Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපි කාගේත් නිවසේ සුරතලා බවට බලු රාල පත් වුනේ මෙහෙමයි

ඔබගේ නිවසේ සුරතලා පිලිබඳව විමසුව හොත් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ බලු පැටවෙකු පිලිබඳව යි. කුඩා බලු පැටවෙකු යනු අප කාගේත් සිත් දිනා ගැනීමට සමත් වන දසුනක් වෙනවා. අතීතයේ පටන් මිනිසා සමඟ සමීප සබඳතා පැවැත් වූ සුරතලා ලෙස ද ආරක්ෂකයා ලෙස ද හඳුනාගත හැකි වන්නේ බලු රාල යි. අද වන විට සුනඛයා අපගේ පවුලේ ස්ථිර සාමාජිකයෙකු වී හමාර යි. ඉතින් මෙතරම් අපට සමීප සුරතලෙකු බවට සුනඛයා පත් වුනේ මෑත කාලයේ දී නම් නොවෙයි. මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවධියේ පටන්ම සුනඛයා මිනිසාගේ සුරතලා බවට පත්ව තිබෙනවා. එලෙස බලු රාල මිනිසාගේ සුරතලා බවට පත් වීමේ ඉතිහාසගත තොරතුරු මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

මිනිසාගේ පළමු සුරතලා

මිනිසා හා සුරතල් සතුන් සම්බන්ධ ඉතිහාසය පිලිබඳව සලකා බලන විට එය සතුන් හීලෑ කිරීම හා එකට වෙළුනු ක්‍රියාවලියක් ලෙස හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. මිනිසා මුලින්ම හිලෑ කල සත්ත්ව විශේෂය ලෙස සැලෙකෙන්නේ සුනඛයා යි. එසේම පළමු සුරතලා වන්නේ ද සුනඛයා යි. ආරම්භයේ දී සතුන් හිලෑ කිරීම පැතිරුනේ කැලෑවන් ආශ්‍රිතව වාසය කළ සතුන් අල්ලාගෙන එම සතුන් බෝ කිරීම හරහා වෙනවා. එලෙස ආරම්භ වූ සතුන් හිලෑ කිරීමේ ඉතිහාසය සුනඛයන් හා මිනිසුන් අතර සමීප සබඳතාවයක් ඇති කිරීමට සමත් වුනා. එහිදී මිනිසා විසින් සුනඛයා මේ සඳහා තෝරා ගැනීමට හේතු වන්නට ඇත්තේ ඔවුන් වේගවත් වීමත්, ශක්තිමත් හනු තිබීමත්, මෙන්ම ගොදුරු අල්ලා ගැනීමට ඔවුන් සතු වූ හැකියාවත් විය හැකි අතර එය මිනිසාට දඩයම් සඳහා මෙන්ම ආරක්ෂාවට ද මහත් රුකුලක් වී තිබෙනවා.

wikdernessmastery.com (සුනඛයන් දඩයම් සදහා මුල් කාලීනව යොදාගෙන තිබෙනවා.)

සුනඛ මිනිස් සබඳතාවයේ ඉතිහාසය

එසේම සුනඛයන් මෙලෙස මිනිසාගේ පළමු සුරතලා බවට පුරාවිද්‍යා පර්යේෂකයන්ට හමු වී තිබෙන සාධක ඔස්සේ සනාථ වනවා. එනම් පුරාතන මිනිසුන් වාසය කළ ගල්ගුහා ආශ්‍රිතව මෙන්ම ඔවුන් විසින් තැන වූ සොහොන් ගෙවල් වල සුනඛයන් සම්බන්ධ සිතුවම් හා කැටයම් ඔවුන් විසින් සොයාගෙන තිබෙනවා. එසේම මෙසොපොතේමියාවේ දී හමු වී ඇති සිතුවම් වලට අනුව වර්තමානයේ දී මෙන්ම විශාල ප්‍රමාණයේ බල්ලන් දඩයමේ යෙදී සිටිනු දැක්වෙනවා. එසේම ආදී කාලින ඊජිප්තුවෙන් හමු වී ඇති සිතුවම් වලට අනුව සුනඛයා යනු එකල පවුල්වල සුරතලා බවට ද සනාථ වෙනවා. ඒවාට අනුව අඳුරු පැහැයෙන් යුතු දඩයම් බල්ලන්ගේ සිතුවම් ද , සේද වැනි ලොම් ඇති බල්ලන් ද  ඔවුන්ගේ ස්වාමියන් හෝ ස්වාමිදුව සමග ඔවුන්ගේ උකුලේ හිඳිනු හෝ ඔවුන්ගේ අසුන් යට හිඳගෙන හිදින අයුරු සිතිවම් වල දැක්වෙනවා. අනෙකුත් සතුන් හිලෑ කිරීමටත්, ඇති කිරීමටත්පටන්ගෙන ඇත්තේ බල්ලාට පසුව වෙනවා.

