Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උප සභාපති සිරගත වීමෙන් Samsung සමාගම කඩා වැටෙයිද​?

දකුණු කොරියාවේ සැම්සන්ග් සමාගෙමේ උරුමකරු (මීළඟ ප්‍රධානියා) ලෙස සැළකෙන එහි උප සභාපති ලී ජේ-යොංග්ට වසර පහක සිර දඬුවමක් පැනවීමට මධ්‍යම සියොල් දිස්ත්‍රික් අධිකරණය අගෝස්තු 25 වනදා නියම කළා. ඊට හේතු වූයේ ඔහුට එරෙහිව නැගී තිබුණ දූෂණ චෝදනාවලට ඔහු වරදකරු බව අධිකරණය විසින් තීන්දු කිරීමයි. ලී ජේ-යොංග්ට එරෙහි චෝදනා හිටපු ජනාධිපතිනි පාර්ක් ගුන්-හේ සහ ඇගේ මිතුරියක වූ චෝයි සුන්-සිල් සම්බන්ධව නැගී ආ දූෂණ චෝදනාවලම තවත් එක් කොටසක් වුණා.

ලී ජේ-යොංග්ට එරෙහි දූෂණ චෝදනාවලට අනුව කියැවුණේ සැම්සන්ග් සමාගම චෝයි සුන්-සිල්ගේ දියණියකට අසුන් පැදීම පුහුණු කිරීම සඳහා කොරියානු වොන් බිලියන 7.2 ක මුදලක් (යූරෝ මිලියන 4.98ක්) ලබාදුන් බවත්, ඊට හිලව් ලෙස සැම්සන්ග් සමාගමට රජය පාර්ශවයෙන් විශේෂ සැළකිලි ලබා දෙන ලද බවත්.

“මෙහි ඇති ප්‍රධානතම කරුණ නම් දේශපාලනික බලාධිකාරීන් සහ ප්‍රාග්ධන බලාධිකාරීන් අතර පැවතුණු සබඳතාවයි” යනුවෙන් නඩු තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

ජනාධිපතිනිය ඉවත් කිරීමට හේතු වූ චෝදනා

මෙම චෝදනාව ඇතුළු විවිධ දූෂණ චෝදනා හේතුවෙන් පාර්ක් ගුන්-හේට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් 2016 වසර අග භාගයේ මතු වූ අතර ඇයව ජනාධිපති ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව කටයුතු කළේ එම පසුබිමේදීයි. පසුව එරට ව්‍යවස්ථාදායක අධිකරණය විසින් එම තීරණය අනුමත කරන ලද අතර ඒ අනුව මෙම වසරේ මුලදී පාර්ක් ගුන්-හේ ධූරයෙන් ඉවත් කොට ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුණා. එහිදී පාර්ක් ගුන්-හේගේ දේශපාලන ප්‍රතිවාදියකු වන මූන් ජේ-ඉන් ජනාධිපති ධූරයට පත් කරගනු ලැබුණා.

පාර්ක් ගුන්-හේ (Getty)

දකුණු කොරියානු මාධ්‍ය විසින් සියවසේ නඩු විභාගය ලෙස හඳුන්වන ලද ලී ජේ-යොංග්ට එරෙහි නඩුවෙහි තීරණය එක් අතකින් චෝයි සහ පාර්ක් යන දෙපළට අයහපත් ලෙස බලපාන අතර සැම්සන්ග් සමාගමටද ඉන් බලපෑමක් එල්ල වීමට හැකියාව තිබෙනවා.

ගැලක්සි නෝට් 7 තරම් බලපෑමක් නැත​?

ලී ජේ-යොංග් සිරගත වීමත් සමඟ සැම්සන්ග් සමාගමේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවන බවත් එහි නායකත්වය පිළිබඳ අස්ථාවර තත්ත්වයක් ඇතිවන බවත් ඇතැම් විශ්ලේෂකයින් ප්‍රකාශ කළා. ඇතමෙක් සැම්සන්ග් සමාගම සම්පූර්ණයෙන්ම කඩා වැටීමට වුවද ඉඩකඩ ඇති බව සඳහන් කළා.

එහෙත් ජර්මනියේ DW පුවත් සේවයට අදහස් දක්වන සියොල් හි විශ්ලේෂකයකු වන ජෙෆ්රි කේන් මෙම අදහස සමඟ එකඟ වන්නේ නැහැ. ඔහු ප්‍රකාශ කරන්නේ මීට ටික කළකට පෙර සිය ගැලක්සි නෝට් 7 (Galaxy Note 7) ජංගම දුරකථනය වෙළඳපොලෙන් ඉවත් කරගැනීමට සිදුවීම සැම්සන්ග් සමාගමට මීට වඩා දරුණු පහරක් වූ බවයි.

2013 න් පසුව සැම්සන්ග් සමාගම කාර්තුවකදී වාර්තා කළ හොඳම ලාභය 2017 මුල් කාර්තුවේ (මුල් මාස තුන​) වාර්තා වීම මීට එක් නිදර්ශනයක් ලෙස ඔහු පෙන්වා දෙනවා. ඒ වනවිට ලී ජේ-යොංග්ට එරෙහි පරීක්ෂණ කටයුතු කෙරෙමින් පැවතුණා.

මෑතදී එළි දැක්වුණ සැම්සන්ග් ගැලක්සි නෝට් 8 දුරකථනය වෙළඳපොලෙහි හොඳ පිළිගැනීමකට ලක් වුවහොත් සැම්සන්ග් සමාගමට මෙම අනෙකුත් ප්‍රශ්න බොහෝකොටම අමතක කර දැමිය හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළා.

සැම්සන්ග් ගැලක්සි නෝට් 8 දුරකථනය (galaxynote8.com)

ජපානයේ තෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රිස්තියානි සරසවියේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ප්‍රවීණ සහය මහාචාර්ය ස්ටීවන් නාගි ද මෙම අදහසට එකඟතාව පළ කළා. සැම්සන්ග් සමාගමේ විශාලත්වය​, දකුණු කොරියානු ආර්ථිකයෙහි විවිධ අංශ සිසාරා එහි පැතිරීම මෙන්ම කලාපීය වශයෙන් එය දරන ස්ථානය හේතුවෙන් මෙම ප්‍රශ්නය අනෙක් කටයුතුවලින් වෙන්කරගෙන ඉදිරියට යාමට එම සමාගමට හැකිවනු ඇතැයි නාගි ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් මෙම නව තත්ත්වයන් සමඟ සැම්සන්ග් සහ වෙනත් විශාල සමාගම් දේශපාලන අධිකාරිය සමඟ ගනුදෙනු කිරීමට අලුත් ක්‍රම සොයාගනු ඇතැයි ද ඔහු සඳහන් කරනවා. රජය පාර්ශවයෙන් විශේෂ සැලකීම් ලබාගැනීම සඳහා ඍජුවම අල්ලස් යයි නොපෙනෙන ආකාරයේ ගනුදෙනුවලට යොමු වීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි ඔහු සඳහන් කළා.

විශාල සමාගම්ද​? ජනතාවද​?

දකුණු කොරියාවේ විශාල ප්‍රමාණයේ සමාගම් චේබෝල් නමින් හැඳින්වෙනවා. මෙම චේබෝල්වලට සැළකිය යුතු ආර්ථික බලයක් තිබෙන අතර ඒවා දේශපාලකයන් සමඟ ද විවිධ ගනුදෙනුවල නිරතවන බව ප්‍රකට කරුණක්.

මෙම විශාල සමාගම් අතර සැම්සන්ග් සමාගමට විශේෂ ස්ථානයක් ලැබෙන්නේ එහි විශාලත්වය හේතුවෙන්මයි. ලොව වටා එය ප්‍රකටව ඇත්තේ ජංගම දුරකථන හේතුවෙන් වුවද දකුණු කොරියාව තුළ එම සමාගම වෙනත් ව්‍යාපාර කටයුතුද කරනු ලබනවා. එරට විශාලම රක්ෂණ සමාගම වන්නේද සැම්සන්ග් සමාගමයි. එමෙන්ම සාප්පු සංකීර්ණ​, විනෝද උයන් සහ වෙනත් ව්‍යාපාරද සැම්සන්ග් සමාගම සතු වනවා.

සැම්සන්ග් ගිනි සහ සමුද්‍ර රක්ෂණ සමාගමේ මූලස්ථානය (businesskorea.co.kr)

දකුණු කොරියාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් උත්පාදනය වන්නේ සැම්සන්ග් සමාගම මගින් වීම එම සමාගමේ විශාලත්වය පිළිබඳව මොනවට පැහැදිලි කරනවා.

ජනාධිපති පාර්ක් ගුන්-හේට එරෙහිව මතුවූ චෝදනා සමඟ විශාල සමාගම් දේශපාලකයන් සමඟ කෙරෙන රහස් ගනුදෙනු පිළිබඳවත් ජනතාව ප්‍රශ්න මතු කිරීමට පටන් ගත්තා. නව ජනාධිපති මූන් ජේ-ඉන් බලයට පත් වූයේ වඩා වැඩි විනිවිදභාවයක් ඇති කිරීමට කටයුතු කරන බව පවසමින්.

මූන් ජේ-ඉන්ට පසුගිය මාස කිහිපය තුළ මේ පිළිබඳව වැඩි යමක් කිරීමට නොහැකි වූ නමුත් ඔහුගේ ජනප්‍රියත්වය සියයට 75 – 80 සීමාවෙහි පවතිනවා. එමෙන්ම සැම්සන්ග් සමාගම වැනි විශාල සමාගම්වල ප්‍රධානීන්ට එරෙහි නඩු කටයුතු බාධාවකින් තොරව සිදු වන්නේ මූන් ජේ-ඉන් බලයට පත්වීම හේතුවෙන් බව අදහස් පළ වෙමින් තිබෙනවා.

මේ අතර විශාල සමාගම්වලට එරෙහිව පියවර ගැනීම පිළිබඳ විරුද්ධ වන පිරිස් කියා සිටින්නේ එම සමාගම් ව්‍යාපාර කටයුතුවලින් ඈත් වීමට මෙය හේතු විය හැකි බවත් එය දිගු කාලීනව රටේ ආර්ථිකයට අයහපත් ලෙස බලපානු ඇති බවත්.

කෙසේ නමුත් මේ අවස්ථාව වනවිට වැඩි අවධානය යොමුව පවතින්නේ එක් අතකින් සැම්සන්ග් සමාගම කෙරෙහි ඇති බලපෑම සහ අනෙක් අතින් චෝයි සුන්-සිල් සහ පාර්ක් ගුන්-හේට එරෙහි පරීක්ෂණ කටයුතු පිළිබඳවයි.

Cover Image: සිරභාරයට ගත් සැම්සන්ග් උප සභාපති (AFP/Getty)

Related Articles