Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ඇත්තටම මිදෙන්න පුළුවන්ද?

රටක් විදියට ශ්‍රී ලංකාවේ අපට වගේම ලෝකයටත් විශාල සමාජ  ගැටළුවක් ඇති කරපු කාරණයක් විදියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හදුන්වන්න පුළුවන්. අද බොහෝ සමාජ ගැටළුවලට ප්‍රධාන සාධයක් විදියටත් මේ ඇබ්බැහිවීම බලපාල තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ නොදැනුවත්කමත්, හරි අවබෝධයක් මේ සම්බන්ධව නැතිවීමත් නිසාවෙන්ම ඇබ්බැහිවීමෙන් වැළකීමේ ගැටලුවට හරි විසඳුමක් සොයාගන්නට මිනිසුන්ට නොහැකිවෙලා තිබෙනවා.

කාලෙන් කාලෙට විවිධ සමාජ දැනුවත් කිරීම් රජය හා විවිධ රාජ්‍ය නොවන ආයතන ගෙන ආවත් තවමත් නිවැරදි විසඳුමක් මේ වෙනුවෙන් ගෙන ඒමට ඔවුන් සමත් වී නැහැ. එවැනි වටපිටාවක සමාජ ජාලා හරහා එයට විසදුමක් ලබාදීම කාලෝචිත කරුණක්. මේ ලිපිය හරහා ඇබ්බැහිවීම පිළිබඳවත්, එයින් වැළකීමට ඇත්තටම යම් මාර්ගයක් තිබෙනවාද යන්නත් සොයාගන්න පුළුවන්. ඒ වගේම සැබැවින්ම එයින් මිදීමට හැකි බව වටහා දීමකුත් මේ හරහා සිදුවෙනවා.

මොකක්ද මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම කියන්නේ?

බොහෝ කාලයක් පවතින, නැවත නැවත සිදුවන මොළය ආශ්‍රිතව ඇතිවන ආබාධය ඇබ්බැහිවීම විදියට හැඳින්වෙනවා. ඇබ්බැහිවීමත් සමග මත්ද්‍රව්‍ය නිතර නිතර ගැනීමට සිදුවීමත්, ඒ හරහා මොළයට කල්යත්ම බලපෑම් සිදුවීමත් සිදුවෙනවා.

ඇල්කොහොල් මත්ද්‍රව්‍ය නිසා මොලයේ ඇතිවන වෙනස්කම් දැක්වෙන MRI ස්කෑන් එකක්(www.alamy.com)

ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇබ්බැහිවීමක් සිදුවෙනවද?

මොළයේ ඇතිවන රසායනික ක්‍රියාවලියක් හරහා ඇතිවන සංවේදනයන්ට මිනිස් ශරීරය ප්‍රතිචාර දක්වනවා. මෙය යම් දාමයක් විදියටයි පවතින්නේ, ඒ කියන්නේ මොළයෙන් ලැබෙන රසායනික වෙනසින් ශරීරයේ කොටස්වලට අවශ්‍ය පණිවුඩ යවනවා. ඒවාට අනුව සිදුකරන ක්‍රියාකාරකම්වල පණිවුඩය නැවත මොළයට ප්‍රතිචාරක් විදියට ලැබෙනවා.

මත්ද්‍රව්‍ය නිතර නිතර භාවිතයත් සමග මුලින්ම මත්ද්‍රව්‍ය භාවිතා කරනකොට දැනුණු වෙනස ලබාගැනීමට මාත්‍රාව වැඩි කිරීමට අවශ්‍ය වෙනවා. ඒක සිදුවෙන්නේ මොළයේ සෛල කාලයත් සමග මත්ද්‍රව්‍යවලට ප්‍රතිචාර දැක්වීම අඩුකිරීම නිසයි. ඒ එක්කම කාලයක් යනකොට ශරීරයේ ඉහත සඳහන් කළ සමහරක් සංවේදන හුවමාරුවේදී මත්ද්‍රව්‍ය නිසා සංවේදන හුවමාරුව මන්දගාමී වනවා. ඉගෙනීමට, තීරණ ගැනීමට, පීඩනය පාලනය, මතකය හා හැසිරීම් කියන සංවේදන හුවමාරුවට මත්ද්‍රව්‍ය අවශ්‍යම දෙයක් බවට පත් වෙන්න ගන්නවා. ඒ විදියට තමයි ඇබ්බැහිවීම සිදුවෙන්නේ.