pethelpful.com (ඉපැරණි මිනිස් ෆොසිල සමඟ හමු වූ සුනඛයෙක් )

Charles Darwin වැනි විද්‍යාඥයින් ද මෙම විශාල දත් සහිත වන මෘගයින් හිලෑ කිරීම හා සම්බන්ධ ඉතිහාසය පිලිබඳව විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී සමහර පර්යේෂකයන් ඉදිරිපත් කරන මතය වන්නේ, මෙම ලොම් සහිත කුඩා සතුන් වෙත මිනිසුන් ආකර්ෂණය වූවා මෙන්ම ඔවුන් අල්ලා ගැනීමටත් හිලෑ කිරීමටත් මිනිසා විසින් ස්වාභාවිකවම යොමු වන්නට ඇති බවයි. එසේම සමහරුන් විශ්වාස කරන්නේ මිනිසුන් කෘෂිකර්මාන්තයට යොමු වීමට පෙර යුගයේ දී මෙම සුනඛයන් දඩයම් කිරීම සදහා යොදා ගෙන ඇති බවයි.

එසේම මෙම සුනඛයන්ගේ පරිණාමය වීම පිලිබඳව, පරිණාමවාදී හා ජීව විද්‍යා පර්යේෂකයන් විසින් ආදි කාලීන සුනඛයන් 18 දෙනෙකුගේ හා වන මෘගයන්ගේ ජානමය ද්‍රව්‍ය ආශ්‍රයෙන් කළ පර්යේෂණයකට අනුව ද විස්තර ඉදිරිපත් වෙනවා. එහිදී ඔවුන් අනුමාන කරන්නේ මෙම සුනඛයන් හිලෑ කිරීම ආරම්භ වී තිබෙන්නේ යුරෝපයේ පැවති  අයිස් යුගයේ එනම් අවුරුදු 18800 – 32100 ගණනකට පෙර බවයි. එසේම යුරෝපයේ මෙන්ම ලෝකය පුරාම මෙම සුනඛයන් ඇති කිරීම පැතිරී තිබෙනවා. ඔවුන් පවසන පරිදි මානවයා සංචාරක දිවියක් ගත කළ මුල් කාලයේදී ද වර්තමානයේදී දකින්නට නොමැති පරිණාමයත් සමග විනාශ වී ගිය වෘකයන් විශේෂයක් භාවිතයෙන් විශාල සතුන් දඩයම් කර තිබෙනවා.

වර්තමානය වන විට බොහෝ පුරාවිද්‍යා පර්යේෂකයන් හා ජීව විද්‍යා පර්යේෂකයන් ඉදිරිපත් කරන මතය වන්නේ සුනඛයන් පළමුව හීලෑ කිරීම ඇරඹුණේ වසර 13 000 කට වඩා වැඩි දුරදි නොවන බවත් ඒ නැගෙනහිර ආසියාවේ දී බවයි. එහෙත් ඊශ්‍රායලයේ දී කල කැනීම් වලින් සොහොන් බිමක තිබී වසර 12 000ක් පමණ පැරණි, මිනිසකු සමග සිටින සුනඛයෙකුගේ පොසිල හමු වී තිබෙනවා. මිනිසා හා සුනඛයා අතර තිබූ සමීප සබඳතාවය සනාථ කිරීමට මෙය පුරාවිද්‍යා පයේෂකයන් විසින් විශේෂ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරනවා. මෙවැනි විස්තර වලට අනුව සුනඛයා හා බැඳුණු පරිණාමවාදය පිලිබඳව සෙවීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි වෙනවා.

එසේම වෙනස්ම ආකාරයේ මතයක් ඉදිරිපත් කරන ස්වීඩනයේ රාජකීය තාක්ෂණික ආයතනයේ පරිණාමවාදය හා ජාන සම්බන්ධයෙන් මහාචාර්යවරයෙකු වන Peter Savolainen ට අනුව සුනඛයන් පළමුව හිලෑ කිරීම සිදු කර තිබෙන්නේ චීනයේ දී යි.

chron.com (සුනඛයන් ආරක්ෂක අංශවල සේවය සදහාද යොදා ගනු දකින්නට පුළුවන් වෙනවා)

මේ ආකාරයට විවිධ මතයන් ඉදිරිපත් වනවා මෙන්ම ඒ සෑම මතයකටම අනුව සනාත වන්නේ සුනඛයා යනු මානව සමාජයේ ආරම්භයේ සිටම මිනිසා සමග සමීපතව සිටි සත්වයා බවයි. එලෙස ඈත අතීතයකට උරුමකම් කියන මෙම සබඳතාවය වර්තමානය දක්වාම නොවෙනස්ව තව තවත් ශක්තිමත් වෙමින් පැවත එනවා.

නිවසෙහි සුරතලා

අද වන විට සෑම නිවෙසකම පාහේ බලු සුරතලෙකු දකින්නට ලැබෙනවා. එහෙත් වර්තමානයේ දි නම් බොහෝ විට සුනඛයෙකු ඇති කරන්නේ දඩයම් කිරීමේ අරමුණෙන් නම් නොවෙන අතර සුරතලය සදහා මෙන්ම ආරක්ෂාව සඳහා යි. එසේම වර්තමානයේ දී මෙම සුනඛයන් ආරක්ෂක අංශවල සේවය සඳහා ද යොදා ගනු දකින්නට පුළුවන්. ඉරානය මෙන්ම ඇෆ්ගනිස්තානය වැනි රටවල් වල හමුදා සේවය සඳහා ද මෙම සුනඛයන් යොදා ගනු දක්නට පුළුවන්. එසේම වර්තමානයේ දී මොහු මිනිසුන්ගේ පව්ල්වල ස්ථිර සාමාජිකයෙකු වී හමාරයි. ඇමරිකානු ජනගහණයෙන් මිලියන 164 ක්ම බල්ලන් ඇති කරන බව කියවෙනවා. එසේම වසරකට ඔවුන්ගේ ආහාර හා සෞඛය සේවාවන් සදහා ඇමරිකානු ඩොලර් බිලියන 50ක් පමණ වැය වන බව ද සඳහන් වෙනවා.

www.lapoflove.com (සුරතලාගේ පිරිසිදු කම පිළිබදවද සැලකිලිමත් වීම වැදගත් වෙනවා)

මෙම සුනඛයා අපගේ සමීපතම සුරතලා වනවා මෙන්ම අප ඔහුගේ ආරක්ෂාව මෙන්ම අපගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් විය යුතු වෙනවා. මන්ද යත් සුනඛයන් නිසා මිනිසුන්ට බොහෝ අනතුරු ද සිදු වනු දකින්නට ලැබෙන නිසා යි. එනම් ඕස්ට්‍රේලියාවේ පමණක් වසරකට සුනඛයන් සපා කෑම නිසා සිදු වන අනතුරු සඳහා ප්‍රතිකාර ගැනීමට මිනිසුන් 13 000ක් පමණ හදිසි අනතුරු අංශ වෙත යොමු වන බව වාර්තා වෙනවා. එහි දී වැඩිම වශයෙන් දකින්නට ලැබෙන්නේ අවුරුදු 5 ට අඩු දරුවන් වෙනවා. එනිසා අප ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද අමතක නොකළ යුතු යි. එනම් දරුවන් සුනඛයන්ගෙන් ඈත් කර තැබීමට වගබලාගත යුතු අතරම සුනඛයන් පුහුණු කිරීමද, සිදු කළ හැකියි. එසේම සුනඛයන්ට ආදරයෙන් සැලකීම ද අවශ්‍ය වෙනවා. එසේම ඔවුන් සපා කෑමෙන් ආරක්ෂා වීමට වග බලා ගත යුතු වෙනවා මෙන්ම ඔවුන්ට නිසි ලෙස ජලභීතිකාව වැළක්වීමට ලබා දෙන එන්නත් ලබා දීම ද සිදු කළ යුතු වෙනවා. එසේම ඔවුන්ට ආහාර ලබා දීමේ දී ඔවුන්ට අසාත්මික නොවන ආහාර ලබා දීම ද හොඳින් පිරිසිදුව රැක බලා ගැනීම ද අවශ්‍ය වෙනවා. එසේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වන්නේ නම් එය අපගේ සුරතලාට පමණක් නොව අපගේ සෞඛ්‍යයට ද යහපත් වෙනවා මෙන්ම සබඳතාවය ශක්තිමත් වීමට ද හේතු වේවි.

කවරයේ පින්තුරය: pcwallart.com 

Related Articles