Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ළමා අයිතිවාසිකම් නීතිය පිළිබඳව ඔබ දැනුවත් ද? – III ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය

ළමා අයිතිවාසිකම් තහවුරු කොට සුරක්ෂිත කිරීම පිළිබඳව වන අන්තර්ජාතික නීති මාලාව පිළිබඳ අප Roar පාඨක ඔබ වෙත ලිපි දෙකක් හරහා තතු ගෙන ආවෙමු. මෙරට පවතින ළමා අයිතිවාසිකම් නීති රාමුව පිළිබඳව කථා කිරීමේදී අමතක කළ නොහැකි ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳව හැඳින්වීමක් ඔබ වෙත ගෙන එන්නට අප මෙම ලිපිය පාදක කරගන්නෙමු.

ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය

1989 වසරේ නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභික රාජ්‍යයන් සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය හෙවත් The Convention on the Rights of the Child යන්න එළි දැක්වුණා. වගන්ති 54කින් යුක්ත වන මෙම සම්මුතිය ළමුන් සතු වන ආර්ථික, සමාජයීය සහ සංස්කෘතිකමය අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇප කැප වීම තරයේ අවධාරණය කර සිටියි.  එම අන්තර්ජාතික ලියැවිල්ල අනුගමනය කරමින් එක්සත් ජාතීන්ගේ සෑම සාමාජික රාජ්‍යයක් විසින්ම එම ප්‍රඥප්තිය ජාතික මට්ටමින් අනුබද්ධිත කරගත යුතු විය. එකී පරිද්දෙන්ම, මෙරට වෙසෙනා දරුවන්ගේ ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතිකමය අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට මෙන්ම, එකී දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ආරක්ෂා කර දීමේ අරමුණින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය (The Childrens’ Chater) එළි දක්වනා ලදී.

http://www.travel-in-lanka.com

පූර්විකාව

ළමයකුගේ පරිපූර්ණ වූ ද, ඒකරාශී වූ ද වර්ධනය සඳහා ඔහු හෝ ඇය ප්‍රීතිමත් වූ ද, ආදරයෙන් හා අවබෝධයෙන් යුක්ත වූ ද වාතාවරණයක, පවුල් වටපිටාවක් තුළ ඇති දැඩි විය යුතු බව ප්‍රඥප්තිය පවසා සිටී. එමෙන්ම, ළමයකු සමාජයේ පෞද්ගලික ජීවිතයක් ගත කිරීමට සම්පූර්ණයෙන් ම සූදානම් ව සිටිය යුතු බව ද, විශේෂයෙන් ම, සාමයේ, ගරුත්වයේ හා අගතිගාමී නොවීමේ මෙන්ම ස්වාධීනත්වයේ, සමානාත්මතාවයේ හා එකමුතු භාවයේ ජීවය තුළ හදා වඩා ගත යුතු බව සැලකිල්ලට ගත යුතු බව ප්‍රඥප්තිය ප්‍රකාශ කර සිටී. මෙම ලිපියෙන් වැඩිදුරටත් දැක්වෙනුයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය තුළ අන්තර්ගත වන විශේෂ වගන්තීන් හි සාරංශයකි.

අන්තර්ජාතික ලියැවිල්ලෙහි සඳහන් පරිදිම, ජාතික ප්‍රඥප්තියෙහි පූර්විකාව මගින් ද උපතට පෙර මෙන්ම පසුව ද දරුවකුට හිමි විය යුතු අයිතීන් පිළිබඳ අවධානය යොමු කොට තිබීම විශේෂත්වයක් වේ. ශාරීරිකව සහ මානසිකව නොමේරූ අවධියක සිටීම හේතු කොට ගෙන දරුවකුට යෝග්‍ය වන්නාවූ නෛතික රැකවරණය ද ඇතුළුව, සියලු විශේෂ ආරක්ෂාවන් සහ රැකවරණයන් සලසා දීම අවශ්‍ය බව එහි සඳහන් වේ.

www.123rf.com

ප්‍රඥප්තියේ පළමු වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා නීතියට අනුව ළමයකු යනුවෙන් හැඳින්විය යුතු වන්නේ අවුරුදු 18 සැපිරී නොමැති අය බව සඳහන් වේ. මෙරට කම්කරු නීතීන් ප්‍රකාරව ශ්‍රමය යොදවා රැකියාවන්හි නිරත විය හැකි අවම වයස් සීමාව අවුරුදු 14 වන නමුත් වයස 18ට අඩු පුද්ගලයින් ළමුන් ගණයට අයත් වන බව පිළිගැනේ.

සමානාත්මතාවය

සමානාත්මතාවය සඳහා වන අයිතිය දෙවන ව්‍යවස්ථාව මගින් අවධාරණය කොට තිබේ. ළමයකුගේ හෝ එම ළමයාගේ හෝ දෙමාපියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුගේ ජාතිය, වර්ණය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් යම් මතයක් මත, ජාතික, ජනවාර්ගික හෝ සමාජීය මූලාරම්භය මත හෝ, දේපළ, අබලතාව, උපත හෝ වෙනත් තත්වය යනාදිය නොසලකා හරිමින් සියලුම ළමුන්ට මෙම ප්‍රඥප්තිය තුළ දක්වා ඇති සියලුම අයිතීන් හිමි විය යුතු බව එහි සඳහන් වේ. මෙහි උපත හෝ වෙනත් තත්වයක් යනුවෙන් හැඳිවෙනුයේ එම දරුවාගේ දෙමාපියන් විවාහක වුවද නැතද, එම දරුවාට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි.

