Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසල්වාසියන් සමග සාමකාමීව සිටීමට “සාමය රැකීමේ බන්ධනයක්” සිදුකරගන්න

ඉඩම් ආරවුල් හෝ වෙනත් යම් යම් හිත් අමනාපකම් හේතුවෙන් අසල්වාසීන් හෝ ඥාතීන් සමග විවිධ ආරවුල් ඇතිවීම අද සමාජයේ වැඩි දෙනෙක් මුහුණ පාන ගැටළුවකි. මේ හේතුවෙන් බොහෝ විට බහින්බස් වීම් ආදිය දුරදිග යෑමෙන් කරදරයන්ට මුහුණ පාමට සිදුවන අවස්ථාද එමටය. ඇතැම් විට කෝපය ඉහවහා යන අවස්ථාවන්හිදී දුරදිග නොබලා කටයුතු කිරීමෙන් දෙපාර්ශවයටම පසුතැවීමට වන අවස්ථාද නිතර හටගනී. මෙහිදී බොහෝ දෙනෙකුට මුහුණ පාන්නට සිදුවන ගැටළුවක් නම් තමාගේ විරුද්ධ පාර්ශවයෙන් එල්ලවන තර්ජන ගර්ජන වලින් බේරී සිටීමයි. නමුත් එවැනි ආරවුල් මගහරවාගැනීම සඳහා නීතියේ පිහිට පැතිය හැකි පහසු මාර්ගයන් පවතිනා බව ඔබ දැන සිටියාද?

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය මූලික අරමුණු දෙකක් උදෙසා ක්‍රියාත්මක වේ. එනම්, යම් අපරාධයක් සිදුවූ පසු තවත් අපරාධ වැළක්වීම මෙන්ම අපරාධකරුට නිසි දඬුවම් ලබා දීම සහ අපරාධයක් සිදුවීමට පෙර ඒවා සිදුවීම වැළැක්වීම හෙවත් “අපරාධ නිවාරණය”යි. මෙම මූලධර්මයන් අනුව යමින් අපරාධ නිවාරණය සඳහා පියවර ගැනීමට පොලීසිය ඇතුළු සියළු නීති නිලධාරීන් බැඳී සිටිති.

ඒ අනුව, අධිකරණයකින් වරදකරු කරනු ලැබූ අයෙකුට සාමය රැකීමේ බන්ධනයකට ඇතුළත් වන ලෙස නියම කිරීම, මෙතෙක් අධිකරණයේ වරදකරු කරනු නොලැබුවත් සාමය කඩවිය හැකි යමක් සිදු කිරීමට සූදානම් වන අයෙකුට  සාමය රැකීමේ බන්ධනයකට ඇතුළත් වන ලෙස නියම කිරීම, අපරාධකරුවෙකුට යහපත් හැසිරීමේ බන්ධනයකට ඇතුලත් වන ලෙස නියම කිරීම යනාදී පියවර ගැනීමට මහේස්ත්‍රාත් හා මහාධිකරණ විනිසුරුවරුන්ට හැකියාවක් ඇත.

සාමය රැකීමේ බන්ධනයක් ලබාගතහැකි අවස්ථා

(123rf.com)

(123rf.com)

ඔබේ අසල්වැසියා ඔබට නිතර බැනවදින්නේද? ඔබට, ඔබේ පවුලේ අයට හෝ ඔබගේ දේපල වලට හානි පමුණුවන බවට තර්ජනය කරන්නේද? එසේ නොමැති නම් ඒ වන විටත් එවැනි හානි පමුණුවා තිබේද? එසේනම් ඔබට කළ හැක්කේ වහාම ලඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් අදාල පුද්ගලයාට එරෙහිව සාමය රැකීමේ බන්ධනයක් වෙත එළඹීමේ නියෝගයක් ලබා ගැනීමයි. පොලිස් ස්ථානාධිපති වෙත මේ බව සැලකළ විට ඔහු විසින් අදාල තොරතුරු මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ හෝ මහාධිකරණය ඉදිරියේ ගොනුකිරීමෙන් අනතුරුව ඔබට මෙම නියෝගය ලබාගත හැක.

ඔබ සමග නිරතුරුව අඩදබර කරගන්නා පුද්ගලයා මේ වනවිටත් සාමය කඩකිරීමේ වරදකට හෝ යම් තැනැත්තකුට හෝ දේපලකට හානි සිදුකරන බවට තර්ජනයන් කිරීමෙන් සාපරාධී බිය ගැන්වීමේ වරදකට හෝ යම්කිසි සදාචාරාත්මක වරදකට අධිකරණය ඉදිරියේ මේ වනවිටත් වරදකරුවකු වී ඇති පුද්ගලයකු නම් හා අනාගතයේදීද එවැනි යමක් කිරීමට හැකියාවක් පවතින්නේ යැයි විනිසුරුවරයාට හැඟුනහොත්, ඔහුව එම බන්ධනයට යටත් කළ හැක. අදාල පුද්ගලයා මෙතෙක් අධිකරණයේ වරදකරුවකු කරනු ලැබුවතකු නොවුනද, අනාගතයේදී සාමය කඩවිය හැකි යමක් සිදු කිරීමට හෝ සාමය කඩකිරීමට සූදානම් වන අයෙකු බවට විනිසුරුවරයාට හැඟී ගියහොත් එවිටද සාමය රැකීමේ බන්ධනයකට ඔහුව යටත් කිරීමේ හැකියාව විනිසුරුවරයා සතුය. පොලිස් ස්ථානාධිපතිවරයා අදාල තොරතුරු ගොනුකරන ලද්දේ මහේස්ත්‍රාත් උසාවියක නම් වසර දෙකකටද, මහාධිකරණයක නම් වසර තුනකටද මෙම බන්ධනය ඇතිකරගත හැක.

