ආතර් C. ක්ලාක් මහතාගේ කාලය තුළ ගල් ගැසුණු කොළඹ නිවස

කොළඹ කුරුඳුවත්තේ වැඩි හැලහොල්මනක් නැති මාවතක හොඳට ඉඩ කඩ තියෙන, විශාල ප්‍රමාණයේ පැරණි නිවසක් දැක ගන්න ලැබෙනවා. කොළඹ ටවුන් හෝල් එකේ ඉඳලා ඇවිදින දුරක තියෙන මේ ප්‍රදේශයේ දකින්න ලැබෙන සුඛෝපභෝගී නිවාස ගණනාවක් අතර රේල් ගේට්ටුවක් සහිත මේ නිවසට එකවරම ලොකු අවධානයක් නම් හිමි වෙන්නේ නැහැ, නමුත් ඒ ගේට්ටුවෙන් ඇතුලට ගියාම තමන් ඇවිත් ඉන්නේ බොහොම වැදගත් ස්ථානයකට බව කාටත් වැටහෙන්න ගන්නවා. මේ ලෝක ප්‍රසිද්ධ කීර්තිමත් විද්‍යාඥ ආතර් C. ක්ලාක් මහතාට නිවසක් මෙන්ම කාර්යාලයක්ද වූ ගොඩනැගිල්ලයි. වසර 10 කට පමණ පෙර සිදු වුණු ඒ මහතාගේ අභාවයේ සිට මේ දක්වා කාගේවත් අවධානයට ලක් නොවී මේ ගොඩනැගිල්ල ඒ විදිහටම තියෙනවා.

ආතර් C. ක්ලාක් මහතාගේ නිවස. (Roar/Michael Gregson)

ආතර් C. ක්ලාක් මහතා ජීවත්ව සිටියා නම් ඔහු මේ ගෙවා දමමින් සිටින්නේ තම ජීවිතයේ 100 වැනි වර්ෂයයි. එතුමා මිය ගිහින් සැලකිය යුතු කාලයක් ගත වී තිබුණත් ලෝකය පුරාම එතුමාට පවතින ගෞරවයේ කිසිදු අඩුවක් පෙනෙන්න නැහැ. අධ්‍යක්ෂක ස්ටැන්ලි කියුබ්‍රික් සමග ආතර් C. ක්ලාක් මහතා 1968 දී නිර්මාණය වුණු “2001: A Space Odyssey” චිත්‍රපටයේ පිටපත රචනා කළේ තමන්ගේ විශිෂ්ටම නිර්මාණවලින් එකක් වූ “The Sentinel” කෙටි කතාව අනුසාරයෙනුයි. මෑත කාලයේදී එතුමාගේ “Childhood’s End” නවකතාව ඇසුරින් ඇමරිකාවේ රූපවාහිනී මාලා නාටකයක් නිෂ්පාදනය වුණා. ආතර් මහතාගේ පැරණි රසිකයන්ට අමතරව අලුත් පරම්පරාවේ රසික පිරිසක් බිහි කරන්නත් මේ මාලා නාටකය හේතු වුණා.

කොහොම නමුත් ශ්‍රී ලංකාවේ තිබෙන එතුමා “ego chamber” ලෙස හැඳින්වූ මේ ගොඩනැගිල්ල තවත් වැඩි කලක් විවෘතව තියා ගන්න පුළුවන් වේවිද කියලා ගැටළුවක් තිබෙනවා.

මේක ඉතාම අපූරු ස්ථානයක්; විද්‍යා ප්‍රබන්ධ ඉතිහාසයේ දැවැන්තයෙක්ගේ ආත්මය තවමත් එයින් සහමුලින්ම ඉවත්ව ගොස් නෑ කියා හැඟීමක් එහි යන කාටත් දැනෙනවා. ගොඩනැගිල්ලට ඇතුළු වෙනවාත් එක්කම තිබෙන ශාලාවේ කඩදාසි රටාවලින් වර්ණ ගැන්වුණු බිත්තියක තිබෙන හඳේ සිට බලන විට පෘථිවිය දැක්වෙන සුවිසල් රූපයට කාගේත් ඇස් යනවා. තැනින් තැන කඩතොළු කිහිපයක් දකින්න ලැබුණත් ටිකක් නිර්මාණශීලීව බැලුවොත් ළඟදී එන්න තියෙන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයට චිත්තාකර්ෂණීය දර්ශනයක් වගෙත් මෙය පෙනෙන්න පුළුවන්.

