Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එදා මෙදාතුර ලංකාවේ බදු අය කළ හැටි

2022 අප්‍රේල් මාසය වන විට අප රට තුළ ආර්ථික අර්බුදයක් ගොඩනැඟෙමින් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම ශීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගත්තා. එවැනි තත්ත්වයක් යටතේ එවකට පැවති රජය, ජනතාව මත බදු බර පටවමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට කටයුතු කළා.

ඒ අනුව VAT බද්ද 8% සිට 12% දක්වා ද විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ද ඉහළ ගියා. එම බදු ක්‍රියාත්මක වුණේ 2022 ජූනි 1 සිට යි. ඊට අමතරව 2022 ඔක්තෝබර් 1 සිට පුද්ගල ආදායම් බද්ද (PIT), සංස්ථාපිත ආදායම් බද්ද (CIT), රඳවාගැනීමේ බද්ද (WHT) සහ ආනයන බද්ද යන බදු වර්ග ද ඉහළ දැමුවා.

නව ආදායම් බදු සංශෝධනය

වත්මන් බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතාබහක් මෙන් ම ඒ පිළිබඳ විරෝධය ද මේ වනවිට සාමාන්‍ය ජනතාව වෙතින් මෙන් ම වෘත්තිකයන් වෙතින් ද එල්ල වෙමින් පවතිනවා.
නව ආදායම් බදු සංශෝධනය හකුළා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති කොළඹදී විරෝධතා ද පවත්වන්නට කටයුතු කළා.

මේ ආකරයෙන් විවිධ වකවානුවල කතාබහට ලක් වන අපේ බදු ක්‍රමය එදා මෙදාතුර විකාශය වූ අයුරු මේ ලිපියෙන් විමනා බලමු.

ඉහළ දැමූ බදුවලට එරෙහිව පැවති ජනතා උද්ඝෝෂණ (dailymirror.lk)

වසර 2500කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙන අප රටේ අතීතයේ සිට බදු අය කිරීමේ විවිධ ක්‍රමවේද පැවතුණා. අනුරාධපුර යුගයේ පිහිටුවූ ඇතැම් ශිලා ලේඛනවල එකල පැවති බදු වර්ග පිළිබඳ ව සඳහන් වෙනවා. ඉන් පසු බිහි වුණු පොලොන්නරුව, මහනුවර වැනි රාජධානි යුගවල දීත් අප රටේ තුළ බදු ක්‍රියාත්මක වුණු බවට පැරණි මූලාශ්‍රවල ලියැවී තිබෙනවා.

මෙරට විධිමත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක වීම ඇරඹුණේ 1932 දී ආදායම් බදු දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමත් සමඟ යි. එතැන් සිට ගෙවුණු වසර 90කට වැඩි කාලයේ දී ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදු වුණා. මේ ඔබට කියන්න යන්නේ මෙරට බදු ක්‍රමයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු යි.

අනුරාධපුර යුගයේ දී ධාන්‍ය බද්දෙන් භාණ්ඩාගාරයට වැඩි ආදායමක්

ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේ දී අනුරාධපුර රාජධානියට අයත් වුණු ප්‍රදේශ ආශ්‍රිත ව බදු ක්‍රමයක් ක්‍රියාත්මක වුණු බව පැරණි ශිලා ලේඛනවල දක්වා තිබෙනවා. එහි දී කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් වන බදු වර්ග 2ක් අය කර තිබෙනවා. ඒ ගොවිතැන් කිරීම සඳහා වැව් අමුණුවලින් ලබා ගත් ජලය වෙනුවෙන් ගෙවූ දකපති බද්ද සහ ගොවීන්ගේ ධාන්‍ය අස්වැන්නෙන් ගෙවූ භෝජකපති නම් බද්ද යි.

