Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප අමන්දානන්දයට පත්කළ තවත් විදෙස් මාලා නාටක කීපයක්

මේ ලිපියේ ප්‍රථම කොටසින්, අනූව දශකයේ සහ ඊට මදක් පසුකාලීනව, රූප පෙට්ටිය තුළින් අප නිවසට සතිපතා පැමිණි, ලොකු, කුඩා අප කාගේත් සිත් දිනාගත් රහස් පරීක්‍ෂණ, වික්‍රම සහ අභිරහස් ගණයට අයත් විදෙස් මාලා නාටක කිහිපයක් පිළිබඳවම ඔබේ මතකය අවදි කරන්න අපට හැකි වුණා. කුඩා කල අප හද දිනූ වීරයන්, වීරවරියන් රජකළ මේ විදෙස් නාටක සියල්ල එක් ලිපියකින් ලියා අවසන් කළ නොහැකි නිසා එහි දෙවන කොටසින් තවත් වික්‍රමාන්විත සහ විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් මාලා නාටක කිහිපයක් සමඟින් ඔබව ඒ සුන්දර අතීතයට රැගෙන යන්නයි මේ සූදානම.

මායා බන්ධන Spellbinder

actf.com.au

අප කුඩා කල වීරයන් වූ පෝල්, රියානා සහ කැතී, ජෝෂ් යුගළය සමඟින් එකිනෙකට වෙනස් කථා මාලා දෙකක් ලෙස තිරගත වුනු Spellbinder අප වෙත ගෙන ආවේ ජාතික රූපවාහිනියයි. Spellbinder පළමු කථා මාලාව ආරම්භ වන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පාසැලකින් චාරිකාවක් යන නව යොවුන් වියේ පසුවන සිසුන් පිරිසක් කරන විහිළුවක් දුරදිග යාමෙන් පෝල් රෙනොල්ඩ්ස් අතුරුදන් වීමත් සමඟිනි.

මායා බන්ධකයින් විසින් පාලනය කරන, විසල්, ලෝහ පියාඹන නැව් ඇති සමාන්තර ලොවකට පිවිසෙන පෝල්, ක්ලේහිල් ගම්මානයේ රියානා සමඟ මිතුරු වී නැවතත් තම ලොවට ගමන් කිරීමට දරන උත්සාහයත්, එහිදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන වික්‍රමාන්විත සිදුවීමුත් වටා ගෙතී ඇති Spellbinder පළමු කොටස අප හද බැඳගත්තේ පෝල් රියානා නිසාවෙන් පමණක් නොවේ. කථා මාලාවේ දුෂ්ඨ චරිතය රඟපෑ මායා බන්ධක අශ්කා සහ ඇගේ ආධුනිකයා ලෙස හැඳින්වූ ග්‍රෙවෝන් මෙන්ම පෝල්ට නිවස බලා යාමට ඇප උපකාර වන කාරුණික මායා බන්ධකයා වූ කොරියොන්, සිඩ්නි නුවර සිට පෝල්ට සහය වන ඔහුගේ මිතුරන් වූ ඇලෙක්ස් සහ කැත්‍රීනා මෙන්ම රියානාගේ මව සහ පියාද, පෝල්ගේ පියා සහ සොයුරියද කථා මාලාවේ විශේෂ චරිත වුනා.

කතාංග කිහිපයකින් පසු පෝල් තම නිවස බලා යාමට දරණ උත්සාහයකදී අශ්කාගේ විදුලි සැර පහරකින් වැළකීමට තැත් කරන රියානාද අහඹුවකින් පෝල් සිටින සමාන්තර ලොවට පිවිසෙන අතර, ඇය එහි ගෙවන කාලය තුළ පෝල්ගේ ලොවේ ඇති දියුණු, නව තාක්‍ෂණය කෙරෙහි දක්වන ප්‍රතිචාර හාස්‍ය උපදවන ආකාරයට නිර්මාණය කර තිබුණි. බල තණ්හාවෙන් උමතු වූ චරිතයක් වූ අශ්කා, මායා බන්ධකයින්ගේ ලොවේ කරන වංචා ප්‍රෝඩා වලින් ගැලවීමට මඟක් සොයමින් අවසානයේ පෝල්ගේ ලොවට පැමිණ, විද්‍යාඥයෙකු වූ පෝල්ගේ පියා ලවා ඇගේ බල ඇඳුම් කට්ටලය, පියාඹන බල ඇඳුමක් බවට පත් කරගැනීමට දරන තැතත්, පෝල්, රියානා, ඇලෙක්ස් හා කැත්‍රීනා එකතු වී ඇයට එරෙහිව කරන සටනත් මායා බන්ධන ප්‍රථම කතා මාලාවෙන් අප වෙත ගෙන අවා.

මායා බන්ධන : මකර රජ දහන Spellbinder : Land of the Dragon Lord

actf.com.au

මායා බන්ධන දෙවන කතා මාලාව ආරම්භ වන්නේ නව යොවුන් වියේ පසුවන කැති සහ ජෝෂ්, තම දෙමාපියන් සමඟ පාසල් නිවාඩු සමයේ යන විනෝද චාරිකාවකදී කැතී අතුරුදහන් වීමත් සමඟිනි. මකර රජ දහනේ විද්‍යා සිසුවෙකු වූ මෙක් නිර්මාණය කළ, විවිධ සමාන්තර ලොව හරහා ගමන් කළ හැකි බෝට්ටුවකින් කැතී මකර රජ දහන වෙත ගමන් කරනවා. මකර රජ දහනේ පාලකයා හෙවත් මකර අධිරාජ්‍යයා, දඟකාර කුඩා කොලු ගැටයෙකු වූ සන් වන අතර, දියුණු තාක්‍ෂණයක් ඇති මේ ලොව මෙහෙයවන්නේ ඔරකල් නමැති කෘතීම බුද්ධියක් වැනි පරිගණකයක් මඟිනි. කථා මාලාව උණුසුම් වන්නේ කැතීට සහ ඇය සොයා එන ජෝෂ් ඇතුළු පවුලේ උදවියට මුහුණ දීමට සිදුවන වික්‍රමාන්විත සිදුවීම් සහ කථා මාලාවේ දුෂ්ටයින් වන ශාරක් සහ අශ්කාගේ සටකපට ප්‍රයෝග නිසාවෙනි.

කැතීගේ ලොව සහ මකර රජදහන හැරුණු කොට, මායා බන්ධකයින්ගේ ලොව ඇතුළු තවත් සමාන්තර ලොව 4කට අප ගෙන යාමට මෙම මලා නාටකය සමත් වුනා. කාලය නැවතුනු, වසර එක්දහස් අටසිය ගණන්වල ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු අමරණීය මිනිසුන් කොටසක් සමඟ දියුණු රොබෝවරුන් සිටි දේශයේ ලෙම් සහ ගුයින් වැනි චරිතද, මිනිසුන් විනාශ කරන යුධ ටැංකියක් වැනි යන්ත්‍රයක් වූ මොලොක් සහ යන්ත්‍ර වලට බියෙන් ජීවත්වූ මිනිසුන් කොටසක් විසූ ලොවක සිටි ජෙස් වැනි චරිතද, කැතීගේ ලොවට අනුරූප තවත් ලොවක සිටි මෝර්ගන් පවුලද මෙම කථා මාලාව රසවත් කළා.

රොබින් ඔෆ් ෂර්වුඩ් Robin of Sherwood

youtube.com

අප කුඩා කල රොබින් හුඩ් මෙන් හැඳ පැළඳ, දුණු ඊතල තනා පාසල් නිවාඩු කාලයේ රොබින් සෙල්ලම් කල වාර අනන්තයි. තවමත් රොබින් හූඩ් කිවූ සැනින් මතකයට නැඟෙන ඒ සුමිහිරි තේමා ගීතය ඇතුළු අමරණීය චරිත, එකළ ලොකු, කුඩා කාගේත් හද දිනා ගත්තා.

ජාතික රූපවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟ අප වෙත ගෙන ආ රොබින් ඔෆ් ෂර්වුඩ්, එකිනෙක හා සම්බන්ධ කථා මාලා 3 කින් යුක්තයි. කථා මාලාව ආරම්භ වන්නේ රොබින් සහ මච්, ෂර්වුඩ් කැලයේ දඩයමේ ගොස් ගිස්බන්ට හසුවී හිරේ දැමීමත් සමඟිනි. නොටින්හැම් පාලනය කල කෲර ෂෙරිෆ් රොබර්ට්ගේ අවනීතියට එරෙහිව සටන් වැදීමට, රොබින් කණ්ඩායම පිහිටුවා ගන්නේ කථා මාලාවේ ප්‍රථම කොටස් කිහිපයේදීයි. රොබින්ගේ පළමු සහ පරණම සගයා වන්නේ මච්. රොබින්ගේ පියාව ෂෙරිෆ් රොබර්ට් විසින් මරා දැමීමෙන් පසුව ඔහුව හදා වඩාගත් ඥාතියාගේ පුත් වූ මච් තරමක් ලඳ බොළඳ චරිතයක් ලෙස පෙන්නුම් කෙරෙනවා.. කුකුල් කේන්ති කාරයෙකු වූ විල් ස්කාලට්, සද්දන්ත සිරුරක් මෙන්ම එයටම සරිලන ශක්තිවන්ත බවක් ද සහිත වූ ලිට්ල් ජෝන්, රොබින්ගේ මෙන්ම එකල තරුණයින්ගේද හද දිනාගත් පියකරු මැරියන් මෙන්ම, අප කාගේත් ආදරය දිනාගත් තරබාරු ටක් සහ වැඩි කථාබහක් නොමැති එහෙත් කඩු සරඹයට අති දක්‍ෂයෙකු වූ නසියර් ද අප සැමගේ සිත් බැඳගත් චරිත වුණා.

කතාංගයෙන් කතාංගයට ෂෙරිෆ් රොබර්ට් හා ගිස්බන්ගේ කුරිරුකම් හමුවේ පීඩාවට පත්වූ අහිංසක ජනයා වෙනුවෙන් සටන් කළ රොබින්, දෙවන කථා මාලාව අවසානයේ සිය දුන්න කඩා දමා ඊතල රැසක පහරට හසුව, අභීත ලෙස මරණයට මුහුණ දුන් අන්දම කාගේත් සිත් තුළ ශෝකජනක මතකයක් ඉතිරි කළා. පසුව තෙවන කථා මාලාවෙන්, රොබින්ගේ අනුප්‍රාප්තිකයා ලෙස අප අතරට එන හන්ටින්ඩන්හි රොබර්ට්, රොබින්ගේ අකල් මරණයෙන් ඒ මේ අත විසිර සිටි කණ්ඩායම එකතු කර දුර්ජනයන්ට එරෙහි සටන නැවත ආරම්භ කර එයට නායකත්වය දෙනවා.

රොබින්සන් අන්දරය – The Adventures of Swiss Family Robinson

youtube.com

“සයුරේ ජීවිත නැව පෙරළී, මුතු සොයනා අය කොහේදෝ… පණ නල පාගා…” ජාතික රූපවාහිණියෙන් අප අතරට ගෙන ආ, හඬ කැවූ, තවත් විශිෂ්ඨ විදෙස් මාලා නාටකයක් වූ රොබින්සන් අන්දරයේ තේමා ගීතය ඔබ සැවොම ප්‍රිය කළ ගීතයක් බව නොඅනුමානයි. කථා මාලාව ආරම්භ වන්නේ 19 වන ශත වර්ෂයේ මුල් භාගයේ පමණ ඇමෙරිකාවේ බොස්ටන් නුවර, ප්‍රධාන ලිපිකරුවෙක් ලෙස රැකියාව කරන ඩේවිඩ් රොබින්සන්ගෙනි. තම රැකියාවේ ඒකාකාරී බවෙන් හෙම්බත්වී සිටින ඩේවිඩ්, එම සමාගමේම, චීනයේ විවෘත කරන ශාඛාවක රැකියාවක් භාර ගන්නේ මේ අතරේදීයි. තම බිරිඳ, දරු තිදෙනා සහ බලු සුරතලා, බෲනෝ සමඟ චීනය බලා ගමන් කරමින් සිටි නැව, නොසිතූ ලෙස කුණාටුවකට හසුවී ඩේවිඩ් සහ පවුලේ සියල්ලන් පාළු දූපතකට ගසාගෙන විත් අතරමං වන අතර, දූපතේ ගෙවන කාලය තුළ ඔවුන්ට මුහුණ දීමට සිදුවන විවිධ අභියෝගයන්, දුක් කම්කටොළු මෙන්ම සුන්දර අත්දැකීම්ද රසබර ලෙස රොබින්සන් අන්දරයෙන් අප වෙත ගෙන ආවා.

රොබින්සන් පවුලට අමතරව නැවේ සේවය කළ, කළු ජාතික,  කුඩා කොළු ගැටයෙකුත්, චීනයේ රදළ පෙළපතකින් පැවත එන එමලිත්, කථා මාලාවේ දුෂ්ටයාගේ චරිතයවූ පාර්සන්ස් සහ ඔහුගේ සහයකයා වූ බෙන්ද, අපට අමතක නොවන චරිත වුණා. එමෙන්ම ඩේවිඩ්ගේ බිරිඳ එළිසබෙත්, දූපතේ සිදුවන සියළු සිදුවීම් තම දිනපොතේ සටහන් තබන වැඩිමහළු පුත් අර්න්ස්ට්, තරමක් කේන්තිකාරියකු වූ ජොඇනා සහ පවුලේ බාලයා වුණු කුඩා ක්‍රිස්ටීනාද ප්‍රේක්‍ෂක අපේ හද දිනා ගන්නා ලෙස චරිත නිරූපණයේ යෙදුණි. කථා මාලාව පුරාවට සිදුවන ස්වභාවික උවදුරු,  මුහුදු මංකොල්ලකරුවන්ගේ ආක්‍රමණ, දූපතේ ස්වදේශී ජන කොට්ටාශ වලින් සිදුවන හිරිහැර මෙන්ම රොබින්සන් පවුලෙන් පළිගැනීමට තැත් කරන පාර්සන්ගේ කුරිරු සැලසුම්ද අතරට කුඩා ආදර කතාවන්ද මුසුකර රොබින්සන් අන්දරය අප මනමත් කළා.

සමුදුරු දියණිය – Ocean Girl

oceangirl.org

ස්වර්ණවාහිනී නාළිකාවෙන් සිංහල උපසිරැසි සහිතව අප වෙත ගෙන ආ, Ocean Girl ප්‍රේක්‍ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණේ සුන්දර තරුණියක්වූ කථා නායිකාව, “නෙරී” නිසා බව පැවසුවොත් නිවැරදියි. ජලය සමඟ අපූරු සමීප සබඳතාවක් තිබූ නෙරීට, ගැඹුරු මුහුදේ, කිසිඳු උපකරණයක් නොමැතිව ඉතා දිගු දුරක් කිමිදීමේ හැකියාව තිබුණා. ORCA නමැති සමුදුරු සමීක්‍ෂණ මධ්‍යස්ථානයේ දෙමාපියන් සේවය කරන ජේසන් සහ බ්‍රෙට් බේට්ස් සොයුරන්ට නෙරී හමුවන්නේ අහම්බයකිනි. ඔවුන් ඇය ගැන තොරතුරු කිසිවෙකුටත් නොපවසා රහසක් ලෙස තබා ගැනීමට තැත් කළත්, ප්‍රථමයෙන් ඔවුන්ගේ දෙමාපියන්ද, කථා මාලාවේ එන එක් දුෂ්ටයෙකුගේ චරිතය රඟන දොස්තර හෙල්ග්‍රන් විසින් මෙහෙයවන UBRI නමැති සමාගමත්, ඇය පිළිබඳ දැන ගන්නවා.

කථාව දිගහැරෙත්ම නෙරී තම පියා සමඟ පෘථිවියට අභ්‍යාවකාශ යානයකින් පැමිණි බව අනාවරණය කර ගන්නවා. පසුව ඇය, තම පියා පෘථිවියට පැමිණීමේ අරමුණ වටහාගෙන එය ඉටු කිරීමට අදිටන් කර ගන්නවා. මේ අතර නෙරීට “මේරා” නම් ඇගේ සොයුරිය හමුවන අතර, ඔවුන් දෙදෙනාටම පෘථිවියට සමුදී, සමුදුරු ග්‍රහලොව (Ocean Planet) වෙත යාමේ අවස්ථාවක් ලැබුණත් නෙරී එය ප්‍රතික්‍ෂේප කරන්නේ ඇයට පෘථිවියේදී ඉටු කිරීමට ඉතිරිව ඇති කර්තව්‍යන් නිසාවෙනි. පසුව PRAXIS නම් සමාගමක් කතාවට එකතු වන අතර, ඔවුන් පිටසක්වළ ජීවීන්ගෙන් පෘථිවියට විය හැකි හානි වළකාලීමට බැඳී සිටින සංවිධානයක් වනවා. ඔවුන් නෙරී සහ ඇගේ ජන කොටස පෘථිවියට තර්ජනයක් ලෙස දැකීමත්, සමුදුරු ග්‍රහලොවේ කැරළි ආරම්භ වීමත් නිසා කථාව උණුසුම් මුහුණුවරක් ගන්නවා. අවසානයේ, නෙරී, ජේසන් සහ බ්‍රෙට් එකතුව PRAXIS සංවිධානය මෙන්ම කැරලිකරුවන්ද පසුබස්වා, පරාජය කොට පෘථිවිය බේරා ගැනීමට සමත්වන අතර, ජේසන් සහ නෙරී පෙම්වතුන් වෙනවා. කථාමාලා 4ක් පුරාවට විකාශය වුනු Ocean Girl වසර ගණනාවකට පෙර අප අමන්දානන්දයට පත්කළ තවත් අපූරු මාලා නාටකයක් වුණා.

සවස් යාමයේ අප විවේක කාලය රසවත් කළ, මෙවැනි වික්‍රමාන්විත සහ විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් අපූරු මාලා නාටක නැරඹු චමත්කාරජනක අතීතයක්, මේ ලිපිය කියවන ඔබ හැමෝටම තිබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. ඔබ වගේම, කුඩා අවදියේදී මේ වැඩසටහන් නරඹා විනෝදවූ ඔබේ අනෙක් මිතුරන්වත් ඒ සුමිහිරි අතීතයට රැගෙන යාමට මේ ලිපිය ඔවුන් සමඟ බෙදා ගන්න අමතක කරන්න එපා!

කවරයේ පින්තුරය – thedoctorwhocompanion.com

Related Articles