එහි තියෙන තරප්පු පේළිය දිගේ ඉහළට ගියාම බාහිර කාර්යාල කාමරයක් දැක ගන්න පුළුවන්. ආතර් C. ක්ලාක් මහතා අලුතෙන් ලියන පොත් පත්වලට සහ රූපවාහිනී මාලා නාටක පිටපත්වලට (Arthur C. Clarke’s Mysterious World වගේ) අවශ්‍ය තොරතුරු සොයන්න එතුමාගේ කාර්ය මණ්ඩලය පර්යේෂණවල නියැලුණේ මෙහිදීයි. මේ පිරිසේ සිටි එක් අයෙක් තමයි ආතර් මහතාගේ පැරණි සගයෙක් වූ නාලක ගුණවර්ධන මහතා. ඔහු 1987 වර්ෂයේ මෙම ස්ථානයේ රැකියාව ආරම්භ කළේ ප්‍රබන්ධ නොවන පොත් සඳහා අවශ්‍ය තොරතුරු සොයන පර්යේෂණ සහකාරවරයෙක් විදිහටයි. 2008 අවුරුද්දේ ආතර් මහතා මිය යන කාලය වන විට නාලක ගුණවර්ධන මහතා ආතර් C ක්ලාක් මහතාගේ හොඳම මිතුරෙක් බවට පත් වී සිටියා. “ඔහු ඉතාම පුදුම සහගත, අපූරු චර්යා ලක්ෂණ ගණනාවකින් හෙබි කෙනෙක්” නාලක මහතා අපි සමග කිව්වා; “ඔහු තමන්ගේ වැඩකටයුතු ගැන බොහොම බැරෑරුම් ලෙස හිතුවත් කවදාවත් තමන් මහා බැරෑරුම් පුද්ගලයෙක් කියා සිතන්න ගියේ නැහැ. ඔහු නිතරම විහිළුවෙන්, විනෝදයෙන් කාලය ගත කළ කෙනෙක්. ඔහු හා වැඩ කළ හැම දවසකම මම කුමක් හෝ දෙයක් අලුතින් ඉගෙන ගත්තා.”

ආතර් C. ක්ලාක් මහතා ශ්‍රී ලංකාවට බොහෝ ආදරය කළත් තමන්ගේ බ්‍රිතාන්‍ය කම අමතක කළේ නැති බවත් නාලක මහතා පෙන්වා දුන්නා. “ඔහු බ්‍රිතාන්‍යයේ කොලනියක් වුණු සිලෝන් දිවයිනේ පදිංචිකරුවෙක් බවට පත් වුණා. එය පසුව ශ්‍රී ලංකාව බවට පත් වුණත් ඔහු මිය යන තුරුම වසර 51 ක කාලයක් මේ භූමියේ පුරවැසියෙක් වී සිටියා.” ඔහු කියා සිටියා. “කොහොම නමුත් ඇතැම් කාරණාවලින් ඔහු හැමදාමත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුණා: විශේෂයෙන්ම ඔහු කිසිම දිනක බත් සහ මාළුපිණිවලට ඒ තරම් කැමති වුණේ නැහැ. ඔහු නිතරම ගත්තේ ඉංග්‍රීසි ක්‍රමයේ ආහාර වේලක් කිව්වොත් නිවැරදියි.”

“කොහොම නමුත් අනිත් බොහෝ දේවල්වලදී ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලාංකිකයෙක් වුණා: ඔහු සරමට විශේෂ ඇල්මක් දැක්වූ කෙනෙක්. 1980 දී අවිහරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වුණු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සිටින විට පවා ඔහු ඇඳ සිටියේ සුදු සරමක්. ඔහු සමග එයට සහභාගී වුණු අනෙක් නියෝජිතයන් සියලු දෙනාම හොඳට යුරෝපීය ඇඳුමෙන් සැරසිලා එනකොට ඔහු හිටියේ ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම වන සුදු සරමෙන් සැරසිලායි. ඔහු එංගලන්තයේ පිටිසර ප්‍රදේශයක සිටි ගොවි පවුලක ඉපිද, එහිම හැදී වැඩී, ශ්‍රී ලංකාවට පැමිණ ජීවත් වුණු ගෝලීය පුරවැසියෙක් කියලා හඳුන්වන්න පුළුවන්.” නාලක මහතා ප්‍රකාශ කළා.