දරුවාගේ වැඩිම යහපත

දරුවාගේ වැඩිම යහපත හෙවත් The best interest of the child නම් වූ මූලධර්මය තෙවන ව්‍යවස්ථාව සඳහා පාදක කොටගෙන ඇත. මින් අදහස් වන්නේ ව්‍යවස්ථාදායක, පරිපාලන, අධිකරණ මෙන්ම සුභ සාධන ක්‍රියාකාරකම් වලදී දරුවා හට වඩාත්ම හිතකර වන තීරණය වන්නේ කුමක්ද යන්න සලකා බලා එම තීරණය ක්‍රියාත්මක කළ යුතු වන බවයි. මෙම මූලධර්මය මෙරට දික්කසාද නීතිය සමඟ ද බැඳී පවතිනකි. කුඩා දරුවන් සිටිනා පවුලක දෙමාපියන්  දික්කසාද වීම සඳහා උසාවිය වෙත පැමිණෙන අවස්ථාවන්හි දී දෙමාපියන් පවසනා පරිදි සෑම විටකදීම ඔවුන්ට දරුවන්ගේ භාරකාරත්වය හිමි නොවන්නේ එහෙයිනි. අධිකරණය විසින් දරුවාගේ යහපත වඩාත් තහවුරු වන්නේ කුමන පුද්ගලයාගේ භාරකාරත්වය යටතේ සිටීමෙන්ද යන්න තීරණය කළ පසු එම පුද්ගලයාට දරුවාගේ භාරකාරත්වය හිමිවන්නේය. (එම පුද්ගලයා ඇතැම් විට මව හෝ පියා පමණක් නොව, වෙනත් ඥාතියකු ද විය හැකිය.)

www.youtube.com

ආර්ථික අයිතීන්

ළමුන්ගේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතීන් පිළිබඳව සිව් වන ව්‍යවස්ථාව තුළ සඳහන් වේ. මෙහි ආර්ථික අයිතීන් ලෙස හැඳින්වෙනුයේ දරුවකුට දිළිඳු කමින් තොරව ජීවත් වීමට ඇති අයිතිය මෙන්ම, සිය ශ්‍රමය සූරා කෑමට ලක්වන ආකාරයේ සහ සිය සෞඛ්‍යයට හානිකර වන ආකාරයේ අන්තරායකර රැකියාවන්ගෙන් මිදී, සිය දෛනික හෝ මාසික ආදායම් උපයා ගැනීමට ඇති අයිතියයි. ජීවත්වීමට ඇති නෛසර්ගික අයිතිය ප්‍රඥප්තියේ සය වන ව්‍යවස්ථාව හරහා පිළිගැනේ. එමෙන්ම, ළමයාගේ පැවැත්ම හා වර්ධනය හැකි උපරිම ප්‍රමාණයට සුරක්ෂිත කරනු ලැබීම ද ළමා අයිතිවාසිකමක් වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

අධ්‍යාපනය

ප්‍රඥප්තියේ විසි අට වන ව්‍යවස්ථාව ළමුන්ට අධ්‍යාපනයට ඇති අයිතිය පිළිබඳව කරුණු දක්වා සිටී. ප්‍රාථමික අධ්‍යාපනය සෑම ළමයෙකුටම අනිවාර්ය වන අතර, එය සෑම ළමයෙකුටම නොමිලයේ ලබා ගත හැකි විය යුතු විය යුතුය. ද්විතීයික අධ්‍යාපනය සඳහා ද ප්‍රවේශයන් සැකසිය යුතු වන අතර, අවශ්‍ය අවස්ථාවන්හි දි දරුවන් සඳහා මූල්‍යමය ආධාර ලබා දීම රජයේ වගකීමක් වන බව ද එහි පැවසේ. උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සෑම විටම දක්ෂතාවයේ පදනම මත හිමි විය යුතු බව ද එම වගන්තිය ප්‍රකාශ කර සිටී.

සියලුම ආකාරයන්ගේ අයුතු ලිංගික ක්‍රියාවන් සඳහා ළමුන් යොදවාගනු ලැබීමෙන් සහ අයුතු ලිංගික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගනු ලැබීමෙන් ළමුන් ආරක්ෂා කළ යුතු බව 34 වන ව්‍යවස්ථාව තුළින් ප්‍රකාශ කෙරේ. අනීතික ලිංගික ක්‍රියා, ගණිකා වෘත්තිය හා කාමුක රංගනයන් සඳහා ළමුන් අයුතු ලෙස යොදා ගැනීම වැළැක්වීම පිණිස රජය කටයුතු කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙහි සඳහන් වන තවත් විශේෂ ළමා අයිතිවාසිකම් කිහිපයක් පිළිබඳ මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

මූලාශ්‍ර: කොළඹ විශ්වවිද්‍යාලයීය මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය මගින් පළ කරන ලද මුද්‍රණ ඇසුරිණි.

Related Articles