Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

90 දශකයේ සහ අද වීඩියෝ මාධ්‍යයේ වෙනස්කම

අද වනවිට වීඩියෝ සුලභ මාධ්‍යයක් වී ඇති අතර, 90 දශකයට සාපේක්ෂව වීඩියෝ මාධ්‍යය අප වෙත ළඟා වීම වඩාත් වේගවත් වී තිබේ. 90 දශකයේදී රූපවාහිනිය හරහා පුළුල් වශයෙන් නිවසේ ආලින්දයට වීඩියෝ අත්දැකීම බෙදා දුන් අතර වර්තමානයේදී එම ස්ථානය කෙමෙන් කෙමෙන් අන්තර්ජාලය විසින් අත්පත් කර ගනිමින් පවතී. අන්තර්ජාලයේ දත්ත සම්ප්‍රේෂණය සැලකූ කල මුළුමහත් අන්තර්ජාලය හරහා හුවමාරු වන දත්ත වලින් 71% ක්ම වීඩියෝ දත්ත බැව් සිස්කෝ සමාගමේ නවතම වාර්තා මගින් පෙන්වාදී තිබේ.

එදා බැලූ වීඩියෝ සහ අද වීඩියෝ

එදා ද අද ද ලාංකික සමාජය තුල වීඩියෝ මාධ්‍යයේ වැඩිම පිරිසක් ආකර්ෂණය කළ ප්‍රභේදය ටෙලිනාට්‍ය විය. අනූව දශකයේ අග භාගයේදී ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ලක් ලංකාව ආක්‍රමණය කරන ලදී. ප්‍රධාන වශයෙන්ම සිරස රූපවාහිනී නාලිකාව ඉන්දියානු ටෙලිනාට්‍ය ලාංකික ජනතාවට සමීප කරවන්නට විය. එකල ශාන්ති හි රඟපෑ මන්දිරා බේඩ් ලංකාවේ ජනප්‍රියම ඉන්දියානු නිළිය බවට පත් විය. කාන්තා චරිත පරමාදර්ශ බවට පත් කරවමින් ඇරඹී ඒ ටෙලිනාට්‍ය රැල්ල අද වනතුරුත් තිබෙන නමුත් එදාට වඩා අද ඒ ඒකාකාරී රාමුවේ ටෙලිනාට්‍ය නරඹන පිරිස අඩු වී තිබේ. ඊට අමතරව රූපවාහිනී සැලකූ කල ජාතික රූපවාහිනී, සිරස, ස්වර්ණවාහිනිය සහ මෙරට පැරණිතම නාලිකාව වන අයි ටී එන් යන නාලිකා ජනප්‍රිය වී තිබුණි. දූදරුවෝ, වෙද හාමිනේ, ඉටි පහන්,ගිරය, බැද්දේගෙදර, දුන්හිඳ අද්දර එකල ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය කිහිපයකි.

ස්මාට්ෆෝන් වැනි උපාංග ගැන විද්‍යා ප්‍රබන්ධයකින්වත් නොඇසූ විරූ එසමයෙහි ලැප්ටොප් හෝ අද වැනි විශාල තිර සහිත පරිගණක යනු අධි සුඛෝපබෝගී භාණ්ඩ විය. 1950 වැනි කාලයේදී රේඩියෝව ප්‍රචලිත වෙමින් පැවති කාලයේදී ගම්වලට රේඩියෝව යනු කලාතුරකින් දකින මහාර්ඝ මැජික් බඩුවක් විය. 1990 දශකය පුරාවටම පරිගණකය ද එසේ වූ දුර්ලභ වටිනා භාණ්ඩයක් විය. එම කාලයේ පරිගණකවල ප්‍රධාන වශයෙන් ෆ්ලොපි ඩිස්ක් ධාවකයක්ද වූ අතර එහි ධාරිතාවය මෙගාබයිට් 1.44ක් විය. එසේම පෙන්ඩ්‍රයිව් වැනි උපාංගවල ධාරිතාවයද සාපේක්ෂව අඩු විය. මේවායේ වීඩියෝ තබා ඡායාරූප කීපයක් වත් ගබඩා කර තැබීම ඉතා අපහසුවිය.

එබැවින් අද මෙන් පෙන්ඩ්‍රයිව්, ඩීවීඩි, අධිවේගී අන්තර්ජාලය වැනි අත්දැකීම් නොතිබූ එකල වීඩියෝ නැරඹීම බොහෝ දුරට රූපවාහිනියටත්, තැටි ධාවන හෝ වීඩියෝ පට ධාවන යන්ත්‍රයටත් සීමා විය.

allamericandish.com

වීඩියෝ ලබාගත්ත හැටි

රූපවාහිනිය ජනප්‍රිය වුවද එකල රූපවාහිනිය නැරඹීමට තිබූ එකම මාධ්‍යය සාමාන්‍ය ඇන්ටනාව හරහා රූපවාහිනී නැරඹීම පමණි. අද කාලයේ නම් මසකට රුපියල් තුන් හාරසිය ගණනක සිට දෙතුන් දාහ ගෙවමින් වුවද රූපවාහිනි නැරඹිය හැකි ආකාර තිබේ. අන්තර්ජාලය හරහා IPTV මාධ්‍යයෙන් ලැබෙන රූපවාහිනී වැඩසටහන් හරහා අතීතයට ගොස් ඊයේ දිනයේ විකාශය වූ ටෙලිනාට්‍යය හෝ ප්‍රියතම වැඩසටහන වුවද නැවත නැරඹීමේ හැකියාව අප වෙත අද දිනයේ ලැබි තිබේ.

අහස දැකිය හැකි ඕනෑම ස්ථානයක සිට වීදුරුවක් තුළින් බලන්නාක් මෙන් පැහැදිලිව රූපවාහිනී වීඩියෝ බැලිය හැකි චන්ද්‍රිකා ටීවී තාක්ෂණයද මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ වීඩියෝ සම්ප්‍රේෂණ මාධ්‍යයකි. චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඕනෑම කඳුකර පලාතකට පැහැදිලි වීඩියෝ ලබාගත හැකිය.

90 කාලයේදී විදෙස් නාලිකාවක් අපිට නරඹන්නට අවැසි වුවොත් එය බොහෝවිට සීමා වූයේ කොළඹ ඉතා සීමිත පිරිසකට පමණි. එකල ජාතික රූපවාහිනිය සහ අයි ටී එන් නාලිකාවෙන් විදෙස් රූපවාහිනී නාලිකාවල ගිය ඇතැම් වැඩසටහන් අප වෙත නැවත විකාශය කරන ලදී. වයිල්ඩ් ඇමරිකා, ඩිස්කවරි වැඩසටහන් එකල ඉතා ජනප්‍රිය වූ විදෙස් වැඩසටහන් කිහිපයකි. අද වනවිට චන්ද්‍රිකා තාක්ෂණයත්, අයි පී ටී වී තාක්ෂණයත් නිසා වීඩියෝ ලබාගැනීම වඩාත් පහසු වී තිබේ. මේ හරහා අපිට ලෝකයේ එහා කොනේ සිදුවන දෙයක් එ් මොහොතේදීම කෙලින්ම වීඩියෝ ආකාරයෙන් බලාගැනීමට හැකියාව ලැබී තිබේ.

රූපවාහිනී මාලා නාටක (TV Series)

90 දශකයේද අද මෙන් කාටුන් වැඩසටහන් රැසක් ලොකු කුඩා අප සැමගේ රසාස්වාදයට හේතු විය. ටයිටස් තොටවත්තයන්ගේ හඬකැවීම් ළමා මනසට ගැලපෙන ආකාරයේ ඒවා විය. වර්තමානයට ගේම් ඔෆ් ත්‍රෝන් නම් එකලට තිබුනේ නයිට් රයිඩර් ය. නයිට් රයිඩර් නැරඹීම එකල උන්මාදයක් මෙන් විය. අද නැවත නැවත රූපවාහිනී බැලීමට විවිධ තාක්ෂණයන් පැමිණ තිබේ. එසේම මගහැරුණු ටෙලිනාට්‍ය තිබේ නම් ඒවා අන්තර්ජාලය තුල යූ ටියුබ් හරහා හෝ බාගැනීමෙන් බලාගත හැකිය.

ඒ කාලයේ දී ටෙලිනාට්‍ය කොටසක් මගහැරුණු පසු නැවත බලාගැනීම ඉතා අපහසු කාරණාවකි. එබැවින් අනිවාර්යෙන්ම ඒ අදාල වේලාවට සියලු වැඩ අත් හැර නිවසේ සියල්ලෝම පාහේ රුපවාහිනිය බැලීම එකල සිරිත විය. අද පවුල රූපවාහිනිය වටාවත් එකතු වන සෙයක් නොපෙනේ. එකම ටෙලි නාට්‍යය පුතා බලන්නේ ලැප්ටොප් එකෙනි; දුව එය ස්මාට්ෆෝනයෙන් වෙනත් වෙලාවක බලයි. අම්මා තාත්තා පමණක් සාලයේ පැරණි ලෙසට රූපවාහිනිය ඉදිරියේ ටෙලි නාට්‍ය නරඹයි. බොහෝ ශ්‍රී ලාංකිකයන් අද කාලයේ ජනප්‍රිය දේශීය ටෙලි වෘත්තාන්ත යූ ටියුබ් හරහාම නැරඹිමට පුරුදු වී තිබේ.

මෑතදී ජනප්‍රිය වූ දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇතැම් කොටස් ලක්ෂ 4කට වඩා පිරිසක් නරඹා තිබේ. කූඹියෝ ටෙලිනාට්‍යයද විශාල පිරිසක් විවිධ යූ ටියුබ් චැනලයන් ඔස්සේ නරඹන නූතන ජනප්‍රිය නාටකයකි. සාමාන්‍යයෙන් වරකට රූපවාහිනී නරඹන පිරිස මෙන් සෑහෙන ප්‍රතිශතයක පිරිසක් මෑත කාලයේ ටෙලිනාට්‍යය බැලීමට අන්තර්ජාලයද හරි හරියට යොදාගන්නා බව පෙනේ.

hindi.indiasamvad.co.in

වීඩියෝ බිස්නස්

කුඩා උපනගරයක පවතින කොමියුනිකේෂන් එකෙහි අද අමතර බිස්නස් ලෙස කෙරෙන එකක් නම් ෆොන් එකට ගීත ඇතුලත් කර දීමයි. එහිදී ජනතාව වීඩියෝ ගීත හා ඕඩියෝ ගීතත්, සංගීත සංදර්ශනත් ඔවුන්ට මුදල් දී පෙන්වලට සහ ෆෝන්වලට දමාගෙන යති. නූතනයේ බොහෝ ස්මාට්ෆෝන්වලට මෙමරි කාඩ් සහයෝගය දක්වන අතර බොහෝ වීඩියෝ යන්ත්‍ර සහ රූපවාහිනිවලටත් පෙන් ඩ්‍රයිව් කෙලින්ම සම්බන්ධ කළ හැකිය. එබැවින් ඒවා හරහා අන්තර්ජාලය නොමැති ඉසව් කරාද වේගයෙන් වීඩියෝ මාධ්‍යය පැතිරේ.

90 දශකයේදී සෑම කඩමණ්ඩියකම පාහේ කුඩා වීසීඩී හෝ වි එච් එස් කැසට් පට කුලියට දෙන තැන් විය. ඒවායෙන් හැඳුනුම්පත කුලියට තබා හෝ සාමාජිකත්වය රැගෙන වීඩියෝ තැටි හෝ කැසට් පට රැගෙන ගොස් දින දෙකකට පසු නැවත බාරදීම සිදු විය. මෙකල මෙන්ම එකල ද ස්ත්‍රීන් සෑමවිටම පාහේ හින්දි රෝමාන්තික ආදර අන්දරවලට මනාප වූ අතර පිරිමි ගහමරාගන්නා ඇක්ෂන් ෆිල්ම්වලට සිත බැඳ සිටියහ. සිල්වෙස්ටර් ස්ටැලෝන්, බෘෘස් ලී , ජැකී චෑන්, ආනෝල්ඩ් ස්වාසෙනේගර් එකල ජනප්‍රිය වූ හොලිවුඩ් නළුවෝ විය.

අද එන අලුත් වීඩියෝ

මෑත කාලයේ සමාජයේ කතාබහට ලක් වූ මියුසික් වීඩියෝ හි 90 දශකයේ නියෝජනය චිත්‍රපට ගී විය. ආදි කාලයේ හින්දි ගීත ඒ පැරණි නළු නිළියන්ගේ රැඟුම් සමගින් දැක ගැනීම එකල වැඩිහිටියන් වඩාත් ආශා කළ සංසිද්ධියක් විය. චිත්‍රපට ගී මගින් වින්දනය මෙන්ම චිත්‍රපටයේ කතාව ගැන නැවත මතකය අලුත් කරවීමද ඊට හේතු වන්නට අැත.

අද වනවිට වීඩියෝ කලාවේ තවත් එක කොටසක් ලෙස මියුසික් වීඩියෝ වර්ධනය වී තිබේ. ගීතයක් එළි දක්වන විට වීඩියෝවක් නිකුත් කිරීම මෝස්තරයක් තරමටම ජනප්‍රිය වී ගොස් ඇත.

එදා මගුල් ගෙදරක් වීඩියෝ කිරීම ඉහළ පැලැන්තියේ පවුල්වල පමණක් සිදුවුනු අරුමැති කාරණාවක් විය. අද කාලයේ මගුල් ජෝඩුව පෝරුවේ සිටින විට එය වීඩියෝ නොකරන්නේ ඇතැම් විට පහළින් සිටින අෂ්ඨක ගායනා කරු පමණකි. අනික් සැවොම ස්මාට්ෆෝන් මානාගෙන වීඩියෝ, පොටෝ ගනිති. අද වීඩියෝ තාක්ෂණය පැතිරීමත් සමග එදිනෙදා ජීවිතයේ සෑම සියලු සිද්ධියක්ම වීඩියෝ මාධ්‍යය හරහා පටිගත කරගැනීමට හැකිය.

එදා සහ අද වෙනස

එදා රූප මාධ්‍යයෙන් වීඩියෝ නැරඹීම පවා තරමක් අපහසු කාර්යයක් වී තිබිණි. අද වනවිට නිකුත් වෙන වීඩියෝ සුලභ වී ඇති අතර වීඩියෝ ලබාගත හැකි සහ නැරඹිය හැකි උපකරණද වැඩි වී තිබේ. මාධ්‍යයක් ලෙස වීඩියෝ මාධ්‍යයෙන් කෙරෙන නාට්‍ය, වාර්තා වැඩසටහන්, මියුසික් වීඩියෝ, විහිළු තහළු ආදී නිර්මාණ අද වනවිට ප්‍රමාණයෙන් සැලකිය යුතු ලෙසින් වැඩි වුවත් එකල අපගේ මතකයේ රැඳුණු ටෙලි නාට්‍ය සහ වැඩසටහන් හා සමාන එ්වා මේ වනවිට බිහිවන්නේ කලාතුරකිනි. එනම් සංඛ්‍යාත්මකව වැඩි වුවත් ඒ විශාල වීඩියෝ ප්‍රමාණය තුල ඇති ගුණාත්මක දේ වැඩි නොවීම අප තාක්ෂණයෙන් ඉදිරියට ගියත් එකම තැන කැරකෙන අවස්ථාවක් ලෙසද දැක්විය හැකිය.

කවරයේ රූපය (img.rtve.es)

Related Articles