Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළොම්බියාවේ ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලිය යටත් වීමට සැරසෙයි

කොළොම්බියාවේ ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලිය ලෙස සැළකෙන​ ගොල්ෆෝ කල්ලිය (ස්පාඤ්ඤ බසින් Del Golfo Clan) රජයට යටත් වීමට සූදානමින් සිටින බව දැනුම් දී ඇතැයි එරට ජනාධිපති හුවාන් මැනුවෙල් සැන්ටොස් සැප්තැම්බර් 5 වනදා හෙළි කළා.

“ගොල්ෆෝ කල්ලියේ ප්‍රධානියා රජයට භාර වීමට සහ නෛතික ක්‍රියාවලියට යටත් වීමට සූදානමින් සිටින බව අපට දන්වා තිබෙනවා” ඔහු උත්සව අවස්ථාවක් අමතමින් කියා සිටියා. “මම මේ පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයාට සහ නීතිපතිවරයාට උපදෙස් දුන්නා.”

ගොල්ෆෝ කල්ලිය මෙම පියවර ගෙන තිබෙන්නේ එක් අතකින් ආරක්ෂක අංශවලින් එය වෙත එල්ලවන අභියෝගය ඉහළ යමින් සහ වාමාංශික කැරලි කණ්ඩායම් සමඟ රජය සාම ක්‍රියාවලියක නිරත වෙමින් සිටින පසුබිමකයි.

FARC සහ ELN සංවිධාන සමග සාමය​

1964 වසරේ සිට කොළොම්බියාවේ ආයුධ සන්නද්ධ අරගලයන් හි නිරත වූ කොළොම්බියානු විප්ලවකාරී සන්නද්ධ බලකා (ස්පාඤ්ඤ බසින් Fuerzas Armadas Revolucionarias de Colombia – FARC) සහ ජාතික විමුක්ති හමුදාව (ස්පාඤ්ඤ බසින් Ejército de Liberación Nacional – ELN) යන මාක්ස්වාදී සංවිධාන සමඟ එරට රජය සාම වැඩපිළිවෙලකට එළඹුණේ මීට වසර කිහිපයකට පෙරයි. මෙම සංවිධාන දෙකෙන් වඩා ප්‍රබල සංවිධානය වන FARC සංවිධානය එම වැඩපිළිවෙලට වඩා සාධනීය ලෙස හවුල් වූ අතර ELN සංවිධානය ඊට එකඟ කරගන්නා ලද්දේ ඉන් බොහෝ පසු කාළයකයි. FARC සංවිධානය සිය අවි ආයුධ සියල්ල රජයට බාර දී ඇති අතර පසුගිය සැප්තැම්බර් 1 වනදා ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වුණා.

FARC දේශපාලන පක්ෂයක් බවට පත්වීම​. පළමු ජාතික සමුලුව (AP)

මේ අතර ELN සංවිධානය සහ රජය අතර සටන් විරාමයක් අත්සන් කෙරුණේ සැප්තැම්බර් 4 වනදායි. මෙම ක්‍රියාවලිය 2018 වසරේ මුල් කාළය තෙක් ඇදී යනු ඇති.

ගොල්ෆෝ මත්ද්‍රව්‍ය කල්ලිය

ගොල්ෆෝ කල්ලිය සාමාජිකයන් 2000 කගෙන් පමණ සමන්විත කොළොම්බියාවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියයි​. ඔවුන් මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ද සබඳතා පවත්වන අතර නීතිවිරෝධී රත්‍රන් ගැරීමේ ජාවාරමක ද යෙදී සිටිනවා. එමෙන්ම පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද එම කල්ලිය කුප්‍රකටයි​.

ගොල්ෆෝ කල්ලියේ නායකයා මෙසේ රජය වෙත යටත් වීමට කැමැත්ත පළ කරමින් පණිවිඩයක් එවන ලද්දේ රජයේ ආරක්ෂක අංශවලින් එල්ලවන අභියෝගය ඉහළ යන පසුබිමකයි​. කල්ලියේ දෙවැනියා වූ රොබර්තෝ වර්ගාස් දින කිහිපයකට පෙරදී කොළොම්බියානු හමුදාව සමඟ වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වුණා​.

කල්ලියේ නායක දයිරෝ උසුගා පිළිබඳ ඔත්තුවක් ලබා දෙන්නකුට රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ත්‍යාග මුදලක් ප්‍රදානය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති සැන්ටෝස් පවසා සිටින්නේ FARC සහ ELN වැනි දේශපාලන ව්‍යාපාර සමඟ මෙන් නොව මත්ද්‍රව්‍ය කල්ලි සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවයි.