ඇතැම් විටෙක ඔබ සමග ආරවුල් ඇති කරගැනීමට තැත් කරනා පුද්ගලයා යහපත් හැසිරීම් වලින් තොර, විවිධ වැරදි ක්‍රියාවන්ට පෙළඹී සිටින්නෙකු විය හැක. එවැනි අවස්ථා වලදීද ඔබට කළහැක්කේ ඔහුගේ තර්ජන හා බිය වැද්දීම් වලට බියෙන් පසුවෙමින් නොසිට හැකි ඉක්මණින් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණ අදාල පුද්ගලයාට එරෙහිව තොරතුරු වාර්තා කොට ඔහුව යහපත් හැසිරීමේ බන්ධනයකට යටත් කරගැනීමයි. ඔහු පුරුද්දක් වශයෙන් සොරකමේ යෙදෙන්නෙකු, මිනිසුන්ට කරදර කරන්නෙකු හෝ තම නොමනා හා සදාරාචාර විරෝධී ක්‍රියාවන් ප්‍රසිද්ධියේ සිදුකරන හෙවත් භයානක චරිතයක් ඇත්තෙක් බවට නම් දරා ඇත්තෙක් නම් නොබියව ඒ බව සැලකර සිටින්න. එවැනි අවස්ථාවකදී ඔහුගේ පෙර වැරදිද සලකා බලන අතර ඒවාද සැලකිල්ලට ගනිමින් ඔහුව යහපත්ව හැසිරීමේ බන්ධනයට යටත් කෙරේ.

(digitalspy.com)

(digitalspy.com)

මෙවැනි බන්ධනයක් නියම කිරීමේදී යම් මුදලක්ද බන්ධනයට අදාලව තීරණය කරගනු ලැබේ. යම් හෙයකින් අදාල පුද්ගලයා විසින් සාමය රැකීමේ බන්ධනය කඩ කළහොත් ඔහු විසින් එම මුදල දඩ මුදලක් ලෙස ගෙවිය යුතුවේ. ඔහු විසින් එම මුදල නොගෙවන්නේ නම් ඔහු සතු නිශ්චල හෝ චංචල දේපල අත්පත් කරගෙන එම දේපල විකුණා අදාල මුදල අයකරගැනීමට අධිකරණයට හැකියාව ඇත. සාමය කඩකළ පුද්ගලයා හෙවත් වගඋත්තරකරු සතුව එවැනි දේපලක් නොමැති නම් ඔහුව මාස හයකට නොඅඩු සිර දඩුවමකට යටත් කෙරේ.

මෙරට නීතිමය රාමුව මේ ආකාරයෙන් සකසා ඇත්තේ එදිනෙදා ජීවිතයේදී පවා අප නොසිතන ආකාරයෙන් අප විසින්ම දැනුවත්ව හෝ නොදනුවත්ව දේපල හානි, සුළු හෝ දරුණු තුවාල කිරීම් හෝ ජීවිත හානි සිදුකිරීම් යනාදී අපරාධයන් සිදුවීම වැළැක්වීම උදෙසාය. සාමය රැකීමේ බන්ධනයන්හී වැදගත්ම ලක්ෂණයක් වන්නේ දේපල ආරවුල් වැනි යම් යම් ආරවුල් හේතුවෙන් ඔබට තර්ජනයක් ලෙස හැසිරෙන ඔබගේ ඥාතීන්ට එරෙහිව පවා මෙවැනි බැඳුම්කරයක් ලබාගත හැකිවීමයි. එවැනි බැඳුම්කරයක් ඇතිකරගත් පසුව ඔබ සමග අඩදබරයන් ඇති කරගැනීමට, ඔබට හෝ ඔබේ දේපල වලට හානි පමුණුවන බවට තර්ජන කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැත. දේපල ආරවුල් පමණක් නොව, වෙනත් කිසියම් පෞද්ගලික ආරවුලක් හටගෙන තිබෙන අවස්ථාවකදී වුවද තමාට කරදර කරන හෝ තමාව අපහසුතාවට පත්වන ලෙස හැසිරෙන අයෙකුට විරුද්ධව පොලීසිය වෙත තතු සැලකර ඔහුව සාමය රැකීමේ බන්ධයකට හෝ යහපත් හැසිරීමේ බන්ධනයකට යටත් කරගැනීමට ඔබට හැකියාවක් පවතී.

තමාට එල්ලවන විවිධ තර්ජන හා ගැටළු හමුවේ ගත හැකි නීතිමය පියවර මොනවාදැයි නොදැනීම හේතුවෙන් මිනිසුන් අසරණ වන අවස්ථා බොහෝ වේ. එවැනි අවස්ථාවන්හිදී ඒවාට බිය නොවන්න. තමාට පවතින අයිතිවාසිකම් හා නීතිමය ආරක්ෂාවන් පිලිබඳව නිරතුරුව දැනුවත්ව සිටින්න. නොපමාව එම ආරක්ෂාවන් ලබාගන්න. නීතිය පවතින්නේ අපරාධ වළක්වා අපගේ යහපැවැත්ම තහවුරු කිරීම උදෙසා බව මතකයෙහි තබාගන්න.

කවරයේ පින්තුරය: wesmd.com

Related Articles