Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොත් දහසක් කියවූ සිව් වියැති දැරිය

අපි අතරෙ, පොත් කියවන්න ඇබ්බැහි වුණු පිරිසක් වගේම පොත් කියවන්නෙම නැති කොටසකුත් ඉන්නවානේ. ඔබත් ආසාවෙන් පොත් කියවන කෙනෙක්ද? සමහර විට ඔබට ඔබේම පොත් එකතුවක් ඇති. තමන් ළඟ තියෙන හැම පොතක්ම කියවලා අවසන් නොවුණත් තව තවත් අළුත් පොත් මිලදී ගන්නවත් ඇති. ඔබ දැනට පොත් කීයක් විතර කියවලා තියෙනවද? පොත් දහසකට වඩා කියවා තිබෙන අවුරුදු හතරක කුඩා දැරියක් ගැනයි අද ලිපිය ගෙන එන්නේ. ඔබ කොයි තරම් පොත් කියවලා තිබුණත් මේ දැරිය තරම් නම් පොත් සංඛ්‍යාවක් කියවලා නැතුව ඇති.

www.pexels.com

ඩාලියා මේරි අරානා

ජෝර්ජියාවේ, ගෙයින්ස්විල්හි ජීවත් වන ඩාලියා මේරි අරානා (Daliyah Marie Arana) උපදින්නටත් පෙර සිටම කියවන්නට ඉගෙන ගනිමින් සිටි බව ඇගේ දෙමව්පියන් පවසනවා. ඩාලියාගේ මව වන හලීමා අරානා පවසන්නේ ඇය ගර්භණීව සිටින කාලයේදී, දිනපතාම ඇගේ වැඩිමල් දරුවන්ට ඇසෙන්නට පොත් කියවන්නට පුරුදු වී සිටි බවයි. ඩාලියා ඉපදුනු පසු ඇගේ වැඩිමල් සොයුරා ශබ්ද නඟා පොත් කියවන අයුරු ඇය අසා සිටි බවත් තමන් ඇයට ඇසෙන්නට කියවූ පොත් වල තිබූ වචන හඳුනා ගනිමින් සිටි බවත් හලීමා පවසනවා. ඇය මෙලෙස වචන හඳුනා ගැනීමට පටන් ගෙන තිබෙන්නේ වයස මාස 18දී පමණ සිටයි.

තනිව කියවූ පළමු පොත

ඩාලියා දිනෙන් දින අළුත් වචන ඉගෙන ගන්නා විට ඇයට තව තවත් පොත් කියවීමේ ආශාව ඇති වූ බවත්, තනිවම පොත් කියවීමට අවශ්‍ය වූ බවත් ඩාලියාගේ මව පුවත්පත් සාකච්ඡාවකදී කියා තිබුණා. අවුරුදු 2-3 වයසේදී බොහෝ දරුවන් මුද්‍රිත මාධ්‍යයකින් කියැවෙන අදහසක් තේරුම් ගන්නේ බොහොම කලාතුරකින්. නමුත් ඩාලියා වයස අවුරුදු 2 මාස 11ක් වන විට කිසිවකුගේ උපකාරයක් නැතිව තනිවම පොතක් කියවූවා.

අවුරුදු 4න් පොත් 1000ක්!

ඩාලියා මේරි අරානා (myajc.com)

දැන් ඩාලියාගේ වයස අවුරුදු 4ක්. ඇය දැනට පොත් 1000කට වැඩි ප්‍රමාණයක් කියවා තිබෙනවා. ඩාලියාට අවුරුදු 10-12 අතර වයසේ ළමුන්ට නිර්දේශිත අධ්‍යාපනික ග්‍රන්ථද කියවා තේරුම් ගත හැකි බවයි පැවසෙන්නේ. මේ පුංචි පොත් ගුල්ලා පුස්තකාල වලට නම් අමුත්තෙක් නෙවෙයි. ඩාලියා ඇය ජීවත් වන නගරයේ පුස්තකාලයේ (Hall Country Library) සාමාජිකාවක්.

