Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විවාදපන්න ‘ගව පොර සටන්‘

‘ගව පොර‘ ක්‍රීඩාව පිළිබද නොදන්නා කෙනෙකු නැති තරම්ය. එම ක්‍රීඩාව අතිශය භයානක, ත්‍රාසජනක සහ උද්වේගකර ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් තොරතුරු සොයා යෑම අපගේ මෙම ලිපියෙහි අරමුණයි.

ඉතිහාසය

(mikidegoodaboom.com)

ලොව පළමු ගව පොර සටන වාර්තා වන්නේ 1133 දී, ඒ අල්පොන්සෝ රජතුමාගේ අභිෂේක මංගල්‍යයත්  සමගයි. කෙසේ වෙතත් 2 වන පිලිප් රජු සහ 5 වන පියස් පාප් වහන්සේ විසින් මෙම ක්‍රීඩාවෙහි ඇති දරුණු ස්වභාවය නිසා මෙය තහනම් කරන ලෙස නියෝග නිකුත් කරා.

නමුත් ජනතාව එකී නියෝගවලට පටහැනිව දිගින් දිගට ම මෙම ක්‍රීඩා උත්සවය පැවැත්වීම හේතුවෙන් පසුකාලීනව 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ හට ගව පොර තහනම් කරමින් පෙර ලබා දී තිබූ නියෝගය ඉල්ලා අස් කර ගන්නට ද සිදුවුනා.

ගව පොර ස්පාඤ්ඤය තුළ ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය වී ඇති ස්වභාවය

(thecommentsection.org)

මෙය ස්පාඤ්ඤය තුළ මෙන් ම මෙක්සිකෝව, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, පේරු වැනි ලතින් ඇමෙරිකානු රටවල් ද දැක ගත හැකි ය.

මෙම තරගය සදහා යොදා ගන්නා ගවයා අවම වශයෙන් අවුරුදු හතරක් වයසැති විය යුතු අතර කි.ග්‍රෑ 600ක් හෝ  රාත්තල් 1300ක්  පමණ අවම බරකින් යුක්ත විය යුතු ය. ස්පාඤ්ඤයේ මාර්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ගව පොර සටන් පවත්වනු ලබයි.

ක්‍රීඩාවේ ස්වභාවය

(clearlyveg.com)

මෙලෙස ගවයන් සමග තරගකරන්නා ‘මැටඩෝර්‘ යනුවෙන් හැදින්වෙන අතර එහි අර්ථය ‘ගවයන් මරන්නා‘ යන්නයි. මෙවැනි තරගකරුවකු හට සහායකයන් හය දෙනෙකු ලබා දේ.

ඉන් දෙනෙකු අශ්වයන් පිට නැගී සිටින අතර, තවත් තිදෙනකු කොඩි/තිර කඩ රැගෙන පිටිය තුළ සිටින අතර අනෙකා ගවයාට ඇනීම සදහා අවශ්‍ය කරන උල් ලබා දීම සිදු කරයි.

(darkroom.baltimoresun.com)

මෙම ගව පොර සටන් සදහා යොදා ගනු ලබන ගවයා අවම වශයෙන් දින දෙකක කාලයක් පුරාවට යම් යම් හිරිහැර සදහා බදුන් වන අතර තරගයේ දී ගවයා මුදා හැරි විට ඌ පහර දීමට පෙළඹෙන්නේ ඒ නිසා ය.

ජලයේ පොගවන ලද පත්තර කොල ගවයාගේ කනට හිර කරන බවත්, පෙනුම දුර්වල කිරීම සදහා ඇස්වල වැස්ලීන් ආලේප කරන බවත්, නාස් කුහරයන්ට පුළුන් දමා ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ හැකියාව අඩාළ කරන බවත්, දැවෙනසුලු ස්වභාවයකින් යුතු ආලේපනයක් ගවයාගේ පාදවල ගල්වන බවත්, ගවයාගේ ශරීරයේ මෘදු ස්ථානවල ඉදිකටු ඇනීමත් සිදු කරන බවටත් වාර්තා වේ.

එසේ ම ගවයාගේ කෑම සමග විරේක ඖෂධ මුසු කොට ලබා දෙමින් ඌ හැකි තරම් අඩපණ කිරීමට උත්සාහ කරයි. දින ගණනක් පුරාවට මේ සියලු ක්‍රියාවන් අදුරු කුටියක් තුළ සිදු කරන අතර තරග දිනයේ දී එහි දොරටුව විවෘත කළ විට ගවයා ආලෝකය දෙසට දිව එන්නේ ඌ තුළ ඒ වන විටත් හට ගෙන ඇති අධික බිය සහ පීඩාව හේතුවෙනි.