ඇල්කොහොල් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීමේ චක්‍රය (www.unityrehab.com)

මුලින්ම භාවිත කරනවිට කරන කාර්යයන් වඩාත් හොඳින් කළ හැකි බව දැනුණත් ඇබ්බැහිවීම සමග සාමාන්‍ය විදියට සිටීමටත් මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් ගන්න මොළය දැනුම් දෙනවා. කාලයත් සමග එසේ සිටීමටත් අවශ්‍ය ප්‍රමාණය වැඩි කරන්න වෙනවා.

ඇයි මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ?

මුලිකවම කාරණා කීපයක් නිසා මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙනවා. වඩා හොඳ හැඟීමක් ලබා ගැනීමට, ශරීරයේ අහිතකර සංවේදන පාලනයට (ආතතිය,වේදනාව), යමක් වඩා හොඳින් කිරීමට (ක්‍රීඩාවකදී, මනස වෙහෙසකිරීමකදී, ලිංගික කටයුතුවලදී), සමාජ තත්වය උසස් කරගැනීමට වගේ ප්‍රාථමික සංවේදනවලට ප්‍රතිචාර සොයාගෙන මුලින්ම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙනවා. මුලින් එසේ වුවත් කල්යත්ම මේ සංවේදනවලට දැඩි හානි ගෙනෙන්නත් මත්ද්‍රව්‍ය හේතුවෙනවා.

මිනිසා මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවෙන්න බලපාන සාධක

මූලිකව විස්තර කිරීමේදී මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමට බලපාන කාරණා කීපයක් පවතිනවා.

පාරිසරික හේතු

නිවස හා පවුල් පරිසරය

පවුල් පරිසරයේ මත්ද්‍රව්‍ය භාවිතය සිදු වන වටපිටාවක ජීවත් වීම, කුඩා කාලයේ අතවරයන්ට ලක්වීම, පෙළඹවීමක් ඇති කිරීම, දරිද්‍රතාවය හෝ වෙනත් මානසික හා ශාරීරික පීඩා පවුල හරහා ඇබ්බැහිවීමට බලපානවා.

ඇබ්බැහිවීම ඇතිවීමට පාරිසරිකව බලපෑම්කරන අවස්ථාවක් (brobible.files.wordpress.com)

සමවයස් කණ්ඩායම් හා පාසල

අද වෙනකොට මත්ද්‍රව්‍ය වෙළඳාම කරන අයවලුන් මුලිකවම ඉලක්ක කොට ඇත්තේ මේ වයසේ සිටින කණ්ඩායමයි. ඉතා පහසුවෙන් අල්ලා ගන්න හැකි, තවම සමාජ අත්දැකීම් වලට හුරුනොවූ මේ වයසේ දරුවන් සමවයස් කණ්ඩායම් හරහා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුකර ගන්නවා. ඒ වගේම නව අත්දැකීම් ලබාගැනීමටත් ඔවුන් තමා විසින්ම මීට යොමු වෙනවා.

ජෛවවිද්‍යාත්මක හේතු

ඇබ්බැහිවීම්වලින් 40% – 60% අතර ප්‍රමාණයක් මේ කරුණ යටතේ සිදුවනවා. මුලින්ම පාරිසරිකව පටන් ගත්තත් පසුව මේ තත්වයට පත්වෙනවා. ශාරීරික හා මානසික ගැටළු ඇති අයවලුන් ඇබ්බැහිවීමට ලක්වීම මේ කාණ්ඩයට අයත් වෙනවා.

ඇබ්බැහිවීම සමග ඇතිවෙන ගැටළු

භාවිත කරන මත්ද්‍රව්‍යවල රසායනික වර්ගය අනුව බලපෑම් සිදුවන ආකාරය වෙනස් වනවා. නමුත් සියලුම මත්ද්‍රව්‍යවලට පොදු බලපෑම් විදිහට ප්‍රතිශක්තිකරණය අඩාල වීම, රුධිර පීඩනය වැඩි වීම, වමනය ඇති වීම, වකුගඩු හානිය, මතකය අඩු වීම, මොළයේ සංවේදන දුර්වල වීම, නිදිමත ඇති වීම, උන්මාද තත්වය, අධික තරහව, ගර්භණී කාන්තාවන්ගේ දරුවන් මිය යාම හෝ උපදින දරුවන් රෝගී වීම, පිළිකා තත්වය, සමාජයීය ගැටළු, ශරීරයේ පද්ධතිවල ගැටළු, නින්ද නොයාම, පෙනුම වෙනස් වීම අාදිය දක්වන්න පුළුවන්. මීට අමතරව තවත් බොහෝ ගැටළු මේ හරහා ඇතිවෙනවා.