“මම හැමදාමත් පොත් කියවන්න ආසයි. පුංචි කාලෙදිම පොත් කියවන්න ඉගෙන ගන්න අනෙක් ළමයින්ට කියලා දෙන්නත් මම කැමතියි.” ඒ සඳහා පෙර පාසල් ගුරුතුමියට සහය වීමටත් ඉතා කැමැත්තෙන් සිටින බව ඩාලියා Gainesville Times පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබෙනවා. ඩාලියා කියවන පොත් ප්‍රමාණය ගණන් කිරීමට ඇගේ මවට අදහසක් ඇති වන්නේ ඩාලියා ළදරු පාසලට ඇතුළත් කිරීමටත් පෙර සිටයි. එවිට ඩාලියාගේ වයස අවුරුදු 3ක් පමණ වූවා. ඒ වන විටත් ඇය ඇගේ මවගේ සහය ඇතිව පොත් 1000ක් පමණ කියවා තිබූ අතර ළදරු පාසලට ඇතුළත් වන විට එම ප්‍රමාණය 1500 දක්වා වැඩි වී තිබුණා.

http://scubby.com – (ඩාලියා, මව හා පියා සමඟ)

කුඩා පුස්තකාලාධිපතිනිය

පොත් කියවන්නට අති මහත් ආශාවක් දක්වන මේ කුඩා දැරියට දැනටමත් ඇය උපන් නගරයේ ඉතා ඉහළ පිළිගැනීමක් ලැබී තිබෙනවා. තමන්ට අනාගතයේදී පුස්තකාලාධිපතිනියක් වීමට අවශ්‍ය බව ඩාලියා පවසනවා. ඇය ජීවත් වන නගරයේ පුස්තකාලයෙන් ඩාලියාට එක් දිනකට පුස්තකාලාධිපතිනිය වීමට අවස්ථාවක්ද ලබා දී තිබුණා. ඔවුන් ඇයට, මාටින් ලූතර් කිං සැමරුම් උළෙලේදී ඔහුගේ “I Have a Dream” යන ප්‍රසිද්ධ දේශනය කියවීමටත් ආරාධනා කර තිබෙනවා.

ලොව විශාලම පුස්තකාලය වෙත,

Library of Congress (hdwalle.com)

ගෙයින්ස්විල්හි පුස්තකාලයෙන් ඩාලියාට එක් දිනකට පුස්තකාලාධිපතිනිය වීමේ අවස්ථාව ලැබුණු පසු ඇගේ මවට අවශ්‍ය වුණේ ඩාලියාට තවත් එවන් අත්දැකීම් ලබා දීමටයි. ඒ නිසා ඇය කා(ර්)ලා හේඩ්න් (Carla Hayden) ට ලිපියක් ලියනවා. කා(ර්)ලා හේඩ්න්, Library of Congress හි පළමු අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් ඇති පුස්තකාලාධිපතිනියයි. එම ලිපියට පිළිතුරක් ලෙස කොංග්‍රස් පුස්තකාලයෙන් ඩාලියාට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට එහි පැමිණෙන ලෙස ආරාධනාවක් ලැබෙනවා. රෝස පැහැ ඇඳුමක් හැඳ, උපැස් යුවළ පැළඳගෙන ඇගේ දෙමව්පියන්ද සමඟ ඩාලියා පුස්තකාලය වෙත පැමිණි අතර විශාල වපසරියක විහිදී ඇති ලොව විශාලම පුස්තකාලයේ ශාලාවන් පුරා ඇවිද යමින් ඇය මුළු දවසම එහි ගත කළා.

කා(ර්)ලා හේඩ්න් (Shawn Miller)

හේඩ්න් ඩාලියාගේ පොත් කියවීමට ඇති ආශාව සහ උනන්දුව ගැන ඉතා සතුටට පත් වී සිටි අතර ඩාලියාගේ පුස්තකාල ආගමනය දැක්වෙන ඡායාරූප කිහිපයක්  ඇගේ නිල ට්විටර් වෙබ් අඩවියට එක් කර තිබෙනවා. ළමා පොත් ඇති කොටසට පිවිසුණු ඩාලියා හේඩ්න්ට ඇසෙන්නට පොත් කියවූ අතර පුස්තකාලයේ අනෙක් කාර්යය මණ්ඩලයද මුණ ගැසුණා. ඔවුන් ඩාලියාගෙන් පුස්තකාලයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව විමසූ විට කුඩා දැරිය එක් වරම පැවසුවේ පුස්තකාලයේ ශාලා වල සුදු පැහැ බෝඩ් (Whiteboards) සවි කළ යුතු බවයි. එවිට ඇය වැනි ළමුන්ට ලිවීම පුහුණු විය හැකි බවයි ඩාලියා පැවසුවේ.

පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ සිහිනය

ඩාලියාගේ දෙමව්පියන් කිසි දිනෙක ඇගේ කියවීම් මට්ටම පරීක්ෂා කර නැහැ. ඩාලියාගේ ප්‍රියතම ලේඛකයා වන්නේ “Pigeon and Elephant” සහ “Piggie” පොත් මාලාව රචනා කළ Mo Willems නමැත්තායි. ඩාලියා ඩයිනෝසරයන් පිළිබඳව විශේෂ ඇල්මක් දක්වන බවත්, ඒ සම්බන්ධව බොහෝ කරුණු දන්නා බවත් ඇගේ මව පවසා සිටිනවා. ඩාලියාට කෙදිනක හෝ ඩයිනෝසර පොසිල සම්බන්ධව වැඩිදුර තොරතුරු සොයා බැලීමේ සිහිනයක් තිබෙන බවද ඇය පැවසුවා.

හේඩ්න් සහ ඩාලියා (COSMOPOLITAN)

ඉතා වේගයෙන් ඉගෙන ගැනීම.

“ඇයට ඉතා වේගයෙන් බොහෝ දේවල් ග්‍රහණය කර ගැනීමටත් බොහෝ ප්‍රමාණයක් මතකයේ රඳවා ගැනීමටත් පුළුවනි.”

ඩාලියාගේ මව පවසනවා.

ඇගේ පියා වන මිගෙල් අරානා (Miguel Arana) මෙක්සිකන් ජාතිකයෙකු වන අතර ඔහු නිතරම ඩාලියා සමඟ ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරන බවයි පැවසෙන්නේ. අවුරුදු 4ක කුඩා දැරියට තවමත් ස්පාඤ්ඤ භාෂාව නිවැරදිව කතා කළ නොහැකි වුවත් ඇයට බොහෝ වචන තේරුම් ගත හැකියි. ඩාලියාගේ දෙමව්පියන් පවසන්නේ ඇය ස්පාඤ්ඤ භාෂාව කියවන ආකාරය ඉගෙන ගන්නටද කැමැත්තෙන් ඉන්නා බවයි.

මූලාශ්‍ර –

https://www.thecut.com/

https://newsela.com/read/Daliyah-1000-books/id/25738

http://www.telegraph.co.uk/news/2017/01/14/meet-amazing-child-prodigy-has-already-read-1000-books1/

http://people.com/human-interest/4-year-old-who-has-read-1000-books-becomes-librarian-for-the-day-at-library-of-congress/

https://americanlibrariesmagazine.org/2017/01/17/newsmaker-daliyah-marie-arana/

https://www.buzzfeed.com/terripous/this-4-year-old-has-read-more-than-1000-books-so-you-should?utm_term=.jkavZe7mj#.exjALwy9K

කවරයේ පින්තූරය- Twitter

Related Articles