Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මානව හිමිකම්වල විශ්වීය විකාශනය

ඔබ මිනිසෙකු ලෙස උපත ලැබීම නිසාම ඔබට හිමිවන අයිතීන්, මානව හිමිකම් ලෙස හැඳින්වේ. රාජ්‍යයක් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගැනීම ලබා දෙන මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ලෙස හැඳින්වේ. ජීවත්වීමට ඇති අයිතිය, අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍යයට ඇති අයිතිය, සමානාත්මතාවය, ආහාර, ඇඳුම් සහ නිවාස සඳහා ඇති අයිතිය; මානව හිමිකම් සඳහා උදාහරණ කිහිපයකි.

මානව හිමිකම් අවශ්‍ය වූයේ ඇයි?

පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙතින් බොහෝ විට මානව හිමිකම් ඉල්ලීම් ඉස්මතු විය.

1945ට පෙර මානව හිමිකම් පිළිබඳ වූ නැමියාව

ලෝක ඉතිහාසය තුළ මානව හිමිකම් ඉල්ලා; ඒ වෙනුවෙන් හෙලන ලද ලේ, දහදිය, කඳුළු අප්‍රමාණය. ඒ අතරින්, මානව හිමිකම් ඉතිහාසය විප්ලවීය ලෙස වෙනස් කළ උත්සාහන් කිහිපයක් හඳුනා ගැනීම අතිශයින් වැදගත් වේ. මානව මිහිකම් පිළිබඳ වංශ කතාව සලකා බලන විට, බුද්ධ වර්ෂ 2050 දී පැවති Ur-Nammu සංග්‍රහය, මානව හිමිකම් පිළිබඳ වාර්තාගත පැරණිතම මූලාශ්‍රයක් ලෙස හඳුනාගත හැක. ඒ තුළ කාන්තා, ළමා, වහල් අයිතීන් සහ එකී අයිතීන් කඩ කළ විට ලබා දිය යුතු දඬුවම් පිළිබඳ ප්‍රතිපාදන අන්තර්ගත විය.

උර්-නම්මු සංග්‍රහය (writeopinions.com)

වර්ෂ 1215දී, මධ්‍යතන යුගයේ හැරවුම් ලක්ෂය ලෙස මැග්නා කාර්ටා (Magna Carta – The Great Charter) සම්මුතිය බිහි වූ අතර ‘මානව හිමිකම්’ යන වචනය මුල්වරට ඇතුළත් වූ ලියවිල්ල ලෙස මෙය හඳුනාගැනේ. ජෝන් රජුගේ අසාධාරණ පාලනයට එරෙහිව එංගලන්තය තුළ මෙම නව පිබිදීම ඇති වූ අතර  පල්ලියේ අයිතීන් ආරක්ෂා කිරීම සහ අත්තනෝමතිකව සිරභාරයට ගැනීම් වැළැක්වීම මැග්නා කාර්ටා නිර්මාණය කිරීමෙහි අපේක්ෂාව විය. අත්තනෝමතිකව සිරභාරයට ගැනීම්වලට එරෙහිව හේබියස් කෝපුස් ආඥාවක් ලබාගැනීමට හැකිවිය යුතු බව මැග්නා කාර්ටා තුළ දක්වා ඇත. බොහෝවිට මානව හිමිකම් රදළ පැළැන්තියට පමණක් සීමා වූ විශේෂ වරප්‍රසාදයක් බවට පත්විය. මානව හිමිකම් උදෙසා එතෙක් නිද්‍රාශීලී ස්වරූපයකින් පැවති පොදු ජන හඬ අවදිවීමට යුග කිහිපයක් ගත විය.

මැග්නා කාර්ටා (British Museum)

මානව හිමිකම් උදෙසා ක්‍රියාකාරී වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, වර්ෂ 1679දී හබයාස් කෝපුස් පනත සම්මත කරගන්නා ලදී. ක්‍රි.ව. 1688 වන විට II වන ජේම්ස් රජු හා එංගලන්ත පාර්ලිමේන්තුව අතර මතභේදයන් උද්ගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස රජුගේ දියණිය වූ මේරි කුමරියගේ ස්වාමිපුරුෂයා වූ විලියම් කුමරුට සිංහාසනය භාරගැනීමට පාර්ලිමේන්තුව විසින් ආරාධනා කරන ලද අතර සිහසුන දැරිය යුතු ආකාරය පිළිබඳ කොන්දේසි මාලාවක් 1689 දී Bill of Rights ලෙස හඳුන්වා දෙන ලදී. මහජන නියෝජිතයන්ගේ අනුමැතියකින් තොරව රජු විසින් බදු අය නොකළ යුතු බව, ක්‍රෑර හා අමානුෂික දඬුවම් නොපැමිණවිය යුතු බව, රජුගේ ප්‍රකාශනයක් මගින් පවත්නා නීති වෙනස් කිරීම හෝ අලුත් නීති පැනවීම නොකළ යුතු බවට ප්‍රතිපාදන මේ තුළ අන්තර්ගත විය.

1776 ඇමරිකානු නිදහස් ප්‍රකාශනය (United States Declaration of Independence)  ද සියලුම ජාතීන් එක හා සමාන බව දක්වමින් මානව හිමිකම් පෝෂණය කළ හැකි සාරවත් පසුබිමක් සකසා දෙන ලදී. 1789 වර්ෂයේ සිට බලාත්මකව ක්‍රියාත්මක වන, ලොව ප්‍රථම සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකෙන ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට මූලික මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනයක් ඇතුළත් කිරීමද මානව හිමිකම් වර්ධනය විෂයෙහිලා අත්කරගන්නා ලද තවත් එක් ජයග්‍රහණයකි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරම්භක වචන තුන වන “We the people”, මගින් තහවුරු කරන්නේ ඇමරිකානු ආණ්ඩුව එහි පුරවැසියන් වෙත සේවය සැලසීමට බිහි වූ බවයි.

ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරම්භක වදන් (Odyssey)

ඉන් අනතුරුව මානව හිමිකම් වංශ කතාවට විප්ලවීය වෙනසක් එක් කරන්නේ, ප්‍රංශයේ ලුවී රජුගේ අත්තනෝමතික සිර භාරයට ගැනීම්වලට සහ අධික බදු අයකිරීම්වලට එරෙහිව 1789දී බිහිවන මානව හිමිකම් පිළිබඳ ප්‍රංශ ප්‍රකාශනයයි (Declaration of International Rights of Man and of the Citizen). මිනිසා උපතින් එක සමාන බව, නීතිය සියලු දෙනාටම සමාන බව සහ සියල්ලන්ටම සමාන අයිතීන් හිමි විය යුතු බව මෙමගින් පිළිගන්නා ලදී.

ප්‍රංශ විප්ලවය නිරූපණය කෙරෙන සිතුවමකි (wikipedia)

ප්‍රංශයේ දහසය වන ලුවී රජු (Bio.com)

වහල්භාවය අහෝසි කිරීමට එරෙහි සටන් සහ වර්ණභේදවාදයට එරෙහි සටන් ද මානව හිමිකම් ප්‍රවර්ධනයට හේතු විය. 1857 ඉන්දියානු නිදහස් සටන මෙන්ම 1917 රුසියානු ඔක්තෝම්බර් විප්ලවය ද මානව හිමිකම් නව මාවතකට යොමු කිරීමට ප්‍රබල ලෙස හේතු පාදක විය. 1914 සිට 1918 දක්වා කාලය අතරතුර පැවති පළමුවන ලෝක යුද්ධයෙන් අනතුරුව මානව හිමිකම්වල වැදගත්කම හඳුනාගත් ජාතීන්ගේ සංගමය​ විසින් 1919 දී League of Nations Covenant බිහි කරගන්නා ලද අතර රාජ්‍යයක් විසින් තනි පුද්ගලයන් වෙත ලබා දිය යුතු අයිතීන් කිහිපයක් ඒ තුළ අන්තර්ගත කරන ලදී. ජාතිකත්වය/ ලිංගිකක්වය/ කුලය/ ආගම මත වෙනස්කොට නොසැලකිය යුතු බව, ජීවිතයට ඇති නිදහස, දේපළට ඇති අයිතිය, නිදහසේ ආගම ඇදහීමට පවතින අයිතිය මෙන්ම කැමති භාෂාවක් කතා කිරීමට පවතින අයිතිය ද එමගින් පිළිගන්නා ලදී.

ඔක්තෝම්බර් විප්ලවය අතරතුර ලෙනින් සිය අනුගාමිකයන් අමතන ආකාරය (lidenz.ru)

1945න් පසු මානව හිමිකම් වර්ධනය වූ ආකාරය

1945 වර්ෂයේදී දෙවන ලෝක යුද ගින්න නිවී යාමත් සමඟ; මතු දැල්වී පුපුරා යාමට ඉඩ ඇති මානව හිමිකම් අහිමි කිරීමේ ගිනි පුපුර අඩපණ කිරීමට ක්‍රමවේදයන් ලෝක ප්‍රජාව විසින් අඛණ්ඩව පර්යේෂණයට භාජනය කරන ලදී. එලේනා රූස්වෙල්ට් (Eleanor Roosevelt) මැතිනියගේ ප්‍රමුඛත්වයෙන් 1948 දී බිහි වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (Universal Declaration of Human Rights) මානව හිමිකම් සුරක්ෂණය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ගන්නා ලද ශක්තිමත් ජාත්‍යන්තර නිල ප්‍රවේශයක් ලෙස හඳුන්වා දිය හැක.

එලේනා රූස්වෙල්ට් මැතිනිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සමඟ (The United Nations)

1966 ආර්ථික/ සාමාජික හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (International Covenant on Economic, Social and Cultural Rights – ICESCR), 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Covenant on Civil and Political Rights – ICCPR), 1979 ස්ත්‍රීන්ට එරෙහිව කෙරෙන සියලු ආකාරයේ වෙනස්කොට සැළකීම තුරන් කිරීමේ සම්මුතිය (The Convention on the Elimination of all Forms of Discrimination Against Women – CEDAW), 1985 වධහිංසා සහ වෙනත් අමානුෂික දඬුවම් හා අවමන් සහගත සැලකිලිවලට එරෙහි සම්මුතිය (The Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment – CAT), 1989 ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (The United Nations Convention on the Rights of the Child – CRC), 1990 සියලුම සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය (Convention on the Protection of the Rights of All Migrant Workers and Members of Their Families), 2006 වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (Convention on the Rights of Persons with Disabilities – CRPD) යනාදී ලෙස සම්මුතීන් විශාල ගණනක්, මානව හිමිකම් ප්‍රවර්ධනය විෂයෙහිලා දායක වී ඇත.

මානව හිමිකම් ප්‍රවර්ධනය උදෙසා දරන ලද කලාපීය උත්සාහයන් කිහිපයක්

අද වන විට ජාත්‍යන්තරව පමණක් නොව කලාපීය වශයෙන් ද මානව හිමිකම් බලගැන්වීමේ යාන්ත්‍රණයන් බිහි වී ඇත. 1950 වර්ෂයේදී යුරෝපියානු කවුන්සිලය මගින් සම්මත කරන ලද මානව හිමිකම් සහ මූලික නිදහස සුරැකීමේ යුරෝපියානු සම්මුතිය (European Convention on Human Rights), 1969 වර්ෂයේදී සම්මත කරන ලද මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සම්මුතිය (American Convention on Human Rights), 1981 වර්ෂයේදී සම්මත කරන ලද මානව සහ මිනිස් හිමිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය (African Charter of Human and Peoples Rights) එවන් කලාපීය උත්සාහයන් කිහිපයකි.

මානව හිමිකම්වල නොනවත්නා ඉදිරි ගමන

මානව හිමිකම් වූ කලී දිනෙන් දින නව ජයග්‍රහණ අත්පත් කරගනිමින් යාවත්කාලීන වන, අතිශය වැදගත් සහ සංවේදී විෂය ක්ෂේත්‍රයකි.

කවරයේ පින්තූරය – (anacao.cv)

මූලාශ්‍ර

  • HUMAN RIGHTS: A Basic Handbook for UN Staff,
  • constitution.org
  • THE ORIGIN AND DEVELOPMENT OF HUMAN RIGHTS IN THE GLOBAL SCENARIO, < shodhganga.inflibnet.ac>
  • theadvocatesforhumanrights.org

Related Articles