ආතර් C. ක්ලාක් මහතාගේ පරිගණකය සහ ජංගම දුරකථනය (Roar/Michael Gregson)

ආතර් මහතාගේ වැඩ මේසයේ ඔහු ඒ කාලයේ සිට භාවිත කළ ඇපල් Mac වර්ගයේ පැරණි පරිගණකයක් වගේම නිවසේ ඈත කොන්වල සිටින තමන්ගේ කාර්යමණ්ඩලයේ අය එක්ක කතා බහ කරන්න යොදා ගත්තු පැරණි ජංගම දුරකතනයකුත් තියෙනවා. එහි තිබෙන පුටුවේ එක් පසෙක තියෙන්නේ එතුමාගේ රෝද පුටුවයි. 1984 දී අවාසනාවන්ත ලෙස මාංශ පේශීන් දිරාපත් කරවන පශ්චාද් – පෝලියෝ රෝගයට ගොදුරු වීම නිසා එතුමාට ඇවිදීම අපහසු වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය පොළොවේ සිටීම අපහසු වුණත් එතුමා කිමිදීමේ ක්‍රීඩාවට දැක්වූ ආදරය නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඇත්තටම එතුමා අපේ රටට වශී වුණෙත් අපේ රට අවට මුහුදේ තිබෙන සුන්දරත්වය නිසාමයි. අවුරුදු 80ක් තරම් වන තුරුම කිසිදු අපහසුවක් නැතිව ගැඹුරු මුහුදේ කිමිදෙන්න ආතර් මහතාට හැකියාව තිබුණා. ජලයේ පා වෙන හැඟීමට එතුමා ඉතා ආසා කළ බව දැක්වෙනවා.

රාමු කරන ලද පින්තූර ඇතුළු තවත් විවිධ දේවල් කාර්යාලයේ බිත්ති පුරා වෙසෙමින් ආතර් C. ක්ලාක් මහතාගේ සුවිශේෂී ජීවිත කතාව කියනවා. මේ වගේ රාමු කළ එක් වැදගත් දෙයක් තමයි 1969 ජූලි මාසයේදී ඇමරිකාවේ නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව: MEN WALK ON MOON” කියා සුවිසල් අකුරෙන් මුද්‍රණය කර ඇති එය ආතර් මහතා වඩාත්ම ආශා කළ අභ්‍යාවකාශ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කෙරුණු සඳ ගමන ගැන හොඳ විස්තරයකින් සමන්විතයි. කාර්යාලයේ එක් රාක්කයක් සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ ඔහුගේ ප්‍රසිද්ධම නිර්මාණය වුණු 2001: A Space Odyssey කතාවේ පරිවර්තන සහ විවිධ සංස්කරණයන් සඳහායි.

2001: A Space Odyssey කතාවේ විවිධ සංස්කරණයන්ට සහ පරිවර්තනයන්ට සම්පූර්ණ රාක්කයක්ම වෙන් කර තිබෙනවා. Roar/Michael Gregson

අනෙක් රාක්කවල දකින්න ලැබෙන අමුතුම විදිහේ දේවල් අතරින් සෝවියට් සමූහාණ්ඩුවේ රොකට්ටුවක ආකෘතිය විශේෂයි. ඊට තරමක් එහායින් බොහොම කඩවසම් තරුණ මහතෙකුගේ රාමු කරන ලද කළු සුදු රූපයක් දැක ගන්න ලැබෙනවා. එහි සිටින්නේ ආතර් මහතාගේ කිට්ටුම මිතුරෙක් වූ ලෙස්ලි ඒකනායකයි. 1977 දී ඔහු මෝටර් බයිසිකල් අනතුරක් නිසා තම 30 වන උපන්දිනයට හරියටම සතියක් තිබියදී මෙලොවින් සමු ගෙන තිබෙනවා. තමන්ගේ මිතුරාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත් වුණු ආතර් C. ක්ලාක් මහතා තමන් 1979 දී රචනා කළ The Fountains of Paradise කෘතිය ඒ මහතා වෙනුවෙන් කැප කළා. එහි මෙසේ ලියා තිබෙනවා:

“තවමත් එලෙසින්ම හදවතේ රැඳී සිටින ලෙස්ලි ඒකනායක (13 ජූලි 1947 – 4 ජූලි 1977) ගේ මතකය වෙනුවෙනි. ඔබ ජීවිත කාලයටම මුණ ගැසෙන කෘතහස්ත සුමිතුරෙකි; ඔබ තුල ලෙන්ගතුකමද, ඥානයද, මානව දයාවද එක සේ විය. ඔබේ නැණරැසින් පිරි ආදරණීය ආත්මය මෙලොවින් සමු ගත් දිනයේ පටන් බොහෝ දෙනෙකුගේ ජීවිතවල පැවති ඒකාලෝකය දුරු වී ගොසිනි.”

ලෙස්ලි ඒකනායක මහතාගේ රාමු කළ ඡායාරූපය (Roar/Michael Gregson)

ශ්‍රීමත් ආතර් C. ක්ලාක් මහතා සමරිසියෙක් යැයි කටකතා බොහොමයක් තිබුණා. ඔහුගේ ලිංගික ජීවිතය ගැන ප්‍රශ්න ඇසුණු අවස්ථාවල ඒ මහතා පිළිතුරු දුන්නේ තමන් “තරමක් උද්‍යෝගයෙන්” ඉන්නා කෙනෙක් බවයි. කොහොම නමුත් ඔහු කිට්ටුවෙන් ආශ්‍රය කළ අයට නම් ආතර් මහතාගේ සමරිසි බව රහසක් වුණේ නැහැ. ආතර් මහතා තනිව විසීමට ඉතා ප්‍රිය කළ, තමන් ජීවත් වන ශ්‍රී ලංකාවට අපකීර්තියක් ඇති නොකිරීමට දැඩිසේ වග බලා ගත් කෙනෙක්. නාලක මහතා කියන ආකාරයට “දිගු කාලීන වීසා පදනම යටතේ මෙරට ජීවත් වුණු විදේශිකයෙක් විදිහට ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ නොවෙන්නට හා උවමනාවට වඩා දුරදිග යා හැකි ආන්දෝලනාත්මක සිද්ධිවලට පැටළෙන්නේ නැතිව සිටින්නට” ආතර් මහතා නිතරම උත්සාහ ගත්තා.

ආතර් C. ක්ලාක් මහතාගේ රාමු කරන ලද ඡායාරූපයක්. (Roar/Michael Gregson)

ඉතින් එකවරම බ්‍රිතාන්‍ය පුවත්පතක් ආතර් C. ක්ලාක් මහතා සමරිසියෙක් හා ළමුන් සේවනයේ යෙදෙන්නෙක් යැයි චෝදනාවක් එල්ල කළ විට එය එතුමාට විශාල පීඩාවක් වුණා. එතුමාගේ මිතුරන් විශ්වාස කරන්නේ මේ චෝදනාව එල්ල කිරීම පිටුපස සැඟවුණු අරමුණක් තිබුණු බවයි. “ආතර් මහතා එයින් ලොකු කම්පනයකට පත් වුණා.” නාලක මහතා කියා සිටියා: “මේක සිදු වුණේ ආතර් මහතා ඒ වන විට මෙරටට පැමිණ සිටි චාල්ස් කුමාරයා අතින් නයිට් පදවියෙන් පිදුම් ලබන්න ආසන්න දිනයකදීයි. චාල්ස් කුමාරයාගේ ශ්‍රී ලංකා ගමනට සමගාමීව පළ කිරීම මගින් චාල්ස් කුමාරයා අපහසුතාවට ලක් කිරීම මෙහි අරමුණ වෙන්න ඇති කියා විශ්වාස කෙරෙනවා. මේ කතාව පළ වූ විගසම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ පුවත්පතේ වාර්තාකරුවන් සමග කිසි දිනෙක සන්නිවේදනය නොකළ බවත් සපථ කරමින් ප්‍රකාශයක් නිකුත් කරන්නත් කටයුතු කළා”