එයින් භෝජකපති හෙවත් ධාන්‍ය බද්ද රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම ලැබුණු ප්‍රධාන මාර්ගය යි. ඊට අමතර ව ජලාශවලින් ඇල්ලූ මසුන් සඳහා මජිබකපති නමින් බද්දක් අය කළ බව පෙරියකාඩු විහාර ගිරි ලිපියේ සඳහන්. එම බදු අය කිරීම සඳහා ස්ථාපිත කර තිබුණු ස්ථාන කන්නිය, කානික සහ ඇතන යන නමින් හැඳින්වූවා.

අනුරාධපුරයේ කලා වැව – archive.globallandscapesforum.org

අනුරාධපුර යුගයේ අග භාගයේ දී රජ කම් කළ 4 වන උදය රජතුමා බදුලු ටැම් ලිපිය ස්ථාපිත කළා. එහි දක්වා ඇත්තේ එකල පැවති වෙළෙඳ නීතිරීති පිළිබඳව යි. එම නීතිරීතිවලට අනුව පාරිභෝගිකයන්ට නොපෙන්වා අලෙවි කළ භාණ්ඩ සඳහා දෙගුණයක් අය බදු ගෙවිය යුතු වුණා.

එකල වෙළෙන්ඳන්ගෙන් අය බදු එකතු කිරීම සඳහා “පදිලද්” යන නමින් නිලධාරින් පිරිසක් පත් කර තිබුණා. එයින් පැහැදිලි වන්නේ එකල වෙළෙන්ඳන් සඳහා අය බදු ක්‍රමයක් ක්‍රියාත්මක වුණු බව යි.

බදුලු ටැම් ලිපිය – wikipedia.org

අනුරාධපුර යුගයේ දී මහාතිත්ථ, ගොඩවාය, ගෝකණ්ණ වැනි වරායන් වෙළෙඳාම සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. එකල එම වරායන් හි ආනයන සහ අපනයනය බදු එකතු කිරීමට “මහාපටුලද්ද” නමින් නිලධාරින් පිරිසක් පත් කර සිටි බව පැරණි මූලාශ්‍රවල දැක්වෙනවා. ඒ අනුව අනුරාධපුර යුගයේ දී බදු එකතු කිරීම හරහා විශාල රාජ්‍ය ආදායමක් ලැබී තිබෙනවා.

ඊට අමතර ව ඉඩම් බදු සහ ගැල් බදු අය කළ බවට එකල ස්ථාපිත කළ ඇතැම් ශිලා ලේඛනවල දක්වා තිබෙනවා. එයින් නිගමනය කළ හැක්කේ අනුරාධපුර යුගයේ දී අප රටේ විධිමත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක වී ඇති බව යි.

නිශ්ශංකමල්ල රජු රට වැසියන්ට බදු සහන ලබා දුන්නා

පොලොන්නරු රාජධානිය පාලනය කළ ප්‍රබලත ම පාලකයා බවට පත් වුණේ මහා පරාක්‍රමබාහු රජතුමා යි. එම යුගයේ දී සිංහල සේනා බුරුමය ආක්‍රමණය කළා. මහා පරාක්‍රමබාහු රජතුමා දශකයකට වැඩි කාලයක් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය සහ චෝළ අධිරාජ්‍යයන්ට එරෙහි ව සටන් කළා. එය දකුණු ඉන්දීය සෙල්ලිපිවල දක්වා තිබෙනවා. එහි දී සිංහල සේනා දකුණු ඉන්දියානු ප්‍රදේශ ආක්‍රමණය කර සටන් කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එසේ සටන් මෙහෙයවීම සඳහා විශාල අමතර ධනයක් අවශ්‍ය වුණා. එනිසා එකල ජනතාව මත අධික බදු බරක් පටවා තිබුණු බව මහාවංසයේ දැක්වෙනවා. පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ බදු අය කළ ආකාරය පිළිබඳ ව නයිනතිව් සෙල්ලිපියේ ද තොරතුරු දක්වා තිබෙනවා. පරාක්‍රමබාහු රජතුමා දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් කටයුතු කරද්දී අය බදු එකතු කිරීම සඳහා භාණ්ඩාගාරික නමින් නිලධාරි පිරිසක් පත් කළ සිටි බව පැරණි ඉතිහාස මූලාශ්‍රවල සඳහන්.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ යැයි සැලකෙන ප්‍රතිමාව – nexttravelsrilanka.com

කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා ක්‍රිස්තු වර්ෂ 1187-1196 යුගයේ දී පොලොන්නරුව පාලනය කළා. ඔහු රජකමට පත්වීම පිළිබඳ ව රට වැසියන් එතරම් සතුටට පත් වුණේ නැහැ. ඒ ඔහු කාලිංග වංශිකයෙක් නිසා යි. එනිසා රට වැසියාගේ හිත දිනාගැනීම සඳහා ක්‍රමයක් කල්පනා කළ නිශ්ශංකමල්ල රජතුමා මුලින් ම සිදු කළේ ඒ වන විට ජනතාව මත පැටවී තිබුණු අධික බදු බර අඩු කිරීම යි.

පොලොන්නරු යුගයේ දී කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පිසඹුරුවත, සහ කැතිඅඩ නමින් බදු වර්ග දෙකක් අය කළ බව කන්තලේ පිහිටි ගල් ආසන සෙල්ලිපියේ දක්වා තිබෙනවා. නිශ්ශංකමල්ල රාජ්‍ය සමයේ දී පිසඹුරුවත නම් බද්ද සම්පූර්ණයෙන් ම ඉවත් කරමින් රට වැසියන්ට සහන දුන් බව එකල ස්ථාපිත කළ සෙල්ලිපිවල ලියැවී තිබෙනවා.

උඩරට රාජධානියේ ක්‍රියාත්මක වුණු බදු ක්‍රමය

රොබට් නොක්ස් බ්‍රිතාන්‍ය නැඟෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගමේ සේවය කළ නැව් කපිතාන්වරයෙක්. ඉංග්‍රීසි ජාතිකයෙක් වුණු ඔහු දකුණු ඉන්දියාවේ මදුරාසියේ (වර්තමානයේ චෙන්නායි) සිට සිය උපන් රට බලා ගමන් කරන අතරතුර කුණාටුවකට හසු වුණා. ක්‍රිස්තු වර්ෂ 1660 දී සිදු වුණු එම අනතුරින් නොක්ස් ගමන් කළ නැව විනාශ වුණා. එහි දී අසීරුවෙන් සිය ජීවිතය බේරා ගත් නොක්ස් නැවේ සේවය කළ තවත් 17 දෙනකු සමඟ ත්‍රිකුණාමලයේ මුතූර් වෙරළට ගොඩ බැස්සා.

එසේ අහම්බයකින් ලංකාවට පැමිණි මෙම පිරිස කන්ද උඩරට දෙවන රාජසිංහ රජතුමාගේ භට පිරිස්වලට හසු වුණා. ඉන් අනතුරුව නොක්ස් ඇතුළු පිරිස උඩරට රජතුමාගේ සිරකරුවන් බවට පත් වුණා. ඔහු වසර 20ක් පමණ රාජසිංහ රජතුමාගේ සිරකරුවෙක් ලෙසින් කාලය ගත කළා.

දෙවන රාජසිංහ රජතුමා – en.wikipedia.org

එහි දී ලැබූ අත්දැකීම් පදනම් කර ගෙන නොක්ස් Historical Relation of Ceylon නමින් වාර්තාවක් එළි දැක්වූවා. එකල උඩරට රජකම් කළ දෙවන රාජසිංහ රජතුමා රට වැසියන්ගෙන් අය කළ බදු වර්ග පිළිබඳ කරුණු එහි දක්වා තිබුණා. එම වාර්තාවට අනුව රට වැසියන්ට වසරකට තුන් වතාවක් බදු ගෙවීමට නියම වී තිබුණා. එහි දී එම බදු විවිධ ද්‍රව්‍යවලින් ගෙවූ බව එහි දක්වා තිබුණා.

එම ද්‍රව්‍ය අතරට මැණික්, තෙල්, යකඩ, මීපැණි, බඩඉරිඟු, ඉටි, රෙදි, දුම්කොළ සහ ඇත්දළ වැනි දේවල් ඇතුළත් වුණා. එසේ දෙවන රාජසිංහ රජු උඩරට රාජධානිය පාලනය කරද්දී මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීන් සහ ලන්දේසීන් වෙනම බදු අය කළා. එසේ අය කළ බදු අතරට කුරුඳු සඳහා ගෙවූ මහ බද්ද, තොටුපොළ බද්ද, බිම් බද්ද වැනි ඒවා අයත් වුණා. පෘතුගීසි සහ ලන්දේසි යන ජාතීන්ගෙන් පසුව මෙරට බලය අල්ලාගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ද ජනතාවට වැඩි වශයෙන් බදු පැනවූවා.

බ්‍රිතාන්‍ය පාලන සමයේ අය කළ බදු වර්ග

1796 දී බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලන බලය අල්ලා ගත්තා. ඉන් පසුව 1815 දී මුලු රටේම බලය සියතට ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි වුණා. එසේ ලංකාවේ බලය ලබා ගත් බ්‍රිතාන්‍යයන් අධික බදු බරක් ජනතාව මත පටවමින් පාලනය ගෙන ගියා. 1848 දී ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ඉතාමත් අසාධාරණ ලෙස බදු පැනවූවා.

එහි දී ඔහු පැනවූ ඇඟ බද්දට දැඩි ජනතා විරෝධයක් එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම වසරේ දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව මාතලේ කැරැල්ල ඇති වුණා. බ්‍රිතාන්‍ය ජාතිකයන් 1948 දී අප රටට නිදහස ලබා දෙන තුරු ම විශාල වශයෙන් බදු අය කළ බව පැරණි මූලාශ්‍රවල සඳහන්. මේ එම යුගයේ දී අය කළ බදු වර්ග කිහිපයක් පිළිබඳ තොරතුරු යි.

1848 මාතලේ කැරැල්ල සම්බන්ධ සිතුවමක් – urlaub-sri-lanka.info

1). ඇඟ බද්ද- පිරිමි දරුවෙක් වැඩිහිටි පුරුෂයකු බවට පත් වුණු පසුව මෙම බද්ද ගෙවීමට සිදු වුණා.

2). මරාල බද්ද- යම් කෙනකු මිය ගිය පසු ඔහු හෝ ඇය ජීවත් ව සිටි කාලයේ භාවිත කළ දේපළවලින් යම් ප්‍රතිශතයක් බද්දක් ලෙසින් ගෙවීමට සිදු වුණා.

3). ධීවර බද්ද- ධීවර කර්මාන්තයේ යෙදුණු ජනතාවට සිය ආදායමෙන් කොටසක් බද්දක් ලෙස ගෙවීමට සිදු වුණා.

4). පොල් බද්ද- යම් කෙනකු ජීවත්ව සිටි නිවසේ පිහිටි පොල් ගස් සඳහා බද්දක් ගෙවීමට සිදු වුණා.

5). තුවක්කු බද්ද- එකල තුවක්කු භාවිත කළ උදවියට මෙම බද්ද ගෙවීමට සිදු වුණා.

6). සෙරෙප්පු බද්ද- එම යුගයේ දී සෙරෙප්පු සුඛෝපභෝගි ආයිත්තමක් ලෙස සැලකුවා. එනිසා සෙරෙප්පු යුගළක් පැළඳි උදවියගෙන් ද බද්දක් අය කළා.

7). පාර බද්ද- තමන් ජීවත් වුණු නිවස සඳහා වෙනම පාරක් භාවිත කළ උදවියට මෙම බද්ද ගෙවීමට සිදු වුණා.

8). බලු බද්ද- නිවසේ සුරතලයට සුනඛයන් ඇති කළ උදවියගෙන් මෙම බද්ද අය කර ගත්තා.

බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ නගරයේ දර්ශනයක් – gettyimages.com

ආදායම් බදු දෙපාර්තමේන්තුව පිහිටු වීම

1932 දී අප රටට ආදායම් බද්ද මුලින් ම හඳුන්වා දුන්නා. එහි දී 1931/32 මුල් ම තක්සේරු වර්ෂය ලෙසින් සැලකුවා. එම බදුවල පරිපාලන කටයුතු සඳහා 1932 දීම ආදායම් බදු දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. එහි ප්‍රථම කොමසාරිස්වරයා ලෙස එන්.ජේ හක්ස්හැම් පත් කළා.

බූදල් සහ මුද්දර බදු කාර්යාලත් 1933 දී ආදායම් බදු දෙපාර්තමේන්තුව සමඟින් ඒකාබද්ධ කළා. ඉන් අනතුරු ව එය හැඳින්වූයේ ආදායම් බදු, බූදල් සහ මුද්දර බදු දෙපාර්තමේන්තුව ලෙස යි. පසු කලෙක එහි නම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලෙසින් වෙනස් වුණා. එම දෙපාර්තමේන්තුව පසු යුගයේ විවිධ වසරවල දී පැනවූ බදු කිහිපයක් මෙසේ දක්වන්නට පුළුවන්.

1). 1941- අතිරේක ලාභ බද්ද
2). 1948- ලාභ බද්ද
3). 1958- ධන බද්ද, වියදම් බද්ද සහ ත්‍යාග බද්ද
4). 1961- ජාතික සංවර්ධන බද්ද, සහල් සහනාධාර බද්ද, අධි බද්ද, විකිණුම් බද්ද
5). 1963- ව්‍යාපාර පිරිවැටුම් බද්ද
6). 1971- ප්‍රාග්ධන බද්ද
7). 1983- පුනරුත්ථාපන බද්ද
8). 1986- පොළිය මත රඳවාගැනීමේ බද්ද
9). 1988- ඔට්ටු සහ සූදු බද්ද
10). 1992- ජාතික ආරක්ෂක බද්ද, නිශ්චිත ගාස්තු මත රඳවාගැනීමේ බද්ද
11). 1998- භාණ්ඩ සහ සේවා බද්ද
12). 2002- එකතු කළ අගය මත බද්ද (VAT)
13). 2005- සමාජ වගකීම් බද්ද
14). 2009- ජාතිය ගොඩනැඟීමේ බද්ද

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව – ft.lk

වර්තමානයේ දී මෙරට ක්‍රියාත්මක වන බදු ක්‍රමය

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අනිවාර්යයෙන් ගෙවිය යුතු යැයි රජය හෝ රජයේ බලාධිකාරී ආයතනයක් නියම කළ ගෙවීමක් බද්දක් ලෙසින් හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් ආකාර 2ක් යටතේ බදු වර්ග කරන්න පුළුවන්.
1). බදු බර උසුලන පාර්ශවය අනුව
2). ආදායම අනුව

බදු බර උසුලන පාර්ශව අනුව බදු, නැවතත් ඍජු බදු සහ වක්‍ර බදු ලෙසින් කොටස් දෙකකට වර්ග කරන්නට පුළුවන්.

ඍජු බදු
ගෙවීමට නියම කළ ආයතනය හෝ පුද්ගලයා ගෙවිය යුතු, බදු බර වෙනත් පාර්ශවයකට විතැන් කළ නොහැකි බදු වර්ගයක්. පුද්ගලයන් සහ ආයතන උපයන වැටුප්, බදු කුලී සහ ලාභාංශ මත මෙම බදු අය කරනවා.

උදාහරණ- පුද්ගල ආදායම් බද්ද, සමාගම් ලාභ බදු, වරිපනම් බදු, ප්‍රාග්ධන ලාභ බදු

වක්‍ර බදු
ගෙවීමට නියම කළ ආයතනයට එම බදු බර වෙනත් පාර්ශවයකට විතැන් කළ හැකි බදු විශේෂයක්. බොහෝ විට මෙම බදු භාණ්ඩ සහ සේවා මත පැනවීම හේතුවෙන් පාරිභෝගිකයාට බදු බර ගෙවීමට සිදු වෙනවා.

උදාහරණ- එකතු කළ අගය මත බදු (VAT), නිෂ්පාදන බදු, තීරු බදු

ආදායම අනුව බදු වර්ග කිරීමේ දී මෙසේ ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කරන්නට පුළුවන්.

අනුක්‍රමික බදු
මෙය ආදායම වැඩිවන විට බදු ප්‍රතිශතය ද වැඩි වන අයුරින් සකස් කළ බදු වර්ගයක්. මෙහි දී බද්දට යටත් වන ආදායම වැඩි වන ප්‍රමාණය අනුව බදු ප්‍රතිශතය ද ක්‍රමානුකූලව වැඩි වෙනවා.

උදාහරණ- පුද්ගල ආදායම් බද්ද, සමාගම් ලාභ බදු

ප්‍රතික්‍රමික බදු
මෙය ආදායම වැඩි වන ප්‍රමාණය අනුව බදු අනුපාතය ක්‍රමයෙන් අඩු වන ලෙස සකස් කළ බදු විශේෂයක්. මෙහි දී බද්දට යටත් වන ආදායම් ප්‍රමාණය කුඩා නම් වැඩි බදු බරක් ද, ආදායම් ප්‍රමාණය වැඩි නම් අඩු බදු බරක් ද ගෙවීමට සිදු වෙනවා.

උදාහරණ- නිෂ්පාදන බදු

සමානුපාතික බදු
මෙය ආදායම වැඩි වුණත්, අඩු වුණත් එක සමාන බදු අනුපාතිකයක් අය කරන බදු විශේෂයක්. එනම් බද්දට යටත් වන ආදායම් ප්‍රමාණය විශාල වුණත්, කුඩා වුණත් එකම බදු අනුපාතයක් මෙම ක්‍රමයේ දී අය කරනවා.

උදාහරණ- ආර්ථික සේවා ගාස්තු, ආනයන තීරු බදු, සමාජ වගකීම් බදු

වර්තමානයේ දී අප රට තුළ වැඩිම බදු ප්‍රමාණයක් අය කරගන්නේ රජය යි. ඒවා මෙසේ දක්වන්නට පුළුවන්.

1). එකතු කළ අගය මත බදු (VAT), 2). සමාගම් බදු 3). රේගු බදු 4). නිෂ්පාදන බදු
5). ප්‍රාග්ධන ලාභ බදු 6). පුද්ගල ආදායම් බදු 7). හර බදු 8). ජාතිය ගොඩනැගීමේ බදු
9). සමාජ වගකීම් බදු 10). සෙස් බදු 11). ආර්ථික සේවා ගාස්තු 12). වරිපනම් බදු

රජයට අමතර ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකා රේගු අධිකාරිය මෙසේ බදු අය කරනවා.

1). දේශීය ආදායම් දෙපාර්තමේන්තුව– පුද්ගල ආදායම් බද්ද, එකතු කළ අගය මත බදු (VAT)
2). සුරාබදු දෙපාර්තමේන්තුව- සිගරට් බද්ද, දුම්කොළ බද්ද, සුරා බදු
3). පළාත් පාලන ආයතන- වරිපනම් බදු, විනෝද බද්ද
4). ශ්‍රී ලංකා රේගු අධිකාරිය- තීරු බදු

කවරයේ ඡායාරූපය- dnaindia.com
මූලාශ්‍ර :
ird.gov.lk
sinhala.archaeology.lk
myschool.lk
මහාවංසය
රේගු පුරාණය- ලෙස්ලි ගාමිණී

Related Articles