දේශපාලන සංවිධාන ආයුධ සන්නද්ධ අරගල ප්‍රතික්ෂේප කරනු ලබූ හෙයින් ඔවුන් සමඟ සාකච්ඡා කළද අපරාධකරුවන් වන මත් ජාවාරම්කරුවන් සමඟ සාකච්ඡාවට යාමට රජයට නොහැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේශපාලන සංවිධාන​

කොළොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටියේ අපරාධ කල්ලි පමණක් නොවේ. කැරලිකරුවන් ද ඊට සම්බන්ධව සිටියා. කොකේන් නිශ්පාදනයට අවශ්‍ය කොකා වගාව වැඩිපුරම කෙරුණේ FARC කැරලිකරුවන්ගේ පාලනය තිබුණු ප්‍රදේශවලයි.

මේ අතර කලක පටන්ම කොළොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මැඩෙලින් සහ කාලි ජාවාරම් කල්ලි 1990 දශකය මුලදී කඩා බිඳ දමනු ලැබුණා. මෙයින් මැඩෙලින් කල්ලිය මෙහෙයවූ පාවුලෝ එස්කොබාර් මරණයට පත් වුණේ 1993 දෙසැම්බරයේදී. ගොල්ෆෝ කල්ලිය ප්‍රමුඛ වන්නේ ඉහත කී කල්ලි දෙක විනාශ වූ පසුවයි.

සාම ගිවිසුම ප්‍රකාශ කළ පසු. වමේ සිට – කොළොම්බියා රජයේ නියෝජිත හුවාන් කැමිලෝ රෙස්ත්‍රෙපෝ, ඉක්වදෝර් විදේශ ඇමති ෆර්නැන්ඩා එස්පිනෝසා, ENL නායක පැබ්ලෝ බෙල්ට්‍රාන් (AP)

කැරලිකරුවන් සිය සන්නද්ධ අරගලය නිමා කිරීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු කිනම් පිරිසක් අතට පත්වේද යයි සැක සංකා මතුව තිබෙනවා. කළකදී ආරක්ෂක අංශ සහ විශ්ලේෂකයන් බිය පලකළේ රජය සමඟ සාම සාකච්ඡාවලට අපක්ෂපාතී වූ ඇතැම් FARC සාමාජිකයන් වෙනමම කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වීම හෝ ELN සංවිධානයට එක් වීමට හෝ ඉඩ ඇති බවයි. කෙසේ නමුත් ELN සංවිධානය ද සාම සාකච්ඡා සඳහා එළඹීමෙන් මෙම දෙවන සිද්ධියට ඇති ඉඩකඩ සීමා වන නමුත් FARC සහ ELN සංවිධාන දෙකෙන්ම ඉවත් වූ තනි තනි පිරිස් මෙම ජාවාරම් කටයුතු තමන් අතට ගැනීමට උත්සාහ කරනු ඇතැයි සැක මතු වනවා.

එමෙන්ම ගොල්ෆෝ කල්ලිය විසින් ද ඉදිරිපත් කෙරුණ යෝජනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාර කෙබඳු වේදැයි මෙතෙක් පැහැදිලි නොවන හෙයිනුත්, රජය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට ගොල්ෆෝ කල්ලිය එකඟ වේදැයි කිව නොහැකි බැවිනුත්, ගොල්ෆෝ කල්ලියෙන් ද පිරිස් කැඩී යා හැකි බැවිනුත්, කොළොම්බියාවේ මත් ජාවාරම අරබයා දිගටම අවි ගැටුම් සහ ඝාතන සිදුවීමේ සම්භාවිතාවයක් තිබෙන බව පැහැදිලියි.

බොහොමයක් රටවල මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිශ්පාදනය කිරීම සඳහා ගම්බද ගොවීන් පෙළඹෙන්නේ දුප්පත්කම හේතුවෙන් බව පිළිගත් සත්‍යයක්. කොළොම්බියාව සම්බන්ධයෙන් ද එය සත්‍ය කරුණක්. එහෙයින්, මත් අර්බුදයට දිගු කාලීන විසඳුමක් සෙවීමට නම් දුප්පත්කම හේතුවෙන් කොකා වගා කරන ගොවීන්ට වඩා සාධාරණ සහ සිය ජීවිකාව සලසාගත හැකි ක්‍රමවේදයක් සම්පාදනය විය යුතුයි.

Cover Image: ජනාධිපති හුවාන් මැනුවෙල් සැන්ටෝස් අපරාධ කල්ලිවලට එරෙහිව ගත් පියවරයන් ගැන පැහැදිලි කරන අවස්ථාවක් (César Carrión – SIG)

Related Articles