ශ්‍රීමත් ආතර් C. ක්ලාක් මහතා මේ පුවතට හා අදාළ බ්‍රිතාන්‍ය පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගත්තත් එතුමා කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක නියැළී නැති බවට මෙරට බලධාරීන් තීන්දු කළ අතර සියලු චෝදනාවලින් නිදහස් කෙරුණා. කොහොම නමුත් යම් තාක් දුරට මේ චෝදනාව ඔහුගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණේ නැහැ. එය ඔහුගේ ජීවිතයටද බලපෑම් කර තිබෙනවා. කොහොම නමුත් ඒ ගැන හාන්කවිසියක්වත් මේ “Ego Chamber” එකේ දැකගන්න නැහැ. ආතර් මහතාගේ ජීවිතයට සහ එතුමා සිදු කළ උත්කෘෂ්ට සේවාවට සදානුස්මරණීය මතක සටහනක් ලෙස එය මහේශාක්‍ය ලීලාවෙන් පවතිනවා. නාලක මහතා වැනි එතුමාගේ කිට්ටු මිතුරන්ට අවශ්‍යත් එයයි. “එයින් සැබෑ ලෝකයේ වෙනසක් සිදු වුණා නම් ඒ බොහොම අල්ප වශයෙන්. එතුමාගේ සිනහමුසු මුහුණ, කතාබහ, ලෙන්ගතුකම අද අපිට අත්විඳින්න නොලැබුණත් මේ ගොඩනැගිල්ලේ තියෙන අනෙක් හැම දේම ඇත්තටම කිසිම වෙනස්කමකට ලක් වෙලා නැති තරම්. ඔහු පාවිච්චි කළ සියලු දේවල් කාල කුටීරයක (time capsule එකක) වගේ එලෙසම පවතිනවා. අපි ඒ සියල්ල එසේම තියාගෙන ඉන්නේත් සැබෑම උවමනාවකින්.” නාලක මහතා සඳහන් කළා.

කොහොම නමුත් මේ අපූර්ව මතක සටහනේ අනාගතය සමහර විට අඳුරු වීමේ අවදානමකුත් තිබෙනවා. “දිගු කාලීන වශයෙන් බැලුවාම මේ ගොඩනැගිල්ල පවත්වා ගෙන යන්න යම් ආකාරයේ එකඟතාවකට එන්න අපි කාටත් සිදු වේවි. කොහොම නමුත් ශ්‍රීමත් ආතර් C. ක්ලාක් මහතාගේ ජීවිතයේ දශක ගණනාවක් පුරාවට ඔහු කිට්ටුවෙන් ඇසුරු කළ අපි කවුරුත් අත්දැකීමෙන්ම දන්නා දෙයක් තමයි එතුමාට අයිති කිසිම දෙයක් ලංකාවේ රජයට කුමන ආකාරයකින් හෝ සම්බන්ධ කිසිම ආයතනයක භාරයට පත් කරන එක හරි යන්නේ නැති බව.” නාලක මහතා තම වේදනාව නොසඟවා කියා සිටියා.

ඔහු මෙහෙමත් කියා සිටියා. “අපිට තියෙනවා ජාතික කෞතුකාගාරයක් ඒ තුළ තිබෙන කෞතුක භාණ්ඩ ටිකවත් පරිස්සම් කර ගන්න බැරි. ඉතින් ශ්‍රී ලංකා රජය ආතර් මහතාගේ නිවස සංරක්ෂණය කරන්න ලොකු දෙයක් කරාවි කියලා අපිට කිසිම බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ. ඒ නිසා අපිත් බලාගෙන ඉන්නවා දිගු කාලීනව භාරකාර මණ්ඩලය මෙය සංරක්ෂණය කරන ආකාරය ගැන. මෙහි නඩත්තුවට යොදා ගන්න ව්‍යාපාරික සැලසුම ගැනත් අපිට ඒ හැටි විශ්වාසයක් නැහැ.”

හැම දෙයක්ම ආතර් C. ක්ලාක් මහතා තබා ගිය ආකාරයටම අදටත් පවතිනවා. (Roar/Michael Gregson)

කවරයේ රූපය : Roar/Michael Gregson

Related Articles