(aficionados-international.com)

මෙම ගවපොර සටනින් ජය ගන්නා ක්‍රීඩකයකු හට, තරගය අවසානයේ දී නරඹන්නන් නැගී සිට විශාල අත්පොලසන් නාදයක් සහ තම ලේන්සු ඔසවා ඔහුගේ ජයග්‍රහණය තමන් පිළිගන්නා බවට සංඥාවක් ලබා දෙන අතර එහි දී ජයග්‍රාහයා හට මියැදුණු ගවයාගේ කනක් ත්‍යාගය වශයෙන් හිමි වේ.

සංවිධායකයන්ගේ නීරීක්ෂණය මත ඔහු වඩාත් දක්ෂ තරගයක නියැළුණේ නම් අනෙක් කන ද ඔහු වෙත පුදානය කරනු ලබයි. සටන්කරුවාගේ දක්ෂතාව අතිශය ඉහළම මට්ටමක පැවතියේ නම් ගවයාගේ වලිගය ද කපා පිරිනමන අතර වාර්තාවල සටහන් වන ආකාරයට එවැනි පිරිනැමීමක් දැක ගැනීමට අතිශය දුර්ලභ වන බවත් එවැන්නක් අවසන් වරට සටහන් වන්නේ මීට අවුරුදු 40 කට පෙර බවත් ය.

2014 – 2015 කාලය තුළ ස්පාඤ්ඤයේ සංස්කෘතික අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබූ මහජන මත විමසුමක් පවත්වන ලද අතර එහි දී මුදල් ගෙවා ලබා ගන්නා විනෝදාංශ අතර ගව පොර සටන් සදහා 10 වැනි ස්ථානය හිමිව ඇත.

ගවපොර විරෝධී ව්‍යාපාර

(esdaw.eu)

මේ වන විට ගව පොර විරෝධී ව්‍යාපාර රාශියක් ලෝකය පුරා දැක ගත හැකි අතර විශේෂයෙන් ම ‘සත්ව අයීතින්’ පිළිබදව හඩ නගන රාජ්‍ය නොවන සංවිධාන, පරිසර සංවිධාන. සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උගතුන් – නීතිවේදීන් වැනි පිරිස් විසින් තදබල මතවාදයක් මෙම සත්ත්ව හිංසන ක්‍රියාවන්ට එරෙහිව දියත් කරමින් පවතී. (සත්වෝද්‍යාන අවලංගු කළ යුතු ය – සර්කස් අවලංගු කළ යුතු ය – ලංකාවේ පෙරහැරට අලි ඇතුන් සම්න්ධ නොකර ගත යුතු ය වැනි මතවාද බිහි වීම සදහා ද ‘සත්ත්ව අයිතීන්‘ පිළිබද සංකල්පය අඩු වැඩි වශයෙන් බලපා ඇත)

(totallyvegan.wordpress.com)

මෙතරම් දියුණු සමාජ අවධියක දී මෙවැනි අශිෂ්ට – කෘර ක්‍රියාවක් ‘ක්‍රීඩාවක්‘ ලෙස සලකා විනෝදය පිණිස සිදු කිරීම තරයේ හෙළා දැකිය යුතු බවටත්, ගව පොර තහනම් කළ යුතු බවටත් දීර්ඝ කාලයක පටන් මෙම රටවල විශාල සංවාදයකට බදුන් වී ඇත.

ඊට ප්‍රතිමතවාදයක් ලෙස ගව පොර යනු මිනිසාගේ නීර්භීතභාවය – සූක්ෂ්මභාවය පිළිබිඹු කරනු ලබන, අනාදිමත් කාලයක පටන් ඒ ඒ රටවල පැවත එන සංස්කෘතික අංගයක් බව ඉදිරිපත් වනු දැක ගත හැකි ය.

(zimbio.com)

ගවපොර නිසා වසරකට මිනිස් ජීවත රාශියක් අහිමි වන බවත්, විවිධ ආබාධවලට ලක් වන බවටත් වාර්තා වන අතර ඇතැම් අවස්ථාවල දී ඒ ඒ රටවල අධිකරණ පද්ධති මගින් ගව පොර තහනම් කිරීම සදහා යම් යම් නියෝග – ආඥා නිකුත් කර ඇති අතර එවන් අවස්ථාවල දී ඊට විරෝධය පාමින් විවිධ මහජන කැළඹීම් ඇතිවුණු අවස්ථා ද වරින් වර වාර්තා වි ඇත.

මේ කරුණු අනුව පෙනී යන්නේ ගව පොර සටන් කලාව යම් ආකාරයක විවාදාපන්න තත්වයකට වර්තමානය වන විට පත්ව ඇති බවත්, ස්පාඤ්ඤය වැනි රටවල ඊට ඇති සංස්කෘතිකමය බැදියාව නිසාවෙන් අදාළ ක්‍රීඩාව තහනම් කිරීමට හැකියාවක් නොමැති තත්ත්වයක්ද පවතින බවයි.

Related Articles