දුම්පානය නිසා ශරීරයේ කොටස්වලට සිදුවන බලපෑම (dodadodalaa.files.wordpress.com)

ශ්‍රී ලංකාවේ අද වනවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම

ශ්‍රී ලංකාවේ අද වනවිට දවසක මත්ද්‍රව්‍ය ආදායම රුපියල් මිලියන 450 ලෙස වාර්තා වෙනවා. ඒ වගේම දැනට ලක්ෂ 2 පමණ පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමද සිදුවී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අද වනවිට තරුණ හා පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීමත් වැඩිවෙලා තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව ඔවුන් මේවා ගැන හරි අවබෝධයක් ලබා නොතිබීමයි.

ඇබ්බැහි වීමෙන් වැළකෙන්නේ කොහොමද?

ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සිදු වුවත් එය නැවතීම එතරම් පහසු දෙයක් නෙවෙයි. නමුත් එය කළ නොහැකි දෙයකුත් නෙවෙයි. මෙය අදියර කීපයකින් විස්තර කරන්න පුළුවන්.

  1. ඇබ්බැහි වීහම පිළිබඳ ‍වත්, ඒ හරහා ඇතිවන ගැටළු පිළිබඳවත් නිවැරදි අධ්‍යාපනයක් ලබාගැනීම
  2. දැනටමත් ඇබ්බැහි වූවෙක් නම් ඒ සදහා ප්‍රතිකාර ගැනීම
  3. ජිවත්වන පරිසරය ඔබට මත්ද්‍රව්‍ය භාවිතයට බලපෑම් කරයි නම් වහාම පරිසරයෙන් ඉවත්වීම
  4. බාහිර පුද්ගලයකුගේ උදව් අවශ්‍ය නම් ලැජ්ජා නොවී ලබාගැනීම
  5. නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කරගැනීම (ආහාර, ක්‍රීඩා කටයුතු, භාවනාව වැනි දේ)

ශ්‍රී ලංකාවේ උදව් ලබාගන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවාද?

ශ්‍රී ලංකාවේ අද වෙනකොට බොහෝ රාජ්‍ය ආයතන හරහාත්, රාජ්‍ය නොවන ආයතන හරහාත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් සිදුකරගෙන යනවා. ඒ වගේම විවිධ ආයතන හරහා ඇබ්බැහි වූවන්ට මගපෙන්වීමත් කරගෙන යනවා. එලෙස මගපෙන්වන ආයතන කිහිපයක් පහත ලෙස දක්වන්න පුළුවන්.

මිතුරු මිතුරෝ සංවිධානය මඟින් සංවිධානය කරන ලද වැඩසටහනක් අතරතුර (www.buddhistdoor.net)

ඊට අමතරව රෝහලක වෛද්‍යවරයෙකු හරහා වුවත් ඔබට ඇබ්බැහි වීමෙන් මිදීමට අවශ්‍ය උදව් ලබාගන්න පුළුවන්. බොහෝ විට මේ ඇබ්බැහි වීම තමන්ගේ මනස පාලනය මගින් නවතාගන්න පුළුවන්. ඊට අමතරව බෙහෙත් වර්ගත් ඇබ්බැහිවීම වැළකීමට සොයාගෙන තිබෙනවා. සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් ඒ හරහා වුවත් සුව කරගන්න පුළුවන්.

ඒ වගේම ඇබ්බැහි වීමකට ලක්වී සිටිනවා නම් ඒ පිළිබඳව සඟවාගෙන නොසිට එය සුවකරගැනීම සිදු කළ යුතුමයි. හේතුව එය ඔබට පමණක් සීමා වූවක් නොවීමයි. සමාජයේ බොහෝ දෙනෙක් එලෙස ඇබ්බැහි වීමෙන් පීඩාවිදින බව මේ ලිපිය හරහාම ඔබට වටහාගන්න පුළුවන්.

රටක් වනසන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වැළකීම තමාට මෙන්ම සමාජයටත් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම එවැනි ඇබ්බැහිවීම්වලින් අනෙක් මිනිසුන් ගලවා ගැනීමත් හැම කෙනෙකුගේම වගකීමක්. එසේම මේ වනවිට එලෙස ඇබ්බැහි වීමකට ලක්වී සිටින්නේ නම් අනාගතය ගැන සිතා එයින් වැළකීමත් කළ යුතුම දෙයක් වෙනවා

කවරයේ පින්තූරය : pixabay.com

මුලාශ්‍ර:

  1. www.drugabuse.gov/publications/media-guide/science-drug-abuse-addiction-basics
  2. www.drugabuse.gov/publications/drugfacts/understanding-drug-use-addiction
  3. www.drugabuse.gov/publications/drugs-brains-behavior-science-addiction/drug-abuse-addiction
  4. recovergateway.org/substance-abuse-resources/drug-addiction-effects/
  5. www.recoveryconnection.com/prevent-drug-addiction

Related Articles