Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව අඩු ම සංචාරක ආකර්ෂණයක් සහිත රාජ්‍යයන්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන ආකාරයට 2017 අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට පැමිණි ඇති මුළු සංචාරකයින් ගණන 1,406,854 ක්. සාමාන්‍ය අගයක් විදියට බැලුවොත් මාසයක් තුළ දී ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් සංචාරකයින් 175,856 ක් පමණ ඇවිත් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ සොඳුරු බව විඳින්නට මාසික ව පැමිණෙන සංචාරකයින් ගණනටත් වඩා අඩු වාර්ෂික සංචාරකයින් ප්‍රමාණයක් එන රටවල් කිහිපයක් ම ලෝකයේ තිබෙන බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා.

මේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මගින් 2017 වර්ෂය සඳහා එළි දක්වා ඇති සංඛ්‍යා දත්ත අනුව ලොව අඩු ම සංචාරක ආකර්ෂණයක් සහිත රාජ්‍යයන් කිහිපයක් ගැන තොරතුරු යි.

ටූවලූ : 2,000

© Michael Coghlan

පැසිෆික් සයුරේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති ටූවලූ රාජ්‍ය මිහිමත ඇති අඩු ම සංචාරක ආකර්ෂණයක් සහිත රාජ්‍ය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා දූපතක් වන සමස්ත රාජ්‍යය ම මුහුදු මට්ටමේ ඉහළට එස වී ඇත්තේ මීටර් 4.5 ක ප්‍රමාණයකින් පමණ යි. මේ නිසා දේශගුණික විපර්යාසයන් හි ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින ම ඉහළ යන මුහුදු මට්ටම, ටූවලූ රාජ්‍යයට දැඩි ලෙස තර්ජන එල්ල කරන බව රහසක් නෙමෙයි.

වර්ග කිලෝ මීටර් 26 ක සමස්ත බිම්කඩක් හිමි ටූවලූ රාජ්‍යයේ වැව් හෝ ගංගා දක්නට නොමැති අතර එහි වාසය කරන විට වැසි ජලය රැස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහි ගොඩබිම් වැඩි ප්‍රමාණයක් පොල් වගා කිරීම සඳහා වෙන් කර ඇති අතර ටූවලූ හි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කොප්පරා අපනයනය යි. එය එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජන යටතේ පාලනය වන පාර්ලිමේන්තුවක් සහිත රාජ්‍යයක් වන අතර වසර කිහිපයකට පෙර විලියම් කුමරු හා කේට් කුමරිය ටූවලූ හි සංචාරයක නිරත වන තුරු ම බොහෝ දෙනෙක් එහි පැවැත්ම ගැන නොදැන සිටි බව පැවසෙනවා.

කිරිබෑස් : 4,000

(© Flexman) කිරිබෑස් හි සාරවත් පොල් වගාවක්

හිරිගල් දූපත් 33 ක් එක් ව සැදි කිරිබෑස් රාජ්‍යය පිහිටා ඇත්තේ සමකාසන්න පැසිෆික් සයුරේ යි. කිරිබෑස් රාජ්‍යය සතු හිරිගල් දූපත් බොහෝමයක ජනාවාස පිහිටා ඇති අතර එය දකුණු පැසිෆික් සයුරේ පිහිටි ඇති විශාලත ම සමුද්‍ර රක්ෂිතය ලෙස ද සැලකෙනවා. ටූවලූ රාජ්‍යයට මෙන් ම කිරිබෑස් රාජ්‍යයට ද මුහුදේ ජල මට්ටම ඉහළ යාම දැඩි ලෙස බලපා ඇති අතර මේ නිසා ම ෆීජී රජයේ අවසර ඇති ව කිරිබෑස් රාජ්‍යය විසින් ආහාර සුරක්ෂිතතාවය සහ සරණාගත කඳවුරක් ලෙස භාවිතා කිරීම සඳහා ෆීජී රාජ්‍යය සතු දූපතක් මිල දී ගෙන තිබෙනවා. ටූවලූ මෙන් ම කිරිබෑස් හි ද ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කොප්පරා අපනයනය යි.

සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ : 8,000

(© André Pipa)

කාලයකට පෙර ලෝකයේ ප්‍රමුඛ පෙළේ කොකෝවා නිෂ්පාදකයෙකු වූ සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ රාජ්‍යය පිහිටා ඇත්තේ අප්‍රිකානු වෙරළ තීරයේ යි. වර්ග කිලෝ මීටර් 1,001 ක බිම්කඩක් පුරා විහිදී ඇති එහි මුළු ජනගහනය 172,000 ක් පමණ වෙනවා. 16 වැනි සියවසේ දී පෘතුගීසි යටත් විජිතයක් බවට පත් වූ සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ රාජ්‍යය, සීනි වගා කිරීම සඳහා යොදාගෙන ඇති අතර වහලුන් රඳවා තබන ස්ථානයක් ලෙස ද භාවිතා කර තිබෙනවා.

මොන්ට්සෙරාට් : 9,000

(© Chuck Stanley) සුෆ්රියා හිල්ස් ගිනි කඳු පන්තිය

තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන මොන්ට්සෙරාට් පිහිටා ඇත්තේ කැරිබියන් දූපත් ආශ්‍රිත ව යි. 1493 දී ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින් නම් කරන ලද එය ඉංග්‍රීසි යටත් විජිතයක් බවට පත් වී ඇත්තේ 1632 තරම් වූ ඈත කාලයේ දී යි. දර්ශනීය වෙරළ තීරයක් හිමි මොන්ට්සෙරාට් රාජ්‍යය ආවේණික සත්ත්ව විශේෂ කිහිපයකට ම සෙවණ සපයනවා.

මොන්ට්සෙරාට් හි දී දැක ගැනීමට ලැබෙන තවත් සිත් කලඹන දසුනක් ලෙස සුෆ්රියා හිල්ස් ගිනි කඳු පන්තිය හැඳින්විය හැකි යි. 1997 දී පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් මොන්ට්සෙරාට් හි අගනුවර වූ ප්ලිමත් නගරය සහ රාජ්‍යයේ දකුණු දෙස සම්පූර්ණයෙන් ම ගිල ගනිමින් සිදු වූ දැවැන්ත ගිනි කඳු පිපිරීම, එයට පැවති සංචාරක ආකර්ෂණය, උග්‍ර ලෙස පහළ යාමට හේතු වූ බව සැලකෙනවා.

කොමරෝස් : 24,000

(© David Stanley) මුහුදු වෙරළ අසබඩ පල්ලියක්

තවමත් ප්‍රංශය යටතේ පාලනය වන කොමරෝස් රාජ්‍යය සමන්විත වන්නේ ප්‍රධාන දූපත් 4 කින්. ගණනින් 773,000 ක් වන එහි ජනගහනය සඳහා අරාබි වෙළඳුන්, මැලේ සංක්‍රමණිකයින් සහ අප්‍රිකානුවන් එක සේ දායක වී ඇති බව පැවසීමට හැකි යි. කොමරෝස් හි ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ වැනිලා, කරාඹුනැටි සහ සුවඳ විලවුන් සාරයන් අපනයන කිරීම වුවත් මේ වන විට ස්වභාවික සම්පත් ක්ෂය වීම නිසා ක්‍රමයෙන් එහි සාම්ප්‍රදායික අපනයනයන් පහත වැටෙන බවක් පෙන්නුම් කර තිබෙනවා. මේ හේතුවෙන් බොහෝමයක් කොමරෝස් වැසියන් වෙනත් රටවලට සංක්‍රමණය වීම කෙරෙහි කැමැත්තක් දක්වනවා.

ජිබූටි : 51,000

(© Stephane Fandeos) කාර්යබහුල ජිබූටි වරාය

සෝමාලියාවට යාබද ව ඒඩන් බොක්කට මුහුණලා පිහිටි ජිබූටි රාජ්‍යය, ලෝකයේ කාර්යබහුල ම නාවික මාර්ගයක් වන සූවස් ඇළේ වාහල්කඩ ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ස්වභාවික සම්පත් නොමැති ජිබූටි රාජ්‍යයේ ප්‍රධාන ම ආදායම් මාර්ගය වන්නේ වරාය යි. 923,000 ජනගහනයක් වාසය කරන ජිබූටි රාජ්‍යය, වර්ග කිලෝ මීටර් 23,200 ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී තිබෙනවා.

සැන් මැරීනෝ : 60,000

(© Vince DiNoto) සැන් මැරීනෝ හි තැපැල් මුද්දර

සම්පූර්ණයෙන් ම ඉතාලියෙන් වට වී ඇති සැන් මැරීනෝ රාජ්‍යය, ලෝකයේ ඇති කුඩා ම රාජ්‍යයන් අතරින් එකක්. වර්ග කිලෝ මීටර් 61.2 ක බිම්කඩක් පුරා පැතිරී ඇති එහි වාසය කරන්නේ 33,400 ක ජනගහනයක් පමණ යි. ලෝකයේ ඇති පැරණි ම ජනරජය ලෙස ද සැලකෙන සැන් මැරීනෝ හි ප්‍රධාන ආදායම් මාර්ගයන් වන්නේ චීස් සහ වයින් නිෂ්පාදනය සහ තැපැල් මුද්දර අලෙවි කිරීම යි.

2008 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය මගින් සැන් මැරීනෝ ඓතිහාසික මධ්‍යස්ථානය සහ ටිටානෝ කන්ද ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. එය ගොඩ නංවා ඇත්තේ 13 වැනි සියවසේ දී පමණ වන අතර එහි දී පැරණි කුලුණු, ද්වාර සහ අට්ටාල මෙන් ම 19 වැනි සියවසේ දී ගොඩ නංවන ලද නව සම්භාව්‍ය බැසිලිකාවක් ද 18 වැනි සියවසට අයත් ටිටානෝ රඟහල ද දැක ගත හැකි යි.

කවරයේ පින්තූරය : (© Tommy G. Wi)

සැන් මැරීනෝ ඓතිහාසික මධ්‍යස්ථානය සහ ටිටානෝ කන්ද

Related Articles