පුරාවෘත්තයන් හි සඳහන් වන පරිදි සොහොන් බිම භාවිතයට ගැනීම අරඹා ඇත්තේ එයට බොහෝ කාලයකට පෙර යි. වර්තමානයේ ප්‍රාග් නව නගරය පිහිටා ඇති ප්‍රදේශයේ අතීතයේ දී ‘යුදෙව් උද්‍යානය’ නමින් හඳුන්වන ලද භූමිය මත ගොඩ නගා ඇති එහි සොහොන් ගල් 12,000 ක් පමණ දක්නට ලැබෙන අතර අවසන් සොහොන් ගල ඉදි කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1787 දී යි.

(en.wikipedia.org)

ක්‍රිස්තු වර්ෂ 1439 දී ගොඩ නංවන ලද මුල් ම සොහොන් ගල යුදෙව් ධර්මාචාර්යවරයෙකු සහ කවියෙකු වූ අවිග්ඩෝර් කාරා වෙනුවෙන් කැප කර ඇති අතර 15 වැනි සියවසේ මැදින් ඇරඹි යුදෙව්වන් මිහිදන් කිරීමේ චාරිත්‍රය ක්‍රිස්තු වර්ෂ 1790 දී දෙවැනි ජෝසෙෆ් අධිරාජ්‍යයා විසින් සනීපාරක්ෂක හේතූන් මත නගර වළල්ල තුළ මළ සිරුරු මිහිදන් කිරීම තහනම් කරන තෙක් ම නොකැඩී පැවතුණා. පසු කාලීනව 17 වැනි සියවසේ දී වසංගත රෝග යුරෝපය පුරා පැතිරී යාමට පටන් ගැනීමත් සමඟ යුදෙව්වන් ශිශ්කොව් හි ගොඩ නංවන ලද නව සොහොන් බිමක් භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා.

සොහොන් ගල් හා බැඳුණු කතා

(kiniberita.com)

යුදෙව් සාම්ප්‍රදායන්ට අනුව මිහිදන් කරන ලද අයගේ සොහොන් ගල් බාධා කිරීම්වලට ලක් නොකළ යුතු නිසා ප්‍රාග් හි පුරාණ සුසාන භූමියේ ඉඩ ඇහිරුණු ස්ථානයක්. එයට හේතුව සොහොන් බිම තව දුරටත් පුළුල් කිරීම සඳහා ඉඩම් මිල දී ගැනීමට අපොහොසත් වූ අවස්ථාවල දී පැවති සොහොන් ගලක් මත අලුතෙන් ම සොහොන් ගල් ඉදි කිරීම යි. එසේ ම ඇතැම් මළ සිරුරු පොළොවේ ස්ථර 12 ක් තරම් ගැඹුරක තැන්පත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් යුදෙව් භූමදාන ස්මාරකයන් ආකාර දෙකකින් යුතු වෙනවා. පැරණි ස්මාරක බොහෝ විට දැව හෝ පාෂාණ යොදා ගනිමින් චත්‍රරස්‍රයක හැඩයට නිර්මාණය කරන ලද ඒවා වන අතර ඒවායේ මුදුනත අලංකාර කැටයම් දක්නට ලැබෙනවා. ‘ටුම්බා’ යනුවෙන් හඳුන්වන නව ස්මාරක කුඩ නිවසක හැඩය ගන්නා අතර ඒවා සාමාන්‍යයෙන් පොළව යට තැන්පත් කරනු ලබනවා.

(symbolsnet.com)

මුල් කාලීන සොහොන් ගල් සරල හැඩයන්ගෙන් යුතු වුවත් 16 වැනි සියවස වන විට අලංකාර කැටයම් යොදා ගනිමින් හැඩ කරන ලද සොහොන් ගල් තැනීම ආරම්භ වී තිබෙනවා. ඒ සෑම සොහොන් ගලක ම හීබෘෘ අකුරින් මිය ගිය පුද්ගලයාගේ නම, උපන් දිනය සහ මිහිදන් කළ දිනය සටහන් කර ඇති අතර මිය ගිය තැනැත්තාගේ වෘත්තිය, චරිතය සහ ඔහු ගත කළ ජීවිතය පිළිබඳ තොරතුරු දැක්වීම සඳහා සොහොන් ගල මත විවිධ සංකේත කැටයම් කර ඇති අයුරු දැක ගත හැකි යි.

ඒ අනුව ආශිර්වාද ලබා දෙන දෑත් මගින් යුදෙව් පූජකයන්, ජෝග්ගුව හා පාත්‍රයෙන් පල්ලියේ උදව්කරුවන්, ඔටුන්න මගින් යහපත් කීර්තිනාමය, මිදි වැල මගින් සමෘද්ධිමත් ජීවිතය, පොතක් මගින් සංගීත කණ්ඩායමේ නායකයා, වීණාව මගින් සංගීතඥයින්, විදින කටුව මගින් චිකිත්සකයින්, කතුරෙන් රෙදි මසන්නන් සහ වසු පැටවෙකු මගින් මස් මරන්නන් නිරූපණය කර තිබෙනවා.

(prague.fm)

ගෝලම් ගැන පුරාවෘත්තයක්

ප්‍රාග් හි පුරාණ සුසාන භූමියේ ඇති සොහොන් ගල් අතරින් ඉහළ ම සංචාරක ආකාර්ෂණයක් දිනා ගත් සොහොන් ගලක් ලෙස යුදෙව් ධර්මාචාර්ය ජෙහූඩා ලොව් බෙන් බෙසාලෙල්ගේ සොහොන හඳුන්වා දිය හැකි යි. 17 වැනි සියවසේ දී ප්‍රාග් හි වාසය කළ ඔහු පුරාවෘත්තයන් හි සඳහන් ආකාරයට ගෝලම් නම් යෝධ අපරූපියාගේ නිර්මාතෘවරයා යි.

(en.wikipedia.org)

ඔහු විසින් ව්ලාවා ගං ඉවුරෙන් ලබා ගත් මැටි යොදාගෙන නිර්මාණය කරන ලද ගෝලම්ට යුදෙව් චාරිත්‍ර සහ හීබෘෘ මත්‍ර යොදා ගනිමින් ආත්මයක් ලබා දී ඇති අතර නරක කාලවල දී යුදෙව්වන් ව ආරක්ෂා කළ ගෝලම්ට නොපෙනී සිටීම හැකියාව සහ මළ ගිය ඇත්තන්ගේ ආත්මයන් කැඳවීමේ හැකියාව පැවති බව කියැවෙනවා. පසු කාලීනව එය දරුණු වීම නිසා සිකුරාදා දිනෙක සවස් යාමයේ සබත් ඇරඹීමට ප්‍රථම ගෝලම් ව විනාශ කර දැමීමට සිදු වී තිබෙනවා.

කවරයේ පින්තූරය : (vebma.com)

මූලාශ්‍ර :

  1. en.wikipedia.org
  2. atlasobscura.com
  3. private-prague-guide.com
  4. avantgarde-prague.com
  5. prague.cz
  6. scrapbookpages.com

Related Articles