Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උසස් අධ්‍යාපනයට පුද්ගලික සරසවියක් සොයාගැන්මේදී සලකා බැලිය යුතු කරුණු

උසස් අධ්‍යාපනයට පහසුකම් සැලසීම ලොව පුරා දෙමාපියන් සිය දරුවන්ට පිදෙන මහාර්ඝ තෑග්ගකි. ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී බොහෝ දේ දරුවන්ට දායාද කළ හැකි මුත් අධ්‍යාපන අවස්ථාවක් දරුවන්ට සලසා දීම තරම් ඒ කිසිවක් වටින්නේ නැත.

දෙගුරුන් විසින් තම

දරුවන්ට දෙන නොමද දන නම්

වියතුන් සභා මැද

ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි

-ලෝකෝපකාරය

ලෙසින් අධ්‍යාපනය දරුවන්ට පිදෙන උතුම්ම තෑග්ගකැයි පෙර සිටි කවියෝද දක්වා තිබේ.

අප රටේ පවතින උසස් අධ්‍යාපන ක්‍රමය අනුව සිසුන් සියල්ලෝම එකසේ දක්ෂ වුවද රාජ්‍ය විශ්ව විද්‍යාලයීය අධයාපන අවකාශය විවර වන්නේ සුළුතරයකටය. ඒ සුළුතරයට පවා තමුන් කැමති කැමති විෂයය පථයන් තෝරාගත හැක්කේ තවත් කුඩා කුලකයක සිටින පිරිසකට පමණි. සරලවම අනාගතයේ තමා හැදෑරිය යුත්තේ කිනම් ආකාරයේ උසස් අධ්‍යාපන පාඨමාලාවක්ද යන කාරණාවේදී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන දේහය තුළ ඇති තෝරාගැනිම සැලකිය යුතු ලෙසින්ම අඩුය.  අපේ දරුවන්ට ලැබෙන අධ්‍යයන සීමාව කොපමණ ප්‍රමාණයකින්  පටු දැ‘යි සැකහැර දැනගැනීමට විදෙස් හි පතල විශ්ව විද්‍යාලයක ඇති පාඨමාලා ලැයිස්තුව බැලිම වුවද සැහේ.

ආයෝජනය සහ විදේශගත වීම

උසස් අධ්‍යාපනය සදහා පුද්ගලිකව වියදම් කිරීමට සිදුවන්නේ නම් එය වියදම අධික කාර්යයකි. එසේම ඒ සදහා විදේශගතවීමට අවැසි නම් වියදම තවත් අධික වේ. එහෙත් තම කනකර , ඉඩම කඩම උගසට තබා, ගතහැකි ණය මුදලක් වෙත් නම් එයද රැගෙන දෙමාපියෝ දරුවන් විදෙස් විශ්ව විද්‍යාල කරා යොමු කරන්නේ අධ්‍යාපනයේ වටිනාකම ඔවුන් අවබෝධකරගත් නිසාය. එලෙස අධ්‍යාපනය සදහා ලංකාවේ හෝ විදෙස් රටක පුද්ගලික විශ්ව විද්‍යාලයයක් තෝරාගැන්මේදී කරුණු කිහිපයක් සලකා බලා ඒ අනුව විශ්ව විද්‍යාල සෙවීම වඩා පහසුය. එසේ නැතහොත් විවිධ වෙළඳ කණ්ඩායම් පෙන්වන සුන්දර චිත්‍ර වලට රැවටී විදෙස් සරසවි තෝරාගතහොත් අනාගතයේදි වියදම් වූ මුදලටත් සිසුවාටත් අත් වන්නේ කණගාටුදායක ඉරණමකි.

විශ්ව විද්‍යාලයේ තත්ත්වය

එකම විෂයය ක්ෂේත්‍රයන්ට උපාධි පිරිනැමූ වත් එකම රටක වුවද විශ්ව විද්‍යාල වල විශාල වෙනස්කම් තිබේ. එක්සත් රාජධානිය ඇමරිකාව ඔස්ට්‍රේලියාව වැනි රටවලදී නම් යුනිවර්සිටි වල රෑන්ක් අනුව සලකා බැලීමෙන් වඩාත් ගැලපෙන යුනිවර්සිටි කුමක්දැයි තෝරාගත හැකිය. ඒ රෑන්කින් වුවද සෑම විෂයය ක්ෂේත්‍රයකටම සෑම විශ්ව විද්‍යාලයක්ම ගැලපෙන්නේ නැත. උදාහරණ ලෙස ලංකාවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගණකාධිකරණය වැනි වාණිජ්‍ය විෂයය ධරාවන් සදහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර මොරටුව විශ්ව විද්‍යාලය ඉංජිනේරු ශිල්පය ගැන පතල වී තිබේ. එවැනි වූ ලොව ජනප්‍රිය විශ්ව විද්‍යාලද වඩාත් ශක්‍යතාවයන් පෙන්වන විෂයය ධාරා හදුනාගෙන ඒඅනුව පාඨමාලා සලකා බැලීම උචිතය.

විශ්ව විද්‍යාලයක් යනු පාසැලක මට්ටමින් ඉහලට ගිය අධ්‍යයන වටපිටාවකි. එවන් වූ උසස් අධ්‍යාපන අවකාශයක ඉගැනැගැනීමේ දේශන ශාලා සහ ආසන තිබීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. සුදුසකම් ලත් දේශකවරු සහ කාර්ය මණ්ඩල, අවශ්‍ය විද්‍යාගාර සහ පුහුණු පහසුකම්, පුස්තකාල පහසුකම්, අධිවේගි අන්තර්ජාල පහසුකම්, බාහිර ක්‍රියාකාරකම්, සුන්දර වූ වටපිටාව ආදී උසස් අධ්‍යාපනය පිණිස නූතන දියුණු රටවල ඇති අවකාශයන් තිබේද යන්න සොයා බැලිය යුතුය.

globalpressjournal.com

සහතික වටිනාකම

ලංකාවේද ඉහල පෙලේ පාසැල් වලට ඇතුලත් වූ සිසුන්ට අනාගතයේ දී රැකියාවන් සොයාගන්නට මඳක් පහසුය. ලෝකයේද ඉහල මට්ටමේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වූ පසු ඒ ලැබෙන පන්නරය ඔස්සේ අනාගතයේ රැකියා සොයාගැනීම වඩාත් පහසු වේ. පසුකාලයේදී විදෙස් රටක අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණෙන්නේ නම් ලංකාවේදී එම විදෙස් විශ්ව විද්‍යාලයීය සහතිකයට ඇති පිළිගැනිම ගැනද සොයාබැලීම වටී. එංගලන්තයේ බොහෝ විශ්ව විද්‍යාලයන්හි ඉංජිනේරු උපාධිය තුන් අවුරුදු පාඨමාලාවකි. ඔස්ට්‍රේලියාව සහ අපේ රටේ එය සිව් අවුරුදු පාඨමාලාවකි. මේ වැනි යම් වෙනස් කම් හේතුවෙන් අප රටේදී රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ තනතුරු සදහා බඳවාගැන්මේ පටිපාටි වලදී ඒ ඒ රටවල ඒ ඒ විදෙස්  විශ්ව විද්‍යාල උපාධි වලට සැලකීමේ ආකාරය මඳක් වෙනස්වේ. වෛද්‍ය අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සදහා ගොස් නැවත ලංකාවට පැමිණ සේවය කරන්නේ නම් ලංකාවේ වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමත කරන ලද ලැයිස්තු හොදින් පරීක්ෂා කර බලා යා යුතුය. ඉංජිනේරු ක්ෂේත්‍රයකට විදෙස් අධ්‍යාපනය හදාරන්නේ නම් ලංකාවේ ඉංජිනේරු ආයතන සහ පිළිගත් ස්ථානවලදී පිලිගැනිම ගැන සොයා බැලීම වැදගත්ය.

විදෙස් අධ්‍යනය ලබන්නේ විදෙස් හී සේවය කරන්නට නම් එහිදීද  එම උපාධීහි වටිනාකම ගැන තවත් සොයාබලන්නට අවශ්‍ය වේ. පසුකලෙක විදේශයන්හිම රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන්නේ නම් එම සරසවියෙන් නික්මුනු පිරිස කෙතරම් දුරකට සේවයේ නිරත වන්නේද යන්න සොයා බැලිය හැකි නිර්ණායක ඇතැම් රටවලදී සපයා දී තිබේ.

වැය වන මුදල

විශ්ව විද්‍යාලයක ගෙවා අධ්‍යාපනය හැදෑරීමේදී වියදම වැය වන්නේ පාඨමාලා ගාස්තු සදහා පමණක් නොවේ. නවාතැන් ගාස්තු කෑම. අධ්‍යයන බාහිර වැඩ ආදී බොහෝ දේට මුදල් උවමනා වේ. බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව වැනි රටවලදී ජීවන වියදම ලංකාවටත් වඩා අඩුය. එහෙත් එවැනි රටවලදී අමතර රැකියා අවස්ථා සොයාගන්නට අපහසුය. එක්සත් රාජධානිය , යුරෝපා රටවල්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල අමතර රැකියා කරමින් අධ්‍යාපනය හදාරන්නට හැකි වුවද එම රැකියාව වුවද සතියට කළ හැකි සිමාවක් තිබේ. මීට වසර 7-8ට පෙර මෙන් සිතු සේ රැකියාවන්හි නිරත වීමට, වර්ථමානයේ ශිෂ්‍ය (ස්ටුඩන්ට්) වීසා ලාභින්ට හැකියාවක් දැන් එක්සත් රාජධානියේ නොමැත. එසේ ම අධ්‍යාපනය මෙන්ම බෙහෝ ක්ෂේත්‍රවලින්ද දියුණු වූ රටවල් හි ජීවත් වීමටද සැලකිය යුතු මුදලක් වැය වේ.

යවන රටේ පසුබිම

භූතාන රටේ සිසු පිරිසක් ශිෂ්‍යත්ව ලබා ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරිමට පැමිණියෝය. ඉන් පසු ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පන්ති වර්ජන ආදිය ඇතිවන විට ඒ ශිෂ්‍යත්ව ලැබූ සිසුන් පත් වූයේ දැඩි අපහසුතාවයකටය. ඇතැම් රටවලින් ලාංකික සිසුන්ට ද ශිෂ්‍යත්ව සහ සිසුනගේ දක්ෂතා අනුව යම් සහන ලැබීම්ද හිමි වේ. එහෙත් එම රටවල අධ්‍යාපනය ලැබීමේ වටිනාකම සේම ඒ සමාජයේ දේශපාලනික තත්ත්වයද මඳක් සොයාබැලීම වටී. නිතර අරගල කල කෝලහාල වන වටපිටාවක ඉගෙනගැනීම අපහසුය.

hubspot.net

භාෂාව සහ සන්නිවේදනය

ඉන්දියාව බංග්ලාදේශය, සිංගප්පූරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව නවසීලන්තය සහ එංගලන්තයේ අධ්‍යාපන කටයුතු සිදුවන්නේ ඉංග්‍රීසි බසිනි. ඉංග්‍රීසි බසෙහි නිපුණතාවයක් තිබීම ඒ රටවලදී උසස් අධ්‍යාපනය ලැබීමේදී මනා පිටුවහලකි. ජපානය, කොරියාව, ජර්මනිය, ප්‍රංශය. චීනය,රුසියාව  ආදී රටවල ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලවල උසස් මට්ටමේ උපාධි සහ පාඨමාලා පැවැත්වෙන්නේ ඒ රටවල ස්වදේශී භාෂා වලිනි. එවිට අධ්‍යාපනය සදහා පළමුව එම රට භාෂාව සැලකිය යුතු තරමින් ඉගෙනගැනීම අනිවාර්ය කාරණාවකි.

අතේ ඇති කුසලතාවය

ගණිතමය අංශයෙන් දක්ෂ සමත්කම් ඇති අයට බොහෝ විෂයය ක්ෂේත්‍රයන් හිදී දක්ෂතා පෙන්වීමට හැකිය. වාණිජ විෂයයන් හැදෑරු අයට ඒ විෂයය ධාරාව සහ අදාල වූ වටපිටාවන් වඩාත් ඉක්මණින් අවධාරණය කරගැනීමේ හැකියාවක් ලැබේ. ඒ ආකාරයට ඇති කුෂලතාවයන්ට අනුව අනාගත අධ්‍යයන මාවත සකසා ගත යුතුය. කලා විෂයය ධාරාව හැදෑරු අයෙකුට පසුකාලීනව මුදල් තිබුණද රොකට් විද්‍යාඥයකු වීම පිණිස විශාල වශයෙන් කැපකිරීම් කළ යුතු වේ. ඒ අනුව ඇති දේ සහ කැමති දේ අනුව ගලපාගෙන පාඨමාලා සහ උපාධි තෝරාගැනීමද අනාගතයට වැදගත් වූ කාරණාවකි.

විදෙස් ගත විමට හෝ විශ්ව විද්‍යාලයක් තෝරාගැනිමට සලකා බැලිය යුතු කරුණු මෙවැනි කාරණා කිහිපයකට කෙසේ වත් ලඝු කල නොහැක. එහෙත් විශාල මුදලක් වියදම් කොට අධ්‍යාපනයට ඉඩ හසර විවර කරන විට තවත් සලකා බලන්නට විශාල පැතිකඩ ගණනාවක් ඇති බව හෝ වටහා ගන්නට මෙයින් ඔබට යම් ඉඟියක් ලැබෙන්නට ඇති. ඔබටත් තවත් එවැනි සලකා බැලිය යුතු වැදගත්ම කාරණා ගැන අදහසක් වේ නම් අපි එක්ක කමෙන්ට් එකක් විදියට බෙදා හදාගෙන යන්න අමතක කරන්නට එපා.

කවරයේ ඡායාරූපය: http://www.germmagazine.com/your-ultimate-graduation-movie-marathon/

Related Articles