Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනස සුවපත් කරන සොබාදම් චාරිකා

වර්තමානයේ දී බොහෝමයක් දෙනා ගත කරන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතයක්. රැකියාව, අධ්‍යාපන කටයුතු සහ පවුල් ප්‍රශ්න අතරේ මනසට සුවයක් ගෙන දෙන කටයුත්තක් කිරීමට වේලාවක් සොයා ගන්න ඉඩ ප්‍රස්තාවක් නොමැති තරම්. නමුත් මිනිත්තු කිහිපයක් ස්වභාව ධර්මය දෙස බලා සිටීමෙන් ඔබට අවැසි මානසික සහනය ලබා ගත හැකි බව ඔබ දැන සිටියා ද?

මිනිත්තු කිහිපයක් ස්වභාව ධර්මය දෙස බලා සිටීමෙන් මානසික සහනය (youtube.com)

නවතම සොයා ගැනීම්වලට අනුව සොබාදම් චාරිකාවක (Nature Walk) නියැලීම තුළින් විඩාපත් වූ මොළය ජීවයෙන් පුරවා තමන් කරන කටයුතු කෙරෙහි මොළයේ අවධානය වැඩි වශයෙන් යොමු කර ගැනීමට හැකි යි. පාසල් යන වයසේ දරුවන් මේ සඳහා යොමු කිරීම තුළින් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම තුළින් ඉගෙනීම පහසු කර ගන්න පුළුවන්. එසේ ම සොබාදම් චාරිකාවක නියැලීම මගින් මානසික සුවතාවය පමණක් නොව කායික සුවතාවය මෙන් ම ප්‍රතිශක්තිකරණය ද වැඩි දියුණු වීම සිදු වෙනවා.

ඥානාත්මක ස්නායු විද්‍යාවට (එනම් සිරුරේ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය සහ දැනීම සඳහා මානසික ක්‍රියාවලිය හා බැඳී පවතින ස්නායුවල ඇති සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම) අදාල මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සරසවියක් වන ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පෘථිවිය, බලශක්තිය සහ පාරිසරික විද්‍යා පාසලේ ආචාර්ය උපාධිය හදාරන ග්‍රෙගරි බ්‍රැට්මන් ඇතුළු සිසුන් පිරිසක්.

ස්ටැන්ෆර්ඩ් සරසවියේ පෘථිවිය, බලශක්තිය සහ පාරිසරික විද්‍යා පාසල (methodologenie.wordpress.com)

මූලික වටයේ පර්යේෂණ සඳහා මානසික ආබාධ ඇති බවට ඉතිහාසයක් නොමැති නාගරික ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් තිස් අට දෙනෙකු තෝරාගෙන ඔවුන් ව කණ්ඩායම් දෙකකට බෙදීම සිදු කර තිබෙනවා. මෙයින් එක් කණ්ඩායමකට ස්ටැන්ෆර්ඩ් සරසවිය ආසන්නයේ පිහිටි ස්වභාවික උද්‍යානයක මිනිත්තු අනූවක කාලයක් ඇවිදීම සඳහා ඉඩ සලස්වා දී ඇති අතර අනෙක් කණ්ඩායමට කැලිෆෝනියානු ප්‍රාන්තයේ ඇති ඉතාමත් කාර්යබහුල නගරයක් ලෙස සැලකෙන පාලෝ අල්ටෝ හි ඇවිදීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇවිදීමට යාමට ප්‍රථම සහ එයින් පසුව කණ්ඩායම් දෙකට ම ඔවුන්ගේ ප්‍රත්‍යවේක්ෂණ හැකියාව (එනම් ඍණාත්මක චිත්තවේගී අත්දැකීම් හි ප්‍රතිඵල, එයට හේතූන් සහ එවැනි අවස්ථා  හා සබැඳි අනෙකුත් කරුණු පිළිබඳව යළි යළිත් කල්පනා කිරීමට ඇති නැඹුරුතාවය) මැනීමට හැකි ආකාරයේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ප්‍රශ්න මාලාව තුළ ‘මගේ අවධානය නිරතුරුව ම මා කල්පනා කිරීම නතර කිරීමට කැමති අවස්ථා කෙරෙහි එල්ල වෙනවා’ සහ ‘මා ඉතාමත් විශාල කාලයක් මාව වික්ෂිප්ත කළ හෝ මගේ අපේක්ෂා බිඳ වැටීමට ලක් වූ අවස්ථා පිළිබඳ ව කල්පනා කරනවා’ වැනි ප්‍රශ්න ඇතුළත් කර තිබුණා.

පූර්වලලාට බාහිකය රතු පැහැයෙන් දක්වා ඇත (pictastar.com)

මෙම ප්‍රශ්න මාලාවට පිළිතුරු සැපයීමෙන් අනතුරු ව කණ්ඩායම් දෙකට ම ඇතුළත් සෑම කෙනෙක්ව ම මොළයේ ස්කෑන් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහි දී පර්යේෂකයන්ගේ වැඩි අවධානය යොමු වුණේ පූර්ව ලලාට බාහිකය යනුවෙන් හැඳින්වෙන මොළයේ ප්‍රදේශයක් කෙරෙහි යි. මොළයේ මෙම ප්‍රදේශය කිසියම් තත්ත්වයකට නිසි සහ ප්‍රමාණවත් ලෙස හැඩ ගැසීම නොහැකි වූ අවස්ථාවල දී හෝ යළි යළිත් සිහියට නැගෙන මතකයන් හි දී හෝ ප්‍රත්‍යවේක්ෂණයේ දී ඇති වන චර්යාත්මක පසු බැසීමක දී විශේෂයෙන් ම ක්‍රියාකාරී බවට පත් වන ප්‍රදේශයක්.

මිනිත්තු අනූවක කාලයක් සොබාදම් චාරිකාවට සහභාගී වූ කණ්ඩායම ඔවුන් ලබා දුන් ප්‍රශ්න මාලාව සඳහා චාරිකාවට ප්‍රථමයෙන් ලබා දුන් පිළිතුරුවලට හාත්පසින් ම වෙනස් පිළිතුරු ලබා දුන් අතර ඉතාමත් කෙටි කාලයක් තුළ දී ඔවුන්ගේ ප්‍රත්‍යවේක්ෂණ හැකියාවේ පැහැදිලි අඩු වීමක් දක්නට ලැබුණා. එසේ ම සොබාදම් චාරිකාවෙන් අනතුරු ව ලබා ගත් පූර්ව ලලාට බහිකයේ ස්කෑන් පරීක්ෂාවෙන් අනාවරණය වූයේ මොළයේ අදාළ ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව යි.

පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ ග්‍රෙගරි බ්‍රැට්මන් (youtube.com)

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ ග්‍රෙගරි බ්‍රැට්මන් පවසා සිටියේ දිනකට ඉතාමත් කෙටි කාලයකට හෝ සොබාදම් චාරිකාවක නියැලීමෙන් සිතේ ඇති වන ආක්‍රමණකාරී සිතුවිලි සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව යි. එසේ ම මෙම ක්‍රමවේදය තව දුරටත් දියුණු කර ගැනීම තුළින් ආතතිය සහ විෂාදය වැනි මානසික තත්ත්වයන්ට සහනය ලබා ගත හැකි බව ඔහුගේ අදහස යි.

පසුව පර්යේෂකයින් නාගරික ප්‍රදේශවල ජීවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක නියැදියක් ඇසුරෙන් නැවත වරක් අදාළ පර්යේෂණය සිදු කර ඇති අතර ඒ මගින් ඔවුන් නාගරීකරණය මානසික සෞඛ්‍ය ගැටලු අතර ඇති ඍජු සම්බන්ධතාවය මෙන් ම විෂාදය සහ සාංකාව කෙරෙහි ඇති බලපෑම තහවුරු කර තිබෙනවා.

වර්තමානයේ දී ලෝක ජනගහනයෙන් 50% ක පමණ පිරිසක් ජීවත් වන්නේ නගරාශ්‍රිත යි. මේ හේතුවෙන් ඔවුන්ට පරිසරය හා සබඳතා පැවැත්වීමට හෝ සොබාදම් චාරිකාවල නියැලීමට ඇති අවස්ථාව පිරිහී ඇති බව යි ග්‍රෙගරි බ්‍රැට්මන්ගේ මතය වන්නේ. එසේ ම අනාවැකි පළ වී ඇති ආකාරයට 2050 වර්ෂය වන විට දී ලෝක ජනගහනයෙන් 70% ක් පමණ නාගරික ප්‍රදේශවල ජීවත් වීම සිදු විය හැකි යි. මේ කරුණු සලකා බලා දැනට ම විවිධ රටවල් තව රටවැසියන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

වනගත පෙර පාසලක දසුනක් (forestschoolsblog.com)

මෙයින් මූලික ම ක්‍රමවේදයක් ලෙස වනගත පෙර පාසල් (Forest Kindergarten) හැඳින්විය හැකි යි. මෙහි දී වයස අවුරුදු තුනේ සිට හය දක්වා වන දරුවන්ට වනගත පරිසරයක් තුළ දී ඉගැන්වීම් කටයුතු කිරීම සිදු වෙනවා. එහි දී කාලගුණික තත්ත්වයන් නොසලකා ස්වභාවික පරිසරය සහ වනාන්තරය ගවේෂණය කිරීමට සහ එහි ක්‍රීඩා කිරීමට දරුවන් ව උනන්දු කරවනවා. දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සහ වඩාත් සංවේදී වැඩිහිටියන් බිහි කිරීම මෙම ක්‍රමවේදයේ මූලික පරමාර්ථය යි.

එසේ ම බොහෝමයක් රටවල් පුද්ගලයන්ට නිදහසේ කාලය ගත කළ හැකි ස්වභාවික උද්‍යාන සහ නිවාඩු නිකේතන නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.  ශ්‍රී ලංකාවේ නම් නිර්මාණය කිරීමකින් තොර ව පවා මෙවැනි පරිසරයක් සොයා ගැනීම ඉතාමත් පහසු කටයුත්තක්. එවැනි ස්ථාන පිළිබඳ ව Roar Sinhala වෙබ් අඩවියෙන් නම් මීට පෙර කතා කර තිබෙනවා.

කවරයේ පින්තූරය: chewy travels

 

මූලාශ්‍ර:

  1. washingtonpost.com
  2. en.wikipedia.org